Home » හිටපු පෙම්වතියගෙන් පළිගන්න පෙම්වතා ගහපු ගේම

හිටපු පෙම්වතියගෙන් පළිගන්න පෙම්වතා ගහපු ගේම

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
දීපාල් සමරසේකර

– පෙම්වතිය ලැගුම්හලකට ගෙන ගොස් බියර් පොවා නිරුවත් ඡායාරූප අරන්; එම ඡායාරූප ඇගේ මිතුරන්ට යවලා
– මිතුරකු එම ඡායාරූප පෙම්වතියගේ අයියාටත් එවලා
– විමර්ශන ඌරුබොක්ක පොලීසියෙන්

පෙම්වතුන් පෙම්වතියන් අතර මේ යුගයේ ඇති වන ආරවුල් බොහෝ විට නිමා වන්නේ පෙම්වතා විසින් පෙම්වතියගේ කලින් ගත් නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීමෙන් බව අමුතුවෙන් කිව යුතු කාරණාවක් නොවෙතත් දිගින් දිගටම එවැනි සිදුවීම් වාර්තා වීම නම් අතිශය කනගාටුවට කරුණකි. මේ හේතුව නිසා අපහසුතාවට පත්වන යුවතියන්, සිසුවියන්, ළමයින් සහ තරුණ කාන්තාවන්ගේ සංඛ්‍යාවද සැලකිය යුතු මට්ටමක තිබීමද ඛේදවාචකයකි. පොලීසිය, රහස් පොලීසිය සහ නීති අංශ මේ පන්නයේ විමර්ශන ගණනාවක් ද මේ වන විට සිදු කරගෙන යන අතර මෙවැනි ඇතැම් සිදුවීම් පිළිබඳ පොලීසිය අධිකරණයට ද කරුණු කාරණා වාර්තා කර තිබේ.

මුහුණුපොතෙන්, අන්තර්ජාලයෙන්, මිතුරු වන සිසු සිසුවියන් තරුණ තරුණියන් අතර පසුව ඇතිවන ප්‍රේම සබඳතා බොහෝ අවස්ථාවල ලැගුම්හල්වලට සීමා වන අතර ඉන් අනතුරුව ඒවා ප්‍රශ්න ගැටලු රැසක් ඇති කරයි. පෙම්වතා විසින් ලැගුම්හලකට රැගෙන යන පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබා ගැනීම, ඒවා ඒ දෙපළ තරහ වූ පසු අන්තර්ජාලයට මුදා හැරීම මේ වන විට සාමාන්‍ය කාරණයක් බවට පත්වී ඇති බවත් පෙනෙන්නට ඇත. පසුගිය දිනෙක කැස්බෑව ප්‍රදේශයේ බස් හෝල්ට් එකක සිටි ළාබාල සිසුවියන් දෙදෙනෙකු කැඳවා ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් හෙළිකර ගන්නේ ඒ දෙදෙනා පෙම්වතුන් දෙදෙනෙකු සමඟ ඊට පෙර දින රාත්‍රිය ප්‍රදේශයක ලැගුම්හලක ගතකර ඇති බවය. එහිදී ඒ අය බීර පානය කරමින් විනෝද වී ඇති බවද අනාවරණය වූ අතර පොලීසියට මේ සිසුවියන් දෙදෙනා හමුවන විට ඔවුන් සිටියේ සිය නි‍ෙවස වෙත යාම සඳහා බසයක් බලාපොරොත්තුවෙනි.

ඊට සමාන තවත් සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ ඌරුබොක්ක පොලීසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සිදු කරන ලද විමර්ශනයකදීය.

ඌරුබොක්ක පොලිස් වසමට අයත් බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි යුවතියක් අමුහේන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියාය. කාලය ගත වීමත් සමඟ මේ පෙම් යුවළ තමන්ගේ ප්‍රේම කතාවට ‘හොඳ හිතින්’ තිත තබන්නේ දෙදෙනාගේම එකඟතාව මතය. කාලය එලෙස ගෙවී යද්දී 18 හැවිරිදි පෙම්වතිය පෙම්වතා සමඟ කතාබහ කළාය. ඒ ජංගම දුරකතනයෙනි. එපමණකින් නොනවතින ඇය පෙම්වතාට සිය ජංගම දුරකතනයෙන් පෙම්වතාට ‘මැසේජ්’ කළාය. පෙම්වතාද ඊට එලෙසින්ම පිළිතුරු දුන්නේය.

තවත් ටික දිනක් ගත විය. පෙම්වතියට පෙම්වතා දැකගැනීමේ අවශ්‍යතාවක් ඇති විය. ඇය ඔහු හමුවීමට අවශ්‍ය බව කීවාය. පෙම්වතාගේ අනුමැතියද ඊට ලැබුණි. හමුවිය යුතු ස්ථානය ගැන ද පෙම්වතියගෙන් මැසේජ් එකක් ලැබිණි. පෙම්වතා පෙම්වතිය බැලීමට යෑමට සූදානම් විය. ඒ සඳහා යහළුවකුගේ ත්‍රිරෝද රථයක්ද ඔහු ඉල්ලා ගත්තේය.

දෙදෙනා හමුවීමෙන් අනතුරුව ආගිය කතා අවසානයේදී මේ දෙදෙනා ත්‍රිරෝද රථයෙන් යන්නේ දම්පහළ ප්‍රදේශයේ පිහිටා තිබුණු ලැගුම්හලකටය. එහි කාමරයක් වෙන් කරවාගත් පෙම්වතා බීරද ඇණවුම් කළේය. පෙම්වතියට ද බීර පානය කිරීමට සැලැස්වීය. බීර පානය කළ පෙම්වතිය මත් වූවාය. එය වාසියට ගත් පෙම්වතා ඇගේ ඇඳුම් ඉවත්කර ජංගම දුරකතනයෙන් ඇගේ නිරුවත් ඡායාරූප ලබාගත්තේය. කතන්දරය එතැනින් අවසන් වූයේ ද නැත. පෙම්වතිය නි‍ෙවසට යන්නේ කිසිවක් සිදු නොවුණාක් මෙනි. පෙම්වතාද ත්‍රිරෝද රථයෙන් නිවෙසට ගියේය.

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප පෙම්වතා වට්ස්ඇප් ඔස්සේ සිය මිතුරකුට යවන්නේ ඉන් අනතුරුවය. මේ නිරුවත් ඡායාරූප දුටු පෙම්වතාගේ යහළුවා එය බලා ඒවා ඔහුගේ යහළුවකුට යැවීය. යුවතියගේ නිරුවත් ඡායාරූප බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතන අතර සංසරණය වීමට පටන්ගත්තේ එතැන් සිටය.

එලෙස බොහෝ දෙනාගේ ජංගම දුරකතනවලින් වට්ස්ඇප් ඔස්සේ හුවමාරු වූ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ඇගේ සහෝදරයාගේ ජංගම දුරකනයට ලැබීමට වැඩි කාලයක් ගත වූයේ නැත. වැඩේ පත්තු වන්නේ එතැන් සිටය. ගෙදර ගිය සොයුරා මේ ගැන සොයුරියගෙන් විමසුවේය. පෙම්වතා කළ කැත වැඩේ ගැන ඇය එලෙස දැනගත්තාය. ඌරුබොක්ක පොලීසියට ගිය යුවතිය මේ ගැන පැමිණිලි කළාය. ටී. පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ, ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති දේවිකා මිහිරාණිගේ මඟ පෙන්වීම මත මේ ගැන විමර්ශන ආරම්භ කළාය. කාන්තා කොස්තාපල් (8997) දීපිකා, කොස්තාපල් (78230) ධනුෂ්ක යන නිලධාරීන් නිලධාරිනියන් ද මේ විමර්ශනයට සම්බන්ධ විය.

ඒ අනුව සැකකාර 21 හැවිරිදි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් නිලධරයන් පියවර ගන්නා ලදි. සැකකරුගෙන් ප්‍රකාශයක් ද සටහන් කැරිණි. ඔහු සතුව තිබි අත්අඩංගුවට ගන්නා ලද ඔහුට අයත් ජංගම දුරකතනයේ වට්ස්ඇප් වීඩියෝ සහ ඡායාරූප පරීක්ෂා කළත් පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ඔහු මකා දමා තිබුණි.

18 හැවිරිදි යුවතියගේ සහෝදරයාගේ ජංගම දුරකතනයට එවා තිබුණු යුවතියගේ නිරුවත් ඡායාරූප පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදි. 18 හැවිරිදි යුවතිය පොලීසියට පවසා තිබුණේ පෙම්වතා තමාගේ නිරුවත් ඡායාරූප ලබාගෙන වට්ස්ඇප් ඔස්සේ ඒවා මිතුරන් අතරේ බෙදාහැර ඇති බවයි.

එම ඡායාරූප සොයා ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය. ටී.පී. ඩබ්ලිව්. පල්ලියගුරුගේ ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත එහි ළමා සහ කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂිකා දේවිකා මිහිරාණි ඇතුළු කණ්ඩායමක් මේ ගැන විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division