– දුම්රිය වේග සීමා පිළිබඳ සෑහීමකට පත් විය හැකිද?
– මීනගයාවට බිලි වූ අලි ශෝකාන්තය
දැන් වරද කාගේද යන්න සොයා බලා වැඩක් නැත. තවත් අලි 6 දෙනකුගේ ජීවිත යකඩ යකුට බිලිවී හමාරය. කළ යුත්තේ මෙවැනි විපත් යළි ඇති නොවන්නට වගකිව යුත්තන් කටයුතු කිරීම පමණි. ආසියාවේ අලි නැරඹීමට හොඳම සංචාරක ගමනාන්තයක් වන රටක මෙලෙස නිතර නිතර අලි මරණ අසන්නට ලැබීම ගැන කනගාටුවට කරුණකි.
ඉකුත් සතියේ මින්නේරිය සහ ගල්ඔය දුම්රිය ස්ථාන අතර කි.මී.140 කණුව ආසන්නයේදී අලින් 6 දෙනකු මීනගයා දුම්රියේ ගැටී මිය යෑමේ පුවත ඔස්සේ කතා කරන්නට බොහෝ දේ ඉතිරිව ඇත්තේය. දුම්රියේ ගැටීමෙන් සිදු වන හස්ති මරණ සංඛ්‍යාව මෙරටින් වාර්ෂිකව වාර්තා වන මුළු මරණ සංඛ්‍යාවට සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක් වුවද, අලි බලන්න හොඳම රටේ මෙසේ එකම දිනක සමූහ වශයෙන් අලි මියයෑම සුළුවෙන් තැකිය නොහැකිය.
“වසර ගණනාවක් පුරා, මේ ගැටලුව විසඳීමට බොහෝ අදහස් ඉදිරිපත් වුණා. සීමිත අවස්ථාවන්හිදී සහ ප්‍රදේශවලදී ඒ උපායමාර්ග කිහිපයක් අත්හදා බැලුවා. මාර්ගය අසල හෝ මාර්ගය ආසන්නයේ සිටින අලි ඇතුන් පිළිබඳ දුම්රිය රියදුරන්ට අනතුරු ඇඟවීම, දුම්රියක් පැමිණෙන විට අලි පලවා හැරීම, අලි ඇතුන් මාර්ගයට පැමිණීම වැළැක්වීම, අනතුරකින් තොරව අලින්ට දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ සැලසීම ඒ අතර වුණා. දුම්රිය රියැදුරන්ට අලි ඇතුන් වඩාත් පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි දුම්රිය මාර්ගය දෙපස ඇති වෘක්ෂලතාදිය ඉවත් කිරීමද ඊට ඇතුළත් වුණා.
“යෝජිත අධි තාක්‍ෂණික විසඳුම් ලෙස දුම්රියවල අධි බලැති LED ලාම්පු, තාප (Thermal) කැමරා හෝ අධෝරක්ත (Infra-red) කැමරා සවි කිරීම මඟින් මාර්ගයේ සිටින අලින් වඩා හොඳින් දෘශ්‍යමාන කරදීම, පණිවිඩ හුවමාරු පද්ධති සමඟින් දුම්රිය මාර්ගය දෙපස සවි කළ අලි ඇතුන් හඳුනා ගන්නා උපාංග සම්බන්ධ කර, මාර්ගයේ හෝ ඊට යාබදව සිටින අලින් ගැන දුම්රිය රියැදුරන්ට ක්ෂණිකව දැනුම් දීම, අලි ඇතුන්ට රේඩියෝ කරපටි පැලඳවීම මඟින් ඔවුන්ගේ සංචරණයන් නිරීක්ෂණයෙන් ඔවුන් මාර්ගයට පිවිසෙන විට දුම්රිය රියැ දුරන්ට දැනුම් දීමත් ඇතුළත් වුණා.
“කෙසේ වෙතත් මේ තාක්‍ෂණික විසඳුම් බැලූ බැල්මට සිත් ඇදගන්නාසුලු වුවත් දෝෂ සහිතයි. ඒ මන්ද යත්: ධාවනය වන දුම්රියක ගැටෙන්නේ ඊට තත්පර කිහිපයක් ඉදිරියෙන් මාර්ගය හරහා පනින අලියකු පමණක් නිසා. අලි ඇතුන්ට ආරක්ෂිතව දුම්රිය මාර්ගය හරහා යෑමට අවස්ථාව සලසා දෙන්නේ කෙසේද? මෙය සිදු කළ හැක්කේ යටි බිම්ගත මාර්ග හෝ ගුවන් පාලම් ඉදිකිරීමෙනුයි. යටි බිම්ගත මාර්ග මඟින් දුම්රිය හා අලි ගැටීම වැළැක්විය හැකි වුවද, එම ප්‍රයත්නය සාර්ථක වන්නේ අලින් ඒවා භාවිත කළ හොත් පමණයි. එබැවින් හොඳම විසඳුම අලි ඇතුන් දැනටම නිතිපතා දුම්රිය මාර්ගය හරහා ගමන් කරන ස්ථාන හඳුනාගැනීමයි.
“කෙසේ වෙතත් වැදගත්ම දේ වන්නේ දුම්රිය වේගය පාලනය කිරීමයි. අලි ඇතුන් බොහෝ විට ගැටීම සිදු වන්නේ රාත්‍රී කාලයේ ගමන් කරන දුම්රියවලයි” ඒ, අලි ඇතුන් පිළිබඳ විශේෂඥයන් වන ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු හා සුපුන් ළහිරු ප්‍රකාශ් පළ කළ අදහස්ය.
ඔවුන් පවසන්නේ 2018 වර්ෂයේදී ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ‘විශේෂඥ’ කණ්ඩායමක් දුම්රියක ගමන් කර වාර්තාවක් ඉදිරිපත් කළ බවත්, එමඟින් මහව දුම්රිය ස්ථානයෙන් ඔබ්බට ඇති දුම්රිය මාර්ග පද්ධතියේ කිලෝමීටර් 368ක ප්‍රදේශයක අලි ඇතුන් දුම්රියේ ගැටීමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති බවයි. ඒ අතුරින් ගැටීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශ හරහා දුම්රිය ගමන් කරන දුර කිලෝමීටර 142ක් බව පැවසේ. එවැනි දුරක් පැයට කිලෝමීටර 10-25ක වේගයෙන් ගමන් කිරීම ප්‍රායෝගික නොවන නිසා ‘වේගසීමා’ ක්‍රමයක් අනුගමනය කරන්න නම්, අලි ඇතුන් සැබෑ වශයෙන්ම දුම්රිය මාර්ගය තරණය කරන්නේ කුමන ස්ථානවලින්ද යන්න නිවැරදිව හඳුනා ගත යුතු බවයි. කෙසේ වෙතත්, දුම්රිය නීතියට යටත්ව ධාවනය වන්නේ නැති නම්, අලි ඇතුන් සැබැවින්ම දුම්රිය මාර්ගය තරණය කරන ස්ථාන සියල්ල නිවැරදිව හඳුනාගැනීමෙන් සහ ඒ සියල්ලේ වේග සීමා යෙදීමෙන් වුවද කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ.
“2011 ජූනි 17 වැනිදා මධ්‍යම රාත්‍රියට ආසන්නව තිබියදී රේඩියෝ කරපටි පැලඳ සිටි නාඹර ඇතින්නක වූ තුෂාරි, ඇයගේ මව සහ බාල සොහොයුරා ගල්ගමුවේදී දුම්රියක ගැටී මිය ගියා. තුෂාරි ඇයගේ පවුලේ අය සමඟ නිතිපතා තරණය කළ දුම්රිය මාර්ගයේ දිග මීටර් 500ක්. මේ මාර්ග කොටස බොහෝ අලි රංචු විසින් දුම්රිය මාර්ගය (සහ සමාන්තර පාදෙණිය – ගල්ගමුව ප්‍රධාන මාර්ගය) තරණය කිරීමට සුලබව යොදාගන්නවා. සත්‍ය වශයෙන්ම, වනජීවී සංරක්ෂණ සහ දුම්රිය දෙපාර්තමේන්තුව මේ මාර්ග කොටස සඳහා පැයට කිලෝමීටර 20ක වේග සීමාවක් ප්‍රකාශ කරමින් දුම්රිය මාර්ගය දිගේ මාර්ග සංඥා පුවරුද සවි කර තිබුණා. තුෂාරි මියගිය පසු, මේ මාර්ග කොටස හරහා ගමන් කරන රාත්‍රී දුම්රියවල වේගය පරීක්ෂා කළ පසු අධික වේගයකින් ධාවනය වූ බව පෙනුණා…” ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු සහ සුපුන් ළහිරු ප්‍රකාශ් වැඩිදුරටත් පැවසූහ.
පසුගියදා වූ සිදුවීමෙන් අනතුරුව මීට කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සහ ප්‍රවාහන, සිවිල් ගුවන් සේවා හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙවර අය වැය මඟින්ද අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා විශේෂයෙන් ප්‍රතිපාදන කර ඇති බව පවසයි. එසේම අලිඇතුන් දුම්රියේ ගැටීමට විසඳුම් ලෙස වනජීවී නිලධාරීන් හා දුම්රිය රියැදුරන් හා නිලධාරීන්ගේ ඒකාබද්ධතාවෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියැදුරන් ඇතුළු කාර්යමණ්ඩලයට නිසි පුහුණුවක් දීමටත් අවධානය යොමු විය.
එසේම මේ ප්‍රදේශවල වේග පුවරු සවි කිරීම හා අනතුරු ඇඟවීම් පුවරු සවි කිරීම අාදිය කෙටිකාලීන විසඳුම් ක්‍රියාවලි ලෙස හඳුනාගෙන ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය දහවල් කාලයේ ධාවනය කිරීම සහ දුම්රිය වේග සීමා පැනවීම මගින් මෙම තත්ත්වය පාලනය කළ හැකි බවට අවධාරණය කරන ලදි.
ඡායාරූප-අනුරාධපුර සංචාරක බී. ජී. චතුරංග