කඩිකොයි දිස්ත්‍රික්කයට ගියොත් කුර්බලිදරේ ගඟ අයිනෙ වාඩියක් ගසාගෙන කල් ගත කරන්න පුළුවන්; නැතිනම් දවුල් ගසමින් නටන ගැටවු ටිකක් එක්ක එකතු වෙලා හොරොන් හෝ හලයි නැටුමක් නටන්න පුළුවන්. නගරේ මාකට් එක පැත්තෙ නම් හරිම කලබලික්. මෝඩ පැත්තේ කඩේක කොකුළු හාල් තියෙනවා.’
ඉහත ලියා ඇති කොටසේ තුර්කි බසෙහි ඇති සිංහල හෝ සිංහලට ආසන්න වචන කිහිපයක්ම හමු වෙනවා. මට ඉස්සෙල්ලම හමු වෙච්ච වචනෙ කලිබලික්. එක් සති අන්තයක කඩිකෝයි යන්න ඕනැ කිවුවම ‘එහෙ සති අන්තේ නම් හරිම කලබලික්’ කිවුවෙ අපේ කාර්යාල රියැදුරා. ‘කලබලික්’ කියන්නෙ සෙනග වැඩියෙන් ගැවසෙන කලබලකාරි බවට. ගංගා නිම්නවලට අරාබි බසේ වගේම තුර්කි බසෙත් කියන්නේ වාඩි කියල. අපේ වාඩි ගැසීම ඇවිල්ල තියෙන්නේ මේ අනුව. ඊළඟට කොකුළු කියල කියන්නෙ නැවුම් සුවඳවත් බවට. මෙහෙ කඩවල තියවනවා කොකුළු හාල්. ඒක තයිලන්තෙන් ගෙනා හාලක්. බත ඉදෙන කොට මිහිරි සුවඳක් හමනවා.
මේ සියල්ලටත් වඩා මා පුදුම වුණේ දවුල් ගැන ඇහුවම. අපේ වගේම දවුල් කියන බෙර වර්ගය මේ රටෙත් තියෙනවා. දවුල් කියන්නේ ග්‍රීක මූලයක් තියෙන තුර්කි වචනයක්. කල් කියන්නේත් තුර්කි බසින් කල් ගත කරනවා කියන එකට. කරුවලට කර්නික් කියනවා. කළු මුහුද කරාඩෙනිස්.
මේ ආකාරයේ ළඟින් යන වචන කිහිපයක් තිබුණට තුර්කි බසේ සිංහල බසට කිට්ටුවෙන් යන වචන ඇත්තෙම නැති තරම්. ඒත් කඩිකොයි උප නගරයේ ඔබමොබ සරද්දී මොකක්දෝ හුරුපුරුදු ගතියක් දැනෙනවා. එහි තැන තැන දවුල් හෝ බග්ලාමා වාදනය කරමින් විනෝද වෙන පිරිස් දකින්න පුළුවන්.

ඔටෝමාන් ලේඛක අල් සුවාවී ස්මාරකය
මාමුරා මුහුද ඉවුරේ විශාල වෙරළ තීරයක් අත්පත් කරගෙන සිටින කඩිකොයි නගරය ලිබරල් හා විනෝදජනක නගරයක් කියලයි හඳුන්වන්නේ. මෙහි ඉතිහාසය ග්‍රීක හා රෝම අධිරාජ්‍ය යුගවලටත් ඔබ්බට යනවා. ඉස්තාන්බුල් ආසියාතික කොටසේ තිබෙන කඩිකොයි නගරය වෙත කිහිප වතාවක් යන්න හිතුණේ එය මේ මෙට්‍රොපොලිටනයේ තිබෙන ආකර්ෂණීයම කලාපයක් නිසා. ඊටත් වඩා කඩිකොයි නගරය හා බැඳිච්ච ඉතිහාස කතා හරිම රසවත්. බයිසන්ටින් යුගයට හා ඔටෝමාන් යුගයට පෙර චල්ස්ඩෙන් කියල හඳුන්වපු මේ නගරය ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටන් මහා නගරයට අයත් එක් ජනාකීර්ණ උප නගරයක්. මෙවැනි නගර කලාප හඳුන්වන්නේත් දිස්ත්‍රික්ක හැටියට. ඔටෝමාන් අධිරාජ්‍යය ආරම්භයේදීම වගේ චල්ස්ඩෙන්වල නම ‘කඩිකොයි’ ලෙස වෙනස් වෙනවා. ඒ නමේ තේරුම ‘නඩුකාරයාගේ ගම’ කියන එක. ඔටෝමාන් යුගයේදී යම් කිසි පරිපාලන ක්‍රමයක් ස්ථාපිත වීම මේ අලුත් නම ලැබීමට හේතු වෙන්න ඇති.
ජනප්‍රවාදයේ එන හැටියට ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේදී චල්ස්ඩෙන් නගරයට ‘අන්ධයන්ගේ නගරය’ කියල අන්වර්ථ නාමයක් ලැබුණලු. ඒ නම ලැබිල තියෙන්නේ මුලින්ම මේ ප්‍රදේශයේ පදිංචි වූ ග්‍රීක ජාතිකයන්, බොස්පරස් සමුද්‍ර තීරය ආසන්නයේ අරතරම් මනස්කාන්ත ඉඩකඩ හා තොටුපොළ තියෙද්දී ඒවා පසු කර ඇවිත් මාමුරා මුහුදට මුහුණ ලා පිහිටි උපක්‍රමික වශයෙන් වැදගත් නොවූ මේ භුමිය තෝරාගැනීම ගැන විමතිය පළ කරන්නලු.
ඒත් එකල එහෙම වුණත් කඩිකොයි කියන්නේ මේ වන විට ඉස්තාන්බුල් ආසියානු කොටසේ පිහිටි ආර්ථික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතා දියුණු නගරයක්. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් සතුටු නගරයක්ම බව එහි ගිය කිහිප වතාවේදීම අපට පැහැදිලි වුණා.
එමිනොනු නැව් තොටෙන් මගී යාත්‍රාවකට ගොඩ වී පැය බාගෙක ගමනකින් පසු කඩිකොයි වෙත සේන්දු වෙන්න පුළුවන්. ඊට අමතරව දුම්රියෙන් හා බස්රියෙනුත් මේ නගරයට එන්න පුළුවන්. ඉස්තාන්බුල් ආසියානු කොටසේ පිහිටි සබිහා ගොක්චාන් ගුවන්තොටුපොළ වෙත යන දුම්රියට ගොඩ වෙන්නත් සමහරු කඩිකොයි එනවා.
අපි ගිය මුල්ම දවසේ යාත්‍රාවෙන් ගොඩ බැහැලා මඳ දුරක් යද්දීම මනරම් සංගීත වාදනයක් පසුබිමේ ඇසෙද්දී අත් අල්ලාගෙන නටන තරුණ මහලු කාන්තා පිරිමි විස්සක් විතර පිරිසක් දුටුවා. එය බලා සිටින්න ප්‍රියමනාපයි. මේ හොරොන් නැටුමක් බව මා සමඟ ගිය එරන්ද පැවසුවා. ඔහු මේ නැටුම ගැන සිය සරසවි දෙසුමකදිත් සඳහන් කළ වග කිවුවා. හොරොන් නැටුම තුර්කියට ආවේණික නැටුම් කලාවක්. පොඩි පොඩි වෙනස්කම් සහිතව තුර්කිය හා ග්‍රීසිය වැනි අසල්වැසි රටවලත් දක්නට පුළුවන්. මෙහි තිබෙන විශේෂත්වය තමයි, අප නැටුමේ නරඹන්නන් පමණක් නොවී, ඕනැම මොහොතක ඊට සහභාගි වෙන්න පුළුවන් වීම.

කඩිකොයි -මෝඩා ට්‍රෑම් මාර්ගය
හොරොන් කියන්නේ තුර්කියේ උතුරු කළු මුහුද අසන්න වැසියන්ගේ ප්‍රියතම නර්තනය. තුර්කි ජනයා බොහෝ සෙයින් ආදරය කරන සම්ප්‍රදායක් ලෙස සැලකෙන මේ නර්තනය 2021දී යුනෙස්කෝ සංස්කෘතික උරුම ලැයිස්තුවට එකතු වුණා. මේ නැටුමට සංගීතය සපයන්න බග්ලාමා නම් වූ ගිටාරයක් වැනි තත් භාණ්ඩය, දිග නළාවක් හා කුඩා දවුලක් යොදාගෙන තිබුණා. මුළු නර්තන කාලයම පිරිස අඩ කවයක් සෑදී අත් අල්ලාගෙන වෙනස් වෙනස් චලන රටා මවමින් නටද්දී, කණ්ඩායම් නායකයා පිරිසට ඉඟියක් දී චලන රිද්මය වෙනස් කරනවා. බලන නරඹන සියලු දෙනා ඉතා උද්‍යෝගයෙන් සිනා පිරි මුහුණින් රස විඳින හොරොන් නැටුම සෑහෙන වෙලාවක් නරඹා අපි කඩිකොයි නගරය දෙසට ඇදුණා.
මේ නගරය කලක් ප්‍රංස ජාතිකයන් බහුලව ජීවත් වූ කලාපයක් නිසා විනෝදයට බර වී තිබෙන බවයි කියන්නේ. මෝඩා කියන්නේ නගරයේ විලාසිතාවලට ප්‍රසිද්ධ සුන්දර කලාපයක්. නර්තන ශාලා, ඔපෙරා ශාලා හා සරුසාර අාහාර වෙළෙඳසල් පිරි නගරයේ වීදි කිහිපයක්ම රෙදිපිළි අලෙවියට වෙන් වී තිබෙනවා. අඩු මුදලට හොඳ තත්වයේ ඇඳුම් පැලඳුම් ගන්න ඉස්තාන්බුල් නගර වැසියන් මෙහි ඇදී එනවා.
මේ නගරයේ ඉතා විශාල ගණනක් ආපණශාලා තිබෙනවා. මේ හැමෙකක්ම වගේ සන්ධ්‍යා කාලය වෙද්දී ජනයාගෙන් පිරී යනවා. බීර වීදුරු හිස් කරමින්, බැදපු මාළු හා අර්තාපල් පෙති රස විඳින දෙස් විදෙස් සංචාරකයන් පැය ගණනාවක් මියුරු සංගීත රසය මැද සතුටු සාමීචියේ යෙදෙනවා. නගරයේ කෙළවරක ප්‍රේක්ෂකයන් හතළිස් හත්දහසකට ඉඩ පහසුකම් තිබෙන විශාල පාපන්දු පිටියක් ඉදි වෙලා තිබෙන්නේ 1908දී. විවිධ භාෂාවලින් ලියවුණු වටිනා පොත්පත් අලෙවියට තබා ඇති පොත් සාප්පු කිහිපයකටම අපි ගොඩ වුණා. මේවායේ ගැනුම්කරුවන්ට ඉතා ඉහළ පිළිගැනීමක් හා වටිනාකමක් දෙනවා. නගරයේ පැරණි දේවස්ථාන කිහිපයක්ම තිබුණා. නගර මධ්‍යයේ තිබෙන හය මං හන්දිය මැද විශාල වෘෂභයකුගේ රූපයක් නෙළා තිබෙනවා. ඒ ආකෘතිය පැරිස් නුවර සිට ගෙන ආවක්.
මෙන්න මේ හේතු නිසා කඩිකෝයි නගරය ත්‍රිමාණ නගරයක් කියා මට හිතෙනවා. සාප්පු සවාරි යන්නන්, විනෝද වන්නන්, පොත් රසිකයන්, ඔපෙරා රසිකයන්, පාපන්දු ලෝලීන් ආදි ඉතා විචිත්‍ර මනුෂ්‍ය සංයෝගයක් සහිත කඩිකොයි නගරය ඉස්තාන්බුල් මෙට්‍රොපොලිටනයේ සජීවීම කොටස ලෙසයි මා දකින්නේ.

කඩිකොයි නගරයේ පිහිටි ප්‍රසිද්ධ සුරෙයියා ඔපෙරා ශාලාව