Home » විශ්වයම අතැඹුලක් කළ 43 වසක සැළලිහිණි අබිමන

විශ්වයම අතැඹුලක් කළ 43 වසක සැළලිහිණි අබිමන

-නිලාර් එන්. කාසිම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැඩසටහන්)

by sachintha
February 15, 2025 12:30 am 0 comment

අප ඉදිරිපත් කරන්නේ ඉතා තුලනාත්මක ප්‍රවෘත්ති සංග්‍රහයක්

මුදලට වඩා අපට අපේ හර පද්ධති වටිනවා

ලංකාවේ නාළිකා 25ක් විතර තිබුණට වාර්තා වැඩසටහන් සම්බන්ධ කීර්තිය අදටත් උසුලන්නේ ජාතික රූපවාහිනියයි

 

ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාව. ආයතනයක් විදිහට ඒක තමයි නම. ඒත් අපේ ප්‍රේක්ෂකයා කියන විදිහට මේ ‘ජාතික රූපවාහිනිය’. ලෝකේ ඕනෑම රටක ‘ජාතික’ නමින් තියෙන්නේ වටිනා එක දෙයක් විතරයි. ජාතික කොඩිය, ජාතික ගීය වගේ ‘ජාතික රූපවාහිනිය’. ඒක තව එකකට සසඳන්න, සමාන කරන්න බැහැ. ජාතික රූපවාහිනී එකයි.

1982දී ජපානයේ පරිත්‍යාගයක් විදිහට අපට ලැබෙන මේ රූපවාහිනිය ව්‍යාප්ත වන්නේ දැනුම, විනෝදාස්වාදය මුල් කරගෙන. ලංකාවේ ටෙලිවිෂන් මාධ්‍ය කලාවේ සියලු දේවල මූලාරම්භය සටහන් කරන්නේ ජාතික රූපවාහිනිය. උදාහරණයක් විදියට: ලංකාවේ රූපවාහිනී නාට්‍යවලට කියන්නේ ‘ටෙලි නාට්‍ය’ කියලනේ. ඒ වචනය පවා 82 වෙද්දි රටේ තිබුණෙ නැහැ. මේ වචනය නිර්මාණය කරන්නේ ඒ කාලේ රූපවාහිනියෙ හිටිය ධම්ම ජාගොඩ වගේ අය මුල් වෙලා. ‘දිමුතුමුතු’ පටන් විශිෂ්ට ගණයේ ටෙලි නාට්‍ය මාලාවක ඉතිහාසයක් අපට තියෙනවා. තාරාදේවී, යශෝරාවය, පළිඟුමැණිකේ, මැණික් නදිය… ඉන් කිහිපයක්. ඒ විදිහට ලංකාවේ ටෙලි නාට්‍ය ප්‍රමිතිය හදල දුන්නේ ජාතික රූපවාහිනිය. අපේ සුප්‍රකට නිර්මාණකරුවෝ කඩුල්ල, දඬුබස්නාමානය, ඇල්ල ළඟ වලව්ව වගේ නිර්මාණ මඟින් ඒ ප්‍රමිතිය තවත් ඔසවා තැබුවා.

ඒ වෙද්දි අපේ ප්‍රේක්ෂකයා සජීව සංගීත සන්දර්ශන දැකලා තිබුණට, ගුවන්විදුලියෙන් ‘මැලිබන් ගී තොටිල්ල’ වගේ වැඩසටහන් අහලා තිබුණට, ටෙලිවිෂන් ආකෘතියේ සංගීත වැඩසටහන් නරඹලා තිබුණේ නැහැ. ‘නන්දන වින්දන’ වගේ වැඩසටහන්වලින් පටන් ගෙන අද ‘පියුම් නීල විල’ වැනි

සංගීත වැඩසටහන් දක්වා නිශ්චිත ප්‍රමිතියකින්, හැඩයකින් අපි ඒ වැඩසටහන් ගෙනැවිත් තිබෙනවා.

අපි ක්‍රීඩාවේ වර්ධනයටත් මාධ්‍යයක් විදිහට දායක වුණා. ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සජීව ලෙස විකාශය කිරීමේ සිට සුසන්තිකා ඔලිම්පික් පදක්කම ගනිද්දීත්, අපේ ක්‍රිකට් ක්‍රීඩකයො අනූහයේ ලෝක කුසලානය ගනිද්දීත් එතැන හිටියෙ ජාතික රූපවාහිනිය. අවස්ථා දෙකකදි හැරෙන්න ඔලිම්පික් තරගාවලිය විකාශය කළෙත් අපි.

ටෙලිවිෂන් නාළිකාවකට එහා ගිය සමාජ සත්කාර ව්‍යාපෘති කරන්නත් අපි මැදිහත් වෙලා තියෙනවා. සුනාමි අවධියේ අපේ මෙහෙවර, ගංවතුර, නියං කාලවලදී අප කළ මැදිහත්වීම්, යුද වාර්තාකරණයේදී අප ඉටු කළ කාර්යභාරය ඔබට මතක ඇති. විශිෂ්ටත්වය වන්නේ අපෙ මේ හැම දේම කරන්නේ ප්‍රමිතිය ආරක්ෂා කරගනිමින් වීමයි.

ලංකාවට ජාතික රූපවාහිනිය ලබා දීමේ ගෞරවය හිමි වන්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට. එය එතුමා සහ ජපානය අතර වූ රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයත් සමඟ අපට ලැබුණ තිළිණයක්. ආනන්ද තිස්ස ද අල්විස් මහත්මයා යටතේ එදා අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට කටයුතු කළේ ආචාර්ය සරත් අමුණුගම මහත්මයා. රූපවාහිනී පනත් කෙටුම්පත සකස් කරන්න මුල් වන්නෙ ඔහු. රූපවාහිනී මුල් සභාපති එම්.ජේ. පෙරේරා මහත්මයා. ඔහු කීර්තිමත් පරිපාලන නිලධාරියෙක්; ආරම්භක තැන ඉඳලම දේශපාලනඥයන්ට දණ නොනමා, ඍජු ප්‍රතිපත්තියක ඉඳලා වැඩ කරපු කෙනෙක්; රූපවාහිනියේ පරිපාලනය සකසන්න සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට කරපු කෙනෙක්.

වත්මන් සභාපතිතුමා ගිහාන් ද සිල්වා අන් අදහස්වලට ඇහුම්කන් දෙමින්, සහයෝගයෙන් වැඩ කරනවා; වඩා හොඳ ජනතා මෙහෙවරක් කරා මේ නාළිකාව ගෙනයන්න ඕනෑ කියන තැන ඉඳලා කටයුතු කරනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමා මනෝජ අමරසිංහ අත්දැකීම්වලින් පිරිපුන් පරිපාලන නිලධාරියෙක්. ඔහුගෙන් පරිපාලන සහයෝගය ලැබෙනවා. අපට දළ වශයෙන් දැනට 650ක වගේ සේවක පිරිසක් ඉන්නවා. පහුගිය අවුරුදු 7, 8 ඇතුළත භාණ්ඩාගාරයෙන් මුදල් නොලබා ස්වයංපෝෂණය වූ නාළිකාවක් තමයි අප මේ අරගෙන යන්නේ. ඒ අභියෝග තියෙද්දි, ඇදනොවැටී තවම හිස කෙළින් තියාගෙන ඉන්නවා.

අපේ ඉතිහාසය තුළ හිටපු ඒ ජ්‍යෙෂ්ඨයෝ, ශ්‍රේෂ්ඨයෝ හැටියට අද විවිධ තලවල ඉන්නවා. උදාහරණයක් හැටියට: ලූෂන් බුලත්සිංහල, මොහාන් සමරනායක, බන්දුල විතානගේ, පරාක්‍රම නිරිඇල්ල, විමලරත්න අධිකාරි, දයාරත්න රටගෙදර, සුසිරන් ද සිල්වා, තිලක් ගුණවර්ධන… වගේ දීර්ඝ නාමාවලියක් පෙන්නන්න පුළුවන්. පස්සෙ කාලෙක ආරම්භ වූ පෞද්ගලික නාළිකාවලත් මුල් පුටු හොබවපු සමහර අය ජාතික රූපවාහිනියෙන් බිහි වුණ අය. කිංස්ලි රත්නායක වගේ කෙනෙක් ගත්තොත් අපේ මුතුහරින් ආපු කෙනෙක්. නිහාල් වික්‍රම එදිරිසූරියත් එහෙමයි. ඒ වගේම ඉංජිනේරු පැත්තෙනුත් දක්ෂ ජ්‍යෙෂ්ඨයො අපිට හිටියා. ඒ අය අද අන්තර්ජාතික මට්ටමේ ඉන්නවා.

රූපවාහිනියෙ ආරම්භක උත්සවයේ සජීව විකාශයත් මෙහෙයවූ පාලිත පෙරේරා වගේම සුමනා නෙල්ලම්පිටිය, රොස්මන්ඩ් සේනාරත්න, අනෝමා වත්තලදෙණිය, නිල්මිණි සිගේරා වගේ අයගෙ පටන් අසේල බණ්ඩාරනායක, චමින්ද ගුණරත්නලා දක්වා දක්ෂ සිංහල මාධ්‍ය නිවේදක පරපුරක් අපට ඉන්නවා. එදා එස්. විශ්වනාදන්, කමලිනී සෙල්වරාජන්, මදි අලහන් වැනි ද්‍රවිඩ මාධ්‍ය නිවේදක නිවේදිකාවන් හිටියා වගේ අද නිරංජනී සම්මුගරාජා වැනි අය ඉන්නවා. ඒ වගේ ම රිචඩ් ද සොයිසා, රවි ජොන්, ශාමිණි සේරසිංහ, අජිතා කදිරගාමර් වැනි ඉංග්‍රීසි මාධ්‍ය නිවේදන කටයුතු කළ දක්ෂ පිරිසක් ඉන්නවා.

‘ශනිදා-ඉරිදා ආයුබෝවන්’ මිනිස්සු ආකර්ෂණය කරගත් වැඩසටහන්. මුල් කාලය ගත්තොත්: ප්‍රේමකීර්ති ද අල්විස්, හේම නලින් කරුණාරත්න, බුද්ධදාස විතානාරච්චි, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනි වැඩසටහන් ඉදිරිපත් කළා. අනූව දශකයේ මුලදී ඊළඟ පුරුක විදිහට මමත් එතැනට සම්බන්ධ වෙනවා.

අන්තර්ජාතික සමුළුවක්, ක්‍රිකට් තරගයක් ආවරණය කිරීමේ ශක්තිය තියෙන්නෙ අපට. සාක් වගේ සමුළු, ඊට පස්සේ තිබුණු අන්තර්ජාතික සමුළු අපි ආවරණය කළා. අපට තියෙන්නෙ ජපානයෙන් පරිත්‍යාග කරපු මැදිරි ජාලයක් සහ තාක්ෂණික උපකරණ පද්ධතියක්. විටින් විට ජපන් තාක්ෂණඥයන්ගේ මැදිහත් වීමෙන් ඒවා යාවත්කාලීන කෙරුණා. ඉදිරියේදී තවත් ඩිජිටල් මැදිරි සංකීර්ණයක් ඉදි කරන්න අපි සැලසුම් කර තිබෙනවා. අප සතු මානව සහ භෞතික සම්පත් තුළ වෙනත් දේශීය නාළිකාවකට කිට්ටු වෙන්න බැරි තරමට අප ඉදිරියෙන් ඉන්නවා. ඒක ඉතිහාසය පුරා අඛණ්ඩව ආ දෙයක්.

අප ලැබූ ජයග්‍රහණ ගැන කතා කළොත්: අප තරම් කිසිම නාළිකාවක් දේශීය සහ අන්තර්ජාතතික සම්මාන හිමි කරගෙන නෑ. අදටත් ලංකාවේ නාළිකා 25ක් විතර තිබුණට වාර්තා වැඩසටහන් සම්බන්ධ කීර්තිය උසුලන්නේ ජාතික රූපවාහිනිය. ඊට මුල්ම දායකත්වය සපයන්නෙ සිසිර සුරවීර. එතැන් සිට අද දක්වාම අපේ වාර්තා වැඩසටහන් අන්තර්ජාතතික වශයෙන් සම්මාන පිට සම්මාන ගනිමින් ඉන්නවා.

වර්තමානය ගැන කතා කරනවා නම්: අපේ වැඩසටහන් පෙළගැස්ම තියෙන්නේ හොඳ තැනක. පහුගිය දිනවල ‘වියළි’, ‘අමුතු දොස්තර’ වගේ උසස් ටෙලි නාට්‍ය විකාශය කළා. මේ දිනවල ‘ඉර ගිනි මද්දහන’, ‘හේමලයෝ’, ‘සීසෝ’ වගේ නිර්මාණ විකාශය වෙනවා. ඒවාට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

යහපත් ගීත කලාවක් වෙනුවෙන් අප ‘සඳ රූ සුයාමය’, ‘පියුම් නීල විල’ වගෙ සංගීත වැඩසටහන් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන් පියුම් නීල විලට දේශීය වගේ ම අන්තර්ජාතික වශයෙන් ගලා එන පැසසුම් ඉහළයි.

බොහෝ නාළිකා විදේශ චිත්‍රපටවලට ප්‍රමුඛත්වය දෙන විට, අපි නැවත සිංහල සිනමා උප සංස්කෘතියක් බිහි කිරීම අරමුණු කරගෙන දිනපතා දවල් 12.30ට සිංහල චිත්‍රපටයක් විකාශය කරනවා. ‘චංගුමී’ ඔෂින්වලින් පස්සෙ ප්‍රේක්ෂක ප්‍රසාදයට පත් වුණ කතාවක්. ඒක අපි සතියෙ දවස්වල නැවත විකාශය කරනවා.

සතියෙ දවස් පහේ උදේ නුග සෙවණ, ඉරිදා ආයුබෝවන්, ශනිදා ආයුබෝවන් විකාශය වෙනවා. ‘රිද්ම’ වැඩසටහන වගේම සිකුරාදා සංහිඳ. මේ වැඩසටහන් ඇතුළත අප සාහිත්‍ය කලාවට, පොතපතට, නාට්‍යයට, සිනමාවට ඉඩ කඩ තහවුරු කර තිබෙනවා.

ළමයින් වෙනුවෙන් මුතුහර, ජාතික පාසල, නැණ මිහිර වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ක්‍රීඩා වැඩසටහන් ගැන කතා කරද්දි: අපි ක්‍රිකට් වගේම දැල්පන්දු, අත්පන්දු වැනි ක්‍රීඩා තරගත් ආවරණය කරනවා. ඒ වගේම අන්තර් පාසල් ක්‍රිකට් තරගවලටත් අපේ කාලය වෙන් කරනවා. ගුවන් හමුදා සයිකල් සවාරිය, කටුකුරුන්ද, නුවරඑළිය මෝටර් රථ ධාවන තරග සජීව විකාශය දුන්නෙ අපි.

රූපවාහිනී ඉතිහාසය අවුරුදු 43ක් වුණාට, අප අවුරුදු 25ක් 30ක් වගේ ඇතුළත කාලය තුළ තමයි අලුත් අවුරුදු උත්සව සම්ප්‍රදාය පවත්වන්නෙ.ඒ තුළ අපි නිතරම ඒ ජාතික සාම්ප්‍රදායික වටිනාකම් ආරක්ෂා කරගෙන එනවා. විශාල මුදල් සමග විවිධ වෙළෙඳ ප්‍රයෝග අපට ආවා. අවුරුද්දේ අරමුණ විකෘති කරන එවැනි වැඩසටහන් අප ප්‍රතික්ෂේප කළා. මුදලට වැඩිය අපේ හර පද්ධති අපට වටිනවා. ඒක මිනිස්සුත් බලාපොරොත්තු වනවා. අපට වගකීම් විරහිතව හැසිරෙන්න බෑ. ජාතික රූපවාහිනියෙ සියලු නිලධාරීන් තුළ ඒ අවබෝධය සහ හික්මීම තිබෙනවා.

අප සමාජ මාධ්‍යයට පිවිසුණේ තරමක් ප්‍රමාද වෙලා. ඒත් මේ වන විට එහි ශීඝ්‍ර වර්ධනයක් තිබෙනවා. ලෝකේ ඕනෑම රටක කෙනකුට අපේ වැඩසටහන්, ප්‍රවෘත්ති නැරඹීමේ හැකියාව තියෙනවා. යූ ටියුබ් නාළිකා 12ක විතර වගේම ටික්ටොක් වැනි සමාජ මාධ්‍යවලත් අපි සක්‍රියයි.

අවුරුදු 30 ඉක්මවූ ලංකාවේ ජනතාවගෙන් බහුතරයකගේ ළමා අවධිය, තරුණ අවධිය හැඩගස්සවා තියෙන්නේ ජාතික රූපවාහිනිය විසින් කියන එක අපි තේරුම් අරන් තියෙනවා. රූපවාහිනියත් එක්ක ඒ අයගේ සුන්දර නොස්ටැල්ජික සම්බන්ධයක් අපි දකිනවා. ඊට පදනම් වූ කෝෂ්ඨාගාරය, ඓතිහාසික සාර සංග්‍රහය තියෙන්නේ අප ළඟ. මේ තරම් වටිනා දෘශ්‍ය දත්ත ගබඩාවක් කාටවත් නැහැ.

අපට යම් යම් කාලවලදී උග්‍ර දේශපාලනික මැදිහත්වීම් තිබුණා. දැන් අපට එහෙම දේශපාලන බලපෑම් නැහැ. වත්මන් දේශපාලන බල අධිකාරියෙ බලාපොරොත්තුවත් ප්‍රමිතිගත නාළිකාවක් විදියට රූපවාහිනිය පවත්වාගෙන යෑම කියන තොරතුර තමයි අපට සන්නිවේදනය කරලා තියෙන්නේ. ඒකත් එක්ක වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කරගනිමින් මෙතැනින් තව ඉහළ තැනකට රූපවාහිනිය ගෙන යා හැකි බවට අපට ලොකු විශ්වාසයක් තිබෙනවා. අප අන්තර්ජාතික වශයෙන් ආයතන කිහිපයක් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ජාලය වෙනම තිබෙනවා. ලෝකයේ ජාතික ජනමාධ්‍ය ආයතනයකට දක්වන ගරුත්වය, පිළිගැනීම අපට හිමි වෙලා තියෙනවා.

සිංහයා කිසිදා තණකොළ කන්නේ නෑ වගේ, කොයි තරම් ආර්ථික දුෂ්කරතා පැමිණියත්, ආරක්ෂා කරගත් ප්‍රතිපත්තියෙන්, ප්‍රමිතියෙන් අංශුමාත්‍රයක්වත් පහළට බහින්න අප සූදානම් නෑ.

lවයලට් ප්‍රියදර්ශනී විතානගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division