තාක්ෂණයේ දියුණුවත් සමඟ අන්තර්ජාලය භාවිත කිරීමට කවුරුත් කැමැත්තක් දක්වන්නේ ලබාගත හැකි පහසුකම් බොහොමයක් ඉන් සලසාගත හැකි වන බැවිනි. මෙම පහසුකම හොඳට නරකට දෙකටම පාවිච්චි කළ හැකිවා මෙන්ම එහි වගකීම රැඳී ඇත්තේ එය පරිහරණය කරන පුද්ගලයා තුළමය. මෙලෙස ලබාගත් දැනුම සමාජ විරෝධී අයුරින් යොදාගත් පුද්ගලයකු පිළිබඳ පසුගියදා අනාවරණය වූයේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි.
පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 42 හැවිරිදි වියේ පසු වූ මෘදුකාංග ශිල්පියෙකි. කුඩා කල සිටම පරිගණක දැනුම ලබා ගත් ‘ඔහු’ යූ ටියුබ් ඔස්සේ විවිධ යන්ත්‍රසූත්‍ර නිෂ්පාදනය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද ඉගෙන ගැනීමට කටයුතු කළේය. මේ අතර පොලොන්නරුව ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවිසලක් ආරම්භ කළ ඔහු ජංගම දුරකතන සහ එහි භාවිතය පිළිබඳ දැනුම ද පුළුල් කරගැනීමට කටයුතු කළේය. විවාහක දෙදරු පියකු වන ඔහුගේ පවුල් ජීවිතය අසාර්ථක වී ගියේ ඔහුගේ වැරදි ක්‍රියාකලාපයන් දික්කසාදය දක්වා ගෙනයමිනි.
පොලොන්නරුව ප්‍රදේශයේ ළමා නිවාසයක හැදී වැඩුණු විසි හතර හැවිරිදි තරුණියක් ඔහුගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ ඔය අතරය. ඒ ඔහුගේ වෙළෙඳසලට නිතර පැමිණිමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇය තම සහකාරිය ලෙස තෝරාගත් ඔහුට නොයෙකුත් කරදරවලට මුහුණදීමට සිදු වූයේ පවුලේ අන් අයගෙන් එල්ල වූ තර්ජන ගර්ජන හේතුවෙනි. මේ නිසා ඔහු ඇය සමඟ කොළඹට පැමිණ ඔහුට අයත් මෝටර් රථයෙන් “හයර්” දිවීමට කටයුතු කළේය. එයද වැඩි දිනක් ඔහුට ඔරොත්තු දුන්නේ නැත. ෆිනෑන්ස් ගෙවා ගැනීමට නොහැකිව මෝටර් රථය විකුණා දැමූ ඔහු කළ යුත්තේ කුමක්දැයි දසඅතේ කල්පනා කළේය. ඉගෙන ගත් පරිගණක දැනුමෙන් ප්‍රයෝජනයක් ගත යුතු බවට ඔහුට නුවණ පහළ වෙන්නට වූයේ සියල්ල කණපිට හරවමිනි.
බම්බලපිටිය ප්‍රදේශයෙන් මීට වසර දෙකකට පමණ පෙර වාහන කුලියට ලබා දෙන ස්ථානයකින් ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් ලබාගත් ඔහු ව්‍යාජ ලිපි ලේඛන සකසා එය විකුණා දැමීමට කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් කලක් බන්ධනාගාරගතව සිටි ඔහු මේ වනවිට සිටින්නේ ඇප මතය. දිනෙන් දින ගෙවී යද්දී මහා පරිමාණ ව්‍යාපාරයක් ලෙස එය දියුණු කරගත් ඔහු රට වටේ කරක් ගසමින් මුදල් ඉපයීමේ කාර්යය ජයටම සිදු කර ගෙන ගියේය. මේ සඳහා අන්තර් ජාලයේ “පොත් නැති වාහන” පිටුවට පිවිස විශාල ලෙස ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කළේය. එහි සඳහන් ගැනුම්කරුවන්ට මෙලෙස ව්‍යාජ ලෙස සකස් කරන වාහන විකිණීම මෙන්ම රුපියල් 5000 සිට 90,000 දක්වා විවිධ මිල ගණන්වලට ව්‍යාජ සහතික අලෙවි කිරීම ද ජයටම කරගෙන ගියේ ඉන් ලැබෙන ආදායම ගැන මෙනෙහි කරමිනි. වාහන කුලියට ලබා දෙන ස්ථානවලින් වාහන ලබා ගැනීමට භාවිත කර ඇත්තේ ඔහු විසින්ම සකස් කරගත් ව්‍යාජ හැඳුනුම්පත් වීම ද විශේෂිතය.
මීගමුව, බියගම, කඩවත, මාතලේ, ඇල්ල ඇතුළු මෙරට විවිධ ප්‍රදේශවල කුලී නිවෙස්වල රැඳෙමින් ඔහු මෙම ව්‍යාපාරය කරගෙන ගොස් ඇති අතර එයට ඔහුගේ බිරියගෙන් ද ලැබී ඇත්තේ විශාල සහයෝගයකි. මාතලේ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබා ගත් යතුරුපැදියක් “පොත් නැති වාහන” පිටුවට යොමුකර එහි සිටි වාහන කුලියට ලබාගන්නා ගැනුම්කරුවකු සොයාගෙන ඔහුට එක්ලක්ෂ අනූදාහකට එය විකුණන්නේ හිත යටින් සිනාසෙන අතරය.
ඇල්ල ප්‍රදේශයෙන් ද මෙම පුද්ගලයා මේ ආකාරයටම ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර යතුරුපැදියක් රැගෙනවිත් ඇති අතර ඊට පසුව ඔහුගේ බිරිය ද එම ස්ථානයට ගොස් ඇගේ නමින් ඇති ව්‍යාජ හැඳුනුම්පත ඉදිරිපත් කර තවත් යතුරුපැදියක් රැගෙන ඒමට කටයුතු කර තිබිණ.
ඇල්ල ප්‍රදේශයෙන් ලබාගත් යතුරුපැදි දෙක නැවත පොරොන්දු වූ ආකාරයට ආපසු ලබා නුදුන් බැවින් එහි හිමිකරු ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබිණි.
මේ පිළිබඳ විමර්ශන කටයුතු කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ද භාර වී තිබිණි. සිදුකරන වංචාවලින් බේරීමට පදිංචිය වෙනස් කිරීම ඔවුන්ගේ සිරිතය. මේ නිසා මෙම යුවළ හොරණ, පෝරුවදණ්ඩ, මානාන ප්‍රදේශයේ ඇනෙක්සියකින් කාමරයක් ලබාගන්නේ මෑතකදීය.ඔවුන් පිළිබඳ විමර්ශනයේ යෙදී සිටි කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාස නිලධාරියෙකුට මෙම යුවළ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ ඔය අතරය. ඔහු විසින් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර දැනුම්වත් කර සිටියේ මොවුන් පිළිබඳ සියලු සත්‍ය අනාවරණය කරගැනීමෙන් පසුවය.
පොලිස් නිලධාරීන් කණ්ඩායම වැල්ලවත්ත දුම්රියපොළ ප්‍රදේශයේදී ඔවුන් පැමිණි යතුරුපැදිය නතර කර පරීක්ෂා කරන්නේ ඒ අනුවය.
“කෝ තමුන්ගේ අයිඩින්ටිය…?”
ඔහු පැකිළීමකින් තොරව හැඳුම්පත ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ එකක් බව තහවුරු කරගැනීමට පොලිස් නිලධාරීන්ට වැඩි වෙලාවක් ගතවූයේ නැත. කාන්තාවගේ හැඳුනුම්පත ද ව්‍යාජ එකක් විය. එමෙන්ම ඔහු සතුව තිබූ යතුරුපැදියේ ලියකියවිලි ද ව්‍යාජ ඒවා වන අතර අංක තහඩු ද ව්‍යාජව සකස් කළ එකක් බවට අවබෝධ විය. ඒ අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කිරීමට පොලිස් කණ්ඩායම කටයුතු කළහ. එහිදී මෙම යතුරුපැදිය ඔහු විසින් ඇල්ල ප්‍රදේශයෙන් ලබාගත් යතුරුපැදිය බවට තහවුරු කරගැනීමට හැකි විය.
පොලිස් කණ්ඩායම ඔවුන් පදිංචිව සිටි හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ නිවෙසට යන්නේ ඉන් අනතුරුවය. එවිට දුටුවේ එම කුඩා කාමරය එකම ‘මුද්‍රණාලයක්’ බවය. ඔවුන් දෙදෙනා සඳහාම ජාතික හැඳුනුම්පත් හයක් පමණ ව්‍යාජව සකස් කරගෙන තිබුණේ කුලියට වාහන ලබා ගැනීමේදී ප්‍රයෝජනයට ගැනීම සඳහාය. රක්ෂණ සහතික, රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන කාඩ්පත් දොළහක්, ආදායම් බලපත්‍ර තුනක්, දුම් සහතික තුනක්, වාහන නැවත පවරා දීමේ පොත්, තාවකාලික රියැදුරු බලපත්‍රයක් ඇතුළු ව්‍යාජ සහතික මෙම ස්ථානයේ තිබී සොයා ගැනීමට හැකි වී තිබේ.
මීට අමතරව ව්‍යාජ සහතික මුද්‍රණය කිරීම සඳහා භාවිත කරන වර්ණ ප්‍රින්ටරයක්, ලැමිනේටින් යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, පොලිමර් සීල් හදන යන්ත්‍රයක් සහ ඒ සඳහා භාවිත කරන වර්ණ තීන්ත තොගයක් එහි තිබී සොයා ගැනීමට පොලීසිය කටයුතු කළේය.
මීට අමතරව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ ෆිනෑන්ස් ආයතන ප්‍රධානීන්ගේ මෙන්ම මෙරට විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිල මුද්‍රා තොගයක් ද මොහු විසින් ව්‍යාජව සකස් කරගෙන තිබිණි. පොලීසිය භාරයට ගත් නිල මුද්‍රා අතර පුත්තලම, හිඟුරක්ගොඩ, බටපොළ, මින්නේරිය, මිනුවන්ගොඩ, මොනරාගල ආදී විවිධ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මෙන්ම රක්ෂණ නියෝජිතයන්ගේ ද නිල මුද්‍රා තිබී ඇත්තේ ඔවුන්ගේ හපන්කම් කියාපාමිනි.
මැෂින් සහ පොත්පත් සැකසීම සම්බන්ධයෙන් අවශ්‍ය software අඩංගු සීඩී තැටි 48ක් හා ඩීවීඩී ද තිබූ අතර රවුටරයක්, ලැප්ටොප් පරිගණකයක් ඇතුළු උපකරණ ද මෙම ව්‍යාජ මුද්‍රණාලයේ තිබී පොලීසිය විසින් සොයා ගනු ලැබීණ.
මීට වසර පහළොවකට පමණ පෙර බකමූණ ප්‍රදේශයේ බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මොහුට විරුද්ධව නඩුකරයක් පවතින්නේ බකමූණ අධිකරණයේය. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මාරු වෙමින් රහසිගතව මෙතෙක් කලක් පවත්වාගෙනගිය ‘හොර කච්චේරියට’ අගුල් වැටුණේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ගේ දක්ෂකම හේතුවෙනි.
කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත කොට්ඨාස අංක එක භාර පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත්ගේ අධීක්ෂණයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාරගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන (36919) චන්දන, (68039) මාලිංග, කොස්තාපල්වරුන් වන (83266) අමිල, (96631) තුෂාන්ත, (26024) කුමාර, (36597) මධුසංක, (104928) ඉෂාර, (103430) සඳකැළුම්, කාන්තා කොස්තාපල් (12141) ආශා, කොස්තාපල් රියැදුරු 99002 ගුණසේකර ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ
හල්තොට සමූහ