Home » ආර්ථිකය හරි මඟට හැරවීම ගැන ආණ්ඩුවට ලකුණු දාගන්න බෑ

ආර්ථිකය හරි මඟට හැරවීම ගැන ආණ්ඩුවට ලකුණු දාගන්න බෑ

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
සුභද්‍රා දේශප්‍රිය

වත්මන් ආණ්ඩුවේ පළමු අය-වැය ‘සුපිරි අය-වැයක්’ කියලයි බොහෝ දෙනා පවසන්නේ…

මා සිතන්නේ ‘හොඳද? නරකද?’ කියන දේ මතුපිටින් බලා විග්‍රහ කරන්න බැහැ. මේ අය-වැය ගැන කෙටියෙන්ම කිවුවොත් එහි හොඳ අදහස් කිහිපයක් තියෙනවා. අයවැයේ පිරිසුදු, ලස්සන සහ සෞභාග්‍යවත් ශ්‍රී ලංකාවක් වගේ හොඳ ලස්සන වචන තිබුණා. රටක අය-වැයක් ගැන බලන්න වෙන්නේ අය-වැය කතාවක් විදිහට නොවෙයි. අය-වැය පිළියෙල කිරීම, සම්මත කිරීම, ක්‍රියාත්මක කිරීම, අධ්‍යයනය කිරීම සහ විගණනය කිරීම අත්‍යවශ්‍යයි. මේ දේවල් ඉදිරියේදී ක්‍රියාත්මක වනවාද යන දේ අප විචාරශීලිව බලා සිටිය යුතුයි. ඊට පෙර අය-වැයක් හොඳද නැද්ද කියන්න අපහසුයි

ඔබ අය-වැයේ හොඳ වචන පමණයි තියෙන්නේ කියලා කිවුවත්; මෙය මූල්‍ය විනයක් තිබෙන අය-වැයක් කියලා රවි කරුණානායක මන්ත්‍රීවරයාම කියා තිබෙනවා නේද?

අපට රටක් ලෙස අභියෝග රැසක් තිබෙනවා. අදායම් පාර්ශ්වය ලෙස බැලුව හොත් බිලියන 4,990ක් උපයාගැනීමට තිබෙනවා. ගිය වසරේ එය තිබුණේ 4,091ක් ලෙසයි. ඉදිරියේදී බිලියන 900ක් වැනි ප්‍රමාණයක් වැඩියෙන් උපයාගන්න සිදුව තිබෙනවා. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 13.6 සිට 15.1ට යන්න තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයට අපට ළඟා විය හැකිද යන අභියෝගය තිබෙනවා. එකතු කළ අගය මත බද්දෙන් බිලියන 300ක් වගේ ප්‍රමාණයක් ලැබෙනවා. එහෙත් තවත් බිලියන 600ක් පමණ ආදායම වැඩි කරගත යුතුව තිබෙනවා. බදු උපයාගැනීම සම්බන්ධයෙන් ගත් විට මේ අය-වැයෙන් රජය විශාල ලෙස පවතින බදු රාමුව වෙනස් කර නෑ. මේ අනුව විද්‍යාත්මක පදනමින් බැලූ විට බදු වැඩි නොකළ හොත් ආදායමින් යම් ප්‍රමාණයක් අඩු වනවා. ඒ අදායම වැඩි කරගත යුතුයි. ඒ ඉලක්කවලට යන්න නම් ඉදිරියේදී මේ අයට බදු ටිකක් වැඩි කරන්න වෙයි. අදායම් වැඩි කරන්න වියදම් අඩු කරන්න යෝජනා අප විශාල ලෙස දැක්කේ නෑ. IMF රාමුව අනුව බලද්දී ආදායම ප්‍රතිශතයක් ලෙස 15%කට වැඩි කළ යුතුයි. වියදම 13%කට වඩා වැඩි කිරීමට නොහැකියි කියලා කියා තිබෙනවා.

රාජ්‍ය වියදම් අඩු කරන්න කිසිවක් කර නෑ කිවුවත් ජනාධිපති, මැති-ඇමැතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කර තිබෙනවා නේද?

ඒවා බොරු සහ මෝඩ කතා. මාධ්‍යවලින් වුවත් වැඩියෙන් පතුරුවන්න එපා කියල මම කියන්නේ. මන්ත්‍රීන්ට වාහන පර්මිට් දෙන්නේ නෑ කියනවා. ගිය පාර්ලිමේන්තුවෙත් පර්මිට් දුන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවෙත් හිටියා විශාල ආදායමක් අහිමි කරගනිමින් දේශපාලනයට ආව අය. මන්ත්‍රීන්ට ගෙවන ප්‍රමාණය අනෙක් රටවල් හා සැසැදීමේදී ඉතා අඩුයි. මේ අයටත් ඒ අයගේ පවුල රැක බලාගන්න හැකි වැටුපක් ලැබෙන්න අවශ්‍යයි. එසේ නොවුණ විටයි බලය අනිසි ලෙස පාවිච්චි කර, අනීතික ක්‍රමවේදයකට ධනය ඉපයීම් සිදු වන්නේ. මගේ අදහස: පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වාහන අයිතිය දෙන්න අවශ්‍යත් නැහැ; පර්මිට් දෙන්න අවශ්‍යත් නැහැ. දෙන්න අවශ්‍ය වන්නේ වාහනයක් භාවිත කිරීමයි. මොකද: ඒ අයගේ රාජකාරි කිරීමට ඔවුන්ගේ ගමන පහසු කරන්න වාහනයක් අවශ්‍යයි. උපයෝගිතාව අනුව මේ දේවල් කරන්නේ. ගමනාගමනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඇමැති මන්ත්‍රීලට වාහනයක භාවිතය අනිවාර්යයෙන් දිය යුතුයි.

රාජ්‍ය සේවකයන් රටට බරක්, රාජ්‍ය සේවකයන් කප්පාදු කරන්න ඕනෑ කියලා පසුගිය ආණ්ඩුවේ ඇතැම් අය කිවුවා. ඒත් රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විශාල සහනයක් මේ නව රජයේ අයවැයෙන් දී තිබෙනවා නේද?

මූලික වැටුපට අදියර තුනකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීම හොඳයි. මූලික වැටුප වෙළෙඳපොළ අගයට ආසන්න විය යුතුයි. විශ්‍රාමිකයන්ගේ 2016 සිට පැවැතුණු අඩුපාඩුව නිවැරදි කිරීම හොඳ ප්‍රතිචාරයක්. එය අදියර කිහිපයකින් එය සිදු වනවා. බදු රහිත වැටුප මාසෙකට එකහමාරකට ඉහළට ගෙනාවා. එයත් හොඳ දෙයක්. මේ මහජන සේවය ලොකු සේවයක්. සියයට පහළොවක් පමණ වැඩ කරන්නේ රාජ්‍ය අංශයෙන් ඒ අයට යම් සහනයක් සැලසීම හොඳයි. එහෙත් රාජ්‍ය සේවයේ ඉන්න ප්‍රමාණය අතිශයින්ම වැඩියි. එය අඩු කළ යුතුයි.

සේවක අයිතිවාසිකම් පිළිබඳ කතා කරනවා වගේම පාරිභෝගික අයිතිවාසිකම් ගැනත් කතා කරන්න අවශ්‍යයි. පුරවැසි අයිතිවාසිකම් ගැන කතා කරලා නෑ. රාජ්‍ය අංශය කාර්යක්ෂම කළ යුතුයි. දේශපාලනඥයන් මේවා කියන්න බයයි. කළමනාකාරිත්වයේ ඉන්න අය, දැනුම ඇති අය රඳවාගත යුතුයි. රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව වැඩි දියුණු කළ යුතුයි. එහිදී ඒ අයගේ පුහුණුවට මුදල් වෙන් කළ යුතුයි. මේ අයවැයෙන් මේ ගැන කතා කර නෑ.

පෞද්ගලික අංශයේ රැකියා කරන අය ගෞරවයක් ඇතිව ජීවත් විය යුතුයි. බඩු මිල වැඩියි. උද්ධමනය ඉහළ ගියා. ඒත් බඩු අඩු වුණේ නැහැ. ඒක ජනතාවට දැඩිව දැනෙනවා.

පසුගිය රජය විසින් රාජ්‍ය සේවකයන්ට වැටුපට පිටින් දුන් දීමනා මූලික වැටුපට එකතු කිරීමෙන් ඒ අයට සහන රැසක් ලැබෙනවා නේද?

අප හොඳ දේ හොඳ දේ විදිහට දකිනවා. මූලික වැටුප වැඩි කිරීම හුඟක් හොඳයි. අදියර තුනක් යටතේ කරන්නේ එය හුඟක් හොඳයි. ඒ වගේම තව දෙයක් කර තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ එය අදියර ගණනකින් සිදු වෙලා තියෙනවා. එයත් සකස් කිරීම හොඳයි.

මෙය පොඩි මිනිසුන් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කර තිබෙන අය-වැයක් කිවුවොත්…

එහිදී යම් යම් පොඩි පියවරක් ලෙස පොඩි පොඩි ගණන් වැඩි කර තිබෙනවා. අස්වැසුම, වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව සහ මහපොළ දීමනාව වැනි දීමනාවලට පොඩි ගණන් වැඩි කරලා තියෙනවා. ඒත් වියදම් වැඩි වෙලා තිබෙනවා. මේ වෙලාවේ වියදම් අඩු කරන ක්‍රමවේදයක් ගැනයි අප රටක් ලෙස බලන්න අවශ්‍ය වන්නේ.

ආර්ථික අර්බුදයේ පතුලේ හිටපු රටක් මේ තත්ත්වයට ගෙන ඒම ගැන මොකද හිතන්නේ?

එය කාටවත් ලකුණු දාගන්න පුළුවන් එකක් නොවෙයි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට කලින් අප රට භාර දෙන විට අඩුම උද්ධමනයක් තිබුණේ. රට ස්ථාවරභාවයට ගෙනත් තිබුණේ. රට භාර දෙන විට විදෙස් සංචිත සමඟයි අපි භාර දුන්නේ. අය-වැයේ පරතරය ධනාත්මකයි. ගෝඨාභය රාජපක්ෂ ඇවිත් ඒක විනාශ කළා. IMF වැඩපිළිවෙළ අපේ ආණ්ඩුව කාලේ තිබුණා. ගෝඨාභය ආණ්ඩුව එයින් පිටට ගියා. රනිල් වික්‍රමසිංහ මහතා ඇවිත් කළේ නැවත ඒ පාරට යෑමයි. මේ ආණ්ඩුවට රට නැවත හැරවීම ගැන ලකුණු දාගන්නම බෑ. IMF රාමුව ඇතුළට ගියාම රට ඉබේටම හැඩගැසෙනවා.

විපක්ෂය අනාවැකි කිවුවා මේ ආණ්ඩුව බලයට පත් වුණාම යළිත් ආර්ථික අර්බුදයකට යනවා කියලා. එය බොරු වුණා නේද?

විපක්ෂය එහෙම චෝදනාවක් කළාද කියා මා දන්නේ නැහැ. මේ රටේ ආර්ථීකය හරියාකාරයෙන් කළමනාකරණය කරගත්තොත්, මේ රට නැවත අර්බුදයකට යන්නේ නැහැ. මේ බංකොලොත්භාවය ඇති වුණේ ණය ගෙවාගන්න බැරි නිසා. ණය ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක් මේ ආර්ථික අර්බුදයකට ගිහින් තිබෙනවා. පළමු ණය ප්‍රතිව්‍යූහගත කිරීමෙන් පමණක් නැවත යථා තත්ත්වයට ඇවිත් නෑ. එහිදී මුල්වර වරද්දගත්තාම කිහිප සැරයක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න වෙනවා. පළමුවැනි වටයේදීම මේ ක්‍රමවේදය මඟින් අප ගොඩ ආ යුතුයි.

එහිදී අමාරු තීන්දු තීරණ ගන්න වෙනවා. මේ අය-වැයට, මේ තීරණවලට වඩා එහා යන තීන්දු ගන්න වෙනවා. රාජ්‍ය සේවකයන් අඩු කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය, පෞද්ගලිකරණය කළ යුතු වෙනවා. සමහර දේවල් තිබෙනවා වසාදැමිය යුතුයි. මොකද, ඒවා ගොඩ ගන්න නම් විශාල ආයෝජන අවශ්‍යයි. රටේ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ඒ දේවල් කළ යුතුයි. මේ දේවල් කිරීමට නම් මේ අය-වැය යෝජනා ඉදිරිපත් කර නෑ.

එයට හේතුව ඡන්දයක් එන නිසා වෙන්න පුළුවන්. රජයෙන් ජනතාවට විය යුතු අයිතිවාසිකම් පමණක් නොවෙයි; මේ ආණ්ඩුවේ අය විපක්ෂයේ ඉන්න විට කතා කළේ මෙච්චර කල් ඒ දේවල් විතරයි. එහෙත් යුතුකම් පාර්ශ්වයක් තියෙනවා. ඒවා ඉටු කළ යුතුයි. මෙහිදී ධනාත්මක දේවල් තිබෙනවා. පෞද්ගලික අංශයේ හොඳ අය රාජ්‍ය ආයතනවලට යොමු කිරීමක් තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් දිහා බලලා නොවෙයි, මේ දේවලට ස්වාධීන පිරිසක් පත් කරන්න අවශ්‍යයි. මේ දේවලට අලුතින් පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලවල චෝදනාව වෙන්නේ හොඳ කළමනාකරණයක් නෑ කියලයි. එසේ නම් ඒ අය හොඳින් කළමනාකරණය කළ යුතුයි.

වත්මන් ආණ්ඩුවේ ජාතික ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් විපක්ෂයට යම් චකිතයක් තිබෙනවා නේද?

ආණ්ඩුව යන ගමන ගැන මොකටද අප චකිතයක් ඇති කරගන්නේ? යාපනයේ පිලිස්සුණ පුස්තකාලයට මුදල් දීම, උතුරේ මිනිසුන්ට අතහිත දෙන එක, ඒ වගේම දිළිඳු ජනතාවට සහන සැලසෙන එක ලොකු දෙයක්. ඒත් ඒ ආර්ථික පැත්තනේ. ඒත් උතුරේ ජනතා ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක්ම නොවෙයි. ඒ අයගේ අනන්‍යතාව, කලාව, සංස්කෘතිය රැකගැනීමට අවශ්‍යයි. එයට අප ඒ දේවල් වෙනුවෙන් අවශ්‍ය දේවල් දිය යුතුයි. ඒ අයට පාලනය කිරීමේදී බලතල දිය යුතුයි. ඒ අනුව බලය බෙදාහැරීම සිදු කළ යුතුයි. මේ ආණ්ඩුව ඒවා පස්සට දාලා තිබෙනවා. ඒත් මේ දේවල් ඉක්මනින් කළ යුතුයි.

සජබ – එජාප හවුල කවදාවත් සිද්ධ වන්නේ නැහැ වගේ නේද?

ඒ දේ නම් මට කියන්න බෑ. එකතු වෙයිද? නැද්ද? කියලා රනිල් සහ සජිත් මහත්තයාගෙන් අහන්න. මා කියන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් නැතිව එකට ඉඳීමේ තේරුමත් නෑ. එසේ නොවී, එකතු වුණා කියලා ධනාත්මකභාවයක් ඇති වන්නේ නෑ.

තිස්ස අත්තනායක මහත්තයා ඇයි මේ හවුලේ සාකච්ඡාවෙන් ඉවත් වුණේ?

ඒක මා දන්නේ නැහැ. අනෙක ඔය සාකච්ඡාවලට මා සහභාගි වෙලත් නෑ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division