කිසිදු රෝගි තත්ත්වයකට ගොදුරු නොවූ කෙනකු මෙලොව සිටිය නොහැකි බව ස්ථිරය. ජීවිතයේ එක්වරක් හෝ ඔබ දන්නා හෝ නොදන්නා රෝගී තත්ත්වයකින් රෝහල්ගත වී ඇතුවාට සැකයක් නැත. ඒ රෝගය කුමක්ද? එය කුමන තත්ත්වයක පවතී ද? ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? යන්න මෙන්ම ඒ සඳහා ප්‍රතිකාර නියම කරනු ලබන්නේ ද රෝගය පිළිබඳ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය සම්බන්ධයෙන් සිදු කෙරෙන සියලු පරීක්ෂණ හා පර්යේෂණ සිදු කෙරෙන්නේ බොරැල්ලේ පිහිටි Medical Research Institute (MRI) හෙවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් බව ඔබ දැන සිටියාද? අප වෙනුවෙන් එවන් අනගි සේවාවක් ඉටු කරන බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය පසුගියදා සිය 125 වැනි සංවත්සරය සමරමින් සිය සේවාව තවදුරටත් වැඩිදියුණු කර ශක්තිමත් හා ගුණාත්මක සේවාවක් සැලසීමට කටයුතු කිරීමත් අප අගය කළ යුතුය.
‘ද සොයිසා’ රෝහලේ හිමිකාරීත්වය දරන හෙන්රි චාල්ස් ද සොයිසාගේ පුත් ජේ.ඩබ්.ඩී. සොයිසා විසින් වසර 1900දී මෙය ඇරැඹියේ ‘ද සොයිසා බැක්ටීරිලොජිකල් ඉන්ස්ටිටියුට්’ නමිනි. ඒ එංගලන්ත මහ රැජනගේ වජ්‍ර ජයන්තිය උදෙසාය. වැඩ බලන අධ්‍යක්ෂවරුන් දෙදෙනකුගේ පාලනය යටතේ ඇරැඹි මෙය ව්‍යාධිවේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ඇල්ඩෝ කැස්තලානී විසින් අප්‍රිකාවේ පැවති ස්ලීපින් සික්නස් රෝගයට හේතුකාරකය සොයාගැනීමත් සමඟ ලොව වඩාත් ප්‍රකට විය. ඉතාලි ජාතිකයකු වූ ඔහු 1902දී පළමු ලෝක යුද්ධයත් සමඟ සිය රට බලා පිටත් වූයේ ඉතාලි පුරවැසිභාවය අහෝසි වේදැයි සැකයෙනි.
1909දී වසූරිය සහ උණ සන්නිපාතය සඳහා නිපදවනු ලැබූ එන්නත් ගැන සලකා බැලීමේදී ගම්‍ය වන්නේ මීට සිය වසකට ඉහතදීත් මෙරට සෞඛ්‍ය අංශය කොතරම් ඉහළ තත්ත්වයට තිබුණේද යන්න නොවේද? සිය වසකටත් පෙර මෙරට එන්නත්කරණ ඒකකයක් තිබුණා කියන්නේම අප රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉහළම තක්සේරුවකි. 1936 වනවිට පාස්චර් ආයතනයත් සමඟ සම්බන්ධ වී පරීක්ෂණ කිරීමට පටන් ගැනීම එහි වටිනාකම තවදුරටත් ඉහළ නංවන්නට සමත් විය. ගොඩනැඟිලි හතරකින් සමන්විතව ගොඩනැඟුණු මේ ආයතනයේ 1937දී ඉදි කළ පැරණිතම ගොඩනැඟිල්ල වන ‘එන්ටමිලොජි ස්කූල්’ ගොඩනැඟිල්ල අදද දැකගත හැකිය.
එතෙක් ‘ද සොයිසා බැක්ටීරිලොජිකල් ඉන්ස්ටිටියුට්’ ලෙස ප්‍රචලිතව තිබූ මෙම ආයතනය ඉංග්‍රීසි පාලනයෙන් මිදීමටත් ප්‍රථම එනම් 1946 වසරේදී විමලසූරිය නමැති ශ්‍රී ලාංක්ය අධ්‍යක්ෂවරයකු යටතට පත්වීමත් සමඟ අද දක්නට ලැබෙන Medical Research Institute හෙවත් වෛද්‍ය පර්යේෂණ ආයතනය බවට පත් විය. වසර 125ක් සපුරන මොහොතේ ආයතනයේ වත්මන් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය සුරංග දොළමුල්ලය. ලෝ ප්‍රකට ඉතිහාසයක් හිමි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉදිරි දැක්ම පිළිබඳ අපි ඔහුගෙන් විමසීමක් කළෙමු.
“බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය කියන්නෙ ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන ආයතනයක්. ඉංග්‍රීසි පාලන සමයේ – ඒ කියන්නේ: 1900 වසරේ – එංගලන්ත මහ රැජනගේ ඩයමන්ඩ් ජුබිලිය සැමරීම සඳහා ජේ.ඩබ්.ඩී. සොයිසා විසින් ‘ද සොයිසා බැක්ටීරිලොජිකල් ඉන්ස්ටිටියුට්’ කියලා තමයි මේ ආයතනය ආරම්භ කරලා තියෙන්නේ. විදෙස් අධ්‍යක්ෂවරුන් යටතේ පාලනය වුණු ආයතනය 1946 වසරේදී විමලසූරිය කියන සිංහල අධ්‍යක්ෂවරයා යටතට පත් වීමත් එක්ක වෛද්‍ය පර්යේෂණ ආයතනය එහෙම නැති නම් ‘මෙඩිකල් රිසර්ච් ඉන්ටිටියුට්’ බවට පත් වුණා.
“ලංකාවේ සෞඛ්‍ය හා සම්බන්ධ සියලු පර්යේෂණ සිදු වන්නේ මේ ආයතනයෙන්. ලංකාවේ බොහෝ දෙනෙක් හරියටම දන්නෙ නැහැ මේ ආයතනයෙන් සිදු වන සේවාව ගැන. රෝහල්වල කරන්න බැරි සියලු පරීක්ෂණ කරන්නෙ මෙතනින්. සමහර අවස්ථාවල රෝහල්වල කරන පරීක්ෂණ නැවත පරීක්ෂා කරගන්නත් මෙහේට එවනවා. ඊට අමතරව අපිත් පරීක්ෂණ කරනවා. National reference Laboratory කියලා ලංකාවටම තියෙන්නෙ මේක විතරයි.
“අපේ ආයතනයෙන් සේවාවන් රාශියක් කෙරෙනවා. Virology, Parasitology, MLT School, Pathology, Entomology, Clinical Pharmacology, Molecular Biology, Entomology School, Rabies,Microbiology Immunology, Radio Immunoaassy, Clinical Nutrition, Mycology, Hematology, Natural Products, Animal Research, Food & Water Chemical Pathology කියන රසායනාගාර සියල්ලක්ම තියෙනවා. ජාතික රෝහලේ වුණත් තියෙන්නේ රසායනාගාර පහයි. ලංකාවේ රසායනාගාර මට්ටමේ ඉහළින්ම තියෙන්නේ අපේ ආයතනය. ඒ හරහා ජනතාවට කර්තව්‍යයන් රාශියක් සිදු කෙරෙනවා. පහුගිය කාලයේ කොවිඩ් සඳහා විශාල වශයෙන් පරීක්ෂණ කෙරුණා. වයිරස් පරීක්ෂාව සඳහා ලංකාවේ තවත් ආයතන 4ක් තිබුණට ජල භීතිකාවට තියෙන්නේ අපේ ආයතනය විතරයි. අනෙක් සෑම රෝහලකටම එහි ගයිඩ් ලයින් එක දීල තිබුණත් හැම අවස්ථාවේම උපදෙස් ලබාගන්නේ අපෙන්. ඩෙංගු ගත්තත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සංවිධානය කරන වැඩසටහන්වල ඩෙංගු අඩුවෙනවද වැඩිවෙනවද කියල සියලු පරීක්ෂණ කෙරෙන්නේ මෙතනින්. ඒ වගේම අයඩීන් වැනි අයන ඌනතා, තැලසීමියාව, පෝලියෝ, රුබෙල්ලා, කක්කල් කැස්ස, ඉන්ෆුවන්සා, ජැපනීස් එන්සෙපලයිටීස්, මී උණ, ප්‍රතිජීවක ප්‍රභේද, ආහාරවලට යොදන ස්වාභාවික නොවන දේ වගේම කලරීන් පරීක්ෂාව, ජලය සඳහා වගේම බෝ නොවන රෝග සඳහාම. අතිවිශාල පරීක්ෂණ සංඛ්‍යාවක් දවසේ පැය 24 පුරාම අප ආයතනයෙන් අඛණ්ඩව සිදු කෙරෙනවා. මැලේරියාව තුරන් කිරීම වගේම රුබෙල්ලා, පෝලියෝ සඳහා උසස්ම පරීක්ෂා සිදු කෙරෙන්නේ අපේ වෛද්‍ය පරයේෂණ ආයතනයෙන්. MRI කියන්නෙ එක රසායනාගාරයක් විතරයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර 72ක් විතර තියෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයෙත් 180-200ක් විතර. ඒ හැම රසායනාගාරයකම තත්ත්ව පාලනය පිළිබඳ අධීක්ෂණය කරන්නේ අපි. ඒ ඒ අය කරන පරීක්ෂණවලත් යම්කිසි තත්ත්ව පාලනයක් කරනවා.”
බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් ඉගෙනගන්නා සහ පුහුණුව ලබන විශාල පිරිසක් සිටින බවද අධ්‍යක්ෂවරයා තවදුරටත් පවසා සිටියේ ඉන් අප රටට මෙන්ම ලොවටම විශාල මෙහෙයක් සිදු වන බව පෙන්වා දෙමිනි.
“MLT School එකෙන් වගේම Entomology School එකෙන් ඉගැන්වීම් සහ පුහුණු කිරීම් කටයුතු සිදු කෙරෙනවා. එම්.බී.බී.එස්., පශ්චාද් උපාධි, රසායනාගාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පුහුණුවීම් කරන්නේ අපි. කායිකවේදය, ළමා සෞඛ්‍ය පිළිබඳ කෙමිකල්, නියුට්‍රිෂන් පිළිබඳ මේ හැම කෙනෙක්ම පුහුණු කරන්නෙ අපි. ඊට අමතරව රජයේ මෙන්ම පෞද්ගලික සහ විදේශීය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයටත් යම්කිසි ක්‍රමවේදයක් යටතේ මෙහි ඉගෙනගන්න අවස්ථා ලබාදීමත් සිදු කරනවා.
“අනෙක් විශේෂ කාරණය තමයි ලංකාවට ආනයනය කරන එන්නත් සහ සීරම්වල කාණ්ඩ නිදහස් කරන්නෙත් මෙහෙන්. ඒ වගේම දේශීය මෙන්ම සැමන්, පරිප්පු, සහල් වැනි ආනයනික ආහාර පරීක්ෂාවට ලක් කර පරිහරණයට සුදුසුයි කියන සහතිකය නිකුත් කරන්නෙත් අපේ ආයතනයෙන්. ඊට අමතරව අප වෙත යොමුකරන සියලු මදුරු විකර්ෂක භාවිතයට සුදුසු බවට තහවුරු කරන්නෙත් අපි. ඊටත් අමතරව ඇලජි පරීක්ෂණ පිළිකා පාලනය සඳහාත් පරීක්ෂණ කරනවා.”
ශ්‍රී ලංකාවේ එකම සත්ත්ව පරීක්ෂණ රසායනාගාරය ඇත්තේද මේ ආයතනය තුළ බව අප හා පැවසුවේද අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොළමුල්ලය. “ලංකාවේ එකම සත්ත්ව පරීක්ෂණ රසායනාගාරය තියෙන්නෙත් අපේ ආයතනයේ විතරයි. වෛද්‍ය විද්‍යාව සඳහා අන්තර්ජාතික වශයෙන් නිර්දේශ කළ සතුන් පමණයි අප මෙහි පරීක්ෂණ සඳහා යොදාගන්නේ. හාවා, මීයා, ගිනිපික්ස් වගේ මිනිසුන්ට සමාන ජාන ඇති සතුන්ගේ රුධිරය පරීක්ෂණ සඳහා යොද ගන්නවා. රුධිරගත සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල්, පිළිකා, අසාත්මිකතා සඳහාත් පරීක්ෂණ කෙරෙනවා. ප්‍රතිදේහ අඩු වීම පරීක්ෂා කරලා බෙහෙත් නියම කරන්නෙත් මේ ආයතනයෙන්. ජලභීතිකා තත්ත්වයේදී සතුන්ගේ මෙන්ම මිනිසුන්ගේත් සාම්පල් පරීක්ෂාවට ලක් කරනවා. පැය 24 මුළුල්ලේම මෙම ආයතනයෙන් සේවය ලබාගන්න පුළුවන්. NMRA, MSD, SPC ආයතනවලට පරීක්ෂණ කරන විදිහ, අවශ්‍ය උපකරණ වගේම ප්‍රතිකාරක ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් උපදෙස් හා දැනුම ලබාදෙන්නෙත් අපි.
“ජාතික හා අන්තර්ජාතික මට්ටමින් සම්මානයට පාත්‍ර වුණු ආයතනයක් විදිහට වසර 125ක් පිරීම නිමිත්තෙන් මෙතෙක් මහජනතාවට දුන් සේවාවට වඩා ගුණාත්මක සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ සේවාවක් ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වසරවල දත්ත විශ්ලේෂණය කරලා දැඩි පරිශ්‍රමයකින් වසර 5ක වැඩපිළිවෙළක් අපි මේ වනවිටත් සකස් කරලා තියෙනවා.
ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් බලපාන ඕනෑම රෝග තත්ත්වයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට පරීක්ෂණ ක්‍රමවේදයන් තවත් වැඩිදියුණු කරලා ක්‍රමවත්ව ඉදිරියට ගෙනයෑම වගේම සියලු සේවක මණ්ඩලයේ තත්ත්වයත් උසස් කිරීමටත් කටයුතු කරනවා. ආයතනයේ ගොඩනැඟිලිවල ව්‍යූහයේ වෙනස්කම් මඟින් නවීකරණය කිරීමත් සැලසුමට අන්තර්ගතයි.
“ඒ වගේම රට තුළ තියෙන වැදගත් ආයතන වගේම අන්තර්ජාතික ආයතන හා සම්බන්ධ වෙමින් ඉදිරියේදී පරීක්ෂණ සහ පර්යේෂණ සිදු කරන්නත් සැලසුම් කරනවා. සෑම මසකම විශේෂ දේශන මාලාවක් පැවැත්වීමටත් නියමිතයි. ඒ වගේම ලංකාවේ නන් දෙසින් අප ආයතනයට ගෙන එන පරීක්ෂණ සාම්පල් ආරක්ෂිතව ගෙන ඒම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසීමත් එහි අඩංගුයි.
බයෝසේප්ටි ලෙවල් 3 කියන අතිදියුණු රසායනාගාර උපකරණය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉතාම ඉක්මනින් ලැබේවි කියන බලාපොරොත්තුවත් තියෙනවා. හැම දිශාවකින්ම අපේ සේවය තව තවත් වර්ධනය කරමින්, දකුණු ආසියාවේ අනෙක් රසායනාගාර හා එක්ව කටයුතු කරමින් එහි නායකත්වය ගෙන ශක්තිමත් හා ගුණාත්මක සේවාවක් රටේ ජනතාවට සැලසීමට කටයුතු කරනවා.”
සෞඛ්‍ය ක්ෂේත්‍රය අප වෙනුවෙන් මෙවන් මෙහෙවරක් ඉටු කරද්දී නිවැරැදි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූල වෙමින් නීරෝගිබව උතුම්ම ලාභය කර ගන්නට අපිද වෙහෙසෙමු.
lනාමලී ගමගේ
ඡායාරූප – දුෂ්මන්ත මායාදුන්නේ