Home » බිල් ගේට්ස් යළි විවාහ දිවියට

බිල් ගේට්ස් යළි විවාහ දිවියට

by thanushika
February 15, 2025 12:30 am 0 comment
කසුන් අරවින්ද

ලෝකයේ ඉහළම පෙළේ ධන කුවේරයකු ද, තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යවසායකයකු ද වන බිල් ගේට්ස් ගැන සාමාන්‍යයෙන් කතාබහට ලක් නොවන ආකාරයේ කාරණයක් පිළිබඳව පසුගිය දිනවල මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබුණා. එනම් ඔහුගේ වර්තමාන ප්‍රේමවන්තිය ගැනයි.

මේ වන විට 69 වැනි වියෙහි පසුවන බිල් ගේට්ස්ගේ අලුත්ම ආදරවන්තියගේ නම පෝලා හර්ඩ්. ඇයගේ වයස අවුරුදු 62 ක්.

බිල් ගේට්ස් පසුගිය කාලයේ විවාහ වී සිටියේ මෙලින්ඩා ගේට්ස් සමඟ බව බොහෝ දෙනා දන්නා කාරණයක්. ඔවුන් දෙදෙනා එක්ව පවත්වාෙගෙන ගිය බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමත් ලෝකයේ ප්‍රධානම පෙළේ සමාජ සේවා ආයතනයක් වුණා.

1994 වසරේ යුග දිවියට එළැඹුණු ඔවුන් අවුරුදු 27 ක විවාහ දිවියකින් පසු 2021 වසරේ එකිනෙකාගෙන් දික්කසාද වුණා. මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත් මෙම දික්කසාදයට හේතු වී තිබුණේ ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව තවදුරටත් විශ්වාසයක් නැතිව ගොස් තිබීම බවයි පැවසුණේ. බිල් ඔහුගේ මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවය කළ කාන්තාවක සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යාමත් මෙම දික්කසාදයට බල පෑ ප්‍රධාන හේතුවක් වී තිබුණා.

එමෙන්ම පසුගිය කාලයේ ලිංගික අපරාධ පිළිබඳව විශාල වශයෙන් චෝදනා ලබා සිටි ජෙෆ්රි එප්ස්ටයින් නැමැති ධනවතකු සමඟ බිල් පැවැත්වූ ඇසුරත් තව හේතුවක් වූ බව පැවසෙනවා. එප්ස්ටයින් ලිංගික සේවාවන් වෙනුවෙන් බාල වයස්කාරියන් ප්‍රවාහනය කිරීම පිළිබඳවත් චෝදනා ලැබූ කෙනෙක්.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු බන්ධනාගාර ගත කර සිටියදී සිය දිවි නසා ගත්තා. බිල් මෙම පුද්ගලයා සමඟ පැවැත් වූ ඇසුර තමාව අපහසුතාවට පත් කළ බවක් වරක් මෙලින්ඩා පවසා තිබුණා.

කෙසේ හෝ වේවා මෙලින්ඩාගෙන් දික්කසාද වීමෙන් පසු බිල් ගේට්ස් කියා තිබුණේ තමා ජීවිතයේ වඩාත්ම පසුතැවිලි වන වරද එම දික්කසාදය බවයි.

දික්කසාදයෙන් වසරකට පමණ පසු බිල් ගේට්ස් පෝලා හර්ඩ් සමඟ ඇසුරක් පවත්වන බවට ආරංචි පළවෙන්නට පටන් ගත්තා. 2022 වසරේ අවසන් භාගයේ පමණ බිල් සහ පෝලා ප්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලි වැනි විවිධ ප්‍රසිද්ධ අවස්ථාවන්ට සහභාගි වන ආකාරය දැක ගන්නට ලැබී තිබුණා. නමුත් ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති බව නිල වශයෙන් තහවුරු කෙරුණේ 2023 වසරේයි.

ඔවුන් පළමු වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ඊටත් ටික කාලයකට පසු 2024 අප්‍රේල් මාසයේයි.

කෙසේ නමුත් බිල් මේ කාලය පුරාම සිය අලුත් පෙම්වතිය ගැන ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ. මේ මාසයේ මුල් හරියේ දවසකයි බිල් පළමු වතාවට පෝලා ගැන ප්‍රසිද්ධියේ කතා කර තිබුණේ. ඒ සමඟම ඔවුන්ගේ ආදර කතාව නැවතත් මාධ්‍ය තුළ මාතෘකාවක් බවට පත්ව තිබුණා.

පෝලාත් මෙයට පෙර විවාහ වී සිටි කෙනෙක්. ඇය විවාහ වී සිටියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ තවත් සුප්‍රකට චරිතයක් වූ මාක් හර්ඩ් සමඟයි.

ඉතා ප්‍රසිද්ධ මෘදුකාංග සමාගමක් වන Oracle සමාගමේ ප්‍රධානියා වූ මාක් 2019 වසරේ මිය ගියා. ඔහු පිළිකා රෝගයට ගොදුරුව සිටි බවයි පැවසුණේ.

මාක් සමඟ විවාහයෙන් පෝලාට දරුවන් දෙදෙනෙකුත් සිටිනවා.

පෝලා ගැන පළමු වරට සඳහන් කරමින් බිල් පසුගියදා පවසා තිබුණේ ඇය වැනි පෙම්වතියක ලැබීම තමාගේ වාසනාවක් බවයි. තමුන් දෙදෙනා මහත් සතුටින් කල් ගෙවන බව ද ඔහු තව දුරටත් ප්‍රකාශ කර තිබුණා.

“අපි ඉතා සන්තෝෂයෙන් කල් ගෙවනවා. පහුගිය කාලේ අපි ඔලිම්පික් වගේ බොහෝ අපූරු අවස්ථාවන්ටත් සහභාගි වුණා.” යැයි ඔහු සඳහන් කර තිබෙනවා. මුකේෂ් අම්බානිගේ පුත් අනන්ත් අම්බානිගේ විවාහය වෙනුවෙන් පසුගිය වසරේ පැවැති දැවැන්ත සාදයට ද බිල් සහ පෝලා සහභාගි වී තිබුණා.

මේ අතර තවත් අවස්ථාවක බිල් පවසා තිබුණේ වයස අවුරුදු 69 යේදී තමා ජීවිතයේ අන් කවරදාටත් වඩා සතුටින් සිටින බවයි.

තමාත් මෙලින්ඩාත් දික්කසාද වුවත් දරුවන්ගේ සහ මුනුපුරු මිනිපිරියන්ගේ කටයුතුවලදී තමුන් දෙදෙනා තවමත් මුණගැසෙන බවත් ඔහු සඳහන් කර තිබුණා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division