Home » මාදිවෙල මකුළුදැල් කඩන මන්ත්‍රී කවුද?

මාදිවෙල මකුළුදැල් කඩන මන්ත්‍රී කවුද?

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

සුගිය සතියේ වැඩිම අවධානයට ලක් වූයේ මෙරට 79 වැනි අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. මෙරට 79 වැනි අය-වැය 2025 වර්ෂය වෙනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. මෙරට ඉතිහාසයේ වැඩිම අභියෝගාත්මක අයවැය මේ අය-වැය බව ඇතම් ආර්ථික විශේෂඥයන් විසින් පෙන්වාදී තිබීමද විශේෂත්වයකි.

අය-වැය කතාව පැය 2යි විනාඩි 45යි

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අය-වැය කතාවට පැය 2 යි විනාඩි 45ක් ගත වූ අතර, රටේ ආර්ථික දිශානතිය ගැන කරුණු රැසක් ඊට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු ජනාධිපතිවරයාට අය-වැය තේපැන් සංග්‍රහයේදී ප්‍රශංසා කොට ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම තේපැන් සංග්‍රහයට පැමිණි දේශපාලන නියෝජිතයන්ට අමතරව විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් සහ ඇතම් විදෙස් තානාපතිවරුන්ද ජනාධිපතිවරයාට මේ බව ප්‍රකාශ කොට තිබේ. අය-වැය තේපැන් සංග්‍රහය සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පැමිණ සිටින ආකාරයද දක්නට ලැබිණි.

ශක්තිමත් ආර්ථිකයකට අයවැයෙන් මූලික පියවර

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය තුළ රටක් ලෙස ගොඩනැඟීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අය-වැයෙන් මූලික පියවර තැබූ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ පසුගියදා (19) පැවති ‘2025 පශ්චාත් අය-වැය කතිකාවත 2025’ (POST BUDGET FORUM 2025) සංවාදයට එක් වෙමිනි.

ණය ප්‍රතිව්‍යූහගතකරණය මඟින් ණය ගෙවීම සඳහා ගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගි කරගෙන, නිවැරදි ආර්ථික කළමනාකරණයක් මඟින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය. බංකොලොත්භාවයට පත් වූ රටක් නැවත ගොඩනැඟීමට ලෝකයේ බොහෝ රටවලට දශකයක් ගත වී ඇති නමුත්, ශ්‍රී ලංකාවට ඉන් මිදීමට දසකයට අඩු කාලයක් කාලයක් ගත වේයැයි පුරෝකථනය කළ හැකි බවද ජනපතිවරයා මෙහිදී පැවසීය.

රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15.1% දක්වා වර්ධනය කිරීමට මෙවර අය-වැය මඟින් යෝජනා කර තිබෙන බවත්, ප්‍රමුඛතා හඳුනාගෙන මුදල් වැය කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා ආර්ථිකය ගමට තල්ලු කිරීමත්, පුරවැසියා ආර්ථිකයේ කොටස්කරුවකු කරගැනීමටත් මෙවර අය-වැය මඟින් අවධානය යොමු කර ඇති අතර, ඉන් පුරවැසියාට ප්‍රතිලාභ ලැබීමේ හැකියාවද ඉහළ යනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය.

ආර්ථිකයෙන් පිටමං කළ කණ්ඩායම් නැවත ආර්ථිකයට එකතු කරගනිමින් ගම් මට්ටමෙන් කුඩා ආර්ථික ඒකක නිර්මාණය කිරීමට වත්මන් රජය සැලසුම් කර ඇති අතර, ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩනැඟීමේ උන්මාදයක් රට තුළ ඇති කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය. කර්මාන්ත සඳහා සහය දීම රජයේ අරමුණ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිෂ්පාදන පිරිවැය අඩු කිරීමෙන් පාරිභෝගිකයාට සහන සැලසීම රජයේ ඉලක්කය බවද හෙතෙම කියා සිටියේය.

අධ්‍යාපනයට වැඩි අවධානයක්

ග්‍රාමීය දුප්පත්භාවයෙන් රට ගොඩනැඟීමට අධ්‍යාපනය සඳහා මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇති බවත්, එමඟින් පාසල් පද්ධතිය තුළ මානව සම්පත හා භෞතික සම්පත් ප්‍රතිව්‍යූහගත කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා පැවසීය. ඒකරේඛීය අධ්‍යාපනය වෙනුවට බහුරේඛීය අධ්‍යාපනයක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇති අතර, රාජ්‍ය සේවාව ලබා දීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වේ. එනිසා රාජ්‍ය ආයතන වියදම් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වේ.

දේශපාලන අධිකාරිය දූෂණයෙන් තොර තැනක් බවට පත් කර තිබෙන බවත්, අල්ලස් නොදෙන සංස්කෘතිකයක් ඇති කිරීම පුරවැසියා සතු වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වසරේ ඉහළ අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වරාය කේන්ද්‍ර කර ගත් ආර්ථිකයක් ඇති කිරීම සඳහා වත්මන් රජයේ අවධානය යොමුව ඇති අතර කාර්යක්ෂම බහාලුම් හුවමාරු මධ්‍යස්ථානයක් ඇති කිරීමටද මෙවර අයවැය මඟින් අවධානය යොමු කර ඇත. සංචාරක කර්මාන්තය දිරි ගැන්වීම සඳහා නගර ප්‍රවර්ධන (City Brand) වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරෙන අතර, අනුරාධපුරය, යාපහුව, යාපනය වැනි නගර ප්‍රවර්ධනය කිරීමටද සැලසුම් කර තිබේ.

රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථික අවස්ථා පුළුල් කරගැනීම සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති සුරාජ් රදම්පොළ මහත්වරුන් ඇතුළු විද්වත්හු හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අය-වැය ගැන ජනපතිට ප්‍රසාදය

මේ කතිකාවෙන් අනතුරුව ජනාධිපති අසලට පැමිණි විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් කිහිපදෙනකුම මෙවර අය-වැය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කිරීම විශේෂත්වයකි. ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, දූෂණය තුරන් කිරීම, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් ඇති කිරීම, නව වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීම, වරාය කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් ඇති කිරීම, සංචාරක කර්මාන්තය දිරිගැන්වීම, රාජ්‍යතාන්ත්‍රික සේවාව රටේ ආර්ථිකයට යොදාගැනීම ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි මෙවර අය-වැයෙන් අවධානය යොමු කිරීම ගැන මේ විද්වතුන් පිරිස ජනාධිපතිවරයාට ප්‍රසංශාකොට ඇත.

පාතාල ගැටුම් සහ ආරක්ෂාව

පසුගිය සතියේ සමාජයේ තවත් අවධානයට ලක් වූ කාරණයක් වූයේ පසුගිය 19 වැනිදා අධිකරණ අංක 5 තුළදී පාතාලයේ ක්‍රියාකරිකයකු ලෙස හැදින්වෙන ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමයි.

රතිඤ්ඤා පුපුරනවා වැනි හඬක්

නීතිඥවරයකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයකු මේ ඝාතනය සිදු කිරීම සඳහා වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇත. ඒ අවස්ථාවේදී තවත් යාබද ගොඩනැඟිල්ලක නීතිඥ සංගමයේ නිලවරණය පවත්වා තිබේ. වෙඩි තැබීම ඇසුණු අවට ගොඩනැඟිලිවල සිටි පිරිස් සිතා සිටියේ එය රතිඤ්ඤා හඬක් බවයි. ඊට හේතුව නීතිඥ සංගමයේ නිලවරණයයි. නීතිඥ සංගමයේ නිලවරණයෙන් පසු ජයග්‍රහණය කළ පිරිස් රතිඤ්ඤා පුපුරවන්නට ඇති බව එම පිරිස් සිතා ඇත. එහෙත් පොලිස් නිලධාරීන් පැමිණ වෙඩිතැබීමක් සිදු වීඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ බොහෝ දෙනකු ආරක්ෂිත ස්ථානවලට ගොස් ඇත්තේ වෙඩික්කරු තවමත් අධිකරණ භූමියේ සිටිනවායැයි සිතාය.

කෙසේ නමුත් ආරක්ෂක අංශ විසින් මුළු ප්‍රදේශයම කඩිනම් සොදිසි කිරීමකට ලක් කොට තිබේ. සැකකරු වෙඩි තැබූ සැණින් ක්ෂණිකව පලාගොස් ඇත.

පැය කිහිපයක් ඇතුළත වෙඩික්කරු අත්අඩංගුවට

මේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පැය කිහිපයක් ඇතුළත එදිනම සවස පුත්තලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

මැති සබයද උණුසුම් වෙයි

ගණේමුල්ලේ සංජීවගේ ඝාතන සිද්ධියෙන් පසුගිය දිනවල මැතිසබයද උණුසුම් වූයේ එයද පාර්ලිමේන්තුවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූ නිසාය. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජනතා නියෝජිතයන් අතර මෙහිදී උණුසුම් වාද විවාද සිදු විය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මැතිසබයට කියා සිටියේ මේ සිද්ධිය රටේ ජාතික ආරක්ෂාවට ගැටලුවක් නොවන බවයි. සිද්ධියට අදාළ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගෙන ඇති බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදි.

කථානායකවරයාද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි.

ඇමති විජිත විදේශ අමාත්‍යවරුන් රැසක් සමඟ

පසුගියදා ඕමානයේ මස්කට්හි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඒ සමුළුව අතරතුර විදේශ අමාත්‍යවරුන් රැසක් මුණගැසීමට සමත් විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්, ඕමාන විදේශ කටයුතු අමාත්‍ය හමාඩ්, නේපාල විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය රනාඩියුබා, ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය පෙයිද් අබ්බාස් ඇතුළු විදේශ අමාත්‍යවරුන් රැසක් සමඟ ඔහු සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා විදේශ සබඳතාවලට වැදගත් වන කරුණු රැසක් එහිදී සාකච්ඡා කොට තිබේ.

මහින්දගෙන් ලැබුණු පණිවිඩය

ගෑස් සිලින්ඩරය ලකුණින් පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණයට ඉදිරිපත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 24 දෙනකු පසුගියදා කොළඹදී මුණගැසුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමටය. මහින්දානන්ද අලුත්ගමගේ, පියල් නිශාන්ත, සහන් ප්‍රදීප්, මේජර් සුදර්ශන දෙණිපිටිය ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් මේ සාකච්ඡාවට එක් වී ඇත. මේ සාකච්ඡාව පැවැත්වීමට මුල් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් ලැබුණු පණිවිඩයකි.

“පළාත් පාලන මැතිවරණය ළඟ එනවා. දැන් එක එක තැන්වල හිටියා ඇති. ඒ නිසා ඡන්දෙට සූදානම් වෙන්න, එක තැනකට එන්න,” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මේ පිරිසට දැනුම් දී ඇත. කෙසේ නමුත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කළ යුත්තේ කෙසේදැයි මේ මන්ත්‍රීවරුන් පිරිස තවමත් අවසන් එකඟතාවකට පැමිණ නැති බව වාර්තා වේ.

මකුළුදැල් කැඩීම

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස මේ දිනවල නවක මන්ත්‍රීවරුන් විසින් පිරිසුදු කරගන්නා බව අසන්නට ලැබේ. එක් නවක මන්ත්‍රීවරයකු තමන්ට ලැබුණු මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ තමාම මකුළු දැල් කඩා, අතුපතුගා පිරිසුදු කොට ගෙන තිබේ. නිවෙසේ කිසිදු ගෘහභාණ්ඩයක් නැති අතර, නිඳාගැනීම සඳහා මෙට්ටයක් පමණක් මන්ත්‍රීවරයා විසින් ගෙනැවිත් ඇති බවද දැනගන්නට ඇත. වාර්තා වන ආකාරයට මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමඟි ජන බලවේගයේ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු ය.

විජය සැමරීමට දේශපාලනඥයෝ රැසක්

ප්‍රවීණ රංගධර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ, අභාවප්‍රාප්ත විජය කුමාරණතුංග මහතාගේ 37 වැනි ගුණ සමරුව පසුගිය සෙනසුරාදා සවස කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. දේශපාලන අධිකාරිය ඇතුළු කලාකරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු අමාත්‍ය ජී.එල්. පිරිස්, හිටපු අමාත්‍ය සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහත්වරුන් මේ ගුණසමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වී තිබිණි.

උත්සවය ආරම්භ කිරීමට ප්‍රථම වජිර නව රංග ශාලාවට පැමිණි හෙයින්, ඒ වන විට පැමිණ සිටි දේශපාලනඥයන් සමඟ වජිර කෙටි කතාබහකට එක් විය. උත්සවයේදී වජිරටද සභාව ඇමතීමට අවස්ථාව ලැබුණේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වත්මන් සභාපති අසංක නවරත්න මහතාගේ ඉල්ලීමටය. ඒ අනුව වජිර වර්තමානයේ සිටින නවක දේශපාලනඥයන්ටද ඉතා වැදගත් කතාවක් කළේ සියල්ලන්ගේම අවධානය තම කතාව වෙත යොමු කරවමිනි.

“මම මෙතන වාඩි වෙලා ඉන්න අවස්ථාවේ මට මතක් වුණා අතීතයේ පාර්ලිමේන්තුව. එදා මගේ වම් අත පැත්තේ හිටියේ ඔසී අබේගුණසේකර මැතිතුමා. එතුමා අද ජීවතුන් අතර නැහැ. මගේ දකුණු අත පැත්තේ හිටියේ ගාමිණි විජේසේකර මැතිතුමා. එතුමත් අද ජීවතුන් අතර නැහැ. පුටුවක් එහායින් හිටියා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා. එතුමා තොටළඟ බෝම්බයට අහු වෙලා කෙසේ හෝ වේදිකාවෙන් විසි වුණු නිසා අද ජීවතුන් අතර ඉන්නවා.

ඉතින් මෙවැනි ගුණානුස්මරණ උත්සවකදී අප කල්පනා කරන්න ඕනෑ රටක් හැටියට අප කොහේටද ගමන් කරන්නේ කියලා. අපි හැමෝම කියනවා එකමුතුකම අවශ්‍යයි කියලා. ඒක කියන තරම් ලේසි වැඩක් නෙමෙයි. මොකද, එකතු වෙන්න තිබෙන ලොකුම බාධාව තමයි, තණ්හාව.

බලන්න නිදහසින් පස්සේ ඩී.එස්. සේනානායක මැතිතුමා ලැබුවේ අකල් මරණයක්. එතුමා මිය යන්නේ අශ්වයා පිටින් වැටිලා. එතුමා අශ්වයන් පදින්න දක්ෂ කෙනෙක්. කොහොම වුණත් පොතපත කියවන කොට තියෙනවා අශ්වයගේ ලාඩම් වැරදියට ගහලා කියලා. ඩඩ්ලි සේනානායක මැතිතුමා අකල් මරණයකට පත් වුණා. බණ්ඩාරනායක මැතිතුමා අකාලයේ වෙඩි තියලා මරලා දැම්මා. බණ්ඩාරනායක මැතිනියවත් මරන්න උත්සාහ කළා. ඒත් ඊට කලින් ඒ අය අත්අඩංගුවට ගත් නිසා එතුමිය බේරුණා. ඒ විතරක්ද? ජේ.ආර් ජයවර්ධන මැතිතුමා ඇවිත් රට හදාගෙන යන කොට ඒ කියන්නේ එතුමාගේ පාලනයේ පළවෙනි වසර පහ අවසන් කරන විට ජේ.ආර්. මරමු කියලා රට පුරා බිත්තිවල ලිවුවා. කොහොම වුණත් පාර්ලිමේන්තුව ඇතු‍ළෙදිම එතුමාට බෝම්බ ගැහුවා. ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය යන්නේ කීර්ති අබේවික්‍රම මැතිතුමා. ලලිත් ඇතුළත්මුදලි මහත්මයා මාස 3ක් රෝහලේ ප්‍රතිකාර ගත්තා. ප්‍රේමදාස මහත්මයට සුළු තුවාල. කොහොම වුණත් මේ බෝම්බ ප්‍රහාරයෙන් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ජීවිතය බේරෙනවා.

ලලිත් ඇතුළත්මුදලි මහත්තයව කිරුළපන තිබුණු දේශපාලන රැස්වීමකදී මරාදානවා. ගාමිණි දිසානායක මහත්තයව තොටළඟදී මරා දානවා. ප්‍රේමදාස මහත්තයටත් මැයි දිනය දවසේ ආමර් වීදියේදීම බෝම්බ ප්‍රහාරයකින් දිවි අහිමි වෙනවා. එතුමාගේ මරණයෙන් පසුව රටේ ජනාධිපති ලෙස පත්වන්නේ ඩී.බී. විජේතුංග මැතිතුමා. එතුමාට දේශපාලන රැස්වීම්වලදී ජනතාව අමතන්න සිදු වන්නේ වෙඩි නොවදින වීදුරු කුටියක් තුළ සිටයි.

ඒ විතරක් නෙමෙයි, චන්ද්‍රිකා මැතිනියට ටවුන් හෝල් එකේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. වෙඩි නොවදින රථය නිසා එතුමියගේ ඇසක් පමණක් අහිමි වෙලා දිවි බේරෙනවා.

ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයට බෝම්බ ගහන්න කිහිප වතාවකම උත්සාහ කරනවා. ඒත් ඒ අය වේලාසනින් අත්අඩංගුවට ගත් නිසා එතුමාගේ දිවි බේරෙනවා. ගෝඨාභය මහත්තයට පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. එතුමාගේ වාසනාවට එතුමා වෙඩි නොවදින රථයේ සිටි නිසා එතුමා බේරෙනවා. සරත් ෆොන්සේකා මහත්මයටත් ගෝල්ෆේස්වලදී මේ අකාරයටම බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. එතුමා බඩවැල් අතේ තියාගෙන තමයි රෝහලට යන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් මේ විදිහටම පහර දෙන්න කිහිප වතාවක්ම උත්සාහ කරනවා. එහෙත් ඒ ප්‍රහාර වැරදිලා වෙනත් අයගේ ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදු වනවා.

එතකොට අපි අද මේ කතා කරන විජය කුමාරණතුංග මැතිතුමා මිය යන්නෙත් අකාලයේ. අෂ්රොෆ් උඩුගුවනෙදි නැති වෙනවා. නීලම් තිරුචෙල්වම් වෙඩි කාලා මැරෙනවා. අමිර්තලිංගම්, ලක්ෂ්මන් කදිරගාමර් මේ අයත් අකාලයේ වෙඩි කාලා මියැදෙනවා.

මෙන්න මේ නිසා දේශපාලන පක්ෂ නියෝජිතයනුත් මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි.

අපි එකමුතුකමක් ගැන කතා කරනවා. ඒත් අප ඉන්නේ කොතැනද? බලන්නකෝ… අපේ ජාතික නායකයෝ කිසි කෙනෙක් අද ජීවතුන් අතර නෑ නේ.”

මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දීම පටන්ගත් හැටි

“දැන් සමහර අය අහනවා මොකටද ප්‍රභූ ආරක්ෂක අංශයක් කියලා? ඇයි ප්‍රභූ ආරක්ෂක අංශයක් ඇති වුණේ? බණ්ඩාරනායක මැතිතුමාගේ අකල් මරණයෙන් පස්සේ සෑම මහජන නියෝජිතයකුගෙම ගෙවල්වලට ආරක්ෂාව දෙන්න සිදු වුණා. ඒ වගේම 87-88 මහජන පක්ෂය පමණක් ජීවිත 141ක් පූජා කරලා තිබෙනවා.”

එජාප විශේෂ දේශපාලන කමිටු රැස්වීමේදී මොකද වුණේ?

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ දේශපාලන කමිටු රැස්වීමක් පසුගිය සිකුරාදා සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ කමිටු රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලතා අතුකෝරළ, ජාතික සංවිධායක සාගල රත්නායක, උපසභාපති නවීන් දිසානායක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන පක්ෂයේ ප්‍රධාන නියෝජිතයෝ සහභාගි වී සිටියහ.

මෙහිදී ප්‍රධාන වශයෙන් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කරනු ලැබූ අතර, එහිදී පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය තරඟ වදින ආකාරය සහ එක්සත් ජාතික පක්ෂය සමග එකතු වන අනික් පක්ෂ පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබිණි.

එසේම රටේ වර්තමාන තත්ත්වය මෙන්ම රට තුළ ගොඩනැඟෙමින් පවතින නව දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය හරහා රටේ මහජනතාව දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය බවත්, හැකි ඉක්මනින් එය ආරම්භ කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ නායකතුමා පිරිසට ප්‍රකාශ කර තිබෙනවා.

වජිරට හා සාගලට නව වගකීම්

එසේම මේ වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කිරීම සඳහා සභාපති, වජිරටත්, ජාතික සංවිධායක සාගලටත් නායකතුමන් විසින් උපෙදස් දී තිබිණි.

සිරි අන්ද්‍රාහැන්නදිගේ බිරිය මියයයි

මේ අතර පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභාපතිවරයකු වූ නීතිඥ සිරි අන්ද්‍රාහැන්නදි මහතාගේ බිරිය වන අභාවප්‍රාප්ත නීතිඥ චිත්‍රා ප්‍රනාන්දු මැතිනියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය සඳුදා දිනයේදී වජිරද එක් විය. තංගල්ල, මිද්දේණියේ සිරි අන්ද්‍රාහැන්දදි මහතාගේ නිවෙසට පැමිණි වජිර දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, විදේශගතව සිටින රනිල් වික්‍රමසිංහ මහතාද දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් මේ අවස්ථාවේ ශෝකය පළ කර සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division