
රංජනී කැලයෙන් එළියට ගෙන යන ආකාරය
නකල්ස් රක්ෂිතය යනු කුරු වනාන්තරයකි (Pigmi forest). ශ්‍රී ලංකාවේ තවත් මෙවැනි ආකාරයේ කුරු වනාන්තරයක් ඇත්තේ නුවරඑළියේ පිදුරුතලාගලයි. බොහෝ දෙස් විදෙස් සංචාරකයන් නකල්ස් රක්ෂිතයට පිවිසෙන්නේ මේ කුරු වනාන්තර දැක ගැනීමේ ආසාවෙනි. මේ ප්‍රදේශයේ පවතින අධික සුළඟ හා මීදුම නිසා ගස් වැවෙන්නේ ඉන් තුනෙන් එකකටත් වඩා අඩු උසකිනි. නකල්ස් වනාන්තරය හෙක්ටයාර් 17,825කි. මෙයින් තුනෙන් දෙකක කොටසක් මාතලේ දිස්ත්‍රික්කයටත්, තුනෙන් එකක කොටසක් මහනුවර දිස්ත්‍රික්කයටත් අයත් වෙයි. නකල්ස් රක්ෂිතයට පිවිසීමේ නිල මාර්ග දෙක විහිදෙන්නේ මාතලෙන් හා මහනුවරිනි. මාතලේ දිස්ත්‍රික්කයේ නිල පිවිසුම ඉලුක්කුඹුර සංරක්ෂණ මධ්‍යස්ථානයෙනුත්, මහනුවර දිස්ත්‍රීක්කයේ නිල පිවිසුම හුන්නස්ගිරිය හරහා ඩීන්ස්ටන්වලිනුත් පවතී. මීට අමතරව මහනුවර තංගප්පුව හරහාත්, මහනුවර පන්විල හුන්නස්ගිරිය හරහාත් පිවිසුම් මාර්ග පැවැතුණත් ඒවා නිල පිවිසුම් මාර්ග නොවෙයි.
නිසි මඟපෙන්වන්නකු නැතිව ආනාරක්ෂිතව රක්ෂිතයට ඇතුළු වීම දැඩි අවදානමකි. නකල්ස් රක්ෂිතය අති සුන්දර පරිසරයක් වුවත්, මෙය දැඩි අවදානම් සහගත ගමනක් බව බොහෝ සංචාරකයන් නොදැන සිටීම අවදානමට මුල් වන ප්‍රධාන කරුණකි. පළපුරුදු කෙනකු වුවද මේ රක්ෂිතයේ අතරමං වීමට ඇති ඉඩකඩ බොහෝය. කැලේ ඇතුළේදී නොහිතපු ආකාරයෙන් මීදුම ගලාවිත් පාරවල් වැසී යන්නට පුළුවන් වීම, හිටිඅඩියේ නොසිතන වැසි ඇති වීම මෙන්ම යම් හෙයකින් අතරමං වුව හොත් විඳින්නට සිදු වන භයානක අත්දැකීම සුළුපටු නැත.
2018 වසරේ අප්‍රේල් මස හෝමාගම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මේ සුන්දර නකල්ස් රක්ෂිතයේ අතරමංව බේරාගත්තේ මහා පරිශ්‍රමයකින් අනතුරුවය. මේ තවත් එවැනිම වූ ඇඟ හිරිගඩුපිපෙන භයානක අත්දැකීමකි. සියල්ල සිදු වන්නේ කර්මය අනුව නම් එදත් අදත් මීට මුහුණ දුන් මේ සියල්ලන්ගේ දිවි සුරැකුණේද පෙර පිනකින් මිස වෙනත් ආශ්චර්යයකින් නොවන බව තේරුම්ගත යුතුය.
පොලොන්නරුව කදුරුවෙල එම්.ජී. ඒකනායක සිය බිරිය දරු දෙදෙනා හා ඥාති පිරිසක් සමඟ නකල්ස් රක්ෂිතය බලන්න යන්නේ පසුගිය 16 වැනිදාය. ඒ පතන ප්‍රවේශ මාර්ගය හරහාය. උදෑසන 10 පමණ වන විට රක්ෂිත ප්‍රවේශයට ඇතුළු වූ ඔවුන් පුංචි ලෝකාන්තය දක්වා ගියේ අවට සිරි නරඹමිනි. පිරිසක් එහා මෙහා වෙමින් ඡායාරූප ගත්හ. සියල්ල සිදු වීමට ගතවූයේ තත්පර කිහිපයක් පමණි.
“නිලුපුල් සුජින්තක (අවුරුදු 13) එයාගේ අම්මයි, තාත්තයි මල්ලියි තවත් ඥාති හිතවතුන් 24ක පිරිසක් සමඟ 16 දා උදේ විනෝද චාරිකාවකට රිවර්ස්ටන් ගියේ එයාට ඥාතිකමින් මිත්තනියක වන 58 හැවිරිදි ඩබ්ලිව්.ජී. රංජනි ඇතුළු පිරිසක් එක්ක. පුංචි ලෝකාන්තය බලන්න පිටවල පතනින් බැහැලා තියෙන්නේ දහවල් 11ට විතර. මේ කාණ්ඩයට පොඩි දරුවෝ 6ක්, පිරිමි 4ක්. ඉතිරිය කාන්තාවෝ. එදා දවල් වෙද්දි මේ විසි හතර දෙනා ඩ්‍රැයිවර් නැතුව පුංචි ලෝකාන්තය බලන්න ගිහින්. ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ මේ කට්ටිය විතරයි. කට්ටිය නිදහසේ හතර වටේ ෆොටෝ ගහන්න පටන් ගෙන. ටිකක් වෙලා යද්දි නිලුපුල්ටත් ආච්චි අම්මා රංජනීටත් මේ අය මඟහැරුණා. නිලුපුල් පුතා අත්තම්මා මේ පාරෙන් තමයි අපිට යන්න වෙන්නේ කියලා පාර හොය හොයා මේ දෙන්නා කැලේ ඇතුළටම යන්න පටත් ගත්තා. වමට යන්න ඕන අය දකුණට හැරිලා. දෙගොල්ලෝ දෙපැත්තකට ගිහින්.
“මේ දෙන්නා වැරදි පාරේ සෑහෙන දුරක් යනකොට සුදු නයෙක් පස්සෙන් එළවලා. හරියට අත්භූත විදියට. මේ හරියේ රජකාලේ හදපු ළිං වගේ ස්ථාන තියෙනවා. හවස් 4 වෙනකම් මේ ආච්චි අතේ තියෙන පොඩි ෆෝන් එක වැඩ කරලා තියෙනවා. ‘තාත්තේ, නයෙන් පිඹිනවා ඇහෙන්නෙ නැද්ද? අපිට පන්සලක කොතක් පේනවා… දුමක් නඟිනවා පේනවා… අපි ඉන්නේ දිය පාරක් ළඟ…’ කිවුවා. කතා කරන හැම වෙලාවේම මේ වගේ සලකුණු කිවුවා. දිය පාරවල් ගැන කිවුවත් හරිම තැන හඳුනාගන්න බැරි වුණා. පොලීසියෙන් ඩ්‍රෝන පවා යැවුවා. ඒත් ගස් වැඩි නිසා ඩ්‍රෝනාවලට පෙනුණේ නැහැ. ටෙලිෆෝන් වැඩ කරනකම්ම මේ දෙන්නට කිවුවේ වැඩි දුර යන්න එපා, ආරක්ෂිත ස්ථානයකට යන්න කියලා. ඒත් හොයා ගන්න බැරුව ගියා. හවස ආමි එකෙනුත් ආවා.

අත්තම්මා රංජනී සහ මුනුපුරා නිලුපුල්
“තාත්තගේ යාළුවෝ පොලොන්නරුවේ ඉඳන් ඇවිත් රෑ වෙනකම් කැලෑව පීරමින් හෙවුවා. ගමේ අයත් එකතු වුණා. ලග්ගල පොලීසිය, පතන වනජීවී කාර්යාලය, ප්‍රාදේශීය සභාව, හමුදාව, ග්‍රාමසේවක, අවට පිරිස එකතු වුණා. පාන්දර තුනහාමාර වෙනකම් සෙවීම් කළා. කොහොම හරි කිට්ටුවටම අපි ගියා. ඩිෆෙන්ඩර් එකකට කැලෑව ඇතුළේ එක පැත්තකින් යන්න පුළුවන්. ඒකේ ගියපසු රෙඩ්බානාගල කියන හරියේ එක ගෙයක් හමු වෙනවා. ඒත් මේ අය හිටපු තැනට ටිකක් දුරින්. මේ ගෙදර එක පවුලක් විතරක් ඉන්නවා. ගමේ එකසිය පනහක් පමණ ඉඳලා අද ඉන්නේ ඒ පවුල විතරයිලු. එතැනින් එහාට යන්න දුන්නේ නැහැ අලි ඉන්න නිසා. යළිත් පසුවදා උදේ 6 වෙන කොට අපි කට්ටිය බෙදිලා කැලය ඇතුළට ගියා. පොලීසියේ සාජන් මහත්තයෙකුයි, සංචාරක මඟ පෙන්වන්නෝ දෙන්නෙක් එක පැත්තකට ගියා. මේ අයට උදේ 8 වෙනකොට මේ දෙන්නා හමු වුණා. මේ පිටුපස යම් අත්භූත දේ ඇති කියලා අපි හිතනවා…”
ඒ පියාගේ යහළුවකු වන දරුවන් සෙවීමට එක් වූ පොලොන්නරුවේ ශානක ද සිල්වාය.
ඩබ්ලිව්.ජී. රංජනී මිත්තණියද දරුවා සමඟ නොසිටියේ නම් මේ ඉරණම තීන්දු වන්නට තිබුණේ වෙනස්ම වූ ආකාරයෙනි. අලි කොටි විසකුරු සතුන් පිරි මේ රක්ෂිතයේ ඇති භායනකකම පුංචි නිලුපුල් දැන සිටියේ නැත. රංජනී ආච්චි අම්මාද පුංචි පුතාට දැවැන්ත ශක්තියක් විය. කිසිදා මවු තුරුලෙන් පිට නොනිඳන නිලුපුල්ගේ හා රංජනී මිත්තණියගේ නකල්ස් රක්ෂිතයේ රාත්‍රිය අති බිහිසුණු විය. රාත්‍රියේ වන අලි 8 දෙනකු ඔවුන් වට කර ගත් අත්දැකීම පවසන්නේ රංජනී මිත්තණියයි.
“පුංචි ලෝකාන්තයේදි ෆොටෝ ගහන තැනදී තමයි අතරමං වුණේ. ඒ අය ෆොටෝ ගහලා යන්න ගිහින්. පුතයි මායි දකුණු පැත්තට ගියා. අපි යද්දි ලොකු ගස් තිබුණා. ආපිට හැරිලා එන්න හැදුවා. ඒත් එන්න පාර මතක නැහැ. හතර පැත්තටම ගියා. යන යන හැම පැත්තෙම තිබුණෙ ඉලුක් ගාල්. පස්සේ ඒ ඉලුක් ගාල් කඩාගෙන ගියා. එතැනදි ගල් තලාවක් දැක්කා. එතනත් රූක්ෂ ගස්. පස්සේ එතැනත් කර කියා ගන්න දෙයක් නැතිව දකුණු පැත්තට හැරුණා. ඒත් කැලෑව. එහෙම දිගටම යද්දි වතුර පාරක් ගලාගෙන යනවා දැක්කා. පුතා කිවුවා ‘අත්තම්මේ, මේ දිය කඩිත්ත දිගේ පහළටම යමු…’ කියලා. එහෙම කියලා අපි දෙන්නා කිලෝ මීටර් ගාණක් දුර ගියා. මේ වෙනකොට ගොඩාක් අය කෝල් ගන්නවා. මම කියන දේ පැහැදිලි නැති වෙන කොට පුතාට දෙනවා. එයත් ඉන්න තැන විස්තර දෙනවා. පස්සේ අපිට ගල් තලාවේ වාඩි වෙලා ඔහොමම ඉන්න එන්නම් කිවුවා. ඒත් එයාලට අපි ඉන්න තැන හොයන්න බැරි වුණා. කොහොම හරි කිලෝ මීටර් තුනක් විතර පහළට යද්දි ගල් තලාවේ වතුර අස්සේ ඉඳලා සුදු නයෙක් දැක්කා. එහෙම සුදුම නයෙක් මම කවදාවත් දැකලා තිබුණේ නැහැ. එයා පස්සෙන් පන්නන්න හදන කොටම අපි දෙන්නා ගලේ පහළට දිවුවා. ‘සුදු නයෙක් අත්තම්මේ… අපි පහළට දුවමු…’ කියලා පුතා කිවුව නිසා පහළට දිවුවත් පහළ තනිකරම වතුර පාර. මේ නිසා අපි ආපු පාර දිගේම නයා හිටපු පාර මඟහැරලා උඩටම ආවා. මෙහෙම යද්දිත් අපි යැවුණේ කැලෑව ඇතුළට.
“දවල් බයක් දැනුණෙ නැහැ. ඒත් රෑ වෙන කොට ඉන්න බය හිතුණා. සවස පහමාර වෙන කොට අපි දෙන්නා අමාරුවෙන් ගහකට නැග්ගා. අඩි 15ක් විතර උස ගහට නැග්ග විදිහත් මට හිතාගන්න බැහැ. ගහ උඩට වෙලා එළි වෙනකම් හිටියා. ඒ ගහ යට අලි 8 දෙනෙක් පැටවු දෙන්නෙක් එක්ක හිටියා. අපිට කෑගහන්නවත් බෑ. රාත්‍රී වෙන කොට සීතල වැඩි නිසා මගේ උඩසාය ගලවලා පුතාට පෙරෙවුවා. රෑ 11 විතර වෙන කොට හඳ එළිය වැටුණා. පාන්දර එළිය වැටෙන කොට අපි වතුර ටිකක් බොන්න පහළට ආවා. පස්සේ දිය කඩිත්ත දිගේම පහළට ආවා. පුතා කිවුවා ‘අත්තම්මේ, අපි කොහොම හරි අර පේන ගල් පොත්තට නඟිමු. එතකොට ඩ්‍රෝන එකට පැහැදිලිව පෙනේවි…’ කියලා. එහෙම කියලා පහළට යන්න හදන කොටම හූ හඬ ඇහුණා. පස්සේ පුතා ‘අප්පච්චී… අප්පච්චී…’ කියලා කෑගහලා ඉස්සර වුණා. අපි ඉස්සරහටම ගියා. එහෙම යද්දි ඒ අය අප හොයා ගත්තා…”
“අපි ගහ උඩට වෙලා ඉන්නකොට බිම අලි අට දෙනෙක් හිටියා. ඒ පෙනුණේ කණාමැදිරි එළියෙන්. රාත්‍රී හඳ එළියෙන් සත්තු හොඳට පෙනුණා. “අත්තම්මා, නිදියන්න එපා… නිදියන්න එපා…’ කිය කිය අත්තම්මව ඇහැරවගෙන ගහ උඩට වෙලා හිටියා. යට අලි. අපි කෑගහන සද්දය ඇහුණත් හූ කිවුවේ නැහැ. ඒ සද්දෙට දුවගෙන එන තාත්තලාට අලි ගහන්න පුළුවන් කියලා හිතුණා…” නිලුපුල් පවසයි.
මහනුවර මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායකගේ උපදෙස් පරිදි මාතලේ වැඩබලන කොට්ඨාස භාර පොලිස් අධිකාරි එස්.ඩී.එම්. ෆාරුක්ගේ මඟපෙන්වීම මත මාතලේ දිස්ත්‍රික් දෙක භාර සහකාර පොලිස් අධිකාරි යූ.ජී.පී.කේ. රත්නායකගේ ඍජු මෙහෙයවීම මත ලග්ගල පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ආර්.ජී.එම්. දර්ශන හරිස්චන්ද්‍ර, ලග්ගල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, අඩවි වන නිලධාරීන් සහ ග්‍රාම නිලධාරී ඇතුළු ගම්වාසීන් විශාල පිරිසක් මහ කැලයේ මෙහෙයුමට සම්බන්ධ වූහ.
“රිවර්ස්ටන් පතනින් බැහැලා පුංචි ලෝකාන්තයට යන්න පුළුවන්. මේ අය ඒ පැත්තෙන් තමයි ඇවිත් තියෙන්නේ. අතුරුදන් වුණායින් පසු මේ අය පතන පිහිටි සංචාරක කාර්යාලයට කියලා තියෙනවා. පසුව එතැනින් සවස දෙකහමාරට පමණ අපිට දැනුම් දුන් පසුව අපි එතැනට පිරිසත් සමඟ ගියා. මේ වගේ ගමනක් යද්දි සංචාරක මඟ පෙන්වන්නෙක් අවශ්‍යයයි. සවස වෙද්දි ආමි එකේ පිරිසකුත් මේ මෙහෙයුමට ගෙන්වා ගන්න හැකි වුණා. ඩ්‍රෝන එකක් යවලත් සොයාගන්න බැලුවා. ඒත් සාර්ථක වුණේ නැහැ. ගමේ අය වගේම වනජීවි එකේ අයත් සහයෝගය දුන්නා. මේ අතර ෆෝන් එක ඕෆ් වුණා. ලෝකාන්තයෙන් පහළට රෙඩ්බානාගලට යද්දි එක ගෙයයි හමු වෙන්නේ. අලි ඉන්න මහ ඝන වානන්නතරය. රෑ එක වෙනකම් හෙවුවා. මේ ගමනේදි නිලධාරීන්ගේ ආරක්ෂාව පවා අපි සොයා බැලිය යුතු වෙනවා. සතුන්ට මදු අටවා තියෙනවා. රෑට කොටියන්, කුරු අලි රජදහනක්. පිඹුරන්, නයි වැනි විසකුරු සතුන් පිරිලා. පාන්දර වෙද්දි අපි කණ්ඩායම් 4ක් ලෝකාන්තයෙන් පහළට යැවුවා. පස්සේ අලුත්ගම කියන සංචාරක නිලධාරියා සමඟ ගිය පිරිසට උදේ 8.30 වෙද්දි මේ දෙන්නා හමු වෙලා තියෙනවා, වතුර පාරක් ළඟදී.
“මෙය නකල්ස් රක්ෂිතය. සංවේදි පරිසර කලාපයක්. ඝන කැලෑව. ඔය ආකාරයෙන් බේරුණ එක ලොකු දෙයක්. මේ කැලයේ කොටි ඉන්නවා. මිනිසුන්ට යන්න අපහසුම තැන් තියෙනවා.එක කෙළවරක අලි හා කුරු අලි ඉන්නවා. පිඹුරෝ ඉන්නවා. දරුවා කියන විදියට ගහක් උඩ ඉඳලා තියෙන්නේ. ඒ නිසයි බේරිලා තියෙන්නේ. ලග්ගල රෝහලින් ඇම්බියුලන්ස් එකක් පවා ආවා. ඒත් මේ අයට ලොකු හානියක් නැහැ. කූඩැල්ලන්ගේ තුවාල විතරයි තියෙන්නේ…” ඒ, ලග්ගල වැඩබලන පොලිස් ස්ථානාධිපති ආර්.ජී.එම්.ඩී. හරිස්චන්ද්‍රය.
සියල්ල මහ භයානක අත්දැකීම් මැදින් වඩාත් හොඳ ආකාරයෙන් විසඳී ඇත්තේය. එහෙත් ඇසිපිල්ලමක් ගසන සැණින් මේ ඉරණම වෙනස් විණි නම්..? දරුවාගේ පසුපසින් මිත්තණිය නොගියා නම්…? මහා භයානක මතකයන් පමණක් ඉතිරි වන්නට තිබිණි. මෙවන් අවදානම් ගමනකදී එහි අවදානම දැනගත්තද නොදැන ගත්තද මවුපියන් තම දරුවන් ගැන මීට වඩා සිතුවේ නම් සියල්ල ලස්සන වන්නට ඉඩ තිබිණි. ගිය ගමන සතුටින් කෙළවර වන්නට තිබිණි. විනෝදය පමණක් අරමුණු කරගෙන නකල්ස් රක්ෂිතයට ඇතුළු වීම අවදානම් බව මේ අය දන්නේ නැත. අලංකාර පරිසර පද්ධතිය, එහි ඇති ගංගා දිය ඇලි, වන සතුන් (වැඩිපුර සිටිනුයේ කොටියන් හා ගෝනුන්ය) දැක ගැනීමේ ආසාව පමණක් පෙරදැරි කරගනිමින් කැලයට ඇතුළු වුවද එය භයානක වන්නේ නකල්ස් රක්ෂිතයේදී නොදැනුවත්කමින් අතරමං වීමේ ඇති ඉඩකඩ බහුල නිසාය. අමතර ජංගම බැටරි මෙන්ම ප්‍රථමාධාරද රැගෙන යා යුතු වන්නේ අනතුරක් හොත් සිදු විය හැකි විපත වඩාත් දරුණු විය හැකි නිසාය.
නකල්ස් අති සුන්දර අත්දැකීමක් විඳින්නට හැකි ගමනක්. ඒත් ඒ අත්දැකීම විඳින්න නම් නකල්ස් ගැන දැනුම්වත් වෙලා මේ ගමනට සැරසෙන්න. නකල්ස්හි සුන්දරත්වය විඳගනිමින් සුන්දර මතකයන් පමණක් ඔබ ආපසු රැගෙන යන්න. අසුන්දර මතකයන් කිසිවක් අපට ඉතිරි නොකරන්න.”

නකල්ස් රක්ෂිතයේ අතරමං වූ අය බේරා ගැනීමට සම්බන්ධ වූ පිරිස