Home » මැතිවරණයට කලින් කැලඹුණු ජර්මනිය

මැතිවරණයට කලින් කැලඹුණු ජර්මනිය

by sachintha
February 15, 2025 12:27 am 0 comment

ජර්මනිය මේ අවස්ථාව වන විට ඉතා තීරණාත්මක මැතිවණයක් අබියස සිටින අතර, එයට ඇත්තේ තව සති දෙකක් පමණි. ජර්මනියේ වර්තමානයේ උද්ගත වී ඇති මහා ජනතා විරෝධය හමුවේ එක් පැත්තකින් ජර්මනිය දේශපාලනික වශයෙන් අස්ථාවර වී ඇති අතර, අනෙක් අතින් යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් දැරූ ජර්මනිය, මේ වන විට රුසියා-යුක්ක්‍රේන යුද්ධය හමුවේ ඉහළ ගිය බලශක්ති වියදම, එක්සත් ජනපද තීරුබදු ප්‍රතිපත්තිය, ගෝලීය ආර්ථික තරගය හමුවේ ආර්ථික ක්‍රියාකාරකම් අතින් කඩාවැටීමකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇන්ජෙලා මර්කල් මහත්මිය, ජර්මානු චාන්සලර් ධුරය දරන අවධියේදී ජර්මනිය ඉතා ඉහළ ආර්ථික ප්‍රගතියකට හිමිකම් දැරූ රාජ්‍යයක් බව නොරහසකි. එහෙත් පසුගිය අවුරුදු කීපයට ජර්මනියේ ආර්ථිකය නිෂේධනීය ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර ගෝලීය ආර්ථික විශේෂඥයන් ජර්මනිය මේ වන විට ලේබල් කර ඇත්තේ, ‘යුරෝපයේ අසනීප මිනිසා’ යන නමිනි. එබැවින්, ඉදිරි සති දෙකේදී පැවැත්වීමට නියමිත ජර්මානු මැතිවරණය ජර්මානු ඉතිහාසයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් වන්නේ එබැවිනි. ජර්මානු ජනතාව වීදි බසිමින් මේ වන විටත් ජර්මනියේ පවතින දේශපාලන පක්ෂ ක්‍රියාකාරිත්වයට අභියෝග කරමින් ඇත්තේද මෙවැනි වපසරියකය.

ඉතිහාස කතාන්දරය – නාසි බිඳවැටීම

ජර්මනියේ 1945දී දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ ජර්මනියේ නාසි පක්ෂය විසුරුවා හැරීමක් සිදු විය. නාසි ජර්මනිය එවකට බිඳවැටීමෙන් පසු ජර්මනියේ සිටි අති දක්ෂිණාංශික කොටස් ක්‍රමයෙන් තමන්ට පිළිගැනීමක් ලැබෙන ආකාරයෙන් ජර්මනිය තුළ පෙළගැසුණු අතර වර්තමාන ජර්මනි දේශපාලනික කලබැගෑනිය තුළ විරෝධතා හමුවේ දිගින් දිගටම ප්‍රකාශිත යථාර්ථය වන්නේ මෙයයි. එනම්, ජර්මානුවන් කිසිදු අවස්ථාවක අති දක්ෂිණාංශික පාර්ශ්වයන්ගේ සහයෙන් කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව තුළ සම්මත නොකළ යුතු බවට වූ (anti-far-right firewall) නම් පශ්චාත් නාසි පොරොන්දුව කඩ කර ඇති බවට නගර චෝදනාවයි. ජර්මානු වැසියන්, වත්මන් පාලක පක්ෂය වූ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදි සංගමයේ කාර්යාල තාවකාලිකව අහුරා ඇත.

ජර්මනියේ මීළග නායකයාට ගැළපෙන සුදුසුම පුද්ගලයා මොහු බවගේ හිතවාදීන්ගේ ප්‍රකාශයයි. එහෙත් පාර්ලිමේන්තුවේ අතිදක්ෂිණාංෂික (ඒඑෆ්ඩී) සමඟ ඒකාබද්ධ වී මර්ස් ජර්මානු සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳ හා ඒ සඳහා අතිදක්ෂිණාංශික සහය ගැනීමට සූදානම්ව සිටීම ඔහු පිළිබඳ පවතින ප්‍රසාදය දුරු කර ලීමට බලපාන ප්‍රධාන සාධකය ලෙස ජර්මානු සමාජය තුළ විස්තර වී ඇත.

‘ෆෙඩ්‍රිච් මර්ස්’ යනු කවුරුද?

මේ තත්ත්වය ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදි සංගමයේ හිටපු ලෝක ගෞරවනීය නායිකාව වන ජර්මනියේ ඇන්ජෙලා මර්කල් සමඟද පවතින සබඳතාව පැහැදිලිවම පළුදුවීමක් ලෙස දේශපාලනඥයන් විස්තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ අති මධ්‍යගත පිළිවෙතට ද මර්ස්ගේ මෙම ක්‍රියාකාරීත්වය නිෂේධනීය බලපෑමක් එල්ල කර ඇති බව වැඩිදුරටත් විස්තර වී ඇත.

AFD අතිදක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන පක්ෂයක් ලෙස ජර්මනිය තුළ ස්ථාපිත වී ඇති අතර, ඔවුන් ආරම්භයේ පටන්ම සංක්‍රමණියන් ජර්මනියට පැමිණීමට විරුද්ධත්වය පළ කළ පක්ෂයකි. විශේෂයෙන්ම මුස්ලිම් සංක්‍රමණිකයන්ට මේ තත්ත්වය බහුලවම අදාළ කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ජර්මානු අභ්‍යන්තර බුද්ධිමය ඒජන්සිය ‘ඒඑෆ්ඩී’ අර්ථ දක්වා ඇත්තේ ‘අන්තවාදි සංවිධානයක්’ වශයෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. ඇන්ජෙලා මර්කල් ජර්මන් හිටපු චාන්සලර්වරියගේ විකල්ප පිළිවෙත් හා බැඳුණු ප්‍රතිපත්තීන් සමග ‘ඒඑෆ්ඩී’හි පරස්පරතාවක් තිබූ බව විස්තර වේ. වර්තමානයේදීත් ජර්මනියේ බහුතරය, ව්‍යවස්ථාපිත මැතිවරණ ක්‍රියාවලිය තුළ ‘ඒඑෆ්ඩී’හි සහාය ලැබීම ප්‍රතික්ෂේප කරන හා නොපිළිගන්නා ස්වරූපයක් ප්‍රදර්ශනය වන අතර, ජර්මානු සමාජයේ තරුණ පිරිස මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරත්වය කුමක් දැයි අප විමසා බැලීම වටී. Tino Chrupalla හා Alice Weidelගේ පාර්ලිමේන්තු නායකත්වයෙන් යුතු ‘ඒඑෆ්ඩී’ පක්ෂය 2013 පෙබරවාරි 06දා පිහිටුවා ගනු ලැබූවකි. මෙම පක්ෂය ආරම්භක අවධියේ දී එය රැඩිකල් වාදී දක්ෂිණාංශික පක්ෂයක් නොවූවද ක්‍රමයෙන් එය ජනප්‍රියවාදී රැඩිකල් මාවතකට 2015 පටන් ප්‍රවේශ වී ඇති බව වාර්තා වේ. එහි නායකත්වය වෙනස් වීමත් සමගිනි.

ජර්මන් තරුණ ප්‍රජාව හා ‘ඒඑෆ්ඩී’

ජර්මානු දේශපාලනය තුළ මේ දිනවල පවතින මැතිවරණ උණුසුමත් තුළ ‘ඒඑෆ්ඩී’ පක්ෂයේ නවතම මතවාදයන් හා ඒ වටා ජර්මානු සමාජයේ විවිධ ස්ථරවල එක්රොක් වීම ඉතාම සංකීර්ණ තත්වයක පවතී. 2024 යුරෝපීය මැතිවරණ අධ්‍යයනයන් පිළිබඳ විශ්ලේෂකයකු ලෙස කටයුතු කරන මහාචාර්ය Abou-Chadi ප්‍රකාශ කර ඇත්තේ අවු. 30ට අඩු තරුණ, පිරිමි ප්‍රජාව, යුරෝපීය සංගමීය රටවල අති දක්ෂිණාංශික පක්ෂයන්ට ඡන්දය දීමට වඩාත් උනන්දුවෙන් සලකා බැලීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි. එය ස්ත්‍රී පාර්ශ්වයට වඩා වැඩි දායකත්වයක් ලෙස ප්‍රදර්ශනය වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

“මාගේ මවුපියන් මට උගන්වා ඇත්තේ, සාමකාමී නිසංසල පරිසරයක ජීවත්වන ලෙසයි. තමන්ගේ රටේ කිසිදු ආකාරයක බියෙන් තොරව ජීවත්වීමට හැකිවිය යුතු බවයි.” මේ ආකාරයෙන් පවසා ඇත්තේ 19 හැවිරිදි ‘නික්’ නම් ජර්මානු තරුණයෙකි. නික් හා තවත් සමවයස් කොටස් ජර්මනියේ පසුගිය කාලවල දී මෙන්ම නොබෝදා සිදුවූ බොහෝ ප්‍රහාරයන්ට ජර්මනියේ රැකවරණවය පතා පැමිණි පිරිස් සම්බන්ධවීමත්, සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීමට ‘ඒඑෆ්ඩී’ පාක්ෂිකයන්ගෙන් සහාය පළ වීමත් ප්‍රමුඛ කොටගෙන බොහෝ ලෙසින් තරුණ කොටස් ‘ඒඑෆ්ඩී’ වෙත ළඟා වීමේ යම් සුවිශේෂ තත්වයක් පෙන්නුම් කොට ඇති බව ජර්මනියේ වත්මන් දේශපාලන තතු ඔස්සේ විග්‍රහ වේ.

ජර්මන් මැතිවරණය තුළ වර්තමාන තත්ත්වය

ජර්මනියේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ජර්මානුවන් 70%ක් ඔවුන්ගේ ජීවන වියදම පෙරට වඩා වැඩිවීම පිළිබඳ විශාල ගැටලුවකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අනෙක් අතින් මැතිවරණ ව්‍යාපාරය තුළ මෙන්ම ජර්මානු සමාජය තුළ ද සංක්‍රමණික ගැට­ුලුව අර්ථ ගැන්වෙන්නේ කේන්ද්‍රගත දේශපාලන ගැටලුව ලෙසිනි. වත්මන් ජර්මන් චාන්සලර් ඔලාෆ් සුළුතර ආණ්ඩුවක් මේ වන විට නියෝජනය කරන අතර, ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා ‘ග්‍රීන්ස්’ සහායෙනි. ජර්මනියේ ප්‍රධානතම කර්මාන්තය වූ වොක්ස් වැගන් මෝටර් රථ කර්මාන්තය ද ඉතාම දරුණු අර්බුදයකට පත්ව ඇත. ජර්මානුවන් දස දෙනෙකුගෙන් හය දෙනෙකුම ප්‍රකාශ කරන්නේ රජයේ මෙන්ම විපක්ෂයේ ද දේශපාලනඥයින් ඔවුන්ගේ භූමිකාවෙන් ඉවත්වී යා යුතු බවයි.

lපී.ආර්. දුෂාන්ති සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division