Home » ධවල මන්දිරයට වෙසක් උලෙළ ගෙනගිය කටුගස්තොට උපරතන හාමුදුරුවෝ

ධවල මන්දිරයට වෙසක් උලෙළ ගෙනගිය කටුගස්තොට උපරතන හාමුදුරුවෝ

by sachintha
February 15, 2025 12:27 am 0 comment

කතෝලික පිරිස නත්තල් උත්සවය සමරනවා මෙන් බුදු පියාණන්ගේ උත්පත්තිය සිහි කරන වෙසක් උත්සවය එරටේ පවත්වන්නට ලැබෙන දුර්ලභ අවස්ථාව උදා කරගැනීමට උපරතන හිමියන් ඇතුළු එරට බෞද්ධ ජනතාව භාග්‍යවන්ත වූහ.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය හා භාවනාව පිළිබඳ උපදේශක, උතුරු අමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති කටුගස්තොට උපරතන නාහිමියන් සමඟ ‘සිළුමිණ’ කළ සංවාදයකි.

වසර 1954 දී අප්‍රේල් මස මහනුවර, කටුගස්තොට සිරිමල් පාඬිගම නමින් උපත ලැබූ උන් වහන්සේ සහෝදරියන් අටකගෙන් සහ ස‍‍හෝදරයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නාය. ගොවිතැන සිය ජීවනෝපාය කර ගත් ජේමිස් ඩයස් පාඬිගම නම් උන් වහන්සේගේ පියාගේ මුල්ගම වූයේ මාතර හබරාදූවයි. එමෙන්ම වීරසිංහ ආරච්චිගේ සානුහාමිනේ නම් මව මහනුවර, සුදුහුම්පොළ පදිංචිකාරිනියක් වූවාය. දියබෙදුම, ඉරහඳකෙටූවැව විද්‍යාලයෙන් සහ මලන්දෙණිය විද්‍යාලයෙන් අවුරුදු දහය දක්වා ඉගෙනුම ලබන උන් වහන්සේ අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හේනේපොල ශ්‍රී ගුණරතන නාහිමි සහ මුරුන්දෙණියේ ශ්‍රී රතනපාල හිමියන් යටතේ ‘උපරතන’ යන නම ගෙන පැවිදි දිවියට ඇතුළත් වූහ. උන් වහන්සේගේ මුත්තණුවන්ද පැවිදි දිවියට ඇතුළත්ව සිටි හෙයින් තම මුනුපුරාද පැවිදි දිවියට ඇතුළත් කරගැනීමට ඔහුටද විශාල බලාපොරොත්තුවක් විය. වර්ෂ 1965දී කුරුණෑගල, නාරම්මල, රංවලගෙදර ශ්‍රී බෝධිරුක්ඛාරාමය පන්සලට ඇතුළත් කරන උන් වහන්සේ පසුව කුරුණෑගල මලියදේව විද්‍යාරක්ෂක පිරිවෙනටද යොමු ‍කෙරිණි. කිරිබත්කුඹුරේ සෝනුත්තර ස්වාමීන් වහන්සේ කටුගස්තොට උපරතන හිමියන්ගේ නායක හිමියෝ වූහ.

උන් වහන්සේගේ ගුරු හිමියන් වහන්සේ වන මලන්දෙණියේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙහි විසූ කිරිබත්කුඹුරේ සෝනුත්තර හිමියෝ අමෙරිකාවේ ථේරවාදි බුදු දහම සහ භාවනාව පිළිබඳ විශ්වවිද්‍යාලවල දේශනා පවත්වමින්, ධ්‍යාන සම්බන්ධව පොත්පත් රචනා කරමින්, අමෙරිකන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියද ලබා ගත් හිමි නමකි. මේ වන විට ඉංග්‍රීසි භාෂාවෙන් ථේරවාදි ධර්මයේ දර්ශනය හා භාවනාව පිළිබඳ පොත් විශාල ප්‍රමාණයක්ද රචනා කර තිබේ. කටුගස්තොට උපරතන හිමියෝ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හදාරා අවසන් කළද උපාධි ප්‍රදානෝත්සවයට වත් නොසිට 1982 වසරේ මුල් භාගයේදී තම ගුරු හිමියන්ගේ ආරාධනාවෙන් අමෙරිකාව බලා පිටත් වූහ. උන් වහන්සේගේ ඇසුර හේතුවෙන් භාවනාව සහ ත්‍රිපිටක ධර්මය හා ථේරවාදි ධර්මය පිළිබඳ කටයුතු කිරීමට උපරතන හිමියන්ටද අවස්ථාව ලැබිණි. එමෙන්ම එක් එක් රටවලට අයත් තානාපති කාර්යාල රාශියක් වොෂිංටන් නගරයේ දක්නට ලැබෙන නිසාත්, නොයෙක් රටවල පිරිස් එහි ජීවත් වන නිසාත් බහුතර පිරිසක් මුණ ගැසීමට වගේම උගත් පිරිසක් ආශ්‍රය කිරීමටද උන් වහන්සේට හැකියාවක් ලැබිණි. එහෙත් එවැනි රටක හිමි නමක ‍ලෙස මාර්ගයක ගමන් කරන විට පවා විවිධ ගැටලුවලට මුහුණ දීමට උපරතන හිමියන්ට සිදුව තිබේ. එසේ වන්නට හේතු වී ඇත්තේ එවැනි රටක ජීවත් වන්නන්ට චීවරය හුරු නොවීමත්, එකල සමාජයේ බුදු දහම පිළිබඳව මනා අවබෝධයක් නොතිබීමත්ය. ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ආගමකට සම්බන්ධ අයකු ලෙස ඔවුහු මුලින් සිතූවත් ‘මම භික්ෂුවක්’ කියා හඳුන්වා දීමට උපරතන හිමියෝ ඒ අවස්ථාවම ප්‍රයෝජනයට ගත්හ. අමෙරිකාවේ සිටින කාලයේ වොෂිංටන් නගරයේ කොලොම්බියා දිස්ත්‍රික් විශ්වවිද්‍යාලයේ (UDC) උපාධිය සඳහාද අධ්‍යාපනය ලැබූ උන් වහන්සේට විවිධ විදෙස් රටවල පිරිස් සමඟ කටයුතු කිරීමටද අවස්ථාව හිමි විය. “බුදු දහම කියන්නෙ මොකක්ද?, බුදු හාමුදුරුවො කියන්නෙ කවුද?, සිවුර කියන්නෙ මොකක්ද?” යන ගැටලු සඳහා පිළිතුරු සමාජගත කරමින් ඒ අය අසන ප්‍රශ්නවලට පිළිතුරු සමාජගත කරමින් එමඟින් ධර්ම සන්නිවේදන කටයුතු මඟතොටේදී පවා කිරීමට සිදු විය. අමෙරිකාවේ ධර්ම ප්‍රචාරක කටයුතු එසේ ආරම්භ කරන උපරතන හිමියන්ට තම නාහිමියන්ගේ ම‍ඟෙහිම ගමන් කිරීමට උන් වහන්සේගේ අනුදැනුම සහ උපදෙස්ද මනා පිටිවහලක් විය. එමෙන්ම මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල් මෙන්ම අන්‍ය ආගමිකයන් සමඟ එකතුව වොෂිංටන් නගරයේ කටයුතු කිරීමට ලැබීමෙන් අත්දැකීම් සම්භාරයක් එක් කරගැනීමට උපරතන හිමියන්ට හැකි විය.

එමෙන්ම ඒ වන විට අමෙරිකාවේ ජීවත් වූ බෞද්ධ පිරිස ශ්‍රී ලාංකික බෞද්ධ, තායි බෞද්ධ සහ වියට්නාම් බෞද්ධ ලෙස කොටස් කිහිපයකට බෙදී කටයුතු කළහ. IBAA සංගමයේ උපරතන හිමියෝ සියලු පිරිස් එකතුව කමිටුවක් නිර්මාණය කරමින්, ඒ මඟින් විශාල ශක්තියක් නිර්මාණය කිරීමට සමත් වූහ.

බෞද්ධයන් ලෙස විශාල පිරිසක් ඒ සඳහා එක් වීම හේතුවෙන් එරටේ නායකයන්ට පවා බෞද්ධ ජනතාව මඟහැරීමට පුළුවන්කමක් නොතිබිණි. ධවල මන්දිරයේ ජනාධිපතිවරකු පත් වූ විට බෞද්ධයන් හැර සර්වාගමිකයන් සියල්ල එකතු වී නව නායකයාට ආශීර්වාද කළද බෞද්ධ ආගම නියෝජනය කරමින් ඒ සඳහා කිසිම අයෙකුට කැඳවීමක් නොකරන බැවින් එරට බෞද්ධ ජනතාව අතර දැඩි කනගාටුවක් පැවතිණි. කාලයක් තිස්සේ එරටේ නායකයන්ගෙන් කළ ඉල්ලීම්වලටද කිසිදු ප්‍රතිචාරයක් නොවීය. ඒ අතරතුර හින්දු ආගමික පූජකවරුන්ගේ උපකාරය සහ අනුදැනුම මත බෞද්ධ ආගමික පිරිස කරුණාව, මෛත්‍රීය පතුරුවන පිරිසක් ලෙස එරට නායකයන්ට හඳුන්වා දෙන ලදි. කතෝලික පිරිස නත්තල් උත්සවය සමරනවා මෙන් බුදු පියාණන්ගේ උප්පත්තිය සිහි කරන වෙසක් උත්සවය එරටේ පවත්වන්නට ලැබෙන දුර්ලභ අවස්ථාව උදා කරගැනීමට උපරතන හිමියන් ඇතුළු එරට බෞද්ධ ජනතාව භාග්‍යවන්ත වූහ.

අමෙරිකාවේ බෞද්ධ ජනතාව අතර බුදුදහම සහ දර්ශනය ප්‍රචලිත කරනවා වගේම අමෙරිකානු ජනතාව අතරේද එවැනි සබඳතාවක් නිර්මාණය කරගැනීමටද උපරතන හිමියන්ට අමෙරිකාවේ තිබෙන ප්‍රධාන විශ්වවිද්‍යාලයක් වන Amarican University උපකාරි විය.

ඒ පිරිසත් සමඟ බුදුදහම පිළිබඳ සාකච්ඡා කිරීම සහ භාවනා කටයුතු ආදියද සිදු කිරීම හේතුවෙන් ඔවුන්ට පල්ලියෙන් ලැබෙන දැනුවත්කමට අමතරව නිදහසේ බෞද්ධ ආගම පිළිබඳවද සෙවීම ආරම්භ කළහ. බුදු රජාණන් වහන්සේ මනුෂ්‍ය‍යකු ලෙස ඉපිද, බුද්ධත්වය ලබා, බුදුවරයකු ලෙස පිරිනිවන් පෑ නිසා සෑම ආගමකටම වඩා බුදු දහම සුවිශේෂ වන්නේය යන්නට එරට ජනතාවට මනාව කරුණු පැහැදිලි කරදීමට උපරතන හිමියෝ සමත් වූහ.

එරටේ සිටි පිරිස් මුල් අවස්ථාවේදී විරෝධයක් දැක්වුවත් බුදු රජාණන් වහන්සේ, උන්වහන්සේගේ දර්ශනය, චතුරාර්ය සත්‍ය ධර්මය මෙන්ම අටලෝ දහම පිළිබඳව උපරතන හිමියන්ගේ විග්‍රහයන් හේතුවෙන් ඔවුන් තුළද ප්‍රබෝධයක් ඇති විය. බුදු දහමට අයත් විවිධ පොත්පත් ඇසුරු කිරීමට පටන් ගත් ඔවුහු බෞද්ධ පොත්පත් ඇසුරින් බුදු දහම පිළිබඳ උපරතන හිමියන්ගෙන් ප්‍රශ්න කර කරුණු දැනගැනීමටද පෙලඹුණහ.

පළාත් 50හිම ජීවත් වන පිරිස් එක් එක් අවස්ථාවලදී නගරයට පැමිණෙන හෙයින් ඒ පිරිස උපරතන හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බෞද්ධ කටයුතු සහ බෞද්ධ විහාරය පිළිබඳ තොරතුරු දැන බෞද්ධ ආගමික කටයුතු හා සම්බන්ධ වූහ. ඒ පිරිසගේ සහනය සඳහා බුදු දහමේ තිබෙන අගයත්, බෞද්ධ පොතපතේ තිබෙන වටිනාකමත් පෙන්වා දීමට උපරතන හිමියන්ට අවස්ථාව ලැබිණි.

සර්වාගමික පදනම තුළත්, රටවල් ලෙස එකතු වී බෞද්ධ සංගමයක් ලෙස අනෙක් ආගම් සමඟත් සාමකාමිව ධර්මය සහ විමුක්ති රසය බෙදා හදා ගනිමින් කාලයක් තිස්සේ එකමුතුව වැඩ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස උපතිස්ස හිමියන්ට එරට පන්සල්වලට වැඩම කරමින් ධර්ම සාකච්ඡා පවත්වන්නටද අවස්ථා උදා විය. එවැනි කටයුතු මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමද සිදු විය. එතුළින් තවත් ධර්ම ප්‍රබෝධයක් ඇතිව ශක්තිමත්ව වැඩ කටයුතු කිරීමට අවස්ථාව උදා විය. විවිධ අවස්ථාවලදී එරටේ නායකයින්ගෙන් ඉල්ලීම් සිදු කළ විට ප්‍රතික්ෂේප වූ නමුදු 2022 වසරේදී ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා යටතේ පැවති පාලන සමය තුළදී ධවල මන්දිරය තුළ පැයක පමණ කාලයක් වෙසක් උත්සවය පවත්වන්නට උපරතන හිමියෝ සමත් වූහ.

විවිධ සංස්කෘතික අංගයන්ද එක් කරමින් උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වුවත් ධර්ම සාකච්ඡාවක්, මල් පහන් පූජාවක් සහ බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් වෙසක් පහන් පත්තු කිරීම ආදියෙන් මුලින්ම එම කටයුත්ත ආරම්භ කෙරිණි. වසර හතරක් කිසිදු බාධාවකින් තොරව සාර්ථකව එම කටයුත්තේ නියැළුණු උපරතන හිමියෝ මේ වසරේද මැයි මාසයේදී නව ජනාධිපතිවරයා යටතේ වෙසක් උත්සවයක් සූදානම් කර තිබේ.

එමෙන්ම මීළඟට උන් වහන්සේගේ බලාපොරොත්තුව වන්නේ ධවල මන්දිරය තුළ වෙසක් උත්සවය පැවැත්වීමෙන් පසුව වොෂිංටන් නගරයේ ජනාධිපතිවරයා වෙනුවෙන් සාදා තිබෙන ස්මාරකයේ සංස්කෘතික සංදර්ශන සහිතව පෙරහරක් පවත්වා සංස්කෘතික සංදර්ශනද සහිතව බුදු පියාණන්ගේ තෙමඟුල සැමරීමටයි. මේ වසරේදී එසේ පෝෂණය කරමින් වෙසක් උත්සවය පවත්වන්නට එරට බෞද්ධ ජනතාව බලාපොරොත්තු වෙති.

හින්දු, කතෝලික සහ ක්‍රිස්තියානි ආගම්වල සෑම දෙනා සමඟම සහයෝගයෙන් වැඩ කටයුතු කිරීමට උන් වහන්සේ සමත් වූහ. එරට ජනාධිපතිවරයාද සෑම ආගමික නායකයෙකුගේම කටයුතු ඇගයීමට ලක් කිරීමටද අමතක කළේද නැත. උපරතන හිමියන් සමඟ ආගමික වැඩ කටයුතු සිදු කරන අන්‍ය ආගමික නායකයන් විසින් බෞද්ධ වැඩ කටයුතු සිදු කරන්නේ උපරතන හිමියන් යනුවෙන් ජනාධිපතිවරයාට නිරිදේශ කර තිබිණි. කාලයක් තිස්සේ බෞද්ධ ආග‍මේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන නිසාත්, ඒ වෙනුවෙන් කැප වන නිසාත්, අන්‍ය ආගමික නායකයින්ගේ නිර්දේශයෙනුත් කටුගස්තොට උපරතන හිමියෝ Life time achievement aword ගෞරව සම්මානය යටතේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ඇගයීමටද ලක් විය. ඒ අවස්ථාව මටත්, ශ්‍රී ලාංකිකයන්ටත්, වොෂිංටනයේ සිටින බෞද්ධ ජනතාවටත් නිහතමානීව ආඩම්බර විය හැකි විශාල ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.

එමෙන්ම බටහිර වර්ජිනියාවේ අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානය ඉදි කිරීම මෙන්ම ‘උපරතන පාරමිතා පදනම’ නිර්මාණය කරමින් පෞද්ගලිකව මෙන්ම පොදුවේත් මිනිසුන්ට උදවු උපකාර කිරීම උන් වහන්සේගේ කටයුතු අතර ප්‍රමුඛස්ථානය ගනියි. එමෙන්ම වසර 70ක් පමණ විවිධ අත්හදා බැලීම් කරමින් බිහි කරගත් වමට බර ආණ්ඩුව කෙරෙහිද ප්‍රශංසාව පළ කරන උන් වහන්සේ ශ්‍රී ලංකාවේ පැවති දුෂ්කරතා මෙවරවත් ජය ගෙන, සෞභාග්‍ය සහ ජනතාවගේ බලාපොරොත්තු ඉටු වේ යැයි යන විශ්වාසයෙන්ද පසු වෙති.

lනෙත්මි පූජනී රත්නායක

ඡායාරූපය – චින්තක කුමාරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division