Home » දෙදෙනෙකුට පෙම් කළ පෙම්වතියට වූ විපත

දෙදෙනෙකුට පෙම් කළ පෙම්වතියට වූ විපත

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
විජිත සල්ගාදු අකුරැස්ස මධ්‍යම විශේෂ

– බාලවයස්කාර සැකකාර දෙවැනි පෙම්වතා අල්ලා ගන්නේ අකුරැස්ස නගරයේදී
– අලුත් පෙම්වතාගේ පිහි පහරින් මේනකාට සහ පරණ පෙම්වතාට බරපතළයි
– අකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සිදු කළ පරීක්ෂණයකදී හෙළි වූ කතාවක්

අකුරැස්ස ප්‍රදේශයේ ගම්මානයක විසූ පවුලක බාල දියණිය වූ 17 හැවිරිදි මේනකා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සූදානම් වන තරුණියකි. ඇගේ පියා අකුරැස්ස නගරයේ හෝටලයක රැකියාවක නිරත වන මැදි වියේ පසුවන්නෙකි. ඔහු හිමිදිරි උදෑසන නිවසින් බැහැරට පිය මනින්නේ තම පවුලේ ආර්ථිකය සවිමත් කිරීමේ අදිටනිනි. රැකියාව අවසන් වී ඔහු යළි නිවස වෙත පැමිණෙන්නේ මැදියම් රැය ආසන්නයේය.

මේනකාගේ වැඩිමහල් සොහොයුරිය විවාහ පත්වී ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඇයට මෑතකදී ලැබුණු දරුවා බලාකියා ගැනීමේ භාරදුර කටයුත්තේ බර තනිවම උසුලා ගැනීමේ අපහසුතාව නිසාම ඇය සිය මව ඇගේ නිවසට ගෙන්වා ගන්නේ ඊට යම් අත්වැලක් සපයා ගැනීමේ අරමුණිනි.

මේනකා පාසල් අධ්‍යාපනයට වඩා පෞද්ගලික ආයතනවලින් අධ්‍යාපනය ලබාගැනීම සඳහා විවිධ ස්ථානවල පැවැත්වෙන පන්තිවලට යාමට පෙලඹී සිටියාය.

මේනකාගේම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලබන ‘අසංක’ නමැති 17 හැවිරිදි සිසුවා සමඟ මේනකා ප්‍රේම සම්බන්ධයක් ගොඩනඟා ගත්තාය. මෙම ‘ආදර අන්දරයට’ මේනකාගේ නිවසේ මවුපියන්ගේ දැඩි විරෝධය පැන නැඟී තිබුණත් ඇය ඉතා රහසිගත අයුරින් සිය ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගියාය. දෙදෙනාගේ ප්‍රේමය දලුලා වැඩෙමින් තිබුණේ පාසලේ අතිශයින්ම මිත්‍ර සිසු සිසුවියන් කිහිපදෙනෙකු හැරෙන්නට වෙනත් කිසිවකුට හෝ නොදැනෙන අයුරිනි. ගුරුවරුන්ට හෝ දෙමාපියන්ට මේ ආදර කතාන්දරය සඟවන්නට ගත හැකි සෑම රහසිගත පියවරක්ම ගැනීමට ඇය සමත් වූවාය. දෙදෙනාගේම අදහස් වැඩි වශයෙන්ම හුවමාරු වූයේ ජංගම දුරකතන හරහා වීම රහස රැකගැනීමට තවත් ශක්තියක් වී තිබුණි. පෞද්ගලික පන්තිවලට යන දෙදෙනාට අතරමඟ සහ පන්තියේදී හමුවන්නට කිසිම බාධාවක් නොවූයේ අමතර පන්තියේ ඉගෙනුම ලබන අපමණ සිසු සිසුවියන්ගේ කතාබස් සහ නොයෙකුත් හැසිරීම් රටාවන්හි විශේෂත්වයක් නැතිව ඇසෙන්නට පෙනෙන්නට තිබීම හේතුවෙනි.

මේ දෙදෙනාගේ ‘පාසල් ප්‍රේමය’ දිනෙන් දින වැඩෙමින් පවතින අතරතුර මේනකාගේ සිත තවත් සිසුවකු කෙරෙහි ඇදෙන්නට වැඩි කාලයක් ගත නොවුණි. අසංක හෝ වෙනත් කිසිවකුට හෝ නොදැනෙන ලෙස එම පාසලේම ඇයට වඩා පහළ පන්තියක ඉගෙනුම ලබන 15 හැවිරිදි ‘ඉසුරු’ සමඟ ‘රහස් ආදර කතාවක්’ ඇය ගොඩනඟා ගන්නේ ද ඉතා රහසිගතවය. නව ප්‍රේමවන්තයා වන ඉසුරු තවමත් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන සිසුවෙකි.

පසුගිය කාලය තුළ ඉතා රහසිගත අයුරින් දෙදෙනාටම ප්‍රේම කළ මේනකා ඉතා සැලසුම්සහගතව ප්‍රේමවන්තයන් දෙදෙනාම තම නිවසට වරින්වර ගෙන්වා ගත්තේ පියා සහ මව දිවා කාලයේදී නිවසේ නොරැඳෙන බැවිනි. තනිවම නිවසේ සිටින මේනකා එක් දිනක් අසංකද තවත් දිනෙක ඉසුරුද නිවසට ගෙන්වා ගන්නේ නියමිත කාලසටහනක් අනුව යැයි කිවහොත් එය නිවැරදිය. සතියකට දින කිහිපයක් පන්ති නොගොස් මුළු දිවා කාලයම නිවසේ දොර ජනෙල් වසාගෙන නිවස තුළට වී සිටින්නට හුරුපුරුදුව සිටි මේනකා පෞද්ගලික පන්තිවලට නිසි ලෙස නොයා නිවසේ තනි වීම ඇගේ දින චර්යාවට එක්වී තිබුණේ ඇය ප්‍රේමයෙන් මත්වී සිටීම නිසාය. එදින තමාගේ පළමු ප්‍රේමවන්තයා වන අසංකට දුරකතන ඇමතුමක් දෙමින් නිවසට පැමිණෙන ලෙසට ඇරයුම් කර තිබුණේ සුපුරුදු පරිදිය. අසංකද තම පෙම්වතියේ ඇරයුම හිස් මුදුනින් පිළිගන්නේ ඇගේ නිවසට පැමිණීමට කිසිම බාධාවක් නැති බව හොඳින්ම දන්නා බැවිනි.

නිවසේ ඉදිරිපස දොර නිතර වසා ඇතත් පසුපස දොර නිසි ලෙස වසා තැබීමට යතුරක් නොමැති බැවින් එම දොර ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් විවෘත කළ හැකිව තිබුණි. එය අසංකද හොඳින් දන්නා කරුණකි.

එදින අසංකගේ දුරකතනය නාද විය. එය මේනකාගේ ඇමතුමක් බව දැනගත් අසංක වහා තමන් සිටින ස්ථානයෙන් හුදකලා වී ඇමතුමට පිළිතුරු දුන්නේය.

“අසංක අද ගෙදරට එන්න. ගෙදර කවුරුවත් නැහැ.“ සුපුරුදු පරිද්දෙන් ඇය පෙම්වතා ඇමතුවාය.

ඊට පිළිතුරු බැන්ද අසංක වෙනදා වගේම තමන් බොහෝ ආදරය කළ තමාගේ ප්‍රේමවන්තියගේ නිවස අසලට පැමිණෙන්නේ කිසිම බයක් සැකයක් නැතිව වුවත් අසල්වැසියන්ගෙන් සැඟවී නිවසට පැමිණිය යුතු බව ඔහු පළපුරුද්දෙන්ම දන්නා බැවින් ඇගේ නිවස පිහිටි වත්තට සෙමින් සෙමින් ඇතුළුවී වටපිට බලමින් මල් වැට අයින දිගේ හැංගී පැමිණියේ තම ආදරවන්තිය නිවසේ තනිපංගලමේ සිටින බව සක්සුදක් සේ දන්නා බැවිනි. අසංකගේ සිත චංචල වුවත් ගතින් නොසැලුණ අසංක හෙමින් සීරුවේ පා තබමින් පිටුපස දොරට සෙමින් තට්ටු කළේ තම ප්‍රේමවන්තිය දැකගන්නා තිර අදිටනිනි. මේනකා සෙමින් පිටුපස දොර විවෘත කළාය.

නිවසේ පිටුපස දොර විවර වනවාත් සමඟ එම දොර පිටුපස සැඟවී සිටි ඉසුරු නම් අලුත් පෙම්වතා උල් පිහියක් අමෝරාගෙන මාරාවේශයෙන් අසංක දෙසට කඩා පැන ඔහුගේ උදරයට සහ කොන්දට පිහි පහරවල් කිහිපයක් එල්ල කළේ තූෂ්ණිම්භූත වූ අසංකට කිසිවක් කරකියා ගත නොහැකි වන අයුරිනි. මේ කලබගෑනිය මැද්දට පැන්න මේනකා පිහි ඇනුම නවතාගැනීමට ගන්නා ලද උත්සාහය අසාර්ථක වූයේ ඇගේද එක් අතකට වැදුන පිහි පහරකින් ඇයද පසෙකට විසි වෙමිනි. පිහි පහරින් තුවාල ලැබූ අසංක සහ මේනකා විලාප නඟන හඬ ඇසුණ අසල්වැසි කිහිප දෙනෙකුම එම නිවස වෙත ඇදී එන්නට ගත වූයේ තත්පර ගණනකි.

එලෙස පිහි පහර එල්ල කළ ඉසුරු එසැණින් නිවසින් පලා ගියේ කිසිවෙකුට හෝ ඔහු අල්ලාගන්නට නොහැකි වන පරිදිය. තුවාල ලබා සිටි අසංක සහ මේනකා අසල්වැසියෙකුගේ ත්‍රිරෝද රථයකින් ගෙන ගොස් කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරිණි.

මේ අතරතුර පිහි ඇනුම සිදු කළ මේනකාගේ අලුත් සැකකාර පෙම්වතා මේනකාට දුරකතන ඇමතුමක් දෙමින් විමසා තිබුණේ තමන් පොලීසිය වෙත භාර වෙන්නදැයි විමසමිනි. පොලීසියට භාර නොවන ලෙස ඇය සැකකාර පෙම්වතාට පවසා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

රෝහල් පොලීසිය මඟින් මෙම පිහිය ඇනුම සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය වෙත වහාම දැනුම් දීමක් සිදු කරන ලදි. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත විමර්ශන භාර කළේය.

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක බී.එල්.එම්. ඩයස් ඇතුළු නිලධාරීන් පිරිස මේනකාගේ නිවස වෙත ගොස් විමර්ශන කටයුතු ආරම්භ කරන ලදි. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බව සැක හැර දැනගත් නිලධාරීන් සැකකරු සොයා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ඇරඹීය. දුරකතන සමාගම් සමඟ සම්බන්ධවී විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට කටයුතු කෙරිණි. සියලු වගතුග සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය. විමර්ශන සිදු කළ නිලධාරීන්ට සැකකරු අකුරැස්ස නගරයේදී අත්අඩංගුවට ගැනීමට හැකි විය. සැකකරුගේ ‘හැංගිමුත්තන් ක්‍රීඩාව’ අවසන් වූයේ දෑතට විලංගු වැටීමෙන් අනතුරුවය.

අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික රාජපක්ෂගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක බී.එල්.එම්. ඩයස්, සැරයන්වරුන් වන 67794 මෙන්ඩිස්, 52601 උපුල්, 13706 සුගතජීව, කාන්තා සැරයන් 2272 මධුශානි යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division