බොහෝවිට ‘මැණික් කටුව’ ප්‍රදේශයෙන් ආරම්භ වෙන ‘දෛව රේඛාව’ කෙනෙකුගේ උපත විපත සහ ජීවන රටාව පිළිබඳව කරුණු ප්‍රකාශ කරයි.
මේ අයුරින් අටලෝදහම අනුව අපට උරුමවන දායාදයන් අපේ අත්වල සටහන් වෙයි. මුදල් හදල්, ගේ දොර ඉඩකඩම්, යාන වාහන, අඹු සැමියන්, දරුවන් වශයෙන් විවිධාකාර දේවල් ලබාගන්නට අපි මොනතරම් වෙහෙසෙනවාද, ලොතරැයි දිනුම් හිමි කරගෙන හෝ කෝටිපතියන් වී සැප සම්පත් විඳින්නට මොනතරම් වෙහෙසෙනවාද? නමුත් ඒ හැම දෙයක්ම උරුම වන්නට අපිට දෛවයෙනුත් වාසනාවක් තියෙන්නට ඕනැ. කෙනෙකුගේ දෛවය කෙසේද කියා විමසා බැලීමේදී පරීක්ෂා කළ යුතු රේඛාවක් අපේ අල්ලේ සටහන් වෙයි. එය තමයි දෛව රේඛාව. අල්ලේ මැදඟිල්ල මුල ප්‍රදේශය හෙවත් ශනි මණ්ඩලයෙන් අවසන් වන නිසා ශනි රේඛාව යනුවෙනුත් ධන සම්පත් ගැන කියැවෙන නිසා ධන රේඛාව යනුවෙනුත් දෛව රේඛාව හඳුන්වයි. කිසියම් රේඛාවක් ආරම්භ වන ස්ථානයත් එය අවසන් වන ස්ථානයත් අනුව පලාපල වෙනස්වීම හස්ත රේඛා විද්‍යාවේ සිද්ධාන්තයකි.. දෛව රේඛාව ආරම්භවන ස්ථානයත් අවසන්වන ස්ථානයත් අනුව අපේ දෛවය වෙනස් වන්නේ කෙසේදැ කියා දැන් විමසා බලමු.
මැණික් කටුව ප්‍රදේශයෙන් ආරම්භ වී සෘජු රේඛාවක් වශයෙන් ශනි මණ්ඩලය තෙක් විහිදි ගොස් අවසන් වන දෛව රේඛාව බොහෝ සුබ පල දෙන පිහිටීමකි. ස්වඋත්සාහය නිසාම අනේක විධ භව භෝග සම්පත් ලැබීමට එය හේතුවෙයි. දෛව රේඛාවේ කෙළවර ත්‍රිශූලයක සලකුණක් වී නම් ධනය, බලය, කීර්තිය ද හිමිවෙන බව හස්ත රේඛා විද්‍යාවෙන් කියැවේ. දෛව රේඛාව රවි මණ්ඩලයට වැටී තිබේ නම් නොයෙකුත් කලා ශිල්පවලින් ප්‍රසිද්ධියට පත්වෙන පුද්ගලයෙකු හඳුනා ගත හැකිය. බුධ මණ්ඩලයට දිවෙන එම රේඛාවෙන් ධනවත් ව්‍යාපාරිකයෙක් පෙන්නුම් කරයි.
චන්ද්‍ර මණ්ඩලය ප්‍රදේශයෙන් ආරම්භවෙන දෛව රේඛාව ශනි මණ්ඩලයෙන් අවසන් වෙනවානම් එම තැනැත්තා හෝ තැනැත්තිය ඕනෑම කරදරයකට හෝ අභියෝගයකට මුහුණ දෙන කෙනෙක් විය යුතුයි. ඔවුනට විවාහයෙන් පසු සැපවත් ජීවිතයක් ගත කිරීමේ භග්‍යය උදාවෙයි. මෙම රේඛාව කුජ තලාවෙන් හෙවත් අල්ල මැදින් ආරම්භ වී රවි මණ්ඩලයට හෝ බුධ මණ්ඩලයට යෑමද ධනවත්වීමේ ලක්ෂණයකි. ගුරු මණ්ඩලයට වැටුණු රේඛාවෙන් ගරු නම්බු ලැබීමට වාසනාව ඇති අයෙකු හඳුනාගත හැක.
දෛව රේඛාව සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වී ශනි මණ්ඩලයට යොමුවීමෙන් ඒ වගේම සුබ පිහිටීමක් මවුපිය උරුමයට හිමිකම් ඇති, සෘජු ප්‍රතිපත්ති සහිත ඔවුන් කාරුණික හදවත් ඇත්තෝද වෙති. තමන්ගේම පාලනය යටතේ පවත්වාගෙන යන ව්‍යාපාර කටයුතුවලින් විශාල දියුණුවක් ලැබීමට වාසනාව ඇති අයගේ අත්වල පිහිටන රේඛා ලක්ෂණයක් වශයෙනුත් එය හඳුන්වා දිය හැකියි.
බාධක මධ්‍යයේ තමන්ගේම උත්සාහයෙන් උසස් තත්ත්වයකට පත්වෙන අයගේ දෛව රේඛාව ආරම්භ වන්නේ බොහෝවිට ජීවන රේඛාව ආශ්‍රයෙනුයි. ආයෝමය ආත්ම ශක්තියත්, නොපසුබස්නා වීර්යයක් ඔවුන්ගේ චරිතයෙහි කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස දැකිය හැකිය. ඇතැම් අයගේ මැණික් කටුවෙන් ආරම්භ වන එම රේඛාව ශීර්ෂ රේඛාවෙන් අවසන් වෙයි.
දුරදිග නොබලා කටයුතු කිරීම අසරණ වීම එහි ප්‍රතිඵලයකි.
දෛව රේඛාව හෘදය රේඛාව මතදී අවසන්වීම පරාජිත ප්‍රේමයක් නිසා චිත්ත පීඩාවට පත්වෙන බවයි. එමඟින් පෙන්නුම් කරන්නේ ශනි මණ්ඩලය තුළදී දෛව රේඛාව ත්‍රිශූල ලක්ෂණයකින් අවසන්වීම මහා භාග්‍යමත් ලක්ෂණයක්. ධනය, බලය, කීර්තිය නොඅඩුවම ලැබෙන ජන නායකත්වයක් පවා ලැබීමට හිමිකම් පෙන්වන සලකුණක් ලෙස එය හැඳින්විය හැකිය.
එය එසේ වුවත් ශනි මණ්ඩලය පසුකර මැද ඇඟිල්ලේ පළමු පුරුක දක්වා විහිදී යන දෛව රේඛාව මහා අවාසනාවන්ත පිහිටීමක්. බොහෝ අසරණ වුණ යාචකයන්ගේ අත්වල එවැනි පිහිටීම් ඇති බවට ඔප්පු වී ඇත. සමහරවිට හොඳ දෛව රේඛාවක් තිබියදීත් සමහරු අවාසනාවන්ත වන අවස්ථාද ඇත. එයට හේතුවන්නේ සමතුලිත නොවූ අතක් තිබීමය. ඒ සඳහා අල්ලේ මණ්ඩලවල හොඳ පිහිටීමක් ද තිබිය යුතුය. දෛව රේඛාව ශීර්ෂ රේඛාවෙන් ආරම්භ වී ඇත්නම් එම අයගේ දියුණුව ලබන්නේ මැදි වයස පසුවීමෙන් පසුවය.
කැඩුම් බිඳුම් නොමැති මනාව පිහිටි දෛව රේඛාවක් කාන්තාවකගේ අතේ පිහිටියේ නම් එය සැබෑම වාසනාවකි.
පෙර භවයන්හි කරන ලද නොමද පින්බල ඇති අය සුපින්වත් පුරුෂයෙකුට භාර්යාව වීමේ භාග්‍යය ලබන්නීය. සමහර අයගේ දෛව රේඛාව අත්වල නොමැතිවීමටද පුළුවන. එවැනි අයට දියුණුවක් ළඟා කර ගැනීමට මහත් වෙහෙසක් දැරිය යුතුවෙයි. රේඛාව තැනින් තැන කැඩී තිබේ නම් ජීවන රටාවේ විවිධ වෙනස්වීම් ඒ තුළින් අනාවරණය වෙයි. රැකියා අහිමිවීම්, ව්‍යාපාර බිඳ වැටීම්, වස්තු භංගත්වය ආදී දේ එමඟින් දැනගත හැකියි. අත බලා පලාපල කීමේදී දෛව රේඛාවෙන් පහළට ඇදී යන (අවරෝහණ රේඛා) ගැනත් සැලකිය යුතුය. ජීවන ගමනේදී සිදුවන අනේකවිධ බාධක මෙන්ම බලාපොරොත්තු කඩවීම් ආදියද එමඟින් පැහැදිලි වෙයි.
දෛව රේඛාවට සරල සමාන්තරව ඒ හා සමාන භගිනි රේඛාවක් පැහැදිලි ලෙස දිස්වේ නම් ඔවුනට මාර්ග දෙකකින් ආදායම් ලැබීමට හේතුවෙයි. දෛව රේඛාවේ ආරම්භක කොටස ළමා කාලය හා සම්බන්ධ සීමාවේ වෙයි.
කැඩීම් බිඳීම් දූපත් ආදි ලකුණු එම කොටසේ දී නම් ජීවිතයේ එම කාලසීමාව දුක් සහිත වේ. එහිදී දෛව රේඛාව ගැඹුරුව, ප්‍රබලව තිබුණි නම් එම කරදර අවම වෙයි. රේඛාවේ මුල කොටස දුබලව තිබුණි නම් මවුපියන් යටතේ ගත කළ කාලය දුක්බරය. පසු කාලය ස්වඋත්සාහයෙන් දියුණුව ළඟා කර ගනී.
අන් අයගේ ආධාර සහ මඟ පෙන්වීම යටතේ උසස් දියුණුවක් ලබන අයගේ අත්වල පිහිටන රේඛා ලක්ෂණයක් තමයි දෙකට බෙදි ආරම්භ වන දෛව රේඛාව දියුණු වීමට ඇති බලවත් ආශාව එහි පිහිටන තරු ලක්ෂණයෙන් පෙන්නුම් කරයි. එය දම්වැල් ආකාරයකින් ආරම්භ වී ඇතිනම් ඔහුගේ හෝ ඇගේ අධ්‍යාපන කටයුතු අතරමඟදී බිඳ වැටීමට ඉඩ ඇති අතර හදිසි විපතක් පෙන්නුම් කරන නිසා දෛව රේඛාවේ අග පිහිටන කතිර ලකුණක් ඉතා අසුභයි.
මැණික් කටුව ආශ්‍රයෙන් පටන්ගත් දෛව රේඛාව ගැඹුරුව පැහැදිලි ලෙස අසුබ ලකුණුවලින් තොරව ශනි මණ්ඩලය දෙසට විහිදීයාම වඩාත් සුබදායක වේ. මෙම රේඛාවෙන් අතු රේඛා මණ්ඩල දෙසට විහිදී යාමෙන් මණ්ඩලයට ශක්තිය ප්‍රබල වේ.
ඒ අනුව ගුරු මණ්ඩලයට ශාඛා විහිද යාමෙන් තම අභිමතාර්ථයන් ඉටු වීමටත්, රවි මණ්ඩලයට විහිද යාමෙන් තමන් උගත් කලා ශිල්ප ආදියෙන් දියුණුවත්, බුධ මණ්ඩලයට ගිය කළ තම ව්‍යාපාර ආදියෙන් සහ ඉගැන්වීම් කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කෙරේ.