පෘථිවි සමුළුව යනු ‘ප්ලැනට් ප්‍රොටෙක්ටර්ස්’ සංවිධානය විසින් පරිසරයේ තිරසර බව සහ එහි අනාගත ආරක්ෂාව වෙනුවෙන් ගොඩනඟන ලද ව්‍යාපෘතියකි. මෙවර එහි දෙවැනි සමුළුව පවත්වන ලද්දේ 2025 පෙබරවාරි 11 දින මහියංගණ දඹාන ආදිවාසි ගම් පියසේදීය. එහි තේමාව වන්නේම පරිසරයයි. ‘එක ග්‍රහලෝකයක්, හීන බිලියන 8ක්’ සහ ඒ ‘හීන දකින අනාගතය වෙනුවෙන් පෘථිවිය රැක ගන්නේ කෙසේ?’ යන්න සමුවේ මුඛ්‍ය අරමුණයි.
‘ප්ලැනට් ප්‍රොටෙක්ටර්ස්’ සංවිධානය ගොඩනඟන ලද්දේ ගාල්ලේ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙනි. පසුව එයට තවත් බොහෝ පරිසර සංවිධාන, ක්‍රීඩා සංවිධාන, විද්වතුන්, පරිසරවේදීන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය මැදිහත්වීම් හා පරිසරය ගැන සැබෑ ආදරයක් ඇති ආදිවාසීන් සමඟ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්, තානාපති නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් එකතු වී ඇත. මෙවර මේ සමුළුව සඳහා සුබ පැතුම් එක් කරන ආසියානු රග්බි සංගමයේ සභාපති කායිස් අබ්දුල්ලාගේ ප්‍රකාශයෙන් කියවෙන්නේ, පෘථිවි සමුළුව හා ‘ප්ලැනට් ප්‍රොටෙක්ටර්ස්’ සංවිධානය අන්තර්ජාතික මට්ටට එසවී ඇති බවයි.
පසුගිය 11 දින විශ්‍රාමික මහාචාර්ය, පරිසර විද්‍යාඥ සරත් කොටගම මහතාගේ හා ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලෑත්තාගේ මූලිකත්වයෙන් පවත්වන ලද පෘථිවි සමුළුවේදී පරිසරයේ තිරසර බව හා එහි අනාගතය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රාශියක් ගන්නා ලදි. විශ්වවිද්‍යාල සිසුන් හා විද්වතුන් එක්ව වැඩමුළු කිහිපයක් පවත්වා අනාගත පරිසර නියමුවන් බිහිකිරීම මූල බීජ වැපිරූ අතර, ප්‍රදර්ශනයක් ද පවත්වන ලැබීය. අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා තාක්ෂණය භාවිත කරන්නේ කෙසේද යන්න ප්‍රායෝගික තලයට ගෙනවිත් එයට අදාළ ඇප්එකක් එළිදක්වන ලදි. තවද පරිසරයට සැබෑ ලෙසම ආදරය කරන පුද්ගලයකු ලෙස ආදිවාසි නායකතුමන්ගේ සමරු මුද්දරයක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් එළි දක්වන ලදි.
පහත දැක්වෙන්නේ විවිධ සංස්කෘතික අංගවලින් හැඩවුණු පෘථිවි සමුළුවේදී හඬ අවදි කළ විද්වතුන්ගේ අදහස්වල සමකපිණ්ඩනයකි.
‘ප්ලැනට් ප්‍රොටෙක්ටර්ස්’ නිර්මාතෘ තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ අදහස් දක්වමින්:
“අපි මේ පෘථිවි සමුළුව පවත්වන්නේ දෙවැනි වතාවට. ඒ වගේම අපි ගොඩාක් මහන්සියක් ගත්තා මේ රටේ දරුවන්ට පරිසරය ගැන අධ්‍යාපනයක් දෙන්න. ලෝකේ මිනිස්සුන්ගේ යම් යම් ක්‍රියාදාම නිසා ස්වභාව දහම විනාශ වෙලා. මේ උෂ්ණත්වය ගොඩබිමටත් සාගරයටත් දරාගන්න බෑ. ජනගහනය වැඩි වෙන්න වැඩි වෙන්න සොබාදහම විනාශ කරමින් පවතිනවා. අපි රටේ ලෝකයේ සියලු මිනිසුන් දැනුවත් කරමින් ඉන්නවා. වර්තමාන රජයත් දැන් ක්ලීන් ශ්‍රී ලංකා කියල ව්‍යාපෘතියක් පටන්ගෙන තියෙනවා. තවම ඒකට මාස 2යි. ඇත්තටම ඒක ඉතා හොඳ වැඩක්. අපි මේ උත්සවය සමුළුවකට සීමා වෙන්නේ නෑ. ඒකට සමස්ත ජනතාවට එකතු කරන්නේ කොහොමද කියල අපි හිතනවා. දිස්ත්‍රික්ක 19ක අලි මිනිස් ගැටුම් තියෙනවා. විශ්වවිද්‍යාල සිසුන් සහ විද්වතුන් එකතු වෙලා දැන් ඇප් එකක් හදල තියෙනවා. අලි මිනිස් ගැටුම අවම කරන්න. ඒ වගේම ත්ත්ව චර්යා තේරුම්ගෙන පරිසරයට එරෙහි නොවී ජීවත් වෙන්න. ගොඩාක් ව්‍යාපෘති තියෙන්නේ රජයෙන් ඉල්ලන ඒවා. අපි රජයෙන් ඉල්ලන්නේ නෑ. අපි රජයට දෙනවා. අපි ළඟ හොඳ ප්ලෑන් එකක් තියෙනවා. අපි ඒක පරිසර ඇමැතිට දෙනවා. පරිසර හානිය අවම කරන්න මේ ව්‍යාපෘතිය හරහා අපි හැමෝටම ආරාධනා කරනවා. අපි හැදුවා තවත් සංකල්පයක් ‘අ ට්‍රයි අ ට්‍රී’ කියල. අපි ඒකෙන් ක්‍රීඩාව හරහා ලොකු වැඩක් කරන්න පුළුවන් කියල හිතනවා.”
ගෝලීය තිරසර සංවර්ධන හා වනජීවි සංරක්ෂණ විද්‍යාඥ, නැඟෙනහිර
අප්‍රිකානු ඩ්බ්.ඩ්බ්.එෆ්. ජ්‍යෙෂ්ඨ උපදේශක පෝල් මැන්සල්:
“ඊළඟ පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න ලැබීම මට ලොකු සතුටක්. අපිට සමාජයක් විදිහට මුහුණ දෙන්න වෙන්නේ ලොකු අභියෝගයකට. ඒකෙන් ගැලවෙන්න කරන්න පුළුවන් මොනවාද? ඔබ වාඩිවෙලා ඉන්න පුටුවේ මම පොඩි ගලක් තැබුවා. ඒක බලන්න. ඔයාලට ඒකෙන් පුළුවන් වතුරට දාල පොඩි රැළක් නඟන්න. අපි හැමෝම තමන් ළඟ තියෙන ගල්වලින් වතුරට දමල රළ නැඟුවොත් ඒක කොච්චර ලොකු එකක් වේවිද හිතන්න. ඒ වගේම අපි හැමෝම පරිසරය ගැන හිතුවොත් කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද? සමාජයේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ආණ්ඩුව, රජය, ව්‍යාපාරිකයන්, මිනිස්සු අපි මේ කොටස් 4ම ක්‍රියාවේ යොදවනවා. පරිසර තිරසර බව, ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිඵල දීර්ඝකාලීනයි. සමාජයේ වැඩිපුරම ඉන්නේ සුළු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයන්. මුළු ව්‍යාපාරවලින් 80%ක් පමණ. අපි පරිසර ඇමැතිත් එක්ක සාකච්ඡා කළා. කොහොමද කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් තිරසර බවසඳහා ගෙනියන්නේ කියලා. අපත් එක්ක හවුල් කරුවන් ගොඩාක් ඉන්නවා. අපි උදාහරණයකට ගනිමු පරිසර හිතකාමි ටුක් ටුක් එකක්. විදුලියෙන් වැඩ කරන ඒක හොඳ උත්සාහයක්. ඉතින් ඔය ගල පොන්ඩ් එකට විසි කරල රැළි නඟන්න. ඔබත් පරිසරයේ තිරසාර සංවර්ධනයේ කොටස්කරුවෙකු වන්න. පරිසරය සමඟ ජීවත් වෙන්න.”
ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ මහාචාර්ය සරත් කොටගම:
“අප මේ ඉන්නේ ලංකා ඉතිහාසයේ බොහෝ දෙනා හඳුනන පළාතක. 1818 නිදහස වෙනුවෙන් සටන් කළ අවධියේ මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගිනිබත් කරල දැම්මා. නැවත ගොඩනඟාගන්න උත්සාහ කළාට කිසිම රජයකින් සහයෝගයක් දුන්නේ නෑ. මේ ප්‍රදේශයේ අප්‍රකට බොහෝ ප්‍රාඥයෝ බිහිවුණු තැනක්. ඌව, මොනරාගල, මහියංගණය කියල කියන්නේ රාජ්‍ය සේවයේ දඬුවම් මාරු ප්‍රදේශයක්. පෘථිවි සමුළුව සඳහා අපි මෙතැන තෝරා ගත්තේ හේතුවත් ඇතිව 1981න් පස්සේ මහවැලිය හැදුණා. පරිසර ඇගැයීමක් කළේ මෙහේ විතරයි. මාදුරු ඔය, උල්හිටිය, රත්කිඳ රකින්න ඕනෑ. සෝදා පාලුව වළක්වන්න ඕනෑ. අපි ඒ කාලේ ඒක කළා. ආදි වාසි ජන කොටසක් සංවර්ධනයට අන්තර්ග්‍රහණය කරන්න හේනානිගලට අරන් ගියා. එහෙත් පවුල් 8ක් ගියේ නෑ. එයාලා නීති විරෝධි ලෙස හැඳින්වුවා. ඒත් මං හිතුවා 1989 වනජීවි අධ්‍යක්ෂක ජනරාල් වුණ කාලේ මේ ප්‍රදේශය වන්නියලාට ලබා දෙනවා කියලා. දැන් තියෙන්නේ පුනරුද යුගයක්. අලුත් තේමාවක් අපි එතෙන්ට එන්න ඕනෑ. අපේ උරුමය කියල දෙන්න ඕනෑ. තාක්ෂණය අපේ මෙවලමක් කරගන්න. වහල් නොවී තාක්ෂණය පාවිච්චි කරල පරිසරය එක්ක අපේ තියෙන බැදියාව වැඩි කර ගන්න ඕනෑ.”
ආදි වාසි නායක, වනස්පති, විශ්වකීර්ති ඌරුවරිගේ වන්නියැලෑත්තන් පවසන්නේ මෙවන් අදහසකි:
“මට ඇත්තටම සතුටුයි 2025 මේ පෘථිවි සමුළුවට අදහස් දක්වන්න මට ආරාධනා කළ එක ගැන. මේ සමුළුව පවත්වන්නේ දෙවැනි වතාවට. මීට අවුරුදු 50කට කලින්වත් මෙහෙම සමුළුවක් පැවැත්වූවා නම් අපට මීට වඩා සතුටු වෙන්න තිබුණා. වැඩිහිටි අයගේ කාලේ ඉවරයි. දරුවන් වැඩිපුර ඉන්න නිසා වැඩිපුර කතා කරන්න සතුටුයි. මෙහෙට ගොඩාක් අය එනවා. සමහරු මොනවා හරි ඇරන් යනවා. බඩු වර්ග නෙවෙයි. අලුත් අදහස්.
අපේ ජීවිතවල සරලකම ගැන අදහස්. ඉදිරි ගමනට. ඒ වෙලාවට මම එයාලගෙන් අහනවා ඔයාල ජීවත් වෙන්නේ මොකෙන්ද කියලා. හැමෝම හිතන්නේ අම්මා තාත්තාගෙන් කියලා. හැබැයි අපි ජීවත් වෙන්නේ පරිසරය නිසා. අපේ මස්, ඇට, ලේ, අපි කන කෑම, බීම මේ සියල්ලක්ම පෘථිවියේ දේවල්. කොටගම කීවා වගේ අපි පරිසරයට ණයයි. මිනිස්සු ළඟ කළගුණ තියෙනවා. කළගුණ සලකන්න ක්‍රම දෙකක් තියෙනවා. හැම දෙයකටම දිනයක් තියෙනවා. මවුවරුන්ගේ දිනය, ජල දිනය, කාන්තා දිනය වගේ අපටත් උපන් දිනයක් තියෙනවා.
අපි එදාට නටලා ගයලා කේක් කනවට වඩා හොඳ නැද්ද පැළයක් හිටෙවූවා නම්. වසරකට ලෝකයේ මිනිස්සු එහෙනම් පැළ කීයක් සිටුවයිද? අනිත් ක්‍රමය තමයි භූමි දානය, අපි අපිට හැම දෙයක්ම දුන්නු භූමියට අපේ ශරීරය දානේ දෙන එක. මැරිල වළදාන තැන පැළයක් හිටුවන එක. මේ දේවල් හිතට ගන්නවා නම් පරිසර නීති ඕනෑ නෑ. මිනිසාම තමයි නීතිය. අපි හිටුවන පැළය සමඟ කතා කරන්න;. සාත්තු කරන්න. එයාලා අපිට ආශීර්වාද කරාවි.”
පරිසර ඇමැති වෛද්‍ය ධම්මික පටබැඳිගේ:
“පාංශු, කඳු හැඩතල නිසා අපේ රට සුවිශේෂයි. විවිධ භූමි කලාප, සතුන්, ශාක, සංස්කෘතීන් මෙහිදී දැකගන්න පුළුවන්. මේ සියල්ල වැදගත් වන්නේ අපගේ මං සලකුණු රැකගෙන එන කලාපයක් වීම නිසා.
භූමියේ සුවිශේෂත්වයත්, ශාක, සතුන් ජන කණ්ඩායම්වල සහ සම්බන්ධතා හඳුනාගෙන තියෙනවා. පැවැත්ම රඳා පවතින්නේ මිනිසා මූලික කර ගත් ක්‍රියාවලියෙන් පමණක් නොව, මිනිසා, සතුන්, ශාක, පොදු ජීවිය මුල් කර ගත් සංවර්ධන සැලැස්මක් තුළයි. මෙරට වනාන්තර ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවත්, ඒකදේශීය සතුන් හා ශාකවල ආරක්ෂාවත් අපි සැලසුම් කර තියෙනවා. මධ්‍යම කඳුකරයේ නිර්මිත මහා ජලාශ, වැව් තරමක් පරිසර හානි ගෙන දුන්නත් වසර දහස් ගණකට එපිට බිහි කළ සොරබොර වැව තවමත් නොනැසී තිරසරව පවතිනවා නම්, එයින් අදහස් වන්නේ පුරාණ වාරි කාර්මාන්තයේ තිරසර බවයි.
මිනිසා වනාන්තර හා වාරි පද්ධතිය ආරක්ෂා කර වසර දහස් ගණනක් ගෙනියනවා. පුරාණ මිනිස්සුන්ට එහි ගෞරවය හිමි විය යුතුයි.
“ජාතික ජන බලවේගයේ රජයක් ලෙස අප පුරාණ ජනතාවගේ පාරිසරික අයිතියට ගරු කරනවා. මේ සමුළුවේ නියමුවන්ට අප ස්තුතිවන්ත වෙනවා. ඔබලාගේ උත්සාහය ඉදිරියට කරගෙන යෑමට රජයක් වශයෙන් උදවු කිරීමට කැමැත්ත දක්වන අතර, ඔබ ගන්නා සියලු උත්සාහයන්ට උපකාර කිරීමටත් රජයත් ලෙස අප කටයුතු කරනවා.”
මේ සමුළුව ඇමතීම සඳහා මහාචාර්ය සාගර විද්‍යාඥ ටර්නි ප්‍රදීප්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා, ඌව පළාත් ආණ්ඩුකාරවරයා, දේශක අමිත් පුස්සැල්ල ඇතුළු විද්වත්හු රාශියක් සහ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති නලින්ද සිල්වා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීයෝ පිරිසක් සහභාගි වූහ.