මඩකලපුව බලා දිවෙන දුම්රියට ‘මීන ගයා’ නම යොදා තිබෙන්නේ කල්ලඩි පාලම පාමුල සින්දු කියන මාළුන් සිටින බවට ඇති සුන්දර මතය නිසා ය. සඳ පායන රාත්‍රී කාලයන්හිදී මඩකලපුවේ කල්ලඩි පාලම අසල මාළුන්ගේ ගීත ඇසෙන බව බ්‍රිතාන්‍ය පාලන සමයේදී වාර්තා විය. ප්‍රවීණ සංගීතවේදියකු වූ සී. ද එස්. කුලතිලක ඔහුගේ ජන සංගීත පර්යේෂණ සඳහා සින්දු කියන මාළුන්ගේ නාදය පටිගත කොට, ගුවන්විදුලියෙන් විකාශය කළ බව අප අසා ඇත.
කෙසේ වුව ද මීනගයා ගැන අද වන විට ඇසෙන ප්‍රවෘත්ති නම් ඒ තරම් සුන්දර නැත. මෑත කාලයේ මීනගයා දුම්රිය ගැන නිතර සඳහන් වන්නේ වන අලි රංචු පිටින් මරාගෙන මඩකලපු යන දුම්රියක් වශයෙනි. ආසන්නතම සිද්ධිය ලෙස, ඉකුත් සති අන්තයේ සිදු වූ අලි මරණ 6 ගැන ලොව පුරා සිටින වන සත්ත්ව ලෝලීහු කම්පා වී සිටිති.
කෙසේ වෙතත් දුම්රියේ හැපී අලි මැරෙන්නේ අද ඊයේ සිට නො වේ. 1924 දී යටත්විජිත ආණ්ඩුව මඩකලපු දුම්රිය මාර්ගය තැනූ දා සිටම එය වන අලි සම්පත බිලි ගෙන තිබේ. හබරණ, මින්නේරිය, මාදුරු ඔය, පූනානි ඇතුළු රක්ෂිත වනාන්තර ගණනාවක අලිමංකඩ හරහා මඩකලපු දුම්රිය මාර්ගය ඉදි වී තිබේ.
අලි මරණ සිදු වූ විට මේ දක්වා බලයේ සිටි ආණ්ඩු හැමදාමත් කළේ වැසි කාලයට වඳුරන් ගෙවල් තනන්න සාකච්ඡා කරන්නාක් මෙන්, අලි ඇතුන් දුම්රියට යට නොවන ක්‍රමවේද සකස් කිරීමට සාකච්ඡා පැවැත්වීම ය. එහෙත් අලි මරණ ගැන බෙහෙවින් සංවේදි, සතුන්ට ආදරය කරන පරිසර ඇමැතිවරයකු අත පරිසර අමාත්‍යාංශයේ වගකීම පවතින බැවින්, මේ අවස්ථාවේ දුම්රිය මාර්ගයේ අලි මිය යනවාට ස්ථිරසාර විසඳුමක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
ලෝකය මුහුණ දී සිටින සියලු උපද්‍රවවලට හේතුව මිහි මත වෙසෙන කිසිදු වැදගැම්මකට නැති සත්ත්වයකු වූ මිනිසා පෘථිවියේ පාලකයා බවට පත් වීම යැයි වැදගත් කියමනක් තිබේ. අප ජීවත් වන මිහිතලය ජීවයේ පැවැත්මට නුසුදුසු භූමියක් බවට පත් කරනු ලබමින් ඇත්තේ අසීමිත ලෙස මිහිතලයේ සම්පත් භුක්ති විඳීමට කෑදර මිනිසා විසිනි.
මානවයා වනාහි සියලු ශාඛ හා සත්ත්ව ප්‍රජාවන්ට විරුද්ධ ජාන සම්පත්තියක් ඇති සත්ත්වයෙකි. හෝමෝ සේපියන්ගේ ආගමනයෙන් අවුරුදු 2000ක් ගත වන්නත් ප්‍රථම ඔහු විසින් බොහෝ සත්ත්ව විශේෂ මිහි මතින් තුරන් කර දමනු ලැබී ය. මානවයා කරළියට පැමිණ ගත වූ මේ කෙටි කාලය තුළ ඔහු උතුරු අමෙරිකාවේ විශාල ක්ෂීරපායි සත්ත්ව විශේෂ 47න් 34ක්ම අතුරුදන් කළේය; දකුණු අමෙරිකාවේ දැවැන්ත සත්ත්ව විශේෂ 60කින් 50ක්ම මිහිතලයට අහිමි කළේය. වසර මිලියන 50කට වඩා පෘථිවියේ ජීවත් වූ බිලාලයෝ අතුරුදන් වූහ. ස්ථුල ශරීරවලින් යුතු සිංහයෝද, අමෙරිකාව නිජබිම් කරගෙන සිටි අශ්වයෝද, ඔටුවෝද, යෝධ මී පවුලේ සතුන් සේම මැමත්ලාද ඒ ඉරණමට ගොදුරු වූහ. කුඩා ක්ෂීරපායීන්, උරගයන්, කුරුල්ලන් මෙන්ම කෘමි සත්ත්ව විශේෂ දස දහස් ගණනක් ද මිහිමතින් වඳ විය. හෝමෝ සේපියන්ගේ පළමු ජනාවාස රැල්ල සත්ත්ව රාජධානිය මත පතිත වූ විශාලතම හා වේගවත් ම පරිසර විද්‍යාත්මක ඛේදවාචකය වන්නේ ය.
මේ යන වේගයෙන් ගිය හොත් මිහිතලය මත වෙසෙන සතුන්ගෙන්, මිනිසාගෙන් ගැලවෙනු ඇත්තේ ගොවිපොළ සත්තු පමණි. අප වටිනා ඇඳුම් ඇඳ ආභරණ පැලඳ ආරක්ෂිත නිවාසවල ජීවත් වුවත් අපේ මනස තිබෙන්නේ තවමත් දඩයම් යුගයේය. වසර 10,000කට පෙර අප්‍රිකානු ආසියානු මහාද්වීපයන්හි ගොවිපොළ සතුන් වශයෙන් සිටියේ මිලියන කීපයක ගවයන්, එළුවන්, ඌරන්, බැටළුවන් හා කුකුළන් පමණි. එහෙත් අද වන විට බිලියනයක එළුවෝද, බිලියනයක ඌරෝද, බිලියනයක ගවයෝද, බිලියන 25කට වැඩි කුකුළෝ ද සිටිති. මිනිසා ස්වකීය පරිභෝජනයට අවශ්‍ය නොවන සියලු සතුන් මරා දමන්නට තීරණය කළ හොත් අවසානයට මිහිපිට ඉතිරි වන පක්ෂියා කුකුළා විය හැකි ය. ඌරා, බැටළුවා සහ ගවයා අවසානයට ඉතිරි වන ක්ෂීරපායී සත්ත්වයෝ වනු ඇත.
එවිට උදා වන්නා වූ තත්ත්වය ‘කාර්මික විප්ලවය’ වශයෙන් මිනිසුන් හඳුන්වනු ඇත.