Home » දේශීය ටින්මාළු කර්මාන්තය රැක ගැනීමට වැට් බද්ද ඉවත් කරන්න

දේශීය ටින්මාළු කර්මාන්තය රැක ගැනීමට වැට් බද්ද ඉවත් කරන්න

- CFMA රජයෙන් ඉල්ලයි

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
වමේ සිට: දේශීය ටින්මාළු නිෂ්පා­ද­ක­යින්ගේ සංග­මයේ කමිටු සාමා­ජික දේශ­ප්‍රිය පණ්ඩි­ත­රත්න, සභා­පති ශිරාන් ප්‍රනාන්දු, ලේකම් ආචාර්ය කපිල බාල­සූ­රිය සහ කමිටු සාමා­ජික නදීක ද සිල්වා අද­හස් දක්ව­මින්. ඡායා­රූ­පය - විමල් කරු­ණා­ති­ලක

නීත්‍යනුකූල බලපත්‍රලාභී දේශීය නිෂ්පාදකයින් 21ක් දැනට ශ්‍රී ලංකාව තුළ ටින්මාළු කර්මාන්තයේ නියැළී සිටියත්, විටින් වට රට තුළට ඇතුළු වන ආනයනික ටින්මාළු තොග හමුවේ තමන් දැඩි අසීරුතාවන්ට පත්වන බව දේශීය ටින් මාළු නිෂ්පාදකයින්ගේ සංගමය (CFMA) පැවසූයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ය.

දේශීය ටින්මාළු සඳහා 18% ක වැට් බද්දක් සහ පාලන මිලක් ක්‍රියාත්මක වෙද්දී, වැට් බද්ද හෝ පාලන මිලක් නොමැති ආනයනික ටින්මාළු ඉවක් බවක් නොමැතිව වෙළෙඳපොළ තුළ තිබීම හේතුවෙන් දේශීය ටින්මාළු කර්මාන්තකරුවන් මහත් අසීරුතාවකට පත්ව ඇති බවද ඔවුහු පැවසූහ.

එම නිසා, ටින්මාළු ආනයනය සඳහා පනවා ඇති ආනයන තහනම ඉවත් නොකරන ලෙසත්, තම කර්මාන්තය මත පනවා ඇති වැට් බද්ද ලිහිල් කරන ලෙසත් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

“දේශීය ටින්මාළු කර්මාන්තයට අඛණ්ඩව සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් රජයට අපගේ අවංක කෘතඥතාව පළ කර සිටිනවා. ටින්මාළු කර්මාන්තය ශක්තිමත්, ඔරොත්තු දෙන සහ ජාතික ඉල්ලුම ඉක්මවා යා හැකි බව අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා. වර්තමානයේ, ශ්‍රී ලංකාව දිනකට මාළු ටින් 200,000 ක් පමණ පරිභෝජනය කරනවා. නමුත් කර්මාන්තයක් ලෙස, අපට දිනකට ටින් 500,000 කට වඩා නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන අතර එය දේශීය අවශ්‍යතාවට වඩා දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක්. මෙයින් අදහස් කරන්නේ, ටින්මාළු කර්මාන්තය සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුවහොත්, දේශීය වෙළඳපොළෙන් ඔබ්බට ව්‍යාප්ත වී ශ්‍රී ලංකාවට උසස් තත්ත්වයේ ටින්මාළු ගෝලීය සැපයුම්කරුවකු බවට පත්වීමට ඇති හැකියාවයි…”

දුෂ්කර සහ කඳුකර පළාත් ජනතාවට මුහුදු මාළුවලින් ලැබිය හැකි පෝෂණය ලබා දීමේ පහසුම ක්‍රමයක් වූවත් මෙම වැට් බද්ද, ටින්මාළු මිල අඩු කිරීමේදී විශාල බාධකයක් වී ඇත.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදෙන් නෙළා ගන්නා නැවුම් මාළු අස්වනුවලින් නිපදවන දේශීය ටින් මාළු ලාභම ප්‍රෝටීන් ප්‍රභවය ලෙස සැලකිය හැකි බැවින්, වැට් බද්ද ඉවත් කිරීමෙන්, මිල අඩු කිරීමට ඇති හැකියාව ඔස්සේ රටේ වැඩි පිරිසකට එය පරිභෝජනය කිරීමට හැකි වන බව ඔවුහු පෙන්වා දෙති. මන්දපෝෂණය බරපතළ ගැටලුවක් ව පවතින රටක මෙය ඉතා වැදගත් පියවරක් වන අතර, අඩු ආදායම්ලාභී ප්‍රජාව අතර ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය වැඩිදියුණු කිරීමට රජයට උදව් කළ හැකි මාර්ගයක් ද වන බව ඔවුහු පවසති.

“ශ්‍රී ලංකාව සිය භූමි ප්‍රමාණය මෙන් අට ගුණයක් විශාල සාගරයක් සහිත දූපත් රාජ්‍යයක්. නමුත් අපගේ සාගර සම්පත හරි හැටි භාවිත කිරීමට අපොහොසත්. මේ නිසා අසල්වැසි රටවල් අපගේ සාගරය සම්පත වෙත ඇතුළු වී අපගේ මත්ස්‍ය තොග සූරාකෑම අඛණ්ඩව සිදුවනවා. මේ ගෙවෙන්නේ දකුණු මුහුදේ ඉහළ මාළු අස්වනු සහිත සමයක්. අප එම මසුන් මිලදී ගනිමින් සිටින අතර, එය දහස් ගණනක් ධීවරයින්ගේ ජීවනෝපායන් පවත්වා ගැනීමට උපකාරී වේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සාගර සම්පත්වල, විශේෂයෙන් ඌන සංවර්ධිත නැඟෙනහිර වෙරළබඩ ධීවර අංශයේ අතිවිශාල ප්‍රයෝජනයට නොගත් විභවයක් ඇත. ඔලුවිල් වරාය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම වැනි යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමෙන්, වසර පුරා ස්ථාවර මාළු සැපයුමක් සහතික කිරීමට හැකි වනවා. එයින් අපගේ නිෂ්පාදන හැකියාව ශක්තිමත් කර, දිගුකාලීනව කර්මාන්තය සුරක්ෂිත කරනවා.

ටින්මාළු ආනයන තහනම වසරකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුවද, සුපිරි වෙළඳසල් රාක්කවල තවමත් ආනයනික ටින්මාළු ඕනෑ තරම් තිබෙනවා. මෙයින් රට තුළට ගෙන එන ලද බහාලුම් සංඛ්‍යාව පැහැදිලිව පෙන්නුම් කරනවා. මේ නිසා‍ ශ්‍රී ලංකාවට අහිමි වන

විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන හැත්තෑවකට අධිකයි. කර්මාන්තය සුරක්ෂිත කරගන්නට තවදුරටත් රජයේ සහාය ලැබෙයි නම් එම ඩොලර් මිලියන 70ක විදේශ විනිමය රටට ඉතිරි කර පෙන්වන්නට අපට පුළුවන්…” දේශීය ටින්මාළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු තවදුරටත් පැහැදිලි කළේය.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division