රාණි චිත්‍රපටය බැලුවෙමි. අශෝක හඳගමගේ චිත්‍රපට කලාවේ ආඛ්‍යාන ශෛලිය තුළින් එය පරීක්ෂාවට ලක් කළෙමි. එහෙත් මේ ලියන්නේ ‘රාණි’ සිනමා පටය පිළිබඳ විචාරයක්ම නොවේ. ‘රාණි’ තිර පිටපත ඇසුරෙන් රිචඩ් ද සොයිසා නම් සැබෑ මානවහිතවාදියා කියවා ගැනීමයි. සිනමා පටය මුලදී සිනමාත්මක දෙබස්, පසුබිම් හඬ හා රූප රාමු ඔස්සේ හඳගම ඔහුගේ කලාත්මක අධිකාරියට අප අවනත කරගන්නා අපුර්වත්වය කදිමය. අවසානයේ එය වෙනස් වේ.
ඕනෑම ක්ෂීරපායි මවක දරුවකු හා බැඳෙන්නේ පළමුව පෙකනිවැලෙන් හා දෙවනුව මවගේ තනපුඩුවෙනි. එය ජීව විද්‍යාත්මක, ජානමය බැඳීමකි. එහෙත් දරුවා වැඩෙන විට ඔහු හෝ ඇය මව හා බැඳෙන්නේ සමාජ විද්‍යාත්මක බැඳීම් ඔස්සේය. ඒවා සමාජයේ ආර්ථික විද්‍යා පදනමින් පැනනඟින සමාජ විද්‍යාත්මක සාධකවල බලපෑම්ය. පළමුව මව දරුවාගේ රැකවලාය; සමීපතමයාය; මිතුරාය. එමෙන්ම ආර්ථික හා සමාජමය විෂමතාවය ප්‍රමුඛ රටක මවගේ ආත්මාර්තයේ ප්‍රකාශනයයි.
පුද්ගල විඥානය (පෞද්ගලික සිතීම) සැකසෙන්නේ සමාජ විඥානයට (සමාජ සිතීම) යටත්වය. එනිසා, ඕනෑම මවකගේ චින්තනය හා සංස්කෘතික පෞර්ෂය ගොඩනැඟෙන්නේ ඇය අයත් සමාජ පන්තියට අනුවය. රාණි චිත්‍රපටියේ රාණිගේ චරිතය (මෙය මනෝරාණි සරවනමුත්තුගේ ඇත්ත චරිතය ගොඩනැංවීමට සමාන්තර විය හැකිය) මධ්‍යම පාන්තික එකක් ලෙස නිරූපණය වේ. මධ්‍යම පන්තියට ආසන්න ඉහළ පන්තිය ඉහළ සුළුධනේශ්වර පන්තියයි. එයට ආසන්න පහළ පන්තිය සුළු ධනේශ්වර පහළ පන්තියයි. එබැවින් මධ්‍යම පාන්තික චින්තනය සැකසෙන්නේ ඉහළ ධනේශ්වරය වෙත ළං වීමේ කැමැත්ත හා පහළ නිර්ධන පන්තිය වෙත කඩාවැටීමේ භීතිය අතර ගැටුමක් ලෙසයි. රාණි ලිබරල් චරිතයකි. ඇය වගකියන්නේ අතිශය පෞද්ගලික නිදහස වෙනුවෙනි. එහෙත් ඇය ඒ වෙනුවෙන් වෙහෙසෙන්නේ ඇයගේ අතේ දුරටය. ලිබරල්වාදය ධනේශ්වර සමාජයට අවශ්‍ය වන්නේ පුද්ගල නිදහස රකින්න නොව, ප්‍රාග්ධනයේ පුද්ගල අයිතිය රකින්නය. එනිසා රාණි අයත් පන්තියේ ලිබරල් දැක්ම තම පුතු රැකගැනීමේ වුවමනාවෙන් සීමා වේ. රිචඩ්ගේ යහළුවා පැහැර ගන්නා දර්ශනය දකින රාණි එය පුතාගෙන් වසන් කරන්නේ එනිසාය. ඇය රිචඩ්ගේ මිතුරාගේ (ගයාන්ගේ) අතිශය පෞද්ගලික කාරණාවලට බාධා නොකරන නමුත්, ඔහු මරාදමන්නට පැහැර ගෙන යන විට ඇය හැසිරෙන්නේ තම පෞද්ගලික (පුතාගේ) රැකවරණය වෙනුවෙනි. රාණිලාගේ චින්තනය කලබල වන්නේ ඔවුන්ගේ ලෝකයේ නිදහස බාධා වන විට පමණි.
චිත්‍රපටය තුළ ප්‍රධාන චරිතය රාණිය. රිචඩ් යනු පිටපතට අනුව ද්විතීයික චරිතයකි. එහෙත් යථාර්ථවාදි ඉතිහාසයේ මෙන්ම ‘රාණි’ චිත්‍රපටියේද ‘රිචඩ්’ යනු අනුක්‍රමයෙන් ප්‍රධාන චරිතය බවට පත් වන්නේ ඔහු ආදරය යන පොදු මානව ගුණයේ ප්‍රකාශකයා වන බැවිනි. ආදරය යන්නට පටු ආත්මාර්ථකාමි අරුතක්ද, පුළුල් පොදු අර්ථයක්ද වේ. නිදහස් යන්නටද එය පොදුය. මේ කතාව කියවෙන 1987-1989 ඓතිහාසික යුගය පටු ආත්මාර්ථකාමි ආදරය හා පුළුල් මානව ප්‍රේමය අතර ගැටුමද ඒ උදෙසා අතිශය පෞද්ගලික නිදහසද පොදු මානව නිදහසද අතර ගැටුම තීව්‍ර වූ යුගයකි. රිචඩ් නියෝජනය කළේ අතිශය මානවවාදි පිලයි. ඔහු තම පන්ති දෘෂ්ටියෙන් මිදී, ඉන් ඔබ්බට තර්ක කිරීම මව සමඟ වන බොහෝ සංවාදයන්හි දැකගත හැකිය. පාලක පන්තියේ මිනිස් බිලි ගැනිලි හමුවේ ගොදුරු බවට පත් වන දරුවන් දැක නිහඬ වන ඇය දරුවන් මෙලොවට බිහි වීමට උදවු කරන වෛද්‍යවරියෙකි. ඒ උපදින දරුවාගේ ජීවත් වීමේ අයිතිය ඇය දකින්නේ තම දරුවාගේ ජීවත් වීමේ අයිතියට යටත් කොටය. අතිශය පෞද්ගලිකත්වයක් උදෙසා සටන් කරන මධ්‍යම පන්තික මවකගේ උරුමය වන්නේ භීතියයි. එහෙත් ඉන් ඔබ්බට මානව ප්‍රේමය වෙනුවෙන් සටන් කළ රිචඩ් මරණය උරුම කරගත්තද එය සාමූහික අරගලයක අනිවාර්ය මිල ගෙවීමක් පමණි. ඔහුගේ අරගලය මානව අරගලය හා බැඳෙන්නේ එතැනිනි. ඔහු බොහෝ දෙනාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් තම මාධ්‍ය භාවිතය හසුරුවා ජීවිතය කැප කළ අයෙකි.
‘රාණි’ චිත්‍රපටය රිචඩ්ගේ ඝාතනයෙන් පසු අනුක්‍රමයෙන් මන්දගාමි වෙයි. එය ක්‍රියාදාම ත්ත්වයේ සිට වාර්තාකරණයක් දක්වා උදාසීන වේ. සැබවින්ම එහි ජීවය එතැන් සිට මිය යයි. කතා පිටපත පෞද්ගලික ප්‍රේමය හා මානව ප්‍රේමයේ අරගලයෙන් ඉවත් වූ තැන් පටන් අප දකින්නේ එම අරගලයේ නටබුන් විකුණන් කන දේශපාලන වෙළෙන්දන්ය.
මහින්ද රාජපක්ෂලා, මංගල සමරවීරලා, චන්ද්‍රිකා බණ්ඩාරනායකලා සිහසුනෙහි හොබවන්නට මනෝරාණිගේ අතිශය පෞද්ගලික දාරක ප්‍රේමය පොදු මවුවරුන්ගේ ප්‍රේමයේ නියෝජනය බවට පත් කරන්නට ගන්නා අධම උත්සාහයට ඇය නතු වේ. රාණි හෙවත් රැජන එතැන් සිට එම පෞරුෂයෙන් මිදී, දේශපාලන සටන්පාඨයක් බවට පත් ඛේදවාචකය උත්කර්ෂයෙන් දෙන්නට චිත්‍රපටය සමත් නැත. අපි රිචඩ් පමණක් මතක තබාගෙන රාණි චන්ද්‍රිකාලාට රාජපක්ෂලාට භාර දී චිත්‍රපට ශාලාවෙන් පිටතට පැමිණියෙමු.
මෙහි අතුරු පලයක් ලෙස, සජිත් ප්‍රේමදාස නිතර පවසන මන්තරය වන “මගේ පියාණන්ගේ යුගයක් යළි ඇති කරනවා” යන කියමන එම යුගය අත්දකිමින් එය කොතරම් බියකරු යුගයක් දැයි සිතන්නට ප්‍රේක්ෂකයාට පෙලඹුමක් සාදා ඇත. එමෙන්ම මේ චිත්‍රපටය තිරගත වන්නේ එදා ප්‍රේමදාස භීෂණයෙන් මර්දනය කොට, මිනී පෙට්ටියට අවසන් ඇණයද ගැසුවායැයි පැවසූ ව්‍යාපාරය බලයට පත්ව සිටින අවධියක වීම ඉතිහාසයේ විස්මයකි
ධනුෂ්ක හර්ෂණ වික්‍රමරත්න