Home » දේශපාලනයෙන් යටගැසූ විජය ඝාතනය
ලංකාවේ අබිරහස් දේශපාලන ඝාතන 05

දේශපාලනයෙන් යටගැසූ විජය ඝාතනය

by sachintha
February 15, 2025 12:29 am 0 comment

1988 පෙබරවාරි 21 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මහා සමුළුවක් පවත්වා, විජය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් සමාජවාදි පෙරමුණ සංවිධාන කටයුතු කරගෙන යමින් සිටියේය. එහෙත් ඊට දින 05කට පෙර පෙබරවාරි 16 වැනිදා විජය කුමාරතුංගට වෙඩි තබා ඝාතනය කරන ලදී.

 

ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය ලෙස ජනගතව ඇති කතාව අරාබි නිසොල්ලාසය වැනි ප්‍රබන්ධයකි. ලයනල් අධිකරණයක් හමුවට ගෙනාවා නම්, සත්‍යය හෙළි වන බව විජය ඝාතකයෝ දැන සිටියහ. ඒ නිසාම නීති කෘත්‍යයකින් තොරව ලයනල් රණසිංහ මරාදමා, විජය ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් කළා විය හැකිය.

ශ්‍රීලංකාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම දේශපාලකයකුද වූ විජය කුමාරණතුංගයන්ගේ 39 වැනි අනුස්මරණය අද (16) දිනට යෙදී තිබේ. විජය ඝාතනය කරන ලද්දේ 1988 පෙබරවාරි 16 වැනිදාය. රටේ මුල් පෙළේ දේශපාලකයකු වූ විජය අගනුවර ප්‍රසිද්ධ ස්ථානයකදී ඝාතනය කරන ලද නමුත් ඒ ඝාතනය සම්බන්ධයෙන් අපරාධකරුවන් අධිකරණය හමුවට පැමිණවීමට අපරාධ පරීක්ෂණ අංශ සහ මේ දක්වා බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් සමත් වූයේ නැත. විජය ඝාතනය කිරීමෙන් පසු 1996 සිට වසර දහයක් ඔහුගේ බිරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙරට ජනාධිපතිනිය ලෙස කටයුතු කළ නමුත්, සිය සැමියාගේ ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමට ඇය ස්වකීය විධායක බලය මෙහෙයවූයේද නැත.

එසේ වුවද, ගත වූ වසර 39 පුරා විජය ඝාතනය කිරීමේ චෝදනාව වරෙක ජවිපෙටත්, තවත් වරෙක එජාපයටත් එල්ල කරමින් විජය කුමාරණතුංගගේ මරණය දේශපාලන වේදිකාවේ තොරොම්බල් කර තිබේ. ඒ සෑම අවස්ථාවකම විජයගේ මරණය යොදාගෙන තිබෙන්නේ විජයට සැබෑ ලෙස ආදරය කරන මිනිසුන්ගේ මනාප ඡන්ද බාගන්නා දේශපාලන ව්‍යාපෘතියක් වශයෙනි. ඒ නිසාම බිහිසුණු මරණයකට ගොදුරු වූ විජයට සාධාරණය ඉටු වූයේ නැත.

සැබෑ ලෙසම විජය ඝාතනය කළේ කවුරුද? ඔවුන්ට විජය ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ ඇයි? විජය ඝාතකයන් අධිකරණය හමුවට ගෙන ඒමට නීති අංශ අසමත් වූයේ ඇයි? විජයගේ ඝාතනයේ මේ දක්වා හෙළි නොවී සැඟවී ඇති අබිරහස කුමක්ද? එය මේ අවස්ථාවේ හෝ හෙළි කර ගත්තේ නැති නම් විජය ඝාතකයන් ලෙස දේශපාලන පක්ෂවලට වගකීම් පවරන මේ ඊනියා දේශපාලන ක්‍රීඩාව තවත් බොහෝ කාලයක් ඇදගෙන යනු ඇත.

විජය ඝාතනය කරන ලද්දේ 1988 ශ්‍රී ලංකාවේ අතිශය සංකීර්ණ දේශපාලන වටපිටාවක් පවතින අවස්ථාවකය. 1983 එජාප රජය විසින් මෙහෙයවූ ජාතිවාදි අරගලය යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරන ලද අතර, එය ජනාධිපති ජයවර්ධනගේ අන්තවාදි යටි අරමුණක් ඇති අනීතික ක්‍රියාවක් බව ලෝකයම දැන සිටියේය. ජවිපෙට මෙන්ම රටේ ජනතාවටද හිමි විය යුතු ප්‍රජාතන්ත්‍රවාදි අයිතිය රැකීමට මෙරට වමේ කිසිදු දේශපාලන පක්ෂයක් එදා ඉදිරිපත් වූයේද නැත. වමේ පක්ෂ සියල්ල ජවිපෙ දඩයම් කිරීම සඳහා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සමඟ අත්වැල් බැඳගත්තේය. ඒ පක්ෂවලට අවශ්‍ය ආයුධ රජය විසින් සපයා තිබිණි.

1988 වසර ලබන විට රට තුළ සිවිල් යුද්ධ තත්ත්වයක් පැනනැඟී තිබුණු අතර, රාජ්‍ය අනුග්‍රහය ලැබූ පැරා මිලිටරි කණ්ඩායම් බොහෝ දිස්ත්‍රික්කවල සිවිල් පුරවැසියන් ඝාතනය කරමින්, ම්ලේච්ඡ පාලනයක් ගෙන ගියේය. ශ්‍රීලනිපය, මහජන එක්සත් පෙරමුණ හා ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා ආරම්භ කළ සාකච්ඡාද බිඳවැටී තිබිණි. අගමැති ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා ලෙස ජනාධිපති ජයවර්ධන විසින් නම් කරන ලද්දේ එවැනි වටපිටාවකය.

විජය කුමාරණතුංග නායකත්වය දැරූ ශ්‍රී ලංකා මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය ‘එක්සත් සමාජවාදි පෙරමුණ’ නමින් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබිණි. එක්සත් සමාජවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් විජය ඉදිරිපත් කරන්නට ඔවුන් තීරණය කළේ මේ අතරය. 1988 පෙබරවාරි 21 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මහා සමුළුවක් පවත්වා, විජය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමට එක්සත් සමාජවාදි පෙරමුණ සංවිධාන කටයුතු කරගෙන යමින් සිටියේය. එහෙත් ඊට දින පහකට පෙර පෙබරවාරි 16 වැනිදා විජය කුමාරතුංගට වෙඩි තබා ඝාතනය කරන ලදි.

ජනාධිපතිවරණයේදී තරගකරුවකු ලෙස විජයට මුහුණ දීම සම්බන්ධයෙන් අගමැති රණසිංහ ප්‍රේමදාස පසු වූයේ බරපතළ විචිකිච්ඡාවකිනි. ඊට හේතුව වූයේ විජය ඒ වන විට ජනප්‍රියත්වයේ ඉහළම හිණිපෙත්තේ සිටීමය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසු අගමැති ධුරයට පත් වීමේ සිහින දැක සිටි කොළඹ හිටපු නගරාධිපති සහ නිවාස ඇමැති සිරිසේන කුරේ විජය කුමාරතුංග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දුටුවේ බියකරු සිහිනයක් ලෙසිනි.

විජය ඝාතනයෙන් අවුරුදු නවයකට පසු ජනාධිපති ධුරයට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විජය ඝාතනය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන පද්මනාදන් රාමනාදන්, සරත් එන්. සිල්වා සහ මහාධිකරණ විනිසුරු ධර්මසිරි ජයවික්‍රම ඒ කොමිසමට අයත් වූ අතර, කොමිසමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේ උපාලි ද සිල්වාය.

1995 අප්‍රේල් 14 දින කොමිසම නඩු විභාගය ආරම්භ කළ අතර, 1996 පෙබරවාරි 29 දින කොමිසමේ වාර්තාව අවසන් කළේය. වෙළුම් 15කින් සමන්විත ඒ වාර්තාව පිටු 3,441කින් යුක්ත විය. විජය ඝාතන විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන නිගමනය වශයෙන් දක්වා තිබුණේ ජනාධිපති රණසිංහ‍ ප්‍රේමදාස, ආරක්ෂක නියෝජ්‍ය ඇමැති රන්ජන් විජේරත්න සහ ගාමිණී ලොකුගේ විජය ඝාතනයේ විත්තිකරුවන් බවයි. කෙසේ වෙතත් ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව චුදිත තැනැත්තන්ට විරුද්ධව නඩු පැවරීමක් සිදු කළේ නැත.

විජය ඝාතනය කිරීමත්, එහි චෝදනාව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට පැවරීමත් විජය ඝාතන කුමන්ත්‍රණකරුවන්ගේ මූලෝපාය වූ බව කොමිසම හෙළි කරගෙන තිබිණි. කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළ පිරිස කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේ ඇල්බට් චන්ද්‍රවංකයේ පිහිටි නාගරික ඉංජිනේරු නිල නිවෙසේ සිට මාස කිහිපයක් තිස්සේ කුමන්ත්‍රණය සැලසුම් කර ඇත. අවශ්‍ය තොරතුරු සපයා ගැනීම සඳහා කුමන්ත්‍රණකරුවන් විසින් මහජන පක්ෂයේ දෙවැනි නායක ඔසී අබේගුණසේකර කොළඹ නගරාධිපති නිල නිවෙසට රහසේ කැඳවාගෙන තිබේ. සිරිසේන කුරේගේ පෞද්ගලික පෙජරෝ රථය ඒ සඳහා යොදවා ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පොලොන්නරුව දිසා ලේකම් නීතිඥ ගාමිණී මැදගෙදර 1988 පෙබරවාරි 13 දින පොලොන්නරුවේදී නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදි. ඒ මහතාගේ මෘතදේහය අවසන් කටයුතු සඳහා සීදූව, රද්දොළුවේ, ඇපහේනවත්තේ නිවෙසට ගෙනැවිත් ඇත. විජය කුමාරණතුංග ඝාතනය වන්නට පෙර දින ඒ මරණයට ගෞරව දැක්වීම සඳහා සීදූවට ගොස් තිබේ. පෙබරවාරි 15 දා මැදගෙදර මහතාගේ අවසන් කටයුතු දවසේ සිදු වූ දෙයක් අභාවප්‍රාප්ත මැදගෙදර මහතාගේ පියා වන එස්. මැදගෙදර විසින් 1995 අප්‍රේල් 30 දා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇත.

ඒ සිදුවීම මෙසේය:

“මගේ පුතාගේ අවසන් කටයුතු සිදු කළ 1988 පෙබරවාරි 15 වනදා පස්වරු 2.30ට පමණ විජය කුමාරතුංග මහතා ගම්පහ මන්ත්‍රී ෆීලික්ස් පෙරේරා මහතා සමඟ අප නිවෙසට පැමිණියා. ඒ අවස්ථාවේ නිවෙසට යාර 200ක් පමණ ඈතින් රතුපාට හයිඒස් වෑන් රථයක් නවත්වා තිබෙන බව කිසිවකු මට කීවා. මා එම ස්ථානයට ගිය විට නොහඳුනන පස් දෙනෙකු වෑන් රථයේ සිටියා. මළගෙදර පින්තූර ගැනීම සඳහා පැමිණි බව ඔවුන් කීවා. ඊට ඉඩ දිය නොහැකි බව මා දැන්වූ විට ඔවුන් රූපවාහිනියේ සේවකයන් බවට හැඳුනුම්පත් පෙන්වා මළගෙදර පින්තූර ගැනීම සඳහා ඉහළම තැනින් ඔවුන් එවූ බව කීවා. පසුව නිවෙසට පැමිණි පිරිස විජය මහතාගේද කැමැත්ත ඇතුව පින්තූර හත අටක් ගෙන පිටව ගියා.

“විජය කුමාරණතුංග මහතා එහිදී කිසිදු කතාවක් කළේ නෑ. හවස් වරුවේ පැවති අවමංගල සභාවට ඔහු සහභාගි වූයේත් නෑ. නමුත් එදින රාත්‍රී 8.00 රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විජය කුමාරතුංග මහතා රද්දොළුවේ පැවති මළගෙදරදී ජනතා විමුක්ති පෙරමුණ හෙළා දකිමින් වේගවත් කතාවක් පැවැත්වූ බව සඳහන් කළා. ප්‍රවෘත්ති නිවේදක විසින් විජයගේ කතාව ලෙස සඳහන් කරමින් දීර්ඝ කතාවක් කියෙව්වා. ඒ අතර වරින් වර විජය කුමාරතුංග මහතා මගේ පුතාගේ මෘත දේහයට ගෞරව කරන පින්තූර ප්‍රචාරය කළා. විජය කුමාරතුංග මහතා මගේ පුතාගේ අවමංගල උත්සවයට සහභාගි වී කිසිදු කතාවක් නොකළ බව පවුලේ ප්‍රධානියා ලෙස මා ස්ථිරවම කොමිසමට ප්‍රකාශ කරනවා.”

විශේෂ පරීක්ෂණ කොමිසම විසින් 1988 පෙබරවාරි 15 දා ජාතික රූපවාහිනී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය ඇතුළත් වීඩියෝව නිල වශයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ රූපවාහිනිය කොමිසමට එය දුන්නේ නැත. ඒ වන විටත් එය රූපවාහිනී ප්‍රවෘත්ති අංශයෙන් ඉවත් කරගෙන තිබිණි. විජය කුමාරතුංග, මැදගෙදර මහතාගේ මළගමේදී කළ වේගවත් කතාවක් බව සඳහන් කරමින් ගුවන්විදුලි සංස්ථාවේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයේද දීර්ඝ විස්තරයක් කියවා තිබිණි. කොමිසම ඉල්ලා සිටි විට ඒ ප්‍රවෘත්ති විකාශයේ හඬපටයද අතුරුදන්ව තිබිණි.

මේ සිදුවීම වූයේ විජය ඝාතනයට පෙර දිනදීය. විජය ඝාතනය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට පැටවීම සඳහා මළගෙදරදී විජය විසින් නොකළ මේ කතාව යොදාගෙන තිබිණි. පසු දින – එනම්: පෙබරවාරි 16 දා – උදෑසන 6.30ට විජය කුමාරතුංග ඔහුට අයත් එල්. 300 වර්ගයේ වෑන් රථයෙන් වජිරඤාණ මාවතේ කාර්යාලයට පැමිණෙන්නේ හලාවත යෑම සඳහාය. ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා පුත්තලම් දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තෝරාගැනීමේ සාකච්ඡාවක් එදින හලාවතදී පැවැත්වී ඇත. දේව බණ්ඩාර සේනාරත්න සහ ඇන්ටන් සමරසේකරද ගමනට එක්ව සිටියහ. ඔවුන් ජාඇළ ෆීලික්ස් පෙරේරාගේ නිවෙසට ගොස්, වෑන් රථය එහි දමා, ෆීලික්ස්ගේ කරීනා වර්ගයේ

මෝටර් රථයෙන් හලාවත ගොස් ඇත.

එසේ යන අතරතුර පිරිස මාරවිල බුද්ධි කීර්තිසේන මහතාගේ නිවෙසටද ගොඩ වී ඇත. විජය ඒ නිවෙසේදී හමු වන ලෙස ඔහුගේ මිතුරකු වූ ජේලර්වර‍යකුට පෙර දින දන්වා ඇති අතර, විජය එහි පැමිණ තිබුණේ දැනුම් දුන් වෙලාවට පෙරාතුවය. ජේලර් මිතුරා පැමිණෙන විට විජය ඒ නිවෙසින් පිටව ගියා පමණි. ඔහු නිවෙසේ ආලින්දයේ අසුන් ගත් විට බුද්ධි කීර්තිසේන මහතා නිවෙසේ දුරකතනයෙන් අගමැති ප්‍රේමදාස අමතා

“සර්, අපේ අනාගත ජනාධිපතිතුමා දැන් ඇවිත් ගියා…” යනුවෙන් පවසනු තමාට ඇසුණු බව ජේලර්වරයා කොමිසමට දන්වා තිබේ. විජය දැන්වූ වෙලාවට ප්‍රථම එහි පැමිණ ගොස් තිබූ නිසා තමාට විජය හමු නොවූ බවද ඔහු සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ තමා ඒ නිවෙසේ සිටියදී ඒ අසල පිහිටි කඩයේ හිමිකරු එහි පැමිණ කීර්තිසේන මහතාට ප්‍රකාශ කළේ යතුරුපැදියකින් පැමිණි සැක කටයුතු තරුණයන් දෙදෙ‍නකු සෑහෙන වෙලාවක් කඩය අසල රැඳී සිට ආපසු ගිය බවයි.

විජය කුමාරණතුංග හලාවත ගොස්, ෆීලික්ස් පෙරේරාගේ මෝටර් රථයෙන් පොල්හේන්ගොඩ නිවෙසට පැමිණ, වෙනත් ගමනක් යෑම සඳහා නවතා තිබූ මෝටර් රථය වෙත නැවත පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් එහි පැමිණි දෙදෙනකු මරණීය වෙඩි තැබීම සිදු කර ඇත. වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ ඒ ආසන්නයේ පිහිටි යුද හමුදා කඳවුරේ ඉදිරිපස මුර සේවයෙහි යෙදී සිටි හමුදා භටයන් ද ඉවත් කර තිබූ බව කොමිසමට වාර්තා වී තිබේ. වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ හෙල්මට් පැලඳ නොවන බැවින් සිද්ධිය දුටු අසල්වැසියන් ඔවුන් හොඳින් හඳුනාගෙන තිබිණි. විජය ඝාතකයා ලෙස පසුව අත්අඩංගුවට ගෙන සිටි ලයනල් රණසිංහ සිද්ධිය ඇසින් දුටු තැනැත්තන්ට පෙන්වන ලද නමුත් ඔවුන් කිසිවකු ලයනල් වෙඩික්කරුවා ලෙස හඳුනාගෙන නැත.

විජය මරණයට පත් වන අවස්ථාවේ ඔහුගේ ඇඟිලි අතර ෆීලික්ස් පෙරේරාට අයත් මෝටර් රථයේ යතුර තිබී ඇත. ෆීලික්ස් පෙරේරා කොමිසම හමුවේ සාක්ෂි දෙන අවස්ථාවේ තමා පොලීසියට දුන් කටඋත්තරයේදී සඳහන් කළේ කුමක්දැයි කොමිසම විමසා ඇත. එවිට ඔහු ප්‍රකාශ කර තිබුණේ විජයගේ මරණයෙන් වසර නවයක් ගතව ඇතත් පොලීසිය කිසිදු අවස්ථාවක තමාගෙන් කටඋත්තරයක් නොගත් බවයි.

විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් බොහෝ පිරිසක් ගාමිණී ලොකුගේ වෙත ඇඟිල්ල දිගු කළ විට කොමිසම හමුවේ සාක්ෂි දීමට තමාට අවස්ථාව දෙන ලෙස ගාමිණී ලොකුගේ කොමිසමෙන් ඉල්ලා තිබිණි. එසේ ඉල්ලා සිටියත්, ඔහු සාක්ෂි දීම සඳහා කොමිසම හමුවට පැමිණ නැත.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූ ප්‍රේමසිරි පෙරේරා විශේෂ පරීක්‍ෂණ කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දීමට ඉල්ලා ඇතත් ඔහුගේ ඉල්ලීම කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුට ඒ වන විට පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස තනතුරක් සහ පදිංචිව සිටීමට නිවෙසක්ද ජනාධිපතිවරයා විසින් දී තිබිණි.

අපරාධය සිදු වූ ස්ථානයට කිරුළපන පොලීසිය පැමිණ තිබෙන්නේ මෝටර් රථයකින් පොලිස් ස්ථානයට ගොස් දැනුම් දීමෙන් පසුවය. විජය කුමාරණතුංගගේ මරණය පසු දින ජනමාධ්‍යවල සිරස්තලය වූ අතර, විජය ඝාතනය කිරීමේ වගකීම දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය පිළිගෙන ඇතැයිද මධ්‍ය වාර්තා කර තිබේ. විජය ඝාතනය කර සුළු වෙලාවක් තුළ එහි වගකීම තමන් භාර ගත් බවට දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය නමින් මුද්‍රණය කළ ලියවිල්ලක්ද කොළඹදී ප්‍රසිද්ධියේ බෙදා හැර ඇත. මේ සියල්ල ඝාතන කුමන්ත්‍රණයේම අතුරු කොටස්ය.

විජය ඝාතනය කිරීමෙන් වසරක් ගත වන තුරුත් ඝාතකයන් කවුද යන්න හෙළි කරගැනීමට හෝ ඒ සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් විය.

යථොක්ත සිදුවීමෙන් වසරකට පසු – එනම්: 1989 මාර්තු මස 13 දින – ලයනල් රණසිංහ නමැත්තකු අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඒ තැනැත්තා විජය ඝාතකයා ලෙස ප්‍රසිද්ධියට පත් කෙරිණි. එයින් දින 5කට පසු ලයනල් රණසිංහ විසින් විජය ඝාතනය සහ තවත් බොහෝ ඝාතන තමා විසින් කරන ලදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනු ලැබූ දීර්ඝ කටඋත්තරයක් බව කියන ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

එකී විමර්ශන වාර්තා නීතිපතිවරයාට යොමු කොට අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹීමට එවකට පැවති අධිකරණ අමාත්‍යාංශය ක්‍රියා කර නැත. මාස හයකට ආසන්න කාලයක් රහස් පොලීසියේ රඳවා සිටි ලයනල් රණසිංහ 1989 ඔක්තෝබර් 4 දා රාත්‍රියේ පාදුක්ක, වග ඉරිදා පොළ ප්‍රදේශයට ගෙන ගොස් වෙඩි තබා මරා දමා තිබේ. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරණතුංගගේ ඝාතකයා ලෙස ලයනල් රණසිංහ හුවා දක්වමින් ඔහුගේ පාපොච්චාරණය ලෙස පොලීසිය ගත් කටඋත්තරය ග්‍රන්ථයක් ලෙසද ප්‍රකාශයට පත් වී ඇත. එය කිසි සේත්ම අපරාධ නඩු කටයුත්තකදී අධිකරණයට ඉදිරිපත් කරන ලද නෛතික ලියවිල්ලක් නොවේ.

මෙහිදී මතු වන අතුරු ප්‍රශ්න ගණනාවක් ඇත. විජය කුමාරණතුංග ඝාතකයා ලයනල් රණසිංහ බව ආරක්ෂක අංශ හෙළි කර ගත්තා නම්, ඔහුට විරුද්ධව නඩු පැවරුවේ නැත්තේ මන්ද? එසේ නොකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ කවුරුද? විජය ඝාතනය පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම විසින් රණසිංහ ප්‍රේමදාස, විත්තිකරුවකු ලෙස හඳුනාගත්තා නම්, චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය එය වසන් කළේ ඇයි? ඒ වන විට පැවති දේශපාලන පසුබිම අනුව විජය ඝාතනය දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ ගිණුමට බැර කොට අතපිසදාගැනීම වඩාත් සුදුසු දේශපාලන උපාය මාර්ගය ලෙස ඔවුන් තීරණය කළා විය හැකිය.

ලයනල් රණසිංහගේ පාපෝච්චාරණය ලෙස ජනගතව ඇති කතාව අරාබි නිසොල්ලාසය වැනි ප්‍රබන්ධයකි. ලයනල් අධිකරණයක් හමුවට ගෙනාවා නම්, සත්‍යය හෙළි වන බව විජය ඝාතකයෝ දැන සිටියහ. ඒ නිසාම නීති කෘත්‍යයකින් තොරව ලයනල් රණසිංහ මරාදමා, විජය ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවසන් කළා විය හැකිය.

විජය කුමාරණතුංග ඝාතනය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් අයකු වූ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාගෙන් විජය ඝාතනයේ මහ මොළකරු කවුරුදැයි මේ ලියුම්කරු විසින් විමසන ලදුව, ඒ මහතා දුන් පිළිතුර මෙසේය:

“විජය ඝාතනය රණසිංහ ප්‍රේමදාසගේ වැඩක්. ඒක කොමිසමේ සාක්ෂි විභාග කිරීමේදී ඉතා හොඳින් පැහැදිලි වුණා. අගමැති ප්‍රේමදාස බය වුණා, විජය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම එයාට බරපතළ අවාසියක් වෙයි කියා. රණසිංහ ප්‍රේමදාස වග උත්තරකරු බව අපි කොමිෂන් සභාවේ තීන්දුවට ඇතුළත් කළා. ඒත් කොමිෂන් වාර්තාව පිට වන විට ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවතුන් අතර නැහැ. වෙඩික්කාරයාත් ජීවතුන් අතර නැහැ. ඉතින් කාට විරුද්ධවද නඩු යන්නේ?”

උදේනි සමන් කුමාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division