Home » ඉන්න බෑ රස්නේ…

ඉන්න බෑ රස්නේ…

අධික රස්නය ගැන වෛද්‍යවරුන් කියන්නේ මෙහෙමයි

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
නාමලී ගමගේ

දවස්වල පුදුම රස්නයක්නෙ තියෙන්නේ…”

“ඉන්න බෑ ඇඟ පිච්චෙනවා…”

“එළියෙ තියා ගේ ඇතුළෙවත් ඉන්න බෑ…”

“කොච්චර වතුර බිව්වත් මදි.”

“ඇස් ඇරන් ඉන්න බෑ දැවිල්ලයි…”

මේ දිනවල නිතර ඇසෙන කතාය. මේ දිනවල පවතින අධික රස්නය දිවයිනේ සෑම පළාතකටම එකසේ බලපාන ගැටලුවක් වන අතර පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වෙයි. මෙය මිනිස් සිරුරට ඍජුවම බලපෑම හේතුවෙන් වැඩිහිටියන් මෙන්ම දරුවන්ද මේ දිනවල දැඩි අපහසුතාවට පත්ව සිටිනු දිවයිනේ නන් දෙසින් ලැබෙන පුවත්වලින් තහවුරු වෙයි. සමකය ආසන්න කලාපයේ රටවල් රැසකටම බලපා ඇති මේ තත්ත්වය ආසියා, අප්‍රිකා, ඔස්ට්‍රේලියා මහාද්වීප මෙන්ම දකුණු ආසියාතික රටවල් වන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවටද ප්‍රබල අයුරින් බලපා ඇත.

සාමාන්‍යයෙන් පෙබරවාරි අවසානයේ ශ්‍රී ලංකාවට බලපාන්නේ ඊසානදිග මෝසමේ අවසාන භාගය බැවින්, උදෑසන අධික සූර්ය රශ්මියක් පතිත විය හැකි අතර, සුළං ධාරාවලද අඩු වීමක් ඇතැයි වාර්තා වේ. කොළඹ, ගාල්ල, රත්නපුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව, මන්නාරම, අනුරාධපුරය, යාපනය වැනි දිස්ත්‍රික්කවලට මේ තත්ත්වය උග්‍ර විය හැකි බවද පැවසේ. පරිසරයට නිරාවරණය වන මිනිස් සිරුරට දැනෙන අධික උණුසුම හේතුවෙන් සිරුර විජලන තත්ත්වයට මුහුණ දීම මෙන්ම ඇස් දැවිල්ල, සිරුර දැවිල්ල, හිස කැක්කුම වැනි ලක්ෂණ මේ වන විටත් සමාජයෙන් නිතර අසන්නට ලැබේ. කුඩා ළමයින් මෙන්ම විශේෂයෙන්ම නිවාසාන්තර ක්‍රීඩා තරග හේතුවෙන් එළිමහනේ ගැවසෙන දරුවන් මේ දිනවල මුහුණපාන මේ තත්ත්වය අවම කරගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ අපි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් විමසීමක් කළෙමු.

වැඩිපුර වතුර බොන්න

“මේ දිනවල පවතින අධික රස්නය නිසා දහඩිය පිට වීම වැඩියි. දහඩිය සමඟ ජලය සහ ලවණ දෙක පිට වීම නිසා ශරීරය විජලන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දරුවන් ගැන මේ දිනවල විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මූලික වශයෙන් හිසරදය, ඇඟපත රිදීම, වමනය, නිදිමත ගතිය, වැඩිපුර නින්ද යෑම, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා. මේ දවස්වල පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වීම නිසා දරුවන් අව්වට නිරාවරණය වනවා වැඩියි. ජලය පානය නොකර මැරතන් තරග, ක්‍රිකට් තරග, සයිකල් තරග වගේ දීර්ඝ වශයෙන් කාලය ගත වන ක්‍රීඩාවල යෙදෙමින් දිගු කාලයක් වතුර නොබී සිටීමෙන් බරපතළ තත්ත්වයන්ට ගොදුරු විය හැකියි. දිගු කාලයක් වතුර නොබී සිටීමෙන් ක්ලාන්ත ගතිය එන්න පුළුවන්. වැඩිහිටියන්ටත් මෙය ඒ විදිහටම බලපානවා. ගොවීන් මේ දවස්වල කුඹුරුවල ගොයම් කපනවා වෙන්න පුළුවන්. ඒ වගේම පාරෙ වැඩ කරන මිනිසුන් අව්වේ පාරවල වැඩ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැතත් වතුපිටිවල වැඩ කරනවා වෙන්න පුළුවන්. මොන තත්ත්වය මත වුණත් තම තමන් නියැළෙන රැකියාව කරන්න වෙනවා. වැදගත්ම කාරණය තමයි ඕනෑම කෙනෙක් වතුර නොබී එක දිගට වැඩ කළොත් ක්ලාන්ත ගතිය එන්න පුළුවන්. ඒ වගේම වතුර නොබී දුවන ක්‍රීඩාවක් වගේ කළොත් සිහි නැති වෙන්නත් පුළුවන්. එහෙම නැති නම් ෆිට් එක හැදෙන්න පුළුවන්. සමහර විට මියයන්න වුණත් පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ දවස්වල වැඩිපුර වතුර බොන්න කියලා. ඊට අමතරව දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැඳ වර්ග, සුප් වර්ග, ජීවනී වගේ ස්වාභාවික දියර වර්ග බොන්න ඕනෑ. වතුර බොන්නෙ නැතුව අපි දිගටම දුවන්න පනින්න ගත්තොත් තාප කම්පන තත්ත්වයන් (හීට් ස්ට්‍රෝක්) ඇති වෙලා, ක්ලාන්තය හැදිල වැටෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ජලය සහ ස්වාභාවික දියර වර්ග පානය කළ යුතුයි.

“ඊට අමතරව මේ දවස්වල හමේ රෝග හැදෙන ප්‍රවණතාවත් වැඩියි. වැඩිපුර දහඩිය දැමීම නිසා මේ දිනවල දරුවන්ට දහදිය බිබිළි, දද, කුෂ්ට වැනි සමේ රෝග ඇති වීමේ ඉඩකඩත් වැඩියි. ඒ නිසා විජලන තත්ත්වයෙන් මිදෙන්න වැඩිපුර වතුර බොනවා වගේම වැඩිපුර වතුරේ ඉන්න දීමත් වැදගත්. මේ දවස්වල දිනකට දෙවරක් නෑවත් කිසිම ගැටලුවක් නැහැ. විනාඩි විස්ස බැගින් වගේ වතුරේ ඉන්න දෙන එකත් හොඳ උපක්‍රමයක්. කෘත්‍රිම බීම වර්ග දරුවන්ට දෙන්න එපා. කෘත්‍රිම බීම වර්ග පානය කිරීමෙන් අධික රුධිර පීඩනය, තරබාරුකම, දියවැඩියාව වගේ බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම වැඩියි. ඒ නිසා කෘත්‍රිම දේවල් දීම කිසි සේත්ම අනුමත කරන්නේ නැහැ. විජලනය වීම විතරක් නෙවෙයි මූත්‍ර පිට වීම අඩු වීම, මූත්‍රවල පැහැය තද පාට වීමත් බොහෝ විට මේ දිනවල ජලය පානය අඩු වීම නිසා සිදු වන්නක්. ඒ වගේම දරුවන්ට අන්දන ඇඳුම් ගැනත් මවුපියන් මේ දිනවල වැඩිපුර අවධානයක් යොමු කළ යුතුයි. සරල කපු ඇඳුමක් ඇන්දවීම වගේම තොප්පියක් වැනි හිස් වැස්මක් දීමත් ගොඩක් වැදගත්. මෙන්න මේ වගේ සරල ක්‍රමවලින් මේ දිනවල අධික රස්නය නිසා දරුවන් පත් වන බරපතළ තත්ත්වයෙන් මුදාගන්න පුළුවන්. මවුපියන් මෙන්ම ගුරුභවතුන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.”

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය කවදා තෙක් පවතීද යන්නද මේ දිනවල බොහෝ දෙනාගේ සිත දවන ගැටලුවකි. කවුරුන් කෙසේ කුමන මත පළ කළත්, පවතින කාලගුණ තත්ත්වය කුමක්ද? එය කවදා තෙක් පවතීද යන්න නිශ්චිතවම දැනගැනීම සඳහා අපි ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක ඇමතීමු.

“අපේ රටේ මේ දවස්වල පවතින්නේ ඊසාන දිග මෝසමේ අන්තිම කාල පරිච්ඡේදයයි. පෙබරවාරි මාසෙන් පස්සෙ ඊසානදිග මෝසම ඉවර වෙනවා. මේ කාලයේ ඉන්දියාවේ ගොඩබිම් ප්‍ර‍දේශයෙන් සුළං හමනවා. ඒ හේතුවෙන් උදේ කාලයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ වගේ පළාත්වල මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් තිබුණත් දවල් වෙද්දි හිරු එළිය හොඳින් වැටෙන නිසා මීදුම් ගතිය පහ වෙලා සූර්ය ශක්තිය වැඩි නිසා අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් ඇති වෙනවා. වෙන අවුරුදුවලට සාපේක්ෂව මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය මෙවර කලින් පැමිණියා කියලත් අපට මතයක් පළ කරන්න පුළුවන්. මේ අතරවාරයේ පෙබරවාරි 23, 24, 25 වගේ දිනයන්හි දකුණ සහ බස්නාහිර පළාත්වල අතරින් පතර වගේ පොඩි පොඩි වර්ෂාපතනයන් ඇති විය හැකියි. හවස් වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති වුවත් ඒවා සැලකිය යුතු වර්ෂාපතනයන් නෙවෙයි. ඒ වෙලාවට උණුසුම් කාලගුණික තත්ත්වය අඩු වුණත් ස්ථිර වශයෙන් උණුසුම් තත්ත්වය අඩු වීමට නම් හොඳ වැහිවලාකුළු ඇවිත් වර්ෂාව හොඳින් ලැබිය යුතුයි.”

මාර්තු, අප්‍රේල්වලදී මීටත් වඩා උණුසුම් තත්ත්වයක්

“එළැඹෙන මාර්තු, අප්‍රේල්වලදී අන්තර්මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මීටත් වඩා උණුසුම් තත්ත්වයක් බලාපොරොත්තු වන්න පුළුවන්. ඒ කාල වකවානුවේ බොහෝ විට සුළං හමන වේගය අඩුයි. අධික සූර්ය ශක්තිය වැටීමෙන් පොළොව සහ පොළොව අවට ජලාශ ප්‍රදේශ රත් වෙලා වායුගෝලයට වැඩි වැඩියෙන් ජල වාෂ්ප එකතු වෙනවා. ඒ හේතුවෙන් වායුගෝලය ජල වාෂ්පවලින් පිරුණත් වැහි වලාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩුයි. සංතෘප්ත ජල වාෂ්ප වායුගෝලයේ පවතින නිසා අපට අපහසු ගතියක් දැනෙනවා. ඒ වගේම අපේ ඇඟට දමන දහඩිය ඉක්මනින් වියළෙන්නත් එය බාධාවක් වෙනවා. ශරීරය අසලින් සුළං හමනවා නම් එය එතරම් ගණන් නොගෙන සිටිය හැකි වුවත් ඒ කාලය සුළං හමන වේගය අඩු වීමත් ගැටලුසහගත තත්ත්වයක් උද්ගත කරනවා. මේ සියලු කරුණු හේතුකොට ගෙන දැනට සාපේක්ෂව ඒ මාස දෙක තුළත් පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන්න පුළුවන්.

“දැනට අප ළඟ තියෙන විශ්ලේෂණවලට අනුව අප්‍රේල් මාසෙ 15න් පසුව දිවයිනේ නිරිතදිග කොටසේ පොඩි වැසි තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම උදේ කාලයේ පායලා හවස් කාලයේ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එසේ වැසි ලැබීමත් එක්ක අධික උණුසුම් කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් අඩු වුවත් සම්පූර්ණයෙන්ම පහව යන්න නම් හොඳ වර්ෂාපතනයක් ලැබිය යුතුයි. මැයි මස විසි ගණන්වල නිරිතදිග මෝසම් තත්ත්වය පැමිණීමත් සමඟ මේ තත්ත්වයේ පහව යෑමක් සිදු වනවා.

“දැනට පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ වැඩිපුර ජලය පානය කළ යුතුයි. ඒ වගේම මේ දවස්වල සැහැල්ලු, සරල ඇඳුම් අඳින්නත් මතක තබාගන්න. පරිසර උෂ්ණත්ව ඉහළ අගයක පවතිද්දී අපේ ශරීර උෂ්ණත්වයත් ඊට සමගාමිව ඉහළ ගිය හොත් උෂ්ණත්ව දෙක අතර අන්තරයක් නැති වී මරණය පවා සිදු විය හැකි තරම් බරපතළ තත්ත්වයක් උදා විය හැකියි. ඇඟ උණුසුම් කරන ක්‍රීඩාවල යෙදෙන්නන් විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන් කිව යුතු වන්නේ මේ වගේ තත්ත්වයන් කලින් අවුරුදුවලත් ඇවිත් තියෙනවා. ඊට සාපේක්ෂව මේ අවුරුද්දේ ඒ තත්ත්වය ටිකක් කලින් බලපා තිබීම තමයි වෙනස.”

පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනූෂා වර්ණසූරිය පවසා සිටියේ මේ දිනවල මිනිස් සිරුරට බලපාන්නේ පරිසරයේ පවතින උෂ්ණත්වයම නොවන බවයි. දහඩිය දැමීම ශරීර උෂ්ණත්වය සිසිල් කරගැනීමට බලපාන හේතුවක් වුවත්, මේ දිනවල සුළං හමන වේගය අඩු වීම සහ පහළ වායුගෝලයේ ජල වාෂ්ප බහුල වීම මිනිස් සිරුරෙන් දහදිය පිට වීමට බාධාවක් වී අවශ්‍ය ක්‍රියාව සිදු නොවන නිසා පරිසර උෂ්ණත්වයට වඩා අංශක දෙක තුනකින් මිනිස් සිරුරේ උෂ්ණත්වය වැඩි වී දැනෙන බවයි. ලබන 24 වැනිදායින් පසුව මේ තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි අතර ඉන් පසුව අඩු වීමක් සිදු වුවද සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය පහව යෑමට නම් මැයි අග නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහය හමා යා යුතු බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

අව්ව, වැස්ස, සුළං ගංවතුර මෙන්ම පාරිසරික උෂ්ණත්වයද සොබාදහමේ කොටස්කරුවෝය. අද පවතින කාලගුණික විපර්යාසයද වසරක් පාසා ඇති වී නැති වී යන සොබාදහමේ විපර්යාසයක් බැවින්, අවශ්‍ය උපදෙස් සඳහා අනුගත වීම හැර මිනිසුන් වශයෙන් කිසිදා අපට එයට පිටුපා යා නොහැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division