Home » ඊ සිම්පතක් හදාගෙන පාතාලය වෙසින් දුන් කප්පම් ඇමතුම්

ඊ සිම්පතක් හදාගෙන පාතාලය වෙසින් දුන් කප්පම් ඇමතුම්

by sachintha
March 1, 2025 12:23 am 0 comment

විදේශගතව සිටින පාතාල කල්ලි සාමාජිකයන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන් මෙරට සිටින ඇතැම් ව්‍යාපාරිකයන්ට එරට සිට දුරකතනයෙන් ඇමතුම් දෙමින් කප්පම් මුදල් ලබා ගැනීමට තැත් කිරීමේ සිදුවීම් ගණනාවක් පසුගියදා වාර්තා වී තිබුණි.

මෙලෙස එම පාතාලයන්ගේ ‘බහට’ අවනත නොවන ඇතැම් ව්‍යාපාරිකයන් ඇතුළු ධනවත් පුද්ගලයන්ට මෙරට සිටින සිය ගෝලබාලයන් ලවා තර්ජනය කිරීම් සහ ඇතැම් අවස්ථාවලදී වෙඩි තබා අනතුරු ඇඟවීම විදෙස්ගත පාතාලයන් විසින් සිදු කරන්නේ එම ව්‍යාපාරිකයන් බියගැන්වීම සඳහාය.

එවැනි සිදුවීම් කීපයක් සම්බන්ධයෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම සීඅයිඩීය ද මේ වන විට දීර්ඝ විමර්ශන ආරම්භ කර තිබීම ද සුවිශේෂිය.

තලංගම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට ඩුබායි සිට දුරකතනයෙන් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ 50ක කප්පම් මුදල් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට පොලීසිය දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ විමර්ශනය සිදු කරයි.

අදාළ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු ද මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ සිටීම ද සුවිශේෂීය.

මේ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් කණ්ඩායමක් තවත් ‘එවැනි පන්නයේ’ විමර්ශනයකට මේ වන විට අත ගසා ඇත. ඒ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකුට පාතාල සාමාජිකයන්ගේ වෙස්ගත් කණ්ඩායමක් එල්ල කරන මරණ තර්ජන සම්බන්ධයෙනි.

කිසියම් පාතාල කල්ලියක් ලෙසින් පෙනී සිටින පිරිසක් විදෙස් රටක සිට අදාළ ව්‍යාපාරිකයාට මෙරට සිම්පතක් උපයෝගී කර ගනිමින් දුරකතන ඇමතුම් ලබාදී මරණ තර්ජනය කර කප්පම් මුදල් ලබාගැනීම සඳහා උත්සාහ ගෙන ඇති අතර මුල්ලේරියාවේ පදිංචි අදාළ ව්‍යාපාරිකයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව දැන් මේ ගැන වැඩිදුර විමර්ශන පැවැත්වෙන්නේ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසිනි.

දේශීය දුරකතන සිම්පතක් යොදාගෙන එලෙස විදේශයක සිට වට්ස්ඇප් ඔස්සේ ව්‍යාපාරිකයාට මරණ තර්ජන කර මුදල් ඉල්ලන කල්ලිය අල්ලා ගැනීම සඳහා රතු වරෙන්තු ලබා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට මේ වන විට හැකිවී ඇත.

මේ කල්ලිය මෙරට සිටින සමහර ධනවත් ව්‍යාපාරිකයන්ට විදේශයක සිට මෙරට සිම්පතක් උපයෝගී කරගෙන තර්ජනාත්මක ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීමට තැත් කර ඇති අතර මේ පිළිබඳව දීර්ඝ එමෙන්ම වෝහාරික විමර්ශනයක් සිදු කළ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මේ කල්ලිය මෙහෙයවන බව කියන පුද්ගලයකු පිළිබඳව සියුම් තොරතුරක් සොයා ගත්තේ පසුගියදාය.

මුල්ලේරියාවේ ව්‍යාපාරිකයාට පිටරට සිට තර්ජනාත්මක ඇමතුම් දී කප්පම් ඉල්ලන පුද්ගලයන් ඒ සඳහා භාවිත කරන සිම්පත මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට අයත් එකක් බවත් ඇගේ අනුදැනුමකින් තොරව විදේශයක සිටින පුද්ගලයා ඇගේ නමට ඇති සිම්පතට සමාන ඊ සිම්පතක් සාදාගෙන එය උපයෝගී කරගෙන තර්ජනාත්මක ඇමතුම් ලබාදෙන බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන් සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය.

මේ කල්ලිය අදාළ කාන්තාවට කෙටි පණිවිඩයක් ලබාදී ඇයට ත්‍යාග මුදලක් හිමිවී ඇති බව සඳහන් කර ඇගේ ඕ ටී පී අංකය ඉතා සූක්ෂ්මව ලබාගෙන ඒ ඔස්සේ ඊ සිම්පත යොදාගෙ ඇති බවද හෙළි වී ඇත. අදාළ සිම්පත අයත් දුරකතන සමාගමේ තාක්ෂණික නිලධරයන් ද අන්දමන්ද වී ඇත්තේ පාතාලයන් මහනුවර කතගේ සිම්පතට සමානම ඊ සිම්පත සාදාගත් අයුරු නිශ්චිතව හෙළි කර ගැනීමට නොහැකි නිසාය.

එලෙස විදෙස් රටක සිට තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබාදෙන පුද්ගලයා මීට කලකට පෙර පවිත්‍රතා කටයුතු සඳහා මෙරට සිට ඩුබායි රාජ්‍යයට ප්‍රවිෂ්ට වී ඇති අයකු බව හෙළි වී ඇත. එම සැකකරු ගැන මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අන්දමට ඔහු මාතර වැලිගම පැනැටියන ප්‍රදේශයේ පදිංචි අයකු බවත් ඔහු 32 හැවිරිදි වියේ පසුවන අයකු බවටත් තොරතුරු හෙළි වී ඇත.

මේ පුද්ගලයාගේ තර්ජනාත්මක ඇමතුම්වලට බියවූ සැලකිය යුතු පිරිසක් මෙරට පෞද්ගලික බැංකුවක එම පුද්ගලයා විසින් විවෘත කර ඇති ගිණුමකට සැලකිය යුතු මුදලක් මේ වන විට බැර කර ඇති බවද හෙළිවී තිබේ.

එලෙස මේ පුද්ගලයා භාවිත කරන මෙරට සිම්පත් 4ක තොරතුරු ද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයන් විසින් අනාවරණය කරගෙන ඇත.

මෙවැනි පුද්ගලයකුගෙන් තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබුණු අයෙක් වෙත්නම් තමන් පදිංචි ප්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ හැකි බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයෝ පෙන්වා දෙති.

මෙලෙස තර්ජනාත්මක ඇමතුම් දෙන පුද්ගලයා ගැන සොයද්දි හෙළිවී ඇත්තේ ඔහු කිසිම අපරාධ කල්ලියක සාමාජියකු නොවන බවයි.

මේ ගැන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධරයෝ අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කළහ. එහිදී දුරකතන විශ්ලේෂණ වාර්තා නියෝග ලබාගෙන ඇති අතර විමර්ශනවල ප්‍රගතිය ගැන අධිකරණයට ඉදිරියේදී කරුණු වාර්තා කිරීමට නියමිතය.

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද කුලසිංහගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ජනකාන්ත කහටදෙණිය, උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග, සැරයන්වරුන් වන (66480) ඉන්දික, (68011) විජේරත්න, (12289) වසන්ත, කොස්තාපල්වරුන් වන (99619) දිසානායක, (93006) රයන් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division