Home » ස්වාභාවික සම්පත් භූ දේශපාලනය සහ යුද ගැටුම්

ස්වාභාවික සම්පත් භූ දේශපාලනය සහ යුද ගැටුම්

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

නූතන දේශපාලන ක්‍රමය තුළ ඒකාධිපතියා යනු: රටක් හෝ ප්‍රදේශයක් තුළ නිරපේක්ෂ දේශපාලන බලයකට හිමිකම් කියන තනි පුද්ගලයෙක් හෝ එවැනි බලයක් ක්‍රියාත්මක කරන කුඩා කණ්ඩායමක සාමාජිකයෙකි. අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පිළිබඳ තම විවේචනය වඩාත් උත්සන්න කරමින්, ඔහු ‘මැතිවරණයකින් තොරව බලය හොබවන ඒකාධිපතියකු’ ලෙස හැඳින්වීය.

ට්‍රම්ප් සිය ‘ටෘෘත්’ සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් බදාදා කළ මේ ප්‍රකාශය, වොෂිංටනය සහ කිව් පාලනය අතර ආතතීන් තීව්‍ර කිරීමෙන් නොනැවතී, නව නට්සිවාදයට එරෙහිව රුසියාව ගෙන යන සටනේදී යුක්රේනයේ ආරක්ෂාව සඳහා එක්සත් ජනපදයේ අඛණ්ඩ සහය තීරණාත්මක වශයෙන් වැදගත් බව සලකන යුක්රේනයේ යුරෝපීය හිතවතුන් අතරද අනතුරු ඇඟවීමේ සීනු නාද කරයි. සෙලෙන්ස්කිට මෙතරම් දරුණු ලේබලයක් ඇලවීමෙන් අමෙරිකානු නායකයා යුක්රේන නායකත්වයට තිබෙන නෛතිකභාවය ප්‍රශ්න කරන අතරම, රුසියානු හමුදාවලට එරෙහිව ගෙන යන දුෂ්කර සටනේදී යුක්‍රේනයට තවදුරටත් එක්සත් ජනපදය සහය දෙයිද යන්න පිළිබඳවද සැක මතු කරයි.

ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශය අදින් හරියටම වසර 3කට පෙර – 2022 පෙබරවාරි 22 දින – රුසියාව යුක්රේනට එරෙහිව මහා පරිමාණයෙන් ආරම්භ කළ විශේෂ හමුදා මෙහෙයුම ආරම්භයේ සිට යුක්රේනය පිළිබඳ එක්සත් ජනපදය අනුගමනය කළ ප්‍රතිපත්තියෙන් වොෂිංටනය මුළුමනින්ම බැහැර වීමක් පිළිබිඹු කරයි. සෙලෙන්ස්කි ආඥාදායකයකු ලෙස අර්ථ ගැන්වීම පැහැදිලි ලෙසම යුක්රේන රජය පිළිබඳ අමෙරිකානු රජයේ ඍජු විරෝධය පළ කිරීමක් මෙන්ම නැඟෙනහිර යුරෝපයේ අන්තර්ජාතික රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ ආරක්ෂාව කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කරන ප්‍රකාශයකි.

සෙලෙන්ස්කි ආඥාදායකයකු ලෙස හැඳින්වීමට අමතරව ‘මඳ වශයෙන් සාර්ථකත්වයට පත් මේ කවටයා තමාට කිසි සේත් ජය ගත නොහැකි යුද්ධයක් වෙනුවෙන් එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 350ක මුදලක් උදුරා ගත් බවට’ ද ට්‍රම්ප් චෝදනා කළේය. ෆොක්ස් නිව්ස් වැඩසටහනකට අදහස් දක්වමින් අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව කටමැත දෙඩවීමකින් තොරව යුක්රේනය තම ඛනිජ ධනයෙන් අ‍ඩක් එක්සත් ජනපදයට දිය යුතු බවයි. යුක්රේනය සතු තෙල්, ස්වාභාවික වායු ඇතුළු ඩොලර් බිලියන 500ක වටිනාකමකින් යුත් ස්වාභාවික සම්පත් අත්පත් කරගැනීමට අදාළ සැලසුමක් වොෂිංටනය මේ වන විටත් ඉදිරිපත් ‍කොට තිබේ. මේ කාරණය නිවැරදිව වටහාගැනීමට නම් භූ දේශපාලනය සහ නූතන ගැටුම් අතර ඇති සම්බන්ධතාව කවරේදැයි අවබෝධ කරගැනීම වැදගත්ය.

භූ දේශපාලනය යනු භූගෝලීය පිහිටීම, පරිසරය සහ ස්වාභාවික සම්පත් යනාදිය විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි බලපාන්නේ කෙසේද යන්න හැදෑරීමට අදාළ දේශපාලනමය ප්‍රවේශයකි. සමකාලීන දේශපාලන විග්‍රහය තුළ යථාර්ථවාදි න්‍යයායට අනුව අන්තර්ජාතික සම්බන්ධතාවල තරගකාරිත්වය සහ ගැටුම්කාරි ස්වාභාවය එමඟින් ප්‍රදර්ශනය කරයි. භූ දේශපාලනයේ මූලික සංකල්පයක් නම් ‘යුරේසියානු හදබිම පාලනය කරන්නේ ක‍වරෙක්ද හෙතෙම ගෝලීය දේශපාලනය තුළ (හදබිම) මත සිය ආධිපත්‍යය පතුරුවාලන්නේය,’ යන්නයි. මේ අදහසට අනුව, වර්තමානයේ යුක්රේනයට අයත් භූමිප්‍රදේශය සිය වසඟයට ගැනීම සඳහා බලවත් රටවල් දැඩි උත්සාහයක නිරතව සිටී.

වසර 2014ට පෙර පැවති යුක්රේනය බටහිරින් කාපේතියානු කඳුකරයෙන්ද, නැඟෙනහිරින් ඩොනෙට්ස් ගංගාවෙන්ද, දකුණින් කළු මුහුදෙන්ද වටව පැවති, සුවිශාල රාජ්‍යයකි. යුක්රේනයේ සිටි රුසියාවට පක්ෂපාති ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහ කිරීමට එරෙහිව සිදු කෙරුණු බටහිර කුමන්ත්‍රණයට පිළිතුරු වශයෙන් කළු මුහුදේ මූලෝපායික වශයෙන් වැදගත් පිහිටීමක් සහිත ක්‍රිමියා අර්ධද්වීපය යුක්රේනයට අහිමි විය. අනතුරුව 2022දී රුසියාව ආරම්භ කළ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යුක්රේනයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ දැන් මොස්කව් පාලනය යටතේ පවතී. යුක්රේනය යුද්ධය නතර කිරීමට අදාළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීම බොහෝ දෙනාගේ සතුටට හේතු වන අතරම, මේ සාම ප්‍රයත්නය අමුද්‍රව්‍ය සම්පත් අත්පත් කරගැනීමේ එක්සත් ජනපද ප්‍රයත්නය හා බැඳී පවතී.

අමෙරිකානු සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් ඉකුත් නොවැම්බරයේ එක්තරා රූපවාහිනී වැඩසටහකට සහභාගි වෙමින් ‘(යුක්රේන) යුද්ධය මුදල් පිළිබඳ කාරණයකි. ජනතාව ඒ පිළිබඳ වැඩිදුර කථා නොකරති. එහෙත් සත්‍යය නම් අති දුලබ ඛනිජ සම්පත් අතින් ගත් කල යුක්රේනය යුරෝපාකරයේ වඩාත් පොහොසත්ම රටයි. ඩොලර් ට්‍රිලියන දෙකත් හතත් අතර වටිනාකමකින් යුත් මේ ඛනිජ සම්පත් 21 වැනි සියවසට බෙහෙවින් අදාළත්වයක් දක්වයි,’ යනුවෙන් කියා සිටියේය. සෙනෙට් සභික ග්‍රැහැම් එදා පුරෝකථනය කළ පරිදිම, යුක්රේන යුද්ධයේදී එක්සත් ජනපදය පිරිනැමූ ආධාරවලට මෙන්ම පශ්චාත් සංග්‍රාම අවධියේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය විය හැකි මුදලට හිලව් වශයෙන් යුක්රේනය සතු ඩොලර් බිලියන 500ක වටිනාකමින් යුත් දුලබ ඛනිජ ද්‍රව්‍යය දෙන ලෙස ට්‍රම්ප් පාලනය නොපමාව යුක්රේනයට දැනුම් දී ඇත. වොෂිංටනයේ මේ ක්‍රියාකලාපය සාධාරණත්වය මත පදනම් වු රාජ්‍යතාන්ත්‍රිකභාවයක් ප්‍රදර්ශනය නොකරයි.

පැනමා ඇළ යළි අත්පත් කරගැනීම, ග්‍රීන්ලන්තය මිල දී හෝ බලහත්කාරයෙන් ගැනීමට තැත් කිරීම, කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය බවට පත් කරගැනීම, ගාසා තීරය ජනයාගෙන් හිස් කොට යළි සංවර්ධනය කිරීම ඇතුළු ට්‍රම්ප්ගේ බැලූ බැල්මට වහසි බස් දෙඩවීම් පසුපස 21 වැනි සියවසේ අමුද්‍රව්‍ය සම්පත් අත්පත් කරගැනීමේ නවලිබරල්වාදි ගැඹුරු වුවමනා එපාකම් ගැබ්ව පවතින බවක් දැකිය හැකිය. උදාහරණයක් ලෙස, යුද්ධයෙන් විනාශයට පත් ගාසා තීරයට අදාළ ට්‍රම්ප්ගේ රිවියෙරා සැලසුමද එවැන්නකි. වොෂිංටනයේ වෙසෙන ආර්ථික විද්‍යාඥයකු වන ජෝසෙෆ් පෙල්ස්මාන් විනිස් 2024 වසරේ ග්‍රීෂ්ම ඍතුවේදී ඉදිරිපත් කරන ලද සවිස්තරාත්මක වාර්තාවකට අනුව ගාසා තීරය පිළිසකර කිරීමේ සැලසුමට නවීනතම අංගෝපාංගවලින් සමන්විත හෝටල් සහ නි‍වාඩු නිකේතන පමණක් නොව, ගුවන් තොටුපොළ සහ වරායද ඇතුළත්ය. ඒ සැලසුම ක්‍රියාත්මක කිරීමට නම්, ගාසා තීරය මුළුමනින්ම හිස් කොට, ඊජිප්තුව අවතැන් වන පලස්තීන ජනයා භාරගැනීමට අදාළ යෝජනාවකින්ද සමන්විත ය. සාධාරණත්වය මත පදනම් වූ සාම වැඩපිළිවෙළකට අනුව ගාසා තීරයේ ජනතාව තම ගම්බිම්වලින් නෙරපාහැරීම කිසි සේත් සාධාරණීකරණය කළ නොහැකි අතරම, එවැනි යෝජනාවකට එරෙහිව අන්තර්ජාතික වශයෙන් බලවත් විරෝධයක් එල්ල වීම සාධාරණ වූවකි. ට්‍රම්ප්ගේ යෝජනාවට එරෙහිව අද මුළුමහත් අරාබි ලෝකයම එකට එක් වීම බෙහෙවින් විරල සිදුවීමකි.

එක්සත් ජනපදයේ කලාපීය හිතවතකු වන සවුදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්ගේ ප්‍රධානත්වයෙන් අරාබි රටවල නායකයෝ සිකුරාදා සවුදි අරාබියේ රියාද් අගනුවරට රැස් වන්නේ ට්‍රම්ප්ගේ මේ ප්‍රතිසංස්කරණ යෝජනාවට එරෙහිව අරාබිකරයේ එකමුතුභාවය ප්‍රදර්ශනය කිරීමේ සහෝදර හැගීමෙන් යුතුවය. බයිඩ්න් පාලනයට මාස 15ක් තිස්සේ මඟහැරුණු සටන් විරාමය බලයට පත් වූ සැණින් ක්‍රියාත්මක කිරීමට හැකි වීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ට ලොව පුරා ප්‍රසාදය පළ විය. එහෙත් ට්‍රම්ප්ගේ රිවියෙරා සැලසුම හුදෙක් පලස්තීනුවන්ගේ පමණක් නොව, සාධාරණත්වයක් අපේක්ෂා කරන ලොව පුරා සැමගේ මවිතයට මෙන්ම විරෝධයටද හේතු වී තිබේ. ඇතැම් විට, මාහැඟි ස්වාභාවික සම්පතින් ආඪ්‍ය වූ මධ්‍යධරණී සාගරයට මුහුණ ලා පිහිටි ගාසා තීරය පිළිසකර කිරීමේ සැලසුම පිටුපස යට කී අමුද්‍රව්‍ය සම්පත් අත්පත් කරගැනීමේ අභිලාෂයන් සැඟව පැවතිය හැකිය.

අනෙක් අතට, ගාසා තීරය හිස් කරමින්, එහි සිටින පලස්තීන ජනයා අසල්වැසි ඊජිප්තුවට හෝ ජෝර්දානයට පිටමං කළේයැයි මොහොතකට සිතමු. එවිට බටහිර ඉවුරේ සිටින සෙසු පලස්තීන ජනතාවට අත් වන ඉරණම කුමක්ද? සාමූහික වශයෙන් ලක්ෂ 24ක පමණ පිරිසක් සාමූහික ලෙස එලෙස පලවාහැරීමෙන් පසු බටහිර ඉවුර ඊශ්‍රායලයේ පාලනයට නතු වීමට බොහෝ දුරට ඉඩකඩ පවතී. සැබෑ ලෙසම ඊශ්‍රායල ජනාවාසකරණයෙන් වැඩිම බලපෑමකට ලක්ව සිටින්නේ ගාසා තීරයේ ජනතාවට වඩා, ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් බැව් නොකිව මනාය. මේ නිසා, භූමිය සහ දේශසීමා මුල්කරගත් මැදපෙරදිග අර්බුදයට දිය යුතු සැබෑ විසඳුම වන්නේ අන්තර්ජාතිකව පිළිගත් ඊශ්‍රායලයට සහ පලස්තීනයට සමාන්තර රාජ්‍ය දෙකක් නිර්මාණය කරදීමේ රාජ්‍යයන් දෙකේ විසඳුම මිස, බලවත් රටවල අතළොස්සකගේ භූ දේශපාලනික සහ ව්‍යාපාරික වුවමනා එපාකම් පෙරදැරිව සිදු කෙරෙන පැලැස්තර විසඳුමක් නොවන බව අවධාරණය කළ යුතුය.

විජය දිසානායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division