Home » විදුලි අපලයේ තිත්ත ඇත්ත

විදුලි අපලයේ තිත්ත ඇත්ත

by sachintha
February 15, 2025 12:30 am 0 comment

සූර්ය බල පද්ධති විශාල ලෙසින් එක්වීම නිසා සුළු සිදුවීමකදී පවා මෙවන් තත්ත්වයක් ඇති විය හැකිය. පාණදුරදී සිදුවුණේ වඳුරකු පැනීමක්ද? එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසා බිඳවැටීමක්ද යන්න නොව විමර්ශනය කළ යුත්තේ එතැනදී විදුලිය බිඳවැටීම හා සිදුවූ තාක්ෂණික සිදුවීම් මාලාව ගැනය.

අපේ රටට නිතරම අපලය ගෙන දෙන්නක් ලෙස මේ වන විට ජනතාව අතර ප්‍රසිද්ධය. වරෙක ‘නොරොච්චෝලෙ කරච්චලේ’ යනුවෙන් හඬ නඟන්නට සිදු වේ. තවත් විටෙක සම්ප්‍රේෂණ මාර්ග පද්ධතියේ ගැටලුවකි. ඒ සියල්ල හරි ගිය විට ජල විදුලිය නිපදවන්නට ජලාශ පිරී නොමැති නිසා විදුලිය කපා දමන්නට සිදු වේ. ඇත්තෙන්ම විදුලිය අපට අපලයක් ද?

මේ අපලයේ තවත් ග්‍රහ මාරුවක් පසුගිය ඉරිදා සිදු විය. එදින සමස්ත දිවයිනටම විදුලිය විසන්ධි විය. ඒ දහවල් කාලයේදීය. වඳුරකු පැනීමෙන් පද්ධතියේ සිදු වූ අසමතුලිතතාවක් නිසා මේ විසන්ධි වීම සිදු වූ බව විදුලිබල මණ්ඩලයෙන් නිල නොවන ආරංචි පැතිර ගියේය. ඒ කතාව පසුව සමාජයේ ‘විකට රසාංගයක්’ බවටද පත් විය.

අවසානයේ දිනකට පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධිවීම එහි ප්‍රතිඵලය විය. මේ විදුලියේ ‘කළුවරේ ජරමරේට’ වූයේ කුමක්දැයි සොයන්නට අපි කටයුතු කළෙමු. ඒ වෙනුවෙන් කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු හා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න හමුවුණෙමු.

ඔහු පැවසුවේ පසුගිය ඉරු දින වූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස විද්වත් කමිටුවක් පත් කර ඇති බවය. ඔවුන් විසින් ඉදිරි සතියේදී ඒ වාර්තාව ලබා දෙනු ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එහෙත් එදින සිදුවූ ක්‍රියාදාමය සම්බන්ධයෙන් ඉංජිනේරු මතය විග්‍රහ කරන්නටද ඔහු කටයුතු කළේය. ඉංජිනේරු ධම්මික විමලරත්න පෙන්වා දෙන පරිදි වර්තමානයේ රටේ පවතින විදුලි පද්ධතිය පෙර මෙන් නොව ‘දැඩි දුර්වල’ විදුලිබල පද්ධතියකි.

ශක්තිමත් විදුලිබල පද්ධතිය එසේ දුර්වල වූයේ කෙසේද?

විදුලි ජනනයේදී පද්ධති පාලන අංශයට ජනනය වන විදුලිබල ප්‍රමාණය ගැන දැන ගැනීමට හැකියාවක් පෙර තිබුණි. විශේෂයෙන්ම මහා පරිමාණ ජල විදුලි බලාගාර මෙන්ම ගල්අඟුරු බලාගාර, තාප බලාගාර හරහා ජනනය වන විදුලිය බලය පද්ධති පාලන අංශය හරහා නියාමනයක් එසේත් නැත්නම් යම් ආකාරයක පාලනයකින් සිදු කෙරිණි. විශාල ටර්බයින හරහා ජනනය කෙරෙන විදුලිය බලය හරහා ලබා දෙන විදුලිය ක්‍රමානුකූල පාලනයකට යටත්ව සම්ප්‍රේෂණ මාර්ග හරහා පාරිභෝගිකයන්ට ලබාදීමට එමඟින් හැකියාව ලැබුණි. පද්ධතියේ යම් දෝෂයක් ඇතිවුණි නම් ඒ බව පද්ධති පාලන අංශයට දැන ගැනීමේ හැකියාවක්ද තිබුණි. එයට ආසන්නම හේතුව පවා සොයාගත හැකි විය.

විශේෂයෙන්ම විදුලිය ජනනයේදී එහි ‘සංඛ්‍යාතය’ හා ‘වෝල්ටීයතාව’ ගැන නිසි අවබෝධයකින් විදුලිය බලය ලබා දිය යුතුය.

‘අප දන්නා පරිදි නිවෙසක වුවද විදුලිය බලය සැපයීමේදී එම නිවෙසේ භාවිත කරනු ලබන විද්‍යුත් භාණ්ඩ සංඛ්‍යාව සලකා බලමින් අදාළ පේනු (PLUG BASE) සවි කරනු ලැබේ. උදාහරණයක් ලෙස වායුසමීකරණයක් වෙනුවෙන් නම් ඇම්පියර් 13 හෝ 15 හා සාමාන්‍ය කටයුතු වෙනුවෙන් නම් ඇම්පියර් 5ක් ඒ වෙනුවෙන් සැපයීම් කරන ලදි (වර්තමානයේ නම් ප්‍රමිතියට අනුව ඇම්පියර් 13 හෝ ඉන් ඉහළ PLUG BASE සවි කරනු ලැබේ).

ඒ අවශ්‍ය ධාරිතාව සපයා ගැන්මටය. යම් හෙයකින් අදාළ උපකරණයට නිසි පරිදි විදුලිය බලය සපයා ගැන්මට නොහැකි වුව හොත් හෝ යම් ආකාරයක දෝෂයක් ඇතිවුවහොත් හෝ බිම් කාන්දු පැන්නුම් ස්විචය (TRIP SWITCH) විසින් ක්ෂණිකව පද්ධතිය බිඳ හෙළා සැපයුම විසන්ධි කරනු ලැබේ. ඒ පද්ධතියේ ආරක්ෂාව වෙනුවෙනි.

දැන් අප යළිත් අවධානය යොමු කළ යුත්තේ ඉංජිනේරු ධම්මිකගේ අදහස් කෙරෙහිය.

ඔහු පවසන පරිදි යම් විදුලිය සැපයුමක් අදාළ සංඛ්‍යාතයෙන් හෝ වෝල්ටීයතා පරාසයෙන් බැහැරට ගියහොත් පද්ධතිය ක්ෂණිකව බිඳවැටීමට හැකියාව තිබේ.

එහෙත් විශාල ටර්බයින හරහා විදුලිය ජනනය වන අවස්ථාවකදී නම් ඉල්ලුම හා සැපයුම සමතුලිත කර අදාළ බලය ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.

එසේ දැවැන්ත ටර්බයින හරහා ලැබෙන ධාරිතාව නොමැතිව යම් වෙනසක් වුවහොත් සංඛ්‍යාතයේ අඩුවීමක් සිදු වනු ඇත. එසේම වෝල්ටීයතාවයද ඒ අනුව ක්‍රමයෙන් වෙනස් වීමට ඉඩ තිබේ. පෙර පද්ධතියේ සංඛ්‍යාතය හර්ට්ස් 1ක් වෙනස් වීමට මෙගාවොට් 100ක පමණ විශාල විදුලිය වෙනසක් සිදු විය යුතු වූ නමුත් වර්තමානයේ පද්ධතියේ මෙගාවොට් 30ක වෙනස ඒ තත්ත්වය ඇති කිරීමට සමත් වන්නේය.

දියුණු රටවල නම් පද්ධතිය එසේ හර්ට්ස් එකකින් සංඛ්‍යාතය වෙනස් වීමට මෙගාවොට් 30,000ක පමණ විදුලිය වෙනස්වීමක් සිදුවිය යුතුය. එසේ නම් මෙගාවොට් 100කින් සංඛ්‍යාතය හර්ට්ස් එකකින් වෙනස් වූ පද්ධතිය මෙගාවොට් 30ක් දක්වා අඩු වූයේ ඇයි? ඒ ගැන දැන් අවධානය යොමු කරමු.

දියුණු වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව ජල විදුලිය මත පළමුව රටේ විදුලිය අවශ්‍යතාව සපුරාගත් අතර පසුව තාප විදුලි බලාගාර මෙන්ම ගල්අඟුරු බලාගාරයන් හරහා විදුලිය බලය සපයා ගන්නට විය. එහෙත් ලොව සැමදා ඉන්ධන ලබා ගැන්මට ඇති නොහැකියාව නිසා සෙසු රටවල් මෙන් ශ්‍රී ලංකාවද වෙනත් බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමු කරන ලදී.

සූර්ය බලය, සුළං බලය වැනි බලශක්තීන් ඒ වෙනුවෙන් යොදා ගන්නා ලද්දේ එහෙයිනි. අද වන විට ලෝකයේ බොහෝ රටවල්ද මේ ලෙසින් විකල්ප බලශක්තීන් හඳුන්වා දී තිබේ.

එසේ සූර්ය බලය උපයෝගී කරගෙන එය ජාතික විදුලිබල පද්ධතිය හා එක් කිරීම අරඹා දැන් දශක කිහිපයකි. ඇත්තෙන්ම සූර්ය බල විදුලිය හරහා විශාල පිරිවැය අඩුවීමක් සිදු වන නිසා පැවැති රජයන්ද ජනතාව ඒ කෙරෙහි උනන්දු කරන ලදී. ඒ අනුව විදුලිබල මණ්ලය බලාපොරොත්තු වී ඇත්තේ 2024 වසරේ පද්ධතියට මෙගාවොට් 150ක්ද 2025 වසරේ පද්ධතියට මෙගාවොට් 150ක් හා 2026 වසර අවසානයේ මෙගාවොට් 150ක් ද ලෙසින් ජාතික විදුලියබල පද්ධතියට එක් කර ගැනීමටය.

එහෙත් 2024 වසර අවසන් වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක් එක්වී ඇත. සමස්ත සූර්ය බල විදුලි ජනනය මේ වන විට මෙගාවොට් 1400ක් පමණ දක්වා ඉහළ ගොසිනි. එවැනි ජනන ධාරිතාවක් දරා ගැන්මට අපේ පද්ධතියට හැකියාවක් නැත. එම නිසා පද්ධතිය දුර්වල වී තිබේ.

රටක් ලෙස ආර්ථික වශයෙන් පීඩාවට පත් හා ආර්ථික අර්බුදයක් දැඩි ලෙසින් පැවැති රටක් ලෙස ඒ වෙනුවෙන් ඇති අභියෝග ගැනද අප අවධානය යොමු කළ යුතු වන්නේය. එහිදී මූල්‍ය අභියෝග මෙන්ම තාක්ෂණික අභියෝග ගැනද අවධානය යොමු කළ යුතු වන්නේය.

පසුගිය 9 වැනිදා ඉරිදා සිදු වූ විදුලිය බිඳ වැටීම හා සම්බන්ධිත සිද්ධියද මේ හා සමගාමීව වූ සිදුවීම් දාමයකි. ඉරිදා දිනයන්හි විදුලිය ඉල්ලුම ඉතාම අවම වන්නේය. ඉරිදාට විදුලිය වැඩි වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්තශාලා, මෙන්ම කාර්යාලවලින් 98%ක් පමණ වසා ඇත්තේය.

එම නිසා විදුලිය ඉල්ලුම ඉතාම අවම මට්ටමක පවතී. එමෙන්ම ජනවාරි හා පෙබරවාරි යනු සූර්ය බලය (දැඩි හිරු එළිය) අධිකම කාලයකි. එම නිසා සූර්ය කෝෂ මඟින් විදුලිය නිෂ්පාදනයද ඉතා ඉහළ අගයක් ගනී. ඒ අනුව එක් පසෙකින් විදුලිය බලය ඉල්ලුම අඩුව තිබියදී තවත් පසෙකින් අධික විදුලිය ජනනයක් සූර්ය බලය හරහා උත්පාදනය කෙරේ. මෙය ‘ඉරලු ඉරිදා ආචරණය‘ (SUNNY SUNDAY EFFECT) නමින් හැඳින්වේ.

මෙවන් තත්ත්වයක විදුලිබල පද්ධතිය පවතිද්දී ජාතික විදුලිබල පද්ධතියෙන් ජනනය වන විදුලිබල සැපයුම (ජල විදුලිය, ගල්අඟුරු නිපැයුම් විදුලිය ඇතුළු) මෙගාවොට් 700කට මඳක් වැඩියෙන් පැවතුණු අතර සූර්ය බල විදුලිය මෙගාවොට් 800ක්ද ඉක්මවා ජනනය වී ඇත. ඒ ජනනය වන විදුලි ඒකක ප්‍රමාණය පිළිබඳ නිවැරැදි ගණනය කිරීමක් තබා ගන්නට මේ වන විට පහසුකම් නොමැත. එවන් තත්ත්වයක පද්ධතිය පවතිද්දී පාණදුර ග්‍රීඩ් උපපොළේ සිදුවූ යම් දෝෂයක් නිසා විදුලිය බලය භූගත විය. (EARTH)

ඒ වෝල්ට් 33,000ක අධි විදුලි සැරයකි. එවන් අධි විදුලිය බලයක් ලබා දෙන්නට ඒ අවට තිබුණු සූර්ය බල විදුලියට නොහැකි විය. එම නිසා එම පද්ධති ස්වයංක්‍රීයවම තම ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන පද්ධතියෙන් ඉවත් විය. එවිට වෝල්ටීයතාව අඩුවිය. සූර්ය විදුලිබල ජනනයක් හෝ එම විදුලිය ලබා දීමක් නොමැති නිසා පන්නිපිටිය වැනි ආසන්න ප්‍රදේශවල පළමුව විදුලිය බිඳවැටුණි. වෝල්ටීයතාවය අඩුවීම බලපැවැත්වුණේ එම පෙදෙස්වලට පමණි.

එහෙත් ඉල්ලුම වැඩි වී සැපයුම අඩු වීම නිසා එය සංඛ්‍යාතයටද බලපෑවේය. වෝල්ටියතාව මෙන් නොව සංඛ්‍යාතය එක්වර අඩුවීම සමස්ත දිවයිනටම දැනේනට විය. එම අඩුවීම මහවැලි ජලාශවල ටර්බයින යන්ත්‍ර දක්වාම ඇදී ගියේය. ඒ අනුව එම ටර්බයින ක්‍රමයෙන් පද්ධතියෙන් ආරක්ෂාව වෙනුවෙන් ඉවත් විය. ඒ අනුව ඒ හරහා සැපයෙන විදුලිය බිඳවැටුණි. නොරොච්චෝල හැකිතරම් මේ පද්ධතිය සමතුලිතව තබා ගැන්මට උත්සහ කළද තාක්ෂණික බිඳවැටීම් හමුවේ අවසානයේ නොරොච්චෝල බලාගාරයම ආරක්ෂාව වෙනුවෙන් පද්ධතියෙන් ඉවත් විය.

මේ තාක්ෂණික ක්‍රමවේදය ලොව සාමාන්‍ය ක්‍රමවේදයන් අනුව වන්නකි. ආරක්ෂාව වෙනුවෙන් විදුලි පද්ධති ප්‍රධාන පද්ධතියෙන් ඉවත්වීම සාමාන්‍ය කරුණකි. එය සැලසුම් කර ඇත්තේද ඒ ලෙසිනි. එසේ නොවුවහොත් ඒ හරහා විශාල හානියක් අදාළ බලාගාරයට සිදුවනු ඇත. නිවසක අධික විදුලි සැපය­ුමක් හෝ ඉතා අවම විදුලියක් (DIM LIGHT) පැමිණෙන විට ඇතැම් විදුලි උපකරණ ස්වයංක්‍රීයව විසන්ධි කරගන්නේද මේ ලෙසින් එම උපකරණ ආරක්ෂා කර ගැනීම පිණිසය.

සූර්ය බල පද්ධති විශාල ලෙසින් එක්වීම නිසා සුළු සිදුවීමකදී පවා මෙවන් තත්ත්වයක් ඇති විය හැකිය. පාණදුරදී සිදුවුණේ වඳුරකු පැනීමක්ද? එසේ නැත්නම් වෙනත් හේතුවක් නිසා බිඳවැටීමක්ද යන්න නොව විමර්ශනය කළ යුත්තේ එතැනදී විදුලිය බිඳවැටීම හා සිදුවූ තාක්ෂණික සිදුවීම් මාලාව ගැනය. මේ ලෙසින් මොනරුන් නිසා හම්බන්තොට ප්‍රදේශයේ පද්ධතියට හානි වන අවස්ථා ඇත. ඒ වොල්ට් 400ක් වැනි අඩු සම්ප්‍රේෂණ හෝ ග්‍රීඩ් උපපොළවලට වන නමුත් පාණදුර වොල්ට් 33,000ක් වැනි අධි සැර විදුලියක් භූගත වීමෙන් සිදුවන හානිය සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස්ය. පාණදුර වූයේ එවන් තත්ත්වයකි.

ඔස්ට්‍රේලියාව වැනි රටවල ලේනුන් පැනීමෙන් විශාල ලෙසින් විදුලියට මේ ලෙසින් බලපෑම් ඇති නමුත් පෙර පවසන ලද පරිදි හර්ට්ස් 1ක් වෙනස්වීමට එහිදී මෙගාවොට් 30,000ක් වැනි ඉහළ මට්ටමක් කරා ආ යුතුය.

රාජකාරි දිනයකදී පාණදුර වැනි සිදුවීමක් වූවා නම් එය එතරම් බලපෑමක් ඇති කරන්නේ නැත. එහෙත් ‘ඉරලු ඉරිදා ආචරණය‘ නිසා විදුලිය බලය විසන්ධි විය. ඉන් පසුව නොරොච්චෝලෙ යළි පණ ගැන්වීමට දින 4ක් පමණ ගත වන්නේ එහි අධික තාපය නිසා එය සිසිල්වීමට දින 2ක් පමණ ගත වන නිසාය. ඉරලු ඉරිදා ආචරණය වැළැක්වීමත් , සුහුරු මනු (ස්මාර්ට් මීටර්) සැපයීමත් මේ තත්ත්වයට කෙටිකාලීන විසඳුම් ලෙස ලබා දිය හැකිය. ඒ අනුව සුහුරු මනු හරහා ජනනය වන සූර්යබල විදුලි බල ප්‍රමාණය ගණනය කළ හැකිය. එමෙන්ම ඉරිදා දිනවල මහා පරිමාණ කර්මාන්තශාලාවලට විදුලිය බලය සහනයක් (එම දිනවල ඒකකයට අඩු මිලක් අය කිරීමෙන්) ලබා දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කර මේ තත්ත්වය වැළැක්වීමටත් පියවර ගැනීමට මේ වන විට සැලසුම් කර තිබේ.

එසේම සූර්ය බලය ගබඩා කර ගැනීම වෙනුවෙන් මේ වසරේ මෙගාවොට් 5ක සූර්ය බලය ගබඩා කිරීමට බැටරි පද්ධති සවි කිරීමටත් ලබන වසරේ මෙගාවොට් 100ක් බලයක් ගබඩා කිරීමට කෝෂ ස්ථාපිත කිරීමටත් පියවර ගැනෙනු ඇත. ඒ උදෙසා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කර තිබේ. ඒ සූර්ය බල විදුලිය වෙනුවෙන් සිදු කරන්නා වූ‍ ක්‍රමවේදයයි.

එමෙන්ම විදුලිය බලය සැපයීම වෙනුවෙන් දීර්ඝකාලීන විසඳුමක් ලෙස ජල බැටරිය හඳුන්වා දීමට කටයුතු කර තිබේ. එය වසර ගණනාවක් තිස්සේ සිට සිදු කරන ලද අධ්‍යයනයක ප්‍රතිඵලයකි. ඒ අනුව පහළින් ඇති ජලාශයක ජලය ජල විදුලිය නිපදවීම පිණිස ඉහළ ජලාශයක් කරා ගෙන යනු ලැබේ.

එහිදී හොඳින් සූර්යාලෝකය ඇති විට පහළින් ඇති ජලාශයේ ජලය ඉහළ ජලාශය කරා සූර්ය බලයෙන් ඉහළට ගෙන ගොස් රාත්‍රී කාලයේ යළි ජලය පහළ ජලාශයට යොමු කර ජල විදුලිය නිපදවනු ලැබේ. එය වසර ගණනක් තිස්සේ සිදු කරන ලද සැලසුමක් වන අතර, එහි ආරම්භය මහ ඔය යෝජනා ක්‍රමයෙන් සිදු කෙරේ.

මහඔය යෝජනා ක්‍රමය යනු අරණායක හා නාවලපිටිය අතර ජලාශ දෙකක් අතර මේ සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇත. එහිදී ජලාශ යා කර කිලෝමීටර් 2.5ක උමඟයක් ස්ථාපිත කෙරේ. එම උමඟ හරහා දිවා කල සූර්ය බලයෙන් ජලය ඉහළ ජලාශයට යොමු කර රාත්‍රී කාලයේ එම ජලය යළිත් පහළ ජලාශයට යොමු කරන්නේ ජල විදුලිය නිපදවමිනි. මෙගාවොට් 200ක් බැගින් වූ ජනනයන් 3ක් මෙහි ස්ථාපිත කෙරෙනු ඇත. වසර 2032 දී පමණ එය ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙනු ඇත. මේ ලෙසින් ජල බැටරිය ක්‍රියාත්මක කළ හැකි තවත් ස්ථාන කෙරෙහිද අවධානය යොමු කර තිබේ. මෙහිදී ගොවි ජනතාවට හෝ අදාළ ජල පාරිභෝගියන් වෙත්නම් ඔවුන්ට ගැටලුවක් නොවන සේ ජල පරිහරණය කිරීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර ඇත. වසර 2030 දී පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමනක් වෙනුවෙන් සිදු කරනු ලබන සැලසුම් අනුව එල්එන්ජී (ද්‍රවිකෘත වායු) අතරමැදි ඉන්ධනයක් ලෙසින් භාවිත කිරීමට ද සැලසුම් කර තිබේ.

ඒ අනුව අපට පෙනී යන්නේ විදුලිබල අර්බුදයට මීට දශකයකට හෝ දෙකකට පෙර ලබාදිය යුතුව තිබුණු විසඳුම් ලබා දී නොමැති බවයි. මේ සම්බන්ධයෙන් නිවේදකයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසන්නේ පසුගියදා පානදුර විදුලි උපපොළේ සිදු වූ හදිසි තත්ත්වයක් තුළින් මතු වූ අසමතුලිතතාවයක් නිසා රටපුරා විදුලිය ඇනහිටීමක් සිදු වූ බවත් ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය පවත්වාගෙන යාම කෙරෙහි සැලකිලිමත් නොවී අදූරදර්ශී ලෙස කටයුතු කළ පෙර රජයන්ගේ ක්‍රියා කලාපයත්, තාක්ෂණය පිළිබඳ වැටහීමක් නැති දුර්වල මගපෙන්වීමත් මේ තත්ත්වය උදාකරන්නට හේතු වූ බව මූලික විමර්ශනවලින් පෙනී යන බවයි. කෙසේ වුවත් මේ තත්ත්වයට හේතු වුණු කරුණු ගැඹුරින් විමසා බලා නැවත මෙවන් තත්ත්වයක් උදා නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු පවසා සිටී.

මේ සම්බන්ධයෙන් හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක පවසා සිටියේ විදුලිය බිඳවැටීමට පෙර දිනක – එනම්, පෙබරවාරි 5 වැනිදා – ජනන වියදම රුපියල් මිලියන 850ක් බවත් බිඳ වැටීමෙන් පසුව පෙබරවාරි 11 වැනිදා දිනක ජනන වියදම රුපියල් මිලියන 1750ක් දක්වා දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඔහු අනාවරණය කරන්නේ නිවාඩු දිනවල ඉතා හොඳින් සූර්ය බලය ඇති හෙයින් එදින සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් විදුලිය සැපයිය හැකි බවයි.

එහෙත් පසුගියදා විදුලිය බිඳවැටීම සිදුවූයේ 50%කටත් වැඩියෙන් සූර්ය බලයෙන් විදුලිය සපයා දී තිබියදීය. එමෙන්ම චම්පික රණවක මහතා විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී සූර්ය බලය ගබඩා කිරීමට අදාළ කෝෂ ලබා නොදුන්නේ ඇයිද යන්න ගැන ඔහු කිසිදු පිළිතුරක් දී නැත.

lතාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division