Home » තැපැල් කන්තෝරුවට අමුත්තෙක් ඇවිත්…

තැපැල් කන්තෝරුවට අමුත්තෙක් ඇවිත්…

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

ගලවත්ත, පිඹුර, මහවත්ත උප තැපැල් කන්තෝරුවට පසුගියදා හදිසියේම අමුත්තකු නොවන අමුත්තෙක් ගොඩවැදුණේය.

වෙනදා කන්තෝරුවේ පාරිභෝගික කවුළු අද්දර ඉඳගෙන මුද්දරයක්, තැපැල්පතක් ගන්න, ලිපියක් දාන්න, නැති තම් වෙනත් වැඩක් කරගන්න යන එන මේ පුද්ගලයා මෙදා කන්තෝරුවේ පිටි පස්සේ දොරෙන් කන්තෝරුව ඇතුළටම හදිසියේම ඇවිත් සිටිනු දැක, කන්තෝරුවේ නෝනත් වික්ෂිප්ත වුණා.

“ඉතින් කොහොමද වැඩ කටයුතු?” කියල බොහොම ළෙන්ගතු හිනාවකින් නෝනාව ඇමතූ මේ අමුත්තා අනාරාධිතවම කන්තෝරුවේ තිබුණු එකම අමතර අසුනේ වාඩි ගත්තේ බොහොම හුරු පුරුදු ළෙන්ගතුකමක්, හිතවත්කමක් විදහා පාමින්.

මේ අමුත්තා හැදුණු වැඩුණු මුල් ගෙදර ඉඳලා දශක හතකටත් වඩා ඉපැරණි ඉතිහාසයක් තියෙන ගමේ පුංචි තැපැල් කාර්යාලයට තිබුණේ යාර 100ක් තරම් බොහෝම ළඟ දුරක්. තිබුණ තැන පොඩ්ඩක් වෙනස් වුණාට අදත් තියෙන්නේ පුංචි ගොඩනැඟිල්ලක්, එමෙන් ම එක සේවකයෙක්, කාර්යාලයටම ඔව්වරයි.

දැනුම් තේරුම් ඇති අවධියේදී ගෙවුණු දශක 5කට ආසන්න කාලය පුරා මේ කියන අය මෙම තැපැල් කන්තෝරුවට ආ ගිය අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. එදා මෙදා තුර පුංචිම පුංචි කොලු ගැටයාගේ කාලේ පටන් කවදත් තැපැල් කන්තෝරුව සමඟ ගනුදෙනු කිරීමට අපමණ වාරයක් කන්තෝරුවේ කවුළුව අසලට ආව මොහු මෙවන් තනතුරකට පත් වෙලා මේ පුංචි කන්තෝරුවට ඒවි යැයි අන් කිසිවකු තබා ඔහුවත් කවදාවත් හිතන්න නැතුව ඇති. විශේෂයෙන්ම තැපැල්කරුවකු විදිහට ජීවිත කාලයම සේවය කළ මොහුගේ සීයාට නම් කොහොමවත් හිතෙන්න නැතුව ඇති.

ඒත් දෛවය එහෙම තමා… ගමේ රෝහලේ ඉපදිලා, ගමේ ඇළදොළ පරිසරයේ හැදිල වැඩිලා, ගමේ දහම් පාසලට, ඉස්කොලෙට ගිහිල්ලා, ආණ්ඩුවේ විශ්වවිද්‍යාලයකින් දොස්තර මහත්තයෙක් වෙන්න සුදුසුකම් ලබලා, ගමේකම හැබෑවටම තියෙන මේ ගමේ කොලුගැටයා මෙවන් වූ අපමණ අගයක්, වටිනාකමක් ඇති, රටේම වගකීම් බොහෝමයක් හොබවන තනතුරකට පත්වීමම ඉතින් ආශ්චර්යයක් ම නොවේද?

සමුපකාරේ වැඩ කරපු ජයතිස්ස මාමගෙයි, ගමේ කඩේ කරපු පද්මසිරි නැන්දගෙයි එකම පුතා, නීතිඥ සොනාලිගේ එකම අයියා, ගමේ දුව පැන ඇවිද්ද, පොදු වැඩවලදී මූලිකත්වය ගත්ත කොලුගැටයා, දවසින් දවස රටේ ලොකු තානාන්තරවලට යද්දි ගමේ අයට නම් පුදුම සතුටක්… ඉතින් ගමේ ඈයන්ගේ වීරයා, ගමේ තැපැල් කන්තෝරුවට ආව බව ආරංචි වූ හැටියෙම ගමේ නොසෑහෙන පිරිසක් මහවත්ත උප තැපැල් කන්තෝරුව වෙත දුවගෙන එන්න පටන් ගත්තා.

කන්තෝරුව භාර පී.ඩී.පී. කරුණාරත්න මහත්මියත් සමඟ කන්තෝරුවේ වුවමනාවන්, අඩුපාඩු ආදිය ගැන බොහෝම වේලාවක් කතා කර කර ඉඳලා, ගමේකම හඳුනන රැස්ව සිටි උදවියගේද සුවදුක් හොයලා බලලා මේ කියපු අය කන්තෝරුවෙන් පිටව ගියේ අමුත්තන්ගේ පොතේ අපූරු සටහනක්ද තියලයි.

“එදා පාරිභෝගිකයකු වු මම අද විෂය භාර අමාත්‍යවරයා ලෙස පිඹුර මාගේ ගමේ උපතැපැල් කාර්යාලය නිරීක්ෂණය කළෙමි. පවතින අඩුපාඩු, විසඳිය යුතු ගැටලු කිහිපයක්ම හඳුනා ගතිමි.”

ඔන්න ඔහොම ඒ පොතේ ‘නලින්ද ජයතිස්ස’ සෞඛ්‍ය, ජනමාධ්‍ය, තැපැල් හා දේශීය වෛද්‍ය භාර අමාත්‍ය යන්නට ඉහළින් ලියලා තිබුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, මාධ්‍ය ලේකම් දිප්ති විජේතුංග

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division