රට පුරා තැන තැන සිටින වංචාකාරි පුද්ගලයන් පිරිසක් විසින් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ඔස්සේ විවිධ අයුරින් මිනිසුන් රැවටීමට ලක්කර ඔවුන් සතු මුදල් ‘කොල්ලකෑම’ සම්බන්ධයෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙස මහ බැංකුව සහ පොලීසිය ඉල්ලා සිටින්නේ එවැනි වංචනික ක්‍රියාවන් පිළිබඳව දිනෙන් දින කරුණු වාර්තා වන නිසාමය. පොලීසිය වැඩමුළු පවත්වමින් මේ ජාවාරම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කළද මුදලට ගිජු සමහරු මෙම වංචනිකයින්ගේ ග්‍රහණයට නතුව අමාරුවේ වැටුණු අවස්ථා නිතරම පාහේ මාධ්‍ය මඟින් අසන්නට දකින්න ලැබේ. කෙසේ වෙතත් මෙම ජාවාරම්වලට අසුවන පිරිසට අවසානයේ පිහිට වන්නේ පොලීසියයි.
පසුගිය දිනවල එවැනි වංචනිකයින් පිරිසකට අසුවුණු පුද්ගලයෙක් තමන්ට සිදුවූ දේ පිළිබඳව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායකට පැමිණිලි කරන්නේ වෙන කරකියා ගත හැකි දෙයක් නොමැති නිසාය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙම පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාව සෙවීම සඳහා පවරන්නේ මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායකටය. තිලක් සමරනායක ඇතුළු නිලධාරින් එම පැමිණිල්ල සම්බන්ධව විමර්ශන ආරම්භ කර එහි සත්‍යතාව අවබෝධ කරගෙන ඇති අතර පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් මත එම මුදල් වංචාව සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කරන්නේ තොරතුරු රැසක් ද සොයා ගනිමිනි. ඒ අනුව පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයා මුදල් තැන්පත් කළ ගිණුම් හිමියා පිළිබඳ තොරතුරු රැස්කර ගත් ස්ථානාධිපතිවරයා එම ගිණුම් හිමියා අත්අඩංගුවට ගැනීමේ කටයුත්ත සැරයන් (32874) ජයවර්ධන වෙත පැවරීය. ඒ අනුව ක්‍රියාත්මක වූ සැරයන් ජයවර්ධන ඇතුළු පිරිසක් විසින් මෙම ගිණුම් හිමියා තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගන්නේ දින කිහිපයක් ඇතුළතදීය.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉතාමත්ම දුක්ඛිත ජීවිතයක් ගත කරන අයෙකු බවත් ඔහු කටු මැටිවලින් සෑදු නිවෙසක පදිංචිව සිටින බවත් පවසන පොලීසිය මෙම පුද්ගලයාගෙන් හෙළිකර ගෙන ඇත්තේ මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධානියා විසින් රුපියල් 15000ක මුදලක් ඔහුට ලබාදී ඔහුගේ තොරතුරු ලබාගෙන ඔහුගේ නමින් රුපියල් 5000ක් දමා බැංකු ගිණුමක් ආරම්භ කර ඇති බවය. පසුව මෙම පුද්ගලයාගේ ගිණුමට බැර වන මුදල් තවත් ගිණුම් ගණනාවක් හරහා මාර්ගගත ක්‍රමයට මාරු වෙමින් ගොස් අවසානයේ ප්‍රධාන ජාවාරම්කරුවාගේ ගිණුමට බැර වන අයුරින් ක්‍රමවේදයක් සකස් කර තිබුණි.
මෙම ජාවාරමට සම්බන්ධව සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගතකරන පොලීසිය ඉන්පසු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණයේ අවසරය මත සැකකරුගේ ගිණුම් විස්තර ලබාගෙන තිබේ. ඉන්පසු ඒ අනුව සිදුකළ විමර්ශනවලින් හෙළිකර ගත් තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධානියා බව පැවසෙන පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. එසේ අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා 27 හැවිරිදි වියේ පසුවන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගම බටුවත්ත ප්‍රදේශයේදීය.
26 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තාව ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය. එසේ අත්අඩංගුවට ගත් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයේ අවසරය මත එම දෙපළගේ ගිණුම් පරික්ෂාවට ලක්කර ඇති පොලීසිය පවසන්නේ පිරිමි පුද්ගලයාගේ ගිණුමේ මාස 11ක් වැනි කාලයක් තුළ මාර්ගගත ක්‍රමයට රුපියල් කෝටි 52ක් සංසරණය වී ඇති බවය. අත්අඩංගුවට ගත් කාන්තාවගේ ගිණුමේ මාස 08ක කාලයක් තුළ රුපියල් කෝටි 17ක මුදලක් සංසරණය වී ඇති බවද අනාවරණය කරගෙන ඇත. මෙසේ ගිණුම්වල සංසරණය වී ඇති මුදල් සියල්ල සැකකරුවන් විසින් මෙම ජාවාරමෙන් උපයාගත් ඒවා බවටද කරුණු අනාවරණය කරගෙන ඇති පොලීසිය පවසන්නේ මෙම දෙපළ හරහා තවත් අයෙකුගේ ගිණුමකට මෙම මුදල් බැර වී ඇත්දැයි යන්න පිළිබඳවද විමර්ශන සිදුකරන බවය.
සැකකරුවන් විසින් මෙම මහා පරිමාණ ජාවාරමට පුද්ගලයින් සම්බන්ධ කරගෙන ඇත්තේ වට්ස්ඇප් ගිණුමක් ඔස්සේය. මුලින්ම හඳුනාගෙන ඇති පිරිසට වට්ස්ඇප් ගිණුම හරහා චිත්‍රපටයක කොටසක් ප්‍රචාරය කර ඒ කොටසේ සිත්ගත්ම ජවනිකාව තෝරා එවන ලෙසත් ජයග්‍රහණය කරන අයට මුදල් ත්‍යාග පිරිනමන බවත් දැනුම් දී තිබේ. ඉන්පසු තමන් ජයග්‍රහණය කළ බව වට්ස්ඇප් සමූහයේ අයට පවසා ඒ වෙනුවෙන් රුපියල් 400ක මුදලක් ගිණුමට බැර කරන්න යැයි පවසමින් සාමාජිකයින්ගේ ගිණුම් අංකය ලබාගෙන ඇත. එසේ ලබාගත් ගිණුම් අංකවලට රුපියල් 400 බැගින් මුදල් බැර කර ඇති ජාවාරම්කරුවන් පසුව තවත් වටිනා භාණ්ඩ වට්ස්ඇප් සමූහයේ පළකර එම භාණ්ඩ අඩු මුදලකට ලබා දී තිබේ. එසේ නොයෙකුත් උපක්‍රම යොදමින් මෙම පිරිස සමඟ දැඩි විශ්වාසයක් ගොඩනඟාගෙන ඇති ජාවාරම්කරුවෝ අවසානයේ සාමාජිකයින් හරහා ලොතරැයි දිනුමක් අදින බව දැනුම් දී ඇත. පසුව ලොතරැයියෙන් ඔවුන් ජයග්‍රහණය කළ බවත් ඒ අනුව ඔවුන්ට රුපියල් ලක්ෂ 20ක් 25ක් මුදලක් හිමි වන බවත් පවසා එසේ ජයග්‍රහණය කළ මුදලට අදාළ බදු ඉවත් කරගැනීමට රුපියල් 50,000ක් ගිණුම්ගත කර ලෙස ඉල්ලා තිබේ. පස්සේ මේ අයුරින් විවිධ උපක්‍රම භාවිත කරමින් සාමාජිකයින්ගෙන් රුපියල් ලක්ෂ 5ක් 6ක් වැනි මුදලක් ඔවුන්ගේ ගිණුමට බැර කරවාගෙන අවසානයේ එම පිරිස වට්ස්ඇප් ගිණුමෙන් ඉවත්කර තිබේ.
මෙම වංචාවට අසුවූ පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන්ම පැමිණිලි ලැබෙමින් පවතින බව පවසන මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම ජාවාරමට අසුවූ තවත් අය සිටීනම් ඒ අයටද පැමිණිලි ඉදිරිපත් කරන ලෙසය. මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධව අත්අඩංගුවට ගත් දෙදෙනා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීම පියවරගෙන ඇති අතර ඔවුනට එරෙහිව 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 206 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තියේ විධිවිධානවලට අනුකූලව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර/මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායකගේ උපදෙස් මත මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක, පොලිස් අධිකාරි 1 ඉලංකෝන් යන නිලධාරින්ගේ අධීක්ෂණයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක, පොලිස් පරීක්ෂක වීරරත්න, උප පරීක්ෂක ධම්මික, සැරයන් (32874) ජයවර්ධන, කාන්තා සැරයන් (3711) කුමාරි, කොස්තාපල්වරුන් වන (60703) චානක, (79121) ජයවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
එස්. ජී. විජේරත්න කටුගස්තොට සමූහ