පෙබරවාරි 16 වැනිදා, යුක්‍රේනයේ තාප බලාගාරයකට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් හමුවේ යුක්රේන වැසියන් 100,000කට පමණ හිම මිදෙන සීතලයේම ඍණ අගයට බැස ඇති උෂ්ණත්වය පිටම එම ප්‍රදේශය අතහැර යාමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ පිළිබඳ යුක්රේන ජනපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ටෙලිග්‍රෑම් පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව නැවත වරක් යුක්රේනයේ ජනජීවිතය හා යුක්රේනුවන්ට එරෙහිව ප්‍රහාරයක් ආරම්භ කර ඇති බවයි.
2022 දෙසැම්බර් 24 වැනිදා මහා පරිමාණ ලෙස රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කරනු ලබන අතර, සමස්ත ලෝක ප්‍රජාව විසින්ම මේ ආක්‍රමණය එකහෙළාම හෙළා දකිනු ලැබිණි.
රුසියානු ජනපති පුටීන් හා එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් යුක්ක්‍රේනය සම්බන්ධයෙන් ධවල මන්දිරයේදී මුණගැසී රාජ්‍යතාන්ත්‍රික තීන්දු හා තීරණ ගනිද්දී එක්සත් රාජධානියේ අගමැති කියා ස්ටමර් ප්‍රමුඛ යුරෝපීය නායකයන් පෙබරවාරි 17 වැනිදා ප්‍රංසයේ පැරිස් නුවර හදිසි සමුළුවක් කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ, යුක්රේනයේ අනාගතය හා යුක්රේනයට කල්පවත්නා වූ සාමයක් පිළිබඳ පසුබිම සකස් කරගැනීමේ අභිලාෂයෙනි. පැරිස් සැසිය මේ ආකාරයෙන් පැවැත්වෙද්දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රූබිඕ සවුදි අරාබියේදී රුසියානු සාකච්ඡාකරුවන් හමු වීමට කටයුතු සම්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මුනිච් ආරක්ෂක සමුළුව හා යුරෝපා සංගමය
මුනිච්හි වාර්ෂිකව පැවැත්වෙන ආරක්ෂක සමුළුවේදී යුරෝපීය කොමිසමේ සභාපතිනිය වූ උර්සුලා වැන් ඩී ලියෑන් පවසා ඇත්තේ, ජනපති ට්‍රම්ප් ඇලුමිනියම් හා ලෝහ තීරුබදු අරබයා යුරෝපීය සංගමයට පනවනු ලබන අසාධාරණ තීරුබදුවලට එරෙහිව යුරෝපා සංගමය පැහැදිලි ප්‍රතිචාරයක් නොදක්වා නොසිටින බවයි. ට්‍රම්ප්ගේ වෙළෙඳ යුද්ධය එක් පැත්තකින්ද අනෙක් පැත්තෙන් ස්වෛරී රාජ්‍ය අරබයා බලවත් රාජ්‍යයන් විසින් පතුරුවනු ලබන මහා පරිමාණ ප්‍රචණ්ඩත්වයද හමුවේ එහි ගොදුරු බවට පත් වන්නේ අනෙකකු නොව සිවිල් වැසියෝය.
2024 දෙසැම්බරය වන විට මිලියන 4.3කට ආසන්න යුරෝපීය සංගමයට අයත් නොවන රාජ්‍යයන්ගේ පුරවැසියන්, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ අවතැන් වූ අතර, ඔවුන්ට යුරෝපීය සංගමයේ තාවකාලික ආරක්ෂක පදනම මත රැඳී සිටීමට අවශ්‍ය ඉඩ ප්‍රස්තා සලසා දී ඇත. ජර්මානු, පෝලන්ත, චෙක් ජනරජ වැසියෝ මේ අතර බහුතර නියෝජනයේ සිටිති. එබැවින් මෙවර මුනිච් ආරක්ෂක සමුළුව මඟින් මෙන්ම පැරිස් හදිසි සැසිය ඔස්සේද යුක්රේනයට දිගුකල් පවත්නා සාමයක් ස්ථාපිත කිරීම ප්‍රමුඛතම අරමුණ විය යුතු බව ගොනු වන්නේ එබැවිනි. යුක්රේනයට සාමසාධක හමුදා බළඇණි යැවීම පිළිබඳ සැලැස්ම මේ වන විටත් ඉහළින්ම සාකච්ඡාවට බඳුන් වන අතර, ඒ ඔස්සේ එක් පැත්තකින් යුක්රේනය හුදෙකලා වී නැති බව තහවුරු වීමක්ද සිදු වේ.
ජනපති ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයේ ‘අමෙරිකාවට පළමු තැන’ යන ඔහුගේ සැමදාටම පුරුදු කියමනත් සමඟ ගනු ලබන දරදඬු තීරණ හමුවේ, රුසියා-යුක්රේන යුද්ධයේ ඉදිරිය පිළිබඳවද පවතින්නේ අවිනිශ්චිතභාවයකි. ප්‍රංස ජනපති එමානුවෙල් මැක්රොන් පැරිස් නුවරදී ඉතා හදිසි සමුළුවක් කැඳවන්නේද මෙවැනි වපසරියකය. තෝරාගත් යුරෝපීය නායකයන් 11 දෙනකුගෙන් සමන්විත වූ මේ සැසියට එක්සත් රාජධානියේ අගමැති කියා ස්ටමර්ද සහභාගි වී ඇත.
ප්‍රංසයේ පැරිස් සැසිය
ප්‍රංස ජනපති එමානුවෙල් මැක්රොන් මේ කඩිනම් පැරිස් සමුළුවේ සත්කාරකත්වය උසුලන අතර, 11 දෙනකුගෙන් සමන්විත යුරෝපීය නායකයන්ගේ පොදු මතය ලෙස විග්‍රහ වන්නේ, ජනපති ට්‍රම්ප් හා රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් විසින් මේ අරබයා යෝජිත සටන්විරාමය සම්බන්ධයෙන්ද පුළුල් ආකාර අධ්‍යයනයක් කර යුක්ක්‍රේනයට කල්පවත්නා සාමයක් උදා කර දීමට කටයුතු කිරීම බව විස්තර වී ඇත. ප්‍රංසයේ පැරිස් නුවර එල්සි රාජ මාලිගයේ පැවැත්වෙන මේ හදිසි සැසියට යුරෝපයේ හා යුක්රේනයේ ආරක්ෂක කරුණු මුල්තැනක් ගනී.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ දිනවල එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රුසියානු රාජ්‍ය නායකයන් අතර සවුදි අරාබියේ රුසියා – යුක්රේන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වේ. එහෙත් ඒ සාකච්ඡා සඳහා මෙතෙක් යුක්ක්‍රේනය සහභාගි වී නැති බැවින්, යුක්රේනය නැති සාකච්ඡාවල පිළිගැනීම පිළිබඳ අර්බුදකාරි තත්ත්වයක් පැනනැඟී ඇත. පැරිස් සැසියේදී යුරෝපීය නායකයන් පැමිණ ඇති එකඟත්වයක් නම්, සාම ගිවිසුමකින් තොර යුක්රේන සටන්විරාමයක් භයානක තත්ත්වයක් වන අතරම අමෙරිකානු සහයෙන් යුතු ඉහළ මට්ටමේ ආරක්ෂාව පිළිබඳ තහවුරු කිරීමක් යුක්‍රේනය සම්බන්ධයෙන් සැපයීමට ඔවුන්ට අත්‍යවශ්‍යයෙන්ම හැකි විය යුතු බවයි.
යුක්රේනය පදනම් සාකච්ඡාවල වර්තමාන තත්ත්වය
ජනපති ට්‍රම්ප් රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම උදෙසා වූ සාකච්ඡා සඳහා රුසියාවට යවා ඇති රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා පිළිබඳ ගෝලීය අවධානය ඉතා තදින්ම යොමු වී ඇත. එමෙන්ම ස්ටීව් විට්කොෆ් මේ වන විට සවුදි අරාබියේ පැවැත්වෙන පළමුවරට රුසියාව හා එක්සත් ජනපදය මුහුණට මුහුණ ලා කෙරෙන සාකච්ඡාවලටද, ඉන් අනතුරුව සහභාගි වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇත්ත වශයෙන්ම ජනපති ට්‍රම්ප් රුසියා – යුක්රේන අර්බුදය නිම කිරීමේ අරමුණින් ප්‍රවේශ වී ඇති සවුදි අරාබියේ පැවැත්වෙන සාකච්ඡාවලට යුක්රේනය හෝ සෙසු යුරෝපීය රටවල් සහභාගි කරවා නොගැනීම තුළ එහි සාර්ථකත්වය පිළිබඳ ගෝලීය විචාරකයන් එතරම් සුබවාදි අදහසක නැති අතර, ට්‍රම්ප්ගේ වත්මන් රාජ්‍යතාන්ත්‍රික තීරණවල ස්වරූපයද කලින් අනුමාන කළ නොහැකි තරමටම දුෂ්කර හා අපැහැදිලි වී ඇති බව කිව යුතුය.
ඇත්ත වශයෙන්ම අමෙරිකානු හා රුසියානු නිලධාරීන්, රැකියා-යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සවුදි අරාබියේ පවත්වන සාකච්ඡාවලට අදාළ රාජ්‍යයන්ට යුක්රේනයට ආරාධනා නොකිරීම තුළ එය කුමන ආකාරයේ සාම ක්‍රියාවලියක්ද යන්න පිළිබඳ විශාල චෝදනාවන් ගෝලීය පසුබිමෙන් එල්ල වී ඇත. යුක්රේනුවන්ගේ ස්වෛරීත්වය පිළිබඳ ගනු ලබන තීරණය ඔවුන් හැර අනෙකකු ගන්නේ කෙසේද? මෙය විශාල ගැටලුවකි. ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් අරබයා ඉහළ පෙළේ බලවත් රාජ්‍යයන් අතපොවන්නේ කිසියම් හෝ යම් අරමුණක් පෙරදැරිව බව අන්තර්ජාතික සබඳතා විෂයපථය ඉතා ප්‍රසිද්ධය. ඒ අර්ථයෙන් ගත් කල ජනපති ට්‍රම්ප්ද, යුක්රේනයේ සහභාගිත්වයෙන් තොරව ඉහළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමෙන් රුසියාව සමඟ සවුදි අරාබියේ මෙහෙයවනු ලබන සාකච්ඡා තුළ යුක්රේනයේ ඉතා පොහොසත් ඛනිජ සම්පත පිළිබඳ අතපෙවීමේ උපායමාර්ගික අභිලාෂයද නැත්තේද නැත යනුවෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
පැරිස් සැසිය තුළදී බ්‍රිතන්‍යය, ස්වීඩනය හා ජර්මනිය ප්‍රකාශ කර ඇත්තේ, පැහැදිලි හා පිළිගත හැකි අධිකාරියක් තුළ ඔවුන් යුක්රේනය වෙත, ඉතා විවෘතව සාමසාධක බළඇණි යැවීමට සූදානම් බවයි, යන්න විදෙස් මාධ්‍ය පවසා තිබිණි. මෙය තීරණය වනුයේ ජනපති ට්‍රම්ප් රුසියා-යුක්රේන සම්බන්ධයෙන් පවතින සාකච්ඡා පිළිබඳ දෙන්නා වූ ආරක්ෂක තක්සේරුභාවය හා විශ්වාසය මත පදනම්ව වේ.
යුක්රේන ජනපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි මේ වන විට සිටින ස්ථාවරය නම්, එක්සත් ජනපද හා රුසියානු විදේශ අමාත්‍යවරුන් හා ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් රියාද්හි පැවැත්වෙන රුසියා – යුක්රේන සටන් විරාමවලට අත්‍යවශයම පාර්ශ්වය වන යුක්ක්‍රේනයට ආරාධනා නොකරමින් පැවැත්වෙන මේ සාකච්ඡාවල නීත්‍යනුකූලභාවය කුමක්ද යන්නයි. ජනපති සෙලෙන්ස්කි පමණක් නොව, සාමය අගයන සියලු ප්‍රජාවටම මෙය ඉතා ප්‍රබල ගැටලුවකි. මේ අතර නේටෝ සංවිධානයේ මහ ලේකම් මාක් රුට්ටේ ඉතා විශ්වාසයෙන් යුතුව ස්වකීය x ගිණුමේ සටහනකින් ප්‍රකාශ කර ඇත්තේ, යුරෝපය, යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කිරීමට සූදානමින් හා කැමැත්තෙන් පසු වන බවයි.
පී.ආර්. දුෂාන්ති සිල්වා