Home » ජනවසම දූෂණ රැසක් යටගහලා
2024 දක්වා වසර ගණනාවක්

ජනවසම දූෂණ රැසක් යටගහලා

by Mahesh Lakehouse
February 22, 2025 12:40 am 0 comment
තාරක වික්‍රමසේකර

ජනතා වතු සංවර්ධන මණ්ඩලය 2024 වසරේ මැද භාගය දක්වා වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද මහා පරිමාණ වංචා හා දූෂණ රැසක් පිළිබඳ විමර්ශන යටපත් කර තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන්ම 2021/ 2022 කාලසීමාවේ හිටපු සභාපතිවරයකු මේ මහා පරිමාණ දූෂණ හා වංචා පිටුපස සිටින බවද තහවුරු වී ඇත.

අදාළ සභාපතිවරයා විසින් ඇතැම් මහා පරිමාණ වංචා සිදු කර ඇත්තේ නිසි ක්‍රමවේද ප්‍රසම්පාදන ආදිය අනුගමනය කරමින් වීම මෙහි විශේෂත්වය වී ඇත. මේ හිටපු සභාපතිවරයාගේ මූලිකත්වයෙන් තාක්ෂණික කමිටුව විසින් කළ නිර්දේශ අනුව ලෙලන්වල වතුයායේ යුකැලිප්ටස් ගස් 788ක් විකිණීමේ ටෙන්ඩරය දීමේදී රුපියල් කෝටි 9කට ආසන්න මුදලකට (මිලියන 89ක්) හෝ ඊටත් වඩා වැඩි මිලකට අලෙවි කළ හැකිව තිබියදී, ඒ ගස් තොගය රුපියල් කෝටි 6ක ටෙන්ඩරය ඉදිරිපත් කළ අයට ලබාදීම, යාපනය පලෙයිවත්ත අක්කර 2,000කට අධික භූමිභාගයක් සහ කටානේ ඉඹුල්ගස්වාඩිය ඉඩම අවභාවිත කිරීම හා ඒ ඉඩම්වල පාරිභෝගික කළමනාකරු ලෙස අනීතික පත්වීමක් දීම ඇතුළු දූෂණ, වංචා රැසක් වෙනුවෙන් විමර්ශන සිදු කරන ලෙස දන්වා ඇතත්, ඒ සියලු විමර්ශන නිර්දේශ යටපත් කර ඇත. එමෙන්ම හන්තාන සහ මොනරාගල වතුවල සිදු කරන ලද වංචා රැසක්ද මෙසේ යටපත් කර තිබේ. විශේෂයෙන්ම යුකැලිප්ටස් ගස් 788ක් විකිණීමේ ටෙන්ඩරය මඟින් වංචාවක් සිදු කළේදැයි සෙවීමට පත් කළ කමිටුවේ නිර්දේශයක් වී ඇත්තේ අදාළ ටෙන්ඩරයෙන් ආයතනයට විශාල පාඩුවක් සිදුව ඇති බවත්, ඒ පාඩුව හිටපු සභාපතිවරයාගෙන් හා තාක්ෂණික ඇගයීම් කමිටුවෙන් අය කරගත යුතු බවයි.

2022.08.24 දිනැති MPI/IA/02/SA/11 අංක දරන කමිටු වාර්තාවෙන් එම නිර්දේශය දී ඇති අතර, කමිටු සභාපති ප්‍රධාන අභ්‍යන්තර විගණක කේ.ඒ.සී. ශාමන්ත හා කමිටු සාමාජිකයන් දෙදෙනකු විසින් අදාළ නිර්දේශ ලබා දී ඇත.

මේ සම්බන්ධයෙන් වත්මන් ජනවසම සභාපති ජයන්ත තිලකරත්නගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ පෙර පාලන කාලයේදී සිදු කරන ලද වංචා සම්බන්ධයෙන් තමන්ට වාර්තා වන හා විමර්ශනය කිරීමේදී අනාවරණය වන සියලු අවභාවිතයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි. ඒ යටතේ මේ වන විටත් මොනරාගල හා හන්තාන වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව කටයුතු කර ඇති බවත්, ඔවුන් මේ වන විටද රක්ෂිත බන්ධනාගාරගතව විමර්ශන කටයුතු සිදු කෙරෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division