හද කකියවන අතීතයක සිදුවූ අමානුෂික ඝාතනයක් පිළිබඳව විවරණය කෙරෙන චිත්‍රපටයක් රාණි නමින් දැන් දිවයින පුරා තිරගත කෙරේ. ප්‍රකට අධ්‍යක්ෂ අශෝක හඳගම නිර්මාණය කරන ලද එකොළොස්වෙනි චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය වන මෙය හඳගමගේ වර්තමාන දේශපාලන දැක්ම පැහැදිලිව ප්‍රකාශ කරන චිත්‍රපටයක් බවට පත්වී තිබේ.
මීට වසර ගණනාවකට පෙර ඔහු විසින් තැනූ ‘අක්ෂරය’ චිත්‍රපටය මුහුණ දුන් නීතිමය බාධක රාණි චිත්‍රපටය තුළින් ඇති නොවීමට මුල සිටම හඳගම මනස සකස් කරගෙන ඇති අන්දම ශ්‍රී ලංකාවේ කලාකරුවන්ට අත්වී ඇති ඛේදනීය ඉරණම රාණි තුළින් මනාව පැහැදිලි කරයි.
රිචඩ් ද සොයිසා ගැන කතා කළ ද මෙම චිත්‍රපටය පැහැදිලි ලෙසම ඔහුගේ මව මනෝරානී සරවනමුත්තුගේ ජීවන අන්දරයේ එක් අවධියක් ලෙස විවරණය වන බව පෙනෙයි. මෙම තෝරා ගැනීමට චිත්‍රපටයේ නිෂ්පාදක වන සුභාෂ්කරන් අල්ලිරාජාගේ දෙමළ ඩයස්පෝරාවේ අනුමැතිය ඉහළින්ම ලැබෙන්නට ඇත.
අප දන්නා අතීතයට අනුව නම් 88 – 89 භීෂණ සමයේ හා ආසන්න වසරවල රිචඩ් ද සොයිසා අන්තර්ජාතික මාධ්‍ය ක්ෂේත්‍රයේ ලාංකේය නියෝජිතයෙකි. මෙම මාධ්‍යවේදියා එකල ගත කළ භීම සමය වර්තමානයේ සිට චිත්‍රපටය නරඹන්නෙකුට කිසිසේත්ම හද කකියවන දැනීමක් ඇති නොකිරී කනගාටුදායකය.
රණසිංහ ප්‍රේමදාස ජනපති කාලයේ වූ මෙම ඛේදවාචකය සමයේ ප්‍රබල ලෙස රටේ රැව් පිළිරැව් දුන් රන්රන් විජේරත්න, ප්‍රේමදාස උඩුගම්පල, ලකී අල්ගම, ගාමිණී දිසානායක, ඔසී අබේගුණසේකර වැන්නෝ පමණක් නොව රාණිගේ සැමියා ලූෂන් ද සොයිසාගේ චරිතය ද ස්වර්ණා ඉස්මතු කිරීම සඳහා දෝ හංගා ඇත.
එදා රිචඩ් ද සොයිසා මිහිදන් කළ කනත්තේ රාණි සමඟ එකට සිටි ඇගේ සැමියා ලූෂන් හිස් වාතලයට තම සුසුම් මුදා හරිනු ලබන සමීප ඡායාරූපය එවකට ජාත්‍යන්තර ඒජන්සියකට ඡායාරූප සැපයූ ඩෙක්ස්ටර් කෲන්ගේ කැමරාවට නැඟී ඊට පසුදා ලංකාවේ ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවේ පමණක් නොව ලොව පුරා රටවල් ගණනාවක භාවිතයට ගත්තේය.
නිෂ්පාදක සුභාෂ්කරන්ගේ හිත සතුටු කරනු පිණිස රාණි පමණක් මතු කිරීමට යෑමෙන් රිචඩ් ද සොයිසාගේ චරිතයට ද සිදුවී ඇත්තේ හානියකි. චිත්‍රපටයේ පෙන්වන පරිදි ඔහු නොමේරූ ලද බොලඳ චරිතයක් නොවේ. ඔහුට තිබූ ප්‍රභාමත් පෞරුෂය අතීත රූපවාහිනී ප්‍රවෘත්ති පරිශීලනයෙන් පමණක් නොව පරාක්‍රම නිරිඇල්ලගේ යශෝරාවය මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ යුගාන්තය නැරඹීමෙන් ද ඔබට වටහා ගත හැක.
රිචඩ් ද සොයිසා ඝාතනය වීමට තුඩුදුන් ක්‍රියාකාරකම් හිතාමතා සැඟවීම කනගාටුදායකය. අතොරක් නැතිව සිදුවූ ඝාතන රැල්ලත්, මහමඟ ටයර් දමා පිලිස්සෙන මළ සිරුරු, පාලම් අසලට කණ්ඩායම් වශයෙන් රැගෙන ගොස් පෙළට සිටුවා තැබූ වෙඩි වරුසා, ප්‍රබල දේශපාලන චරිත පරිපාලන නිලධාරීන් උදේ හවස රාත්‍රි ඝාතනය වීම් ඇතුළු රටේ සිදුවූ සියලු අලකලංචි රිචඩ් ද සොයිසා එකල ලෝකයටම වාර්තා කළේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා මරා දැමීමෙන් අනතුරුව ද පැවති රාජ්‍ය යන්ත්‍රණයට එරෙහිව රිචඩ් ඇතුළු පිරිසක් කඳවුරු බැඳ ගත්හ. එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා කැරැල්ලේ සිටි තරුණයන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ගුවන් යානා වෙතටම ඔවුන් රැගෙන ගොස් එංගලන්තයේ රැකවරණ ලබා දුන් බව එකල ප්‍රකට විය. අද ජීවතුන් අතර සිටින බොහෝ මාධ්‍යවේදීන්ගේ ජීවිතය රැකුණේ එලෙසය. මේ කතාවේ ඒවා ගෑවිලාවත් නැත.
අශෝක හඳගම චිත්‍රපටය හදන මොහොතේ රටේ අලුත් ජනාධිපති කෙනෙකු තේරීමේ කටයුතු සැකසෙමින් තිබුණි. ඔහු බොහෝදුරට හිතන්න ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති වනු ඇති බවයි. ප්‍රකට ඝාතකයා චිත්‍රපටය තුළ නිර්දෝෂී කිරීම ඒ අරමුණෙන් සිදුවූවක්ද? .
එම යුගයේ තමා නිර්මාණය කළ ‘මාඝාත’ නැරඹීමට රිචඩ් පැමිණි බව චිත්‍රපටයේ ද ප්‍රදර්ශනය කළත් ඇත්තටම රිචඩ් ඝාතනය වීමට හේතුවූ “මේ කවුද? මොනවද කරන්නේ?” නාට්‍ය පිටපත රචනය පිළිබඳව මෙහි කිසිදු සඳහනක් නොවීම අපුල දනවන්නකි. මේ නාට්‍යය පුහුණු වන අවස්ථාවේ එහි නිර්මාණකරු වූ දෙහිවල, ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරයෙකු වූ ලක්ෂ්මන් නැමැත්තා ද අතුරුදහන් කළ බව ඔබට අමතකද හඳගම? මෙම නාට්‍යයේ පිටපත රිචඩ් ද සොයිසා ලියුවේ මානසික රෝහලක උන්මත්තකයන් පිරිසක් තුළින් එවකට පැවති පාලනයට සමච්චල් කරමිනි. මේ සත්‍ය සැඟවූ හඳගමගේ ආත්මයට නිවනක් ලැබේවිද?
රාණි චිත්‍රපටයේ අවිවාදිත සුපිරි රංගනයක යෙදෙන ස්වර්ණා මල්ලවාරච්චි හා කරට කර රංගනයේ යෙදෙන නළුවන් තිදෙනෙකු වේ. ඉන් පළමුවැන්නා ලලිත් ඇතුලත්මුදලිගේ චරිතයට ප්‍රවිෂ්ට වී ඇති සනත් ගුණතිලකයි. විරාගයේ අරවින්ද කැඩපතක ඡායා චරිත පසුකර අද පරපුරට ඔහු ගෙන එන රංගනය ලලිත් ඇතුලත්මුදලි සජීවීව දැක ඇසුරු කළ අයට ආශ්වාදයක් ගෙන එනවා නො අනුමානය. දෙවැනි අභිමානවත් රංගනය ගෙන එන නළුවා කරුගේ චරිතයට පණ පොවන මයුර කාන්චනයි. ඔහුගේ විශිෂ්ට රංගනය ඉදිරි දිනෙක අතීතයේ අපට සිටි ජෝ අබේවික්‍රම රංගන වේදියා හා සමවනු ඇත. අනෙක් විශිෂ්ට රංගධරයා ප්‍රියන්ත ලලිත්ය. රණසිංහ ප්‍රේමදාස චරිතය ප්‍රතිනිර්මාණය කරන ඔහුගේ කැපවීම සම්මාන සඳහා නිර්දේශවීමට සියලු සුදුසුකම් සපුරා ඇත. චිත්‍රපටයේ නරකම රංගනය ඉදිරිපත් කරන්නේ මහින්ද රාජපක්ෂගේ චරිතය මවන බිමල් ජයකොඩිය. තමන්ට ලැබෙන හැම අල ගෙඩියක්ම කටේ ඔබා ගන්නා හා පැටියෙකු සේ වග විභාගයකින් තොරව චරිතයට ප්‍රවිෂ්ට වීමෙන් බිමල් කෘත්‍රිම ඝනී භවනයකට ලක්වී ඇත.
ස්වර්ණා, සහන්, මයුර, ලලිත් වැන්නන්ට චරිතයන්ට ප්‍රවිශ්ට වීමට ප්‍රියන්ත දිසානායකගේ කාණ්ඩ සැකසීම හා වෙස් ගැන්වීම මනා ආධාරකයක් වී ඇත. ඊට සමගාමීව කොළ දුඹුරු පැහැ අන්තරය පවත්වාගෙන යෑමට සුපිරි වර්ණ සංකලනයක යෙදුණු දිනිදු ජාගොඩට ඇඳුම් නිර්මාණය කළ පියතිස්ස අකුරම්බොඩ හා කලා අධ්‍යක්ෂණය කළ බිමල් දුෂ්මන්ත සුවිශේෂ සහයෝගයක් ලබා දී ඇත.
ජාත්‍යන්තර චිත්‍රපට තලයේ පවතින චන්න දේශප්‍රියගේ විශිෂ්ට කැමරාකරණය හා සමවූ සංගීතවේදී රෝහණ වීරසිංහයන්ගේ පරිණත පසුබිම් සංගීතයත් සම්මානනීය සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ ලබාදී ඇති සංස්කරණ දායකත්වයක් අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ‘රාණි’ චිත්‍රපටය ආශ්වාදජනක නැරඹුමක් බවට පත්කොට ඇත.
අප රටේ පැවති කළු ජූලියේදී දස හැවිරිදි දරුවෙකු ලෙස තම දිවි බේරාගෙන රටින් පලාගිය නිෂ්පාදක සුභාෂ්කරන් අල්ලිරාජා සතුටු කරනු වස් පත්තිරිප්පුවේ බර පිළිබඳව හීනියට අතුල් පහරක් දීමට ද රාණි අධ්‍යක්ෂ අශෝක හඳගම වග බලාගෙන ඇත.
පද්මකුමා පී. මෙත්තසේන