Home » කොයි දීපංකරේ ගියත් මුලට එන රෝගය

කොයි දීපංකරේ ගියත් මුලට එන රෝගය

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

දෙපයින් නැඟී සිටි මිනිසා මිහිතලය පුරා අස්සක් මුල්ලක් නෑරම ඇවිද්දේය; ඇවිද යා නොහැකි ගංගාවල පා වෙන කොට මත නැඟී ගමන් කළේය. හරක්, බූරුවන්, ඔටුවන්, අශ්වයන් වැනි සත්ත්වයන් අල්ලාගෙන ඔවුන්ගේ පිට උඩ නැඟී සෑහෙන කලක් දසඅතේ කරක්ගැසුවේය; අවසන රෝදය නිර්මාණය කරගැනීමත් සමඟ ගමනාගමනයේත් තාක්ෂණයේත් මහා පෙරළියක් සිදු කළේය. දැන් සේපියන්ස්ලාට මිහි මත, අහසේ, දියෙහි පමණක් නොව, අභ්‍යවකාශයෙහි පවා යා හැකි යානවාහන තිබේය. දැන් පෙරදාටත් වඩා සේපියන්ස්ලාට ගමන් බිමන් බොහෝය.

ඒ අභාසයටම, මේ ලියුම්කාර සේපියන්ස් ගොයියාද, ඉන්දීය සාගරයේ මෙහා කෙළවර සිට එහා කෙළවර වූ මහා දක්ෂිණ භූමිය (Great Southern Land) ලෙස අතීතයේ හැඳින්වූ ඔස්ට්‍රේලියානු මහාද්වීපයට පැමිණියේය.

කොයි දීපංකරේ ගියත්, රට ජාතිය ආගම කියන මන්තරේ කටපාඩම්ය. කුඩා කාලයේ සිටම විධිමත් අධ්‍යාපනය විසිනුත්, අවිධිමත් අධ්‍යාපනය විසිනුත් සෑම ආකාරයකින්ම මොළයට දා තිබ්බේ එපමණය. ඒනිසාම, කොහේ ගියත් ලෝකයේ උතුම්ම ජාතිය අපිය, උතුම්ම ආගම අපේය… ආදි වශයෙන් දැඩි මාන්නාධික හැඟීමක් යටිහිතේ තැන්පත් කර තිබිණි. ප්‍රෞඪ ඉතිහාසයේ නටබුන් දෙස බලමින් අතීතයේ අපේ මුතුන් මිත්තන් ගැන උජාරුවෙන් කතා කළේය. ඒ සමඟම පුරාවිද්‍යා සාධක නැතත් රාවණා ගැන වූ මහන්තත්ත කතා සහ ගැම්මද යටිහිතේ හොල්මන් කරමින් තිබිණි.

අතීතයේ එහෙම තිබ්බත්, දැන් අපට මුකුත් නැතිය. ඒ දෙක අතර හිඩැස අතිශය දුක්ඛිතය. අපට එහෙම වුණේ සුද්දන් හෙවත් බටහිර ජාතීන් නිසායැයි අපේ අය මන්තරයක් සේ කීවෝය. එහෙත් බටහිර යටත්විජිතකරණයෙන් පසු, අපේ රටේ විධිමත් මහාමාර්ග දුම්රිය මාර්ග, පාසල් අධ්‍යාපනය නිසා වැඩි පිරිසකට විධිමත් අධ්‍යාපනය, රෝහල් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව, රෝම ලන්දේසි නීතිය සහ උසාවි පද්ධතිය, ප්‍රජාතන්ත්‍රවාදි පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආදි බොහෝ දේ අපට ලැබී තිබිණි.

එහෙත්, ඒවා නොලැබෙන්නට රජවරුන්ගේ පුතාගෙන් පුතාට යන රාජත්වය, වැඩවසම් ක්‍රමය, කුල භේදය, ප්‍රභූන්ට පමණක් සීමා වූ අධ්‍යාපනය සහ කුලයේ රැකියාවට අදාළ අධ්‍යාපනය ආදි ප්‍රාථමික සමාජ ගති ලක්ෂණ තවමත් ඉතිරි වනු ඇත.

1948න් පසු අධිරාජ්‍යවාදයෙන් මිදුණද, ඔවුන් ස්ථාපිත කළ නවීන පද්ධති අපේම අය විසින් පාලනය කළද, වසර දහස් ගණනක් පුරා ඇට මස් ලේ නහරවලට කාවැදී තිබූ වැඩවසම් ක්‍රමයේ කුළ ප්‍රභූ හීනමානත්, ඒ හීනමානවලින් මිදීමට එකාට එකා නැතිව කටයුතු කිරීමේ අනුහුරුවත් නිසා, බටහිර ක්‍රමවේදය ආයෙම වැඩවසම් රාමුවේම දුවන්නට විය.

ඊටද හේතුවක් තිබේ. ලෝකයේ සේපියන්ස් සමාජවල ව්‍යාප්ත වෙමින් ගිය යටත්විජිතකරණය 20 වැනි සිය වසේ මැද භාගයේදී දෙවැනි ලෝක යුද්ධයත් සමඟ දෙදරා ගියේය. එතෙක් මේ ග්‍රහලෝකයේ දියුණුම සහ අධිපතිවාදී බලවේගය වූ බටහිර යටත්විජිතකරණය හා ඈඳුණු වික්ටෝරියාණු සදාචාර පද්ධතියද දෙදරීමකට ලක් විය. බොහෝ විට බටහිර ජනසමාජ තුළම ධනවාදයට විකල්පය සහ විසඳුම ලෙස නැඟගෙන ආ තවත් එක් සේපියන්ස් චින්තාවලියක් වූ සමාජවාදය හිස එසවීම ආදි කාරණාද මේ සඳහා බලපෑ සන්ධිස්ථානය.

වික්ටෝරියානු සදාචාරය සහ එහි නටබුන් ගැන සේපියන්ස් ගොයියා වෙනම කතා කිරීමට සිතන්නේය. කෙසේ වෙතත්, සාරාංශය ලෙස මානව ඉතිහාසයේ සන්ධිස්ථාන ලෙස සිය යටත්විජිත අත්හැර ගිය මහා බ්‍රිතාන්‍යය, වඩාත් ඉදිරි දැක්මක් සහිතව සිය දියුණු මානව ප්‍රවණතා වෙනස් කරමින් වික්ටෝරියානු සදාචාරයද අත්හැර දැමුවේ අලුයම ලූ කෙළ පිඬක් ලෙසය. එහෙත්, ආසියාවේත්, අප්‍රිකාවේත් වෙනත් ස්ථානවලත් යුරෝපීන්ගෙන් නිදහස ලැබූ සමාජවල, යටත්විජිත යුගයේදී පරම්පරා කිහිපයක් තුළ සිය ඉපැරණි ප්‍රෞඪ ඉතිහාස සමඟ සම්මිශ්‍රණය වූ සමහර යල්පිනූ වික්ටෝරියානු සදාචාර අපේ වටිනාකම් ලෙස තවමත් කරපින්නාගෙන සිටිති. එය වූකලි මේ සියවසේ අතිවිශාලතම විහිළුවය. ඒවා ගැන ඉදිරියේ දී කතා කළ යුතුමය.

කෙසේ වෙතත්, අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා වසර හැත්තෑ ගණනක් ගත වුණ ද,මතුපිටින්, බුදු ගුණ කතා කරමින් ද, අභ්‍යන්තරයෙන් ඒ කියූ ගුණ නොපිළිපදිමින්ද, පාලකයින්ට නිලධාරීන්ට කැමති කැමති විධියට නීති රීති එහා මෙහා වෙමින්ද ආතක්පාතක් නැතිව කුරුවල් වී ගිය බංකොලොත් රටක් අපට ඉතුරු වී තිබෙන බව නොරහසකි.

බණ කියන පිරිස් ඕනෑ තරම් සිටියද බණ රකින එකෙක් සොයාගැනීම උගහට වී තිබිණි. රටෙහි මානව සහ සමාජ සැබෑ වටිනාකම් ගැන නීති පොත්වල කවරක් කෙටුම්පත් වී තිබුණද බලධාරීන් විසින් ඒවාට සැබෑ වටිනාකමක් සපයා නොතිබිණි. හැමෝම නීති තිබුණද නීතිය කඩමින් බලධාරීන්ගේ උපකාරයෙන් ගැලවී යන කෙටිමං සෙවූහ. අවසානයේ නිවැරදි දේ කුමක්ද වැරදි දේ කුමක්ද යන්න ගැන නිශ්චයක් නැති තැනකට ගමන් කර තිබිණි.

එවැනි සමාජයකින්, දියුණු සේපියන්ස්ලා වෙසෙන නීතිය සාධාරණය උසස් ප්‍රමිතියෙන් ක්‍රියාත්මක වන පරිසරයකට ආපසු සේපියන්ස් ගොයියාටද ප්‍රබල ආගන්තුක බවක් නොදැනුණා නම් පුදුමය.

කෙසේ වෙතත්, සේපියන්ස් ගොයියාට, හැම විටම අපේ එකම තමයි ශ්‍රේෂ්ඨයැයි හිතෙන ඇබ්බැහිය ඉතා ප්‍රාථමික අවර ගණයේ නොදියුණු සිතිවිල්ලක් යැයි පසක් වන්නට වසරක් දෙකක් ගත වූ බව කිව මනාය.

ලොව හතර දිග්බාගයේ තුන්වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල් සහ මැදපෙරදිග කලාපයේ සමහර දැඩි ආගමික මතවාදි රටවලින්ද පැමිණි සේපියන්ස්ලාගේ වැඩමුළුවකට යන්නට ඉඩප්‍රස්තාවක් උදා වුණේ වාසනාවකටය. ඒ ඒ රටවල විවිධ ජනවාර්ගික සහ ආගමික කලකෝලාහල යුද ගැටුම් නිසා ක්ෂේම භූමියක් ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සේපියන්ස්ලා රැසක් දැනහඳුනාගන්නට ලැබිණ. ඒ හැම කෙනාටම වසර දහස් ගණනක් ඉපැරණි ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ අතීත ශ්‍රී විභූතියක් අපට මෙන්ම තිබිණි. ඒ ආගමික සංකල්ප, සංස්කෘතික කාරණා ගැන ඔවුහු මහ උජාරුවෙන් කතා කළහ; මිනිසුන්ටත් වැඩිය තම තමන්ගේ සංස්කෘතිය රැකීම ඔවුන් හැම දෙනම උතුම්ම කර්තව්‍යය ලෙස සිතා සිටියහ.

මොනවා වුණත්, ඒ අපේ පැරණි සංස්කෘතික උරුම මේ ජනසමාජයටත් දෙන එක අපට කළ හැකි පරම යුතුකම පමණක් නොව වගකීමක්යැයි ඔවුහු සෑම දෙනම සිතා සිටියෝය.

‘දැන් ඔයාලගෙ ඔච්චර හොඳ ආගම් සංස්කෘති තියෙද්දි ඇයි ඒ රට දාල මේ වගේ එවැනි ඉපැරණි සංස්කෘති නැති තැනකට ආවේ ඇයි?’ දැයි කිහිප දෙනකුගෙන්ම සේපියන්ස් ගොයියා විමසා බැලූවේය.

‘ආහ්! ඒ යුද්ධ… තව පොඩ්ඩෙන් අපිවත් මරනව!’ එවැන්නෙක් කියයි.

ඒ ගැන තව විමසීමේදී, ඔවුන් අදහන ආගමේම වෙනත් ධාරාවක ආගමික ඇදහීමක ඝට්ටනයක් එහි ඇත; එක්කෝ ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියට සමාන ඔවුන්ගේම තව ශ්‍රේෂ්ඨ සංස්කෘතික කණ්ඩායමක් සමඟ ඇති කරගත් යුද්ධයකි.

‘එච්චර හොඳ ආගමක් සංස්කෘතියක් තියාගෙනත්, ඔයාල ඒ ආගමික හෝ සංස්කෘතික කාරණාවට අදාළව කුළල් කාගන්නව නම්, ඒ ආගමේ හෝ සංස්කෘතියේ ඇති උතුම් බව කුමක්ද?’

සේපියන්ස් ගොයියාට විමසුණේ ඉබේමය. මේ සංස්කෘතියක් නැහැ කියන මොඩර්න් බටහිර සංස්කෘතික පරිසර තුළ ඕනෑම මිනිහෙකුට අනෙකාට ගරු කරමින් නීතිගරුකව ජීවත් වීමේ පරිසරයක් තිබේ. එය සුන්දර ‘මල්ටි කල්චරල්’ හෙවත් බහු සංස්කෘතික සමාජයකි. එය නෛතිකව බලගන්වන ලද දියුණු මානව අදහසක් නිසා සාම්ප්‍රදායික රාමුවේ දුවන අයටද ඊට අනුගත වන්න සිදු වී තිබේ. මුලදි මුලදී හිත යටින් එකක් තියාගෙන නීතිය නිසා ඊට අවනත වී සිටියද, මෙවැනි දියුණු ජනසමාජවලදී, එවැන්නන්ගේ දෙවැනි පරපුර මෙරට අධ්‍යාපනයත් සමඟ දියුණු මානව ආකල්ප සහිතව වැඩේ.

“එසේ නම් ඔබලාගේ රටවල, නුඹලා අතිශය ආදරේ කරන්නා වූත්, ඒවා වෙනුවෙන් කිසිදු සහකම්පනයක් නැතිව කුළල්කාගන්නා ආගමික සංස්කෘතික මෙහෙට ගෙනැවිත්, මෙහෙත් ඒ වගේ තැනක් කරන්නේ ඇයි?” දැයි සේපියන් ගොයියා විමසුවේය.

එවිට අර සේපියන්ස්වරුන්ගේ ඇස් ලොකු වී කේන්තියෙන් මෙන් බලා සිටියද, ඔස්ට්‍රේලියාව නිසා ඔවුන් ඉවසා සිටිනු දුටුවේය.

‘ඒත් ඉතින් ඒ සංස්කෘතියම ඒ විදිහටම ඕනෑ නම්, ඒවා එහෙම්පිටින්ම මෙහෙට ගෙනත් මෙහෙත් ඒ තත්ත්වයට පත් නොකර, ඔබ ප්‍රිය කරන රටටම යන එකනෙ හොඳම වැඩේ!’ යැයි සේපියන්ස් ගොයියාගේ තිරිංග රහිත මුඛය ඉස්සර වී, අවසන අහිංසක සිනාවකින්ද සංග්‍රහ කළේය.

ඇයි එහෙනං උඹ මෙහාට ආවේයැයි ඔවුන්ට සේපියන්ස් ගොයියාගෙන් පෙරළා ප්‍රශ්න කිරීමට තරම්වත් වචන අහුලාගැනීමට නොහැකි වී තිබුණේ හොඳ වෙලාවටය.

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division