Home » මේ දවස්වල බුකියම නළවන අයියයි මල්ලියි -තේනිය – මිහිත

මේ දවස්වල බුකියම නළවන අයියයි මල්ලියි -තේනිය – මිහිත

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
කුමුදිකා ඩී. සපුතන්ත්‍රි

– රසිකයෝ නිසා තමයි අපි දෙන්නා අද මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ
– අපි හැම සිකුරාදාම ගීතයක් ගායනා කරලා වීඩීයෝ එකක් අප්ලෝඩ් කරනවා

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනා ගත් ළමා තරු දෙපළක් වන තේනිය ජයකොඩි සහ මිහිත ජයකොඩි මෙවර රසඳුනෙන් ඔබ හමුවට අප රැගෙන ආවෙමු. ගායනයෙන්, වාදනයෙන් හරඹ පාන අයියාද ඊට නොදෙවෙනිව රංගන හැකියාවද යොදා ගනිමින් ගීත ගායනා කරන මල්ලිද ඔබට මතක ඇති.

තේනිය කොහොමද? මේ දවස්වල ඔයයි මල්ලියි සෑහෙන ජනප්‍රියයි නේද ?

ඔව්… අපි හිතුවෙවත් නැති විදියට අපේ නිර්මාණ එක්ක මේ දවස්වල මටයි මල්ලිටයි ගොඩක් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. අපිට ඒ ගැන හරි සතුටුයි.

තේනිය කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ ?

අපේ තාත්තා සංගීත ශිල්පියෙක්. එයා සංගීත කණ්ඩායමක කීබෝඩ් වාදකයෙක් විදියට කටයුතු කරනවා. අපි සමාජ මාධ්‍යවලට වීඩීයෝස් දාන්න පටන් අරන් දැනට අවුරුද්දක් වගේ වෙනවා. සිරස නාළිකාවෙන් පවත්වපු Voice Kids තරගාවලියට මමත් සහභාගි වුණා. ඒ කාලෙදි තමයි මට ගිටාර් එක වාදනය කරන්න ලොකුවටම ආසාවක් ඇති වුණේ. මේ වෙනකන්ම මම තනියමයි ගිටාර් එක වාදනය කරන්න පුරුදු වෙන්නේ. අපේ ටික් ටොක් ගිණුම හැදෙන්නෙත් Voice Kids බැට්ල් එකෙන් ඉවත් වුණු කාලෙදි. එහා ගෙදර අයියා තමයි අපේ අම්මලට කීවේ මං දක්ෂ නිසා ටික්ටොක් එකක් හදලා ගීතයක් කරලා ඒකේ දාන්න කියලා. එහෙම තමයි මේ ගමන පටන් ගත්තේ.

එතකොට මල්ලිව ගීතවලට සම්බන්ධ කළේ කොහොමද ?

මගේ ගීත ගායනා වැඩවලට අම්මයි තාත්තයි උදව් කරනවා. මම ගීත ගායනා කරන වෙලාවට මල්ලි පැත්තක ඉඳලා ඒ සින්දු කියනවා. අම්මලා එයාගේත් හැකියාවක් තියෙනවා කියලා අඳුනගෙන මම ගායනා කරන ගීතවලට එයාවත් සම්බන්ධ කෙරුවා. එහෙම කරපු මුල්ම ගීතය තමයි

“ඩයස්ගේ නංගි” එදා ඉඳන් මේ දක්වාම අපි හැම සිකුරාදාම ගීතයක් ගායනා කරලා වීඩීයෝ එකක් අප්ලෝඩ් කරනවා.‍

මුලින්ම වයිරල් වුණ ගීතය මතකද ?

ඔව්, Unakku Thaan කියන දමිළ ගීතය තමයි මුලින්ම අපේ ටික් ටොක් එකේ මිලියනයක් නරඹපු වයිරල් වුණු ගීතය. මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ “දුමාරේ සහ මල් සරා ගීත” දෙකට.

අපි දකිනවා මිහිත ගායනය කරනකොට මුහුණෙන්, අංග චලනයෙන් පවා ඒ ගීත රහට දෙන්න උත්සහ කරනවා. කොහොමද තේනිය මල්ලි මේ දේවල් කරන්න පුරුදු වුණේ ?

තාත්තා අපි දෙන්නටම කියන්නේ නිකන්ම සින්දුව නොකියා මොනා හරි තව දෙයක් දෙන්න කියලා. මල්ලිටත් එහෙම කියනකොට එයා සෑහෙන ඇක්ටින් දෙනවා ගීතවලට. තාත්තා දෙන මඟපෙන්වීමත් එක්ක මල්ලි හිතලා එක එක නිරූපණයන් කරනවා. එයා හැටන් නැෂනල් බැංකුවේ වෙළඳ දැන්වීමකටත් හිටියා.

දෙන්නට පාසලෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

මම නවය ශ්‍රේණියේ, මල්ලි ඉගෙන ගන්නේ පළවෙනි ශ්‍රේණියේ. අපි දෙන්නම යන්නේ වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලට. මගෙයි මල්ලියිගෙයි නිර්මාණ දැකලා පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සහ යාළුවෝ ලොකු අගය කිරීමක් කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන B.D.I.K. කරුණාරත්න අපේ විදුහල්පතිතුමාව. සර් අපි දෙන්නට ලොකු සහයෝගයක් දෙනවා අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවී මේ වැඩ කරගෙන යන්න.

පාසලේ ගුරුවරු, යාළුවෝ ඔයා කියන සින්දු ගැන මොකද කියන්නේ ?

හැමෝම අපට ලස්සනයි, හොඳයි කියනවා.

සින්දු කියනවට අමතරව වැඩිපුරම ආස මොනවා කරන්නද ?

මං චිත්‍ර අඳින්න ආසයි

තේනිය ඔයා සංගීතය විෂයයක් විදියට හදාරනවද ?

ඔව්. මම පාසලේදී බටහිර සංගීතය ඉගෙන ගන්නවා. ඒ වගේම ශ්‍යාමලී රාජකරුණා ටීචර්ගේ ඇලිග්‍රෝ සංගීත පංතියට සම්බන්ධ වෙලා ඉගෙන ගන්නවා. මට ඩ්‍රම්ස් , ගිටාර්, පියානෝ වගේ සංගීත භාණ්ඩ ගොඩක් වාදනය කරන්න පුළුවන්.

සංගීතයට අමතරව ඔයා කරන විෂයය බාහිර වැඩ මොනවද ?

ක්‍රිකට්, ස්විමින් ක්‍රීඩා දෙක මම කරනවා. මේ දවස්වල කාර්යය බහුල නිසා ඒ වැඩ ටිකක් මඟ ඇරුණා.

තේනියගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද ?

මගේ බලාපොරොත්තුව ලෝකෙම දන්න හොඳ සංගීතවේදියෙක් වෙන එක.

ඔයාලා දෙන්නගේ රසික පිරිසට මොනවද කියන්න තියෙන්නේ ?

Theni & Mihi face book පිටුවෙන් Theniya Jayakodi ‍යූ ටියුබ් සහ ටික් ටොක් නාළිකාවලින් අපිව නරඹන, අගය කරන හැමෝටම ගොඩක් ස්තූතියි. රසිකයෝ නිසා තමයි අපි දෙන්නා අද මේ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔයාලට අපි ගොඩක් ආදරෙයි. දිගටම අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉදිරියේදි මමයි මල්ලියි ගායනා කරන අපේම ගීතයක් එළි දක්වන්න සූදානම් වෙනවා.

ස්තුති කරන්න ඉන්න පිරිස කවුද ?

අම්මටයි තාත්තටයි මුලින්ම ස්තුති කරන්න ඕන. ඒ දෙන්නා තමයි අපේ ශක්තිය. බාප්පා ඇතුළු නෑදැ පිරිසට, මගේ පාසලේ විදුහල්පතිතුමා, බටහිර සංගීත විෂයය උගන්වන අරුණ මධුශංක සර්, පංති භාර ශ්‍යාමලී රාජකරුණා ටීචර්වත් ආදරෙන් මතක් කරනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division