
කැණීමෙන් හමු වූ ජ්‍යාමිතිකරූපි ක්ෂුද්‍ර ශිලා මෙවලම්
ප්‍රමාණයෙන් කුඩා සතුන් හැර, ප්‍රාග් ඓතිහාසික මානවයා ඇතුළු විශාල සත්ත්ව වර්ගවලට ඝර්මකලාපීය වැසි වනාන්තරවල ජීවත් වීම අසීරු බව මානව විද්‍යාඥයන්ගේ හා පුරා විද්‍යාඥයන්ගේ පොදු පිළිගැනීම විය. එකී වන බිම් යෝධ වැල්වලින් එකිනෙකට බැඳුණු රූස්ස ගස්වලින් හෙබි උඩුවියනකින්ද කටුපඳුරු හා වනළැහැබ් වැල්වලින් එතී උඩුවියනට සම්බන්ධ වූ යටිවියනකින්ද සමන්විත වූ අතර, තමා අවට ස්වාභාවික පරිසරයෙන් සතුන් දඩයම් කර, වනද්‍රව්‍ය රැස් කිරීමෙන් යැපුම් ක්‍රමය සලසාගත් සත්ත්වයකුට එවැනි වන ව්‍යූහයකින් යුත් වනාන්තරයක දිවි ගෙවීම පහසු කටයුත්තක් නොවීම මේ අදහසට හේතු විය. විශේෂයෙන් ආහාරයට ප්‍රමාණවත් විශාල සත්ත්ව වර්ග නොවීම, ඔබ මොබ ගමන් කිරීමේ අපහසුව වැනි කරුණු නිසා එම වනාන්තර මානවයාට ජීවත් වීමට අසීරු ප්‍රදේශ ලෙස ඔවුන් හඳුන්වා ඇත.
එහෙත් පසුගිය දශක කිහිපයේදී ශ්‍රී ලංකාවේ ඝර්මකලාපීය වනාන්තරවල පිහිටි පාහියංගල, බටදොඹලෙන, බෙලිලෙන, දොරවක, අලුලෙන හා බෙල්ලන්බැඳිපැලැස්ස යන ස්ථාන අලළා සිදු කළ නවතම පර්යේෂණවල ප්‍රතිඵල විද්‍යාඥයන් එතෙක් දැරූ ඒ මතය පළමුවරට සාර්ථක ලෙස බිඳහෙළීමට සමත් වී තිබේ. එනම්: ඝර්ම කලාපීය වැසි වනාන්තරවල පාරිසරික දුෂ්කරතාවලට අභියෝග කරමින් හා ඊට අනුවර්තනය වෙමින් සාර්ථකව ජීවත් වීමට ප්‍රාග් ඓතිහාසික නවීන මානවයා (හෝමෝ සේපියන්) සමත් වී ඇති බව මේ පර්යේෂණ දත්ත තහවුරු කර ඇත. ඒ අනුව, වැසි වනාන්තර ආශ්‍රිත ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ ලෝකයේ නිවැරදි හා නිරුපද්‍රිත නිදර්ශක සපයන රට ලෙස ශ්‍රී ලංකාව අන්තර්ජාතික අවධානයට පාත්‍ර වී තිබේ.
ශ්‍රී ලංකාවේ ඝර්මකලාපීය වැසි වනාන්තර දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ ව්‍යාප්ත වන අතර, ප්‍රදේශයේ භූවිෂමතාව අනුව පහත රට හා කඳුකර ප්‍රදේශ ඇතුළත්ව එහි ව්‍යාප්තිය දක්නට ලැබේ. වාර්ෂිකව මි.මී. 2,500කට වඩා වැඩි වර්ෂාපතනයක් ලබන මේ වැසි වනාන්තර සදාකාලිකව වැඩෙන වන ආවරණයක් උරුම කරගෙන ඇත. වර්ෂයේ වැඩි කාලයක් පවතින අධික වර්ෂාව, තෙත් කලාපයට ආවේණික සෙසු සත්ත්ව වර්ගවල පර්පෝෂිතයකු වූ කූඩැල්ලන්ගේ අධික ගහනය වැනි හේතු නිසා මානවයන්ට පමණක් නොව, අනෙකුත් සතුන්ට පවා මෙහි විසීම පහසු නොවීය. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සම්බන්ධයෙන් එය තවත් තීව්‍ර වන්නේ මේ වැසි වනාන්තර පිහිටි කලාපයේ කිලොමීටර් 100ක පමණ වපසරියක් ඇතුළත මුහුදු මට්ටමේ සිට මීටර් 2,244ක් පමණ උසක් දක්වා භූමියේ උස ඉක්මනින් උච්චාවචනය වන පසුබිමකය. මෙහෙයින් පැනනැඟුණු කඳු, බෑවුම්, ප්‍රපාත, නිම්න, මොහොර, ශිඛර ආදි සංකීර්ණ භූගෝලීය පිහිටීම මෙන්ම ගැඹුරු දියඇලි, වර්ෂය පුරා ගලන ජල පද්ධති, ගංගා පිටාර යනාදියද මානවයන්ට මෙහි ජීවත් වීමට පැවති බාධා විය.
කෙසේ වුවද, මෙවැනි පරිසරික බාධකවලින් යුත් ශ්‍රී ලංකාවේ ඝර්මකලාපීය වැසි වනාන්තරවලද ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූ බව දැන් ලෝකයට අනාවරණය වී හමාරය. පසුගිය දශක දෙක තුළ පොත්ගුල් ලෙන, කූරගල, පාලින්දනුවර කැබැල්ල ලෙන යන ප්‍රාග් ඓතිහාසික ජනාවාස කැණීම්වලින්ද මේ බව වැඩිදුරටත් සනාථ වී ඇති අතර, 2016දී කෑගල්ල, බුලත්කොහුපිටිය, නෙව්ස්මියර්හි පිහිටි කටාරංගල ලෙන කැණීමෙන්ද නවීන මානවයාගේ මුතුන්මිත්තන් ඝර්මකලාපීය වැසි වනාන්තරවල බාධා අතික්‍රමණය කරමින් ජීවත් වූ බව තහවුරු කෙරිණි. ආචාර්ය නිමල් පෙරේරාගේ උපදේශකත්වයෙන්, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ශ්‍රියාණි හතුරුසිංහගේ මෙහෙයවීමෙන් ආරම්භ කෙරුණු මේ කැණීමෙන්, නිවර්තන මෝසම් වැසි වනාන්තර ආශ්‍රිතව සාර්ථකව ජීවත් වූ ප්‍රාග් නවීන මානවයා පිළිබඳ තවත් සාධක රැසක් අනාවරණය කරන ලදි.
මධ්‍ය කඳුකරයට අයත් දොළාස්බාගේ කඳුවැටියේ බටහිර බෑවුමේ, ගුරුගොඩ ඔය නිම්නයට ඇතුළත්ව, මුහුදු මට්ටමින් අඩි 800-1,100 අතර උන්නතාංශයෙන් යුත් කඳුමුදුන්, කඳුවැටි, හෙල්වැටි, ක්ෂුද්‍රමය නිම්න පොකුරු, කුඩා ඇළදොළ, දියතු සහිත භූගෝලීය ප්‍රදේශයක කටාරංගල ලෙන පිහිටා තිබේ. ප්‍රපාතාකාර කඳුබෑවුමක මුහුණතේ පිහිටීම නිසා එහි ළඟා වීම ප්‍රාග් ඓතිහාසික යුගයේදීද අසීරු වූහයි සිතිය හැකිය.
සුවිශාල පාෂාණමය පර්වතයක් පාමුල පිහිටි කටාරංගල ලෙන, දිගින් මීටර් 40ක්, ඇතුළත උපරිම පළල මීටර් 6ක් හා ගුහා විවරය උසින් මීටර් 8ක් පමණ වූ ලෙන් අවකාශයකි. ශීඝ්‍ර බෑවුමකට මුහුණලා පිහිටි ගුහාවේ පුළුල් ද්වාරයෙන් ගුහාව තුළට සවස් කාලයේ පවා හොඳ ස්වාභාවික ආලෝකයක් ලැබේ. ලෙනේ ඉහළ පියස්සේ කටාරම මඟින් ඓතිහාසික යුගයේදී මෙය භික්ෂූන්ගේ වාසස්ථානයක්ව තිබී ඇති බව තහවුරු කෙරිණි. වර්තමානයේදී සංඝාවාසයකට අවශ්‍ය සියලු අංගෝපාංග ඇතුළත් වන පරිදි මෙහි කටාරංගල රජමහා විහාරය ඉදි කර තිබේ. ප්‍රදේශවාසීන්ගේ මතකයට අනුව වර්තමාන විහාරස්ථානය ඉදි කිරීමට පෙර මේ ගුහාව තුළ නිවෙසක් තනාගෙන පවුලක්ද පදිංචි වී සිට තිබේ. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් පසු අවස්ථා කිහිපයකදී මෙවැනි ජනාවාසකරණයට ලක් වීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාග් ඓතිහාසික තැන්පතුවේ වැඩි ප්‍රමාණයක් ගුහාවෙන් ඉවත් වී ඇත. ගුහාව ඉදිරිපස බෑවුමේ මතුපිට දක්නට ඇති සියගණනක් ශිලා ආයුධ කොටස්, ගුහාව තුළ තිබූ ප්‍රාග් ඓතිහාසික තැන්පතුවෙන් අක්‍රමවත් ලෙස ඉවත් කෙරුණු සාධක බව පෙනී යයි.
මවු පාෂාණය දක්වා සිදු කරන ලද කැණීමේදී ගැඹුරින්ම පිහිටි ස්තර තුන ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් තැන්පතු ලෙස හඳුනාගැනිණි. මේ ස්තර තුනෙන්ම තිරුවාණා සහ කහඳ ශිලා මෙවලම්, සතුන්ගේ අස්ථි කොටස්, දැවීගිය කැකුණ ඇට කොටස්, රත්හිරියල් හා මිනිරන් සුළු වශයෙන් හමු විය. ප්‍රාග් ඓතිහාසික තැන්පතු මත පිහිටි මූල ඓතිහාසික යුගයට අයත් ස්තරයෙන් කානීලියන් පබළු දෙකක් හා ගෙවී ගිය කළු-රතු මැටිබඳුන් කොටස් කිහිපයක් හමු විය. අමෙරිකාවේ බීටා ආයතනය මඟින් සිදු කරවන ලද කාබන් 14 කාලනීර්ණ පරීක්ෂාවෙන් කටාරංගල ලෙන, අදින් වසර 8,765කට පෙර පැවති මෙසොලිතික යුගයට අයත් ප්‍රාග් ඓතිහාසික ජනාවාසයක් බව අනාවරණය වේ.
මෙහිදී කටාරංගල ගුහාවේ විශේෂත්වයක් වන්නේ එයින් වැඩි වශයෙන් ශිලා මෙවලම් ලැබීමය. සිදුරු සහිත තැළුම්ගලක් (pitted hammer stone) සහ පතුරු අයුධ (flake) විශාල ප්‍රමාණයක් මේ ජනාවාසයෙන් ලැබේ. මෙසොලිතික යුගයට අයත් නිර්මාණාත්මක ලක්ෂණ පෙන්වන මේ ශිලා මෙවලම් ජ්‍යාමිතිකරූපි ක්ෂුද්‍ර මෙවලම් (geomettric microlithic) වේ. පතුරු ආයුධ අතර මි.මී. 0.5ට වඩා කුඩා පතුරු විශාල ප්‍රමාණයක් තිබීමද විශේෂත්වයකි. ඒවා ඇග්‍රිගේට් (aggregate) නම් තිරුවාණා වර්ගයෙන් නිෂ්පාදනය කළ ආයුධ බව විශ්ලේෂණයෙන් හෙළි විය. මෙවැනි සියුම් පතුරු ව්‍යූහයක් සහිත මවු පාෂාණ හැර විශාල පතුරු සහිත ව්‍යූහයකින් සමන්විත ඛනිජ ව්‍යාප්තියක් ප්‍රදේශයේ නැති බැවින්, කුඩා පතුරු ආයුධ සම්ප්‍රදායකට අනුගත වීමට ඔවුන්ට සිදු වූ බව සිතිය හැකිය. ඉතා කුඩා සියුම් පතුරුවලින් සකස් වූ මේ තිරුවාණා විශේෂය මහඔය නිම්නයේ හා කැලණි ගංගා නිම්නයේ බොරලු තැන්පතු ලෙස තැන්පත් වී ඇත. ප්‍රාග් මානවයාට පරිසරයෙන් පිරිනැමූ සම්පත් උපරිමයෙන් භාවිත කළ වැසි වනාන්තරවල ජීවත් වූ ප්‍රාග් නවීන මානවයා මෙසොලිතික යුගයේ අවසාන කාලයේදී කුඩා ජ්‍යාමිතිකරූපි පතුරු (තල) ආයුධ සෑදීමට අවතීර්ණ වූ බව කටාරංගලින්ද තහුවරු කර ඇත. එහිදී හමු වූ කුඩා ප්‍රමාණයේ කැපුම් ආයුධ (cutter), සීරුම් ආයුධ (scraper), බ්ලේඩ් (blade), කවාකාර පතුරු (bending), කෝණාකාර වැනි විවිධ හැඩතල කිහිපයකින් යුත් පතුරු ආයුධ (flake) සහ උල් ආයුධ (pointed) වලින් සමන්විත, බහුවිධ කාර්ය සඳහා ආයුධ ගොනුවක් පිළිබඳ මනා හෙළිදරවුවකි.

කටාරංගල විහාරයේ වර්තමාන ධර්මශාලාව තුළ කැණීම් සිදු වූ අවස්ථාවක්
ආචාර්ය සිරාන් දැරණියගල මෙසොලිතික යුගයේ මෙකී ජ්‍යාමිතිකරූපි ක්ෂුද්‍ර ශිලා මෙවලම් හැඩ 32ක් හඳුන්වාදී ඇත. ශිලා ආයුධ භාවිතයේදී පුළුල් පරාසයක ශිලා මෙවලම් වර්ග භාවිත කළ සාධක ඇති බැවින්, වැසි වනාන්තරවලින් එක්රැස් කළ ඇට වර්ග තළාගැනීමටත්, එහි ජීවත් වූ කුඩා සත්ත්ව වර්ග දඩයම් කරගැනීමටත් මේ ආයුධ ගොනුව ප්‍රමාණවත් වූ බව නිගමනය කළ හැකිය. පර්යේෂණයට භාජනය කළ බිම් ප්‍රමාණය මුළු භූමියෙන් 0.8%ක් පමණක් වන බැවින් තවත් බොහෝ සාධක ඉදිරි පර්යේෂණයකදී අනාවරණය කරගැනීමට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තරවල ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික මානවයා අවට පරිසරයෙන් සතුන් දඩයම් කිරීමේ හා වන ද්‍රව්‍ය රැස් කිරීමේ යැපීම් ක්‍රමය පරිසරයට අනුව හැඩගැසී තිබූ ආකාරය කටාරංගල කැණීමෙන්ද තහවුරු වේ. වනාන්තර තුළ පහසුවෙන් රිංගා යා හැකි හෝ කොළරොඩු අතර ජීවත් විය හැකි, දියකඩිති හා කුඩා ජල පද්ධතිවල ජීවත් විය හැකි, පියඹා යා හැකි කුඩා සත්ත්ව වර්ගවලට එහි පහසුවෙන් ජීවත් වීමට හැකියාව තිබූ බැවින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මෙහි ජීවත් වූ මානවයාට එම සතුන් ආහාරයට ගැනීමට සිදු වී තිබේ. දිරාපත් වන කොළරොඩු තුළ නොකඩවා ජනනය වන කෘමිසතුන්, බෙල්ලන් වර්ග මෙන්ම හතු වර්ග ඔවුගේ ආහාරයේ විවිධත්වයක් ඇති කිරීමටත්, ආහාර සුලභ වීමටත් හේතු වන්නට ඇත. සදාහරිත වැසි වනාන්තරවල නොකඩවා වැඩෙන ශාක ප්‍රජාව, එහි සත්ත්ව ප්‍රජාවේ නිරන්තර වර්ධනය වීමට බලපාන බැවින්, වියළි කලාපයට වඩා වැසි වනාන්තරවල පවතින සෙසු දුෂ්කරතා අබිබවා ප්‍රාග් මානවයාට ආහාරමය වශයෙන් සුරක්ෂිත ප්‍රදේශයක් බවට පත් වී තිබේ.

ආචාර්ය නිමල් පෙරේරා හා ආචාර්ය ශ්‍රියාණි හතුරුසිංහ අනාවරණය කරගත් පුරාවස්තු පිරික්සමින්
කටාරංගල ප්‍රදේශයේ භූගෝලීය පිහිටීමට අනුව කඳුවැටි හා ඒවා අතර පවතින කුඩා නිම්න අතර හුවමාරු වෙමින් ආහාර සොයාගැනීමේ සංක්‍රමණික ජීවන ක්‍රමයක් ගොඩනැඟී පැවති බව විශ්වාස කළ හැකිය. මඳ බෑවුම් සහිත කඳුවැටි අතර පිහිටි කපොලු හරහා ගමන් කරමින්, කුඩා කුඩා නිම්නවලට මාරු වෙමින් ආහාර සොයාගැනීමට යුහුසුලු වීමට ප්‍රාග් මානවයන්ට සිදු වී ඇත. තෙත් කලාපීය වනාන්තරවල දිරාපත් වන කොළරොඩු තුළ නොකඩවා ජනනය වන කෘමිසතුන්, බෙල්ලන් වර්ග මෙන්ම හතු වර්ග ඔවුගේ ආහාරයේ විවිධත්වයක් ඇති කිරීමටත්, ආහාර සුලබ වීමටත් හේතු වන්නට ඇත. සදාහරිත වැසි වනාන්තරවල නොකඩවා වැඩෙන ශාක ප්‍රජාව, එහි සත්ත්ව ප්‍රජාවේ නිරන්තර වර්ධනය වීමට බලපාන බැවින් වියළි කලාපයට වඩා වැසි වනාන්තරවල පවතින සෙසු දුෂ්කරතා අබිබවා ප්‍රාග් මානවයාට ආහාරමය වශයෙන් සුරක්ෂිත ප්‍රදේශයක් බවට පත් වී තිබේ. කටාරංගල ලෙන පිහිටි ප්‍රදේශයේ වැසි වනාන්තර වර්ෂය පුරා නොකඩවා වර්ධනය වන (සදාහරිත වනාන්තර) බැවින් වර්ෂය පුරා කුමන හෝ ශාකමය ආහාරයක් සොයාගැනීමේ සම්භාවිතාව වැඩි වේ. කටු අල වර්ග, බිම්මල්, ගෙඩි වර්ග, පලතුරු වර්ග, ඇට වර්ග, මල් වර්ග, කොළ වර්ග ශාකමය ආහාර අතර තිබෙන්නට ඇත. කැණීම් කළ සීමිත ප්‍රදේශයෙන් ආහාරයට ගත් කැකුණ ඇට කොටස් ලැබී තිබේ. තැන්පතුවෙන් 0.8%ක් තරම් කුඩා ප්‍රදේශයක් පමණක් කැණීම නිසා බටදොඹ ලෙන, පාහියංගල ලෙන, බෙලිලෙන, අලවල, අලුලෙන ආදි ඝර්මකලාපීය වැසි වනාන්තරවල පිහිටි ස්ථානවලින් මෙන් කටුඅල වර්ග, ඇටිකෙහෙල් ආහාරයට ගත් සාධක හමු නොවීමට හේතු විය හැකිය. කටාරංගල අවට පරිසර සාධක අනුව හෙලොසීන යුගයේ ආරම්භයේ ක්ෂුද්‍ර ශිලා මෙවලම් භාවිත කළ ප්‍රාග් නවීන මානවයා ආහාර රැස් කළ ස්වාභාවික වැසි වනාන්තර පිහිටි බිම් රාශියක් යටත්විජිත යුගයේ තේ සහ රබර් වගා කිරීමට යොදාගැනීම නිසා විනාශ වී තිබේ. කටාරංගල අවට ප්‍රදේශයේ ස්වාභාවික වැසි වනාන්තර රැසක්ද එයට අයත් වේ.
ප්ලෙයිස්ටොසීන යුගයේ අවසාන හා හෙලොසින යුගයේ ආරම්භයේදී ඝර්මකලාපීය වැසි වනාන්තරවල පැවති පරිසරික දුෂ්කරතාවලට මුහුණ දෙමින් හා ඒවාට අනුගත වෙමින් සාර්ථකව ජීවිතය හැඩගස්වා ගැනීමට ඝර්මකලාපීය වැසි වනාන්තරවල විසූ නවීන මානවයාට හැකි වූ බව කටාරංගල කැණීමෙන් තවදුරටත් තහවුරු වේ. ඔවුන් මේ වනාන්තර පුරා ඇවිදිමින් ජීවත් වූ බව එහි ඇති සෑම කුඩා ගල්ගුහාවක්ම පරිහරණය කළ බව සාධකවලින් තහවුරු වේ. ස්ථිරව පදිංචි වූ බවට ගැඹුරු තැන්පතු එම ගුහාවල නොතිබුණත්, මතුපිට ශිලා ආයුධවල විසිරීම් අනුව තාවකාලික වශයෙන් ලැගුම්ගත් ස්ථාන ලෙස අනුමාන කළ හැකිය. නිවර්තන වනාන්තර පිහිටි ප්‍රදේශයට වර්ෂයේ වැඩි කාලයක් වැසි කාල පවතින බැවින් මෙවැනි කුඩා ගුහා ආවරණ තාවකාලික නැවතුම්පොළවල් වූ බව නිසැකය. එමෙන්ම මේ ඝර්මකලාපීය වැසි වනාන්තර සහිත නිරිතදිග කලාපයේ ප්‍රාග් ඓතිහාසික සාධක තිබිය හැකියැයි විශ්වාස කළ හැකි විශාල ගල්ලෙන් (ලෙනගල, බිබිලි ඔය වැනි) රාශියක් ගම්පොළ, කෝට්ටේ හා මහනුවර යුගවලදී බහුලව විහාරස්ථාන බවට පත් වී ඇති බැවින්, නිවර්තන වැසි වනාන්තරවල ජීවත් වූ ප්‍රාග් නවීන මානවයාගේ තොරතුරු රාශියක් සැඟවී තිබිය හැකිය. මේ සාධක සියල්ල අනුව තහවුරු වන්නේ නිවර්තන වැසි වනාන්තරවල පැවති පරිසරික තත්ත්වයන්ට අනුවර්තනය වෙමින්, ඒ අභියෝග ජය ගනිමින් ප්‍රාග් නවීන මානවයා එම වනාන්තරවල සාර්ථකව ජීවත් වූ බවයි.
වර්තමානයේ මේ ලෙන විහාරස්ථානයක් බවට පත් කරගෙන වැඩ වසන දොඹේපොළ ශ්‍රී සීලාලංකාර හිමියන් ධර්මශාලාව තුළ පුරාවිද්‍යා කැණීම සිදු කිරීමට සිය පූර්ණ අවසරය දීමෙන් නොනැවතී, අප කණ්ඩායමට නිරතුරු දැක්වූ සංග්‍රහශීලි සහයෝගය මෙහිදී විශේෂයෙන් ස්තුතිපූර්වකව සිහිපත් කළ යුතුය.
ආචාර්ය ශ්‍රියාණි හතුරුසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
පුරාවිද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය