තමිලිනී උපන්නේ 1990 වසරේ ජූනි මස 11 වැනිදා යාපනයේ නීර්වේලී ප්‍රදේශයේදීය. පාසල් ජීවිතයේදීම ඇය ඉගෙනීමට දැඩි ආශාවක්, ඇල්මක් දැක් වූ නිසාම සියලු දෙනාගේ අවධානය ඇය වෙත යොමු වූවා පමණක් නොව තමිලිනීගේ රූප සොභාව නිසාද ඇය කවරෙකුටවත් මඟහැරුණේ නැත. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යද්දී ඇය යාපනය විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනය ලබා උපාධිය ද හිමිකර ගත්තාය.
උපාධියේ පිහිටෙන් ඇය රාජ්‍ය පරිපාලන සේවා තරග විභාගයට මුහුණ දී මේ රටේ ඉතා අතළොස්සකට පමණක් උරුම වන පරිපාලන සේවාවේ රැකියාවක් හිමිකර ගැනීමට වාසනාව උදාකර ගත්තේය.
බොහෝ රාජ්‍ය ආයතනවල සේවාවන් කළ තමිලිනී අවසානයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මාණ්ඩලික ශ්‍රේණියේ රැකියාවක් වෙත යොමු වූයේ ඇගේ අනාගතය ද වෙනස් කරමිනි. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සදීසන් ග්‍රාම නිලධාරිවරයෙකි. ඔහු තමිලිනී තරම් උගත් කෙනෙකු නොවූවත් ඔහුගේ ලස්සන රූ සපුවත් අතමිට යහමින් පරම්පරාගත මිලමුදල් තිබීම නිසාත් ඔහු මඟහැර යන්නට තරම් තරුණියෝ අකැමැති වූහ. තමිලිනීට සිදු වූයේ ද එවැන්නකි. සදීසන් හඹා යන තරුණියන් ගොන්නට තමිලිනී එකතු වීමට නොගියත් ඉතාම කෙටි කලකින් සදීසන්, තමිලිනී හඹා එන්නට විය.
මුලින්ම දෙදෙනා අතර ඇතිවූයේ දැඩි මිතුරු සම්බන්ධයකි. නමුත් එය ක්‍රමයෙන් ආදර සම්බන්ධයක් දක්වා වර්ධනය වීමට වසරක්වත් ගතවී නොතිබුණි. තමිලිනී සිය රැකියාව කෙමෙන් කෙමෙන් ජයග්‍රගණය පැත්තට නැඹුරු කරගනිමින් යාපනයේ එක් ප්‍රදේශයක සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූවාය. ඒ වනවිට ග්‍රාම නිලධාරි පෙම්වතා ආදර රසය වින්දේ තමිලිනී සමඟය. දෙදෙනා කාර්යාල දෙකක වෙන වෙනම තනතුරු දෙකක වූවත් එය ආදරයට කිසිම බාධාවක් නොවීය. නමුත් මේ සම්බන්ධකම තමිලිනීගේ නිෙවසේ අයට ද දැනගන්නට ලැබීමත් සමඟම එම මවුපියන් ඊට විරසක වූයේ රැකියාවල ඇති උස්මිටි, පහත්කම් නිසාවෙනි.
මේ කාරණය මත තමිලිනීගේ පියාට වඩා මව නිතර තමිලිනී සමඟ ආරවුල් ඇතිකරගත්තාය. නමුත් තමිලිනී අවසානයේදී සිය මවට කරුණු කාරණා පහදා දුන්නාය.
“හොඳ රස්සාවක් කරන කෙනෙකුට අපි කොහෙන් දෑවැද්දක් ලෑස්ති කරන්න ද අම්මා…? මෙයා සත පහක්වත් ඉල්ලන්නේ නෑනේ. ඒක නිසා මේක අපි කරමු…” යනුවෙන් ඇය පැවසුවාය.
අවසානයේදී තමිලිනීගේත් සදීසන්ගේත් විවාහය සිදු කෙරිණි. වසරින් වසර කාලය ගත වෙද්දී තමිලිනීගේ පවුලට දියණියක් එකතු වුණේ සියලුම දෙනා අමන්දානන්දයට පත්කරමිනි. ඒ හරියටම මීට වසර හතකට ඉහතදීය. දියණිය කෙමෙන් හැදීවැඩී උස් මහත් වෙත්ම සියලු දෙනා කීවේ “එයත් තමිලිනී වගේමයි… ලස්සන හුරුබුහුටි කෙලි පොඩ්ඩ…” යනුවෙනි.
තමිලිනී චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය බවට පත්වූයේ මීට කෙටි කාලයකට ඉහතදීය. ඒ වනවිට සදීසන්, කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරිවරයෙකු විය. තමිලිනීට දෙවන දරුවා ද ලැබීමට ආසන්න වූවාය. දරු ගැබට මාස තුනක් පමණ වනවිට සදීසන් ටිකෙන් ටික වෙනස් පුද්ගලයකු වන්නට පටන් ගත්තේය. මීට පෙර ඔහුගේ එකම ‘රජදහන’ සිය නිෙවස වුවත් ඔහු කෙමෙන් නිෙවසට යාමඒම අඩු කළේය. තමිලිනී ගැන සොයා බැලීම ද අඩු විය. තමිලිනී කුමක් ඇහුවද සදීසන්ට තරහ යන්නේය. මුලින් තාපසයකු සේ සිටි සදීසන් දැන් හැසිරෙන්නේ යක්ෂාරූඩ වූ අයකු මෙන් බව තමිලිනී ඇගේ මවට ද වරක් දෙවරක්ම කියා තිබුණි.
සදීසන්ට වෙනත් කාන්තාවන් සමඟ සබඳකම් ඇති බවට ආරංචි ද පැතිර ගියේය. ඒ සෑම වරකම තමිලිනී ඒ ගැන සදීසන්ගෙන් විමසුවාය. එහෙත් ඊට පිළිතුරු වෙනුවට තමිලිනීට ලැබුණේ ඇනුම් බැණුම්ය.
තමිලිනීගේ හිත ඒ වනවිට කීරි ගැසී ගොස් තිබුණි. මේ නිසාම ඇගේ කාර්යාලය දැන් දේවාලයක් සේ හැම කෙනෙකුටම දිස්වන්නට විය. වටේම දේව රූප සහ අනෙක් ආගම්වලට අයත් ආගමික නායකයන්ගේ පිළිම පින්තූරවලින් අලංකෘතව පැවතිණි. තමිලිනී ඒ දෙවිවරුන්ට මල් පූජා කළාය. සුවඳ දුම් පූජා කළාය. දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පමණක් නොව තමන්ගේ ජීවිතය වෙනුවෙන් ද ආශීර්වාදයද ඉල්ලා සිටියාය. කාර්යාලයේදී දවසට දෙතුන් වරක් ආගම අදහන තමිලිනී නිෙවසේ ද මේ පුරුද්ද දිගින් දිගටම කරගෙන යන්නට පටන් ගත්තාය.
තමිලිනීගේ මීළඟ වෙනස දුටුවේ චාවාකච්චේරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සේවා අවශ්‍යතාවන් ලබා ගන්නට පැමිණෙන මහජනතාවය. තමිලිනී ඒ එන සියලු දෙනාටම කාරුණික වූවාය. කිසිම අයකු හිස් අතින් ආපසු නොයැවීමට ඇය වග බලා ගත්තාය. ජනතාවට මෙන්ම කාර්යාලයේ සියලුම දෙනාට ද ඇය කාරුණික මාතාවක්ම වූවාය. සියලුම දෙනා සමඟ ඉතා කුලුපගව තමිලිනී කටයුතු කරන්නට කිසි දිනක අමතක නොකළාය.
තමිලිනීගේ කාර්යාලයේ පිරිසට එක්වරම අසන්නට ලැබුණේ මහා පුදුම කතාවකි.
‘පොඩි මැඩම්ගේ’ ඇඟට ඊයේ රෑ ගිනි ඇවිළිලා… ගොඩාක් අමාරුයිලු… ඒ වෙද්දි සියල්ලෝම යාපනය ශීක්ෂණ රෝහල වෙත වැල නොකැඩී ඇදී ගියේ තමිලිනීගේ තත්ත්වය සොයා බැලීමටය. කොතරම් ජනයා ඇය වට කරගෙන සිටියද තමිලිනීට ඒ කිසිවකු සමඟ කතා කිරීමට හෝ සිනාසීමට තරම් වෙර වීරියක් නොවීය. ඇය දඟලමින් පොර බදිමින් සිටියේ මරුවා සමඟය.
තමිලිනී ගැබිනි කාන්තාවක් බව රෝග නිශ්චය තුණ්ඩුවේ සඳහන් වී තිබීම නිසා වෛද්‍යවරුන් උත්සාහ කළේ ඇයට යම් කරදරයක් වූවද දරු ගැබ බේරා ගැනීමට හැකි මඟක් ඇත්දැයි යන විකල්ප කාරණය කෙරෙහිය. ලෝකය කොතරම් දියුණු වුවත් වෛද්‍ය ක්‍රම නවීන වෛද්‍ය ක්‍රම තිබුණ ද තමිලිනී රෝහලේ දින හතරක් පණ ඇද මෙලොවින් සමුගත්තේ සිය කුසේ සිටි මාස හයක කිරිසප්පයා ද සමඟය. තමිලිනීගේ මරණයත් සමඟ රෝහල පුරාමත් ගම්මානවලත් විවිධ කතන්දර පැතිරෙන්නට පටන්ගත්තේ ඕපාදූප වපුරන ආකාරයටය.
” මිනිහා තමිලිනීට ගිනි තියලා මරන්න ඇති…” බොහෝ දෙනාගේ කතාවේ මුල් සිරස්තලය වූයේ එලෙසයි.
මේ නිසාම පොලීසියට මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කිරීමට සිදු විය. තමිලිනී රෝහලට ඇතුළත් කරනවිට තමිලිනීත් ඇගේ ස්වාමියාත් රෝහලේ බලධාරීන්ට ප්‍රකාශ කොට තිබුණේ මෙවැනි කතාවකි.
”ලයිට් නැති දවසේ රෑ මෙයා ඉටිපන්දමක් පත්තු කළා. පස්සේ ඒකෙන් මදුරු දඟරයක් දුවගේ කාමරේට පත්තු කරලා තියන්න ගිය වේලාවේ තමයි ඇඳුමට ගිනි ඇවිලිලා තිබුණේ. අපි කිහිප දෙනෙක් ඉක්මනින් ගින්න නිවලා තමයි රෝහලට එක්කන් ආවේ…” යනුවෙනි.
පොලීසියට මෙවැනි කතා, පොතේ ලියන්නට සිදූ වුවත් තමිලිනී ඇය විසින්ම සිය සිරුරට ගිනි තබා ගත්තේයැයි කියන කතා සහ සාක්කි බොහොමයක් වටපිටාවෙන් ගොඩනැඟී තිබේ. නමුත් එය තමන් ඇසින් දුටුවේ යැයි කීමට එය සිය ඇස් දෙකෙන් දුටු කෙනෙක් නොමැති වීම මරණයට ප්‍රධාන හේතුව සැඟවී වසන් වී යාමට බලපා තිබේ.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම් තමිලිනීගේ මරණය සම්බන්ධයෙන් යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රේම්කුමාර් නාමශිවායම් විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ නිගමනය වී ඇත්තේ ඇය මාස හයක ගැබිනි කාන්තාවක බවත් මවත් මවගේ කුසේ වූ දරු කළලය ද මියගොස් ඇත්තේ අධික ලෙස රශ්මියට පත් වී ඇතිවූ අභ්‍යන්තර රුධිර වහනයකින් හා දැඩි කම්පනයකින් බවයි. ඉදිරිපත් වූ සාක්කිවලට අනුව මෙම මරණය සියදිවි හානි කරගැනීමක් ලෙස යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ජෙයබාලන් තීරණය කොට ඇති අතර ඇගේ මළසිරුර ආදාහනය නොකොට ගොඩ ගැනීමකට අවශ්‍ය වුවහොත් එය සිදු කිරීමට හැකි පරිදි වෙනම ස්ථානයක මිහිදන් කරන ලෙසටද නියෝග කොට තිබේ.
ඒ අනුව මේ වනවිට තමිලිනී අවසන් ගමන් ගොස් ඇත්තේ සිය කුසේ වූ දරු කළලය ද එම මිනී වළේම කොටසක තැන්පත් කරගෙනමය. ඇගේ මරණයට හේතුව සහ ඇය ගිනි තබා ගත්තේ කවර හේතුවක් මත ද යන්න තමිලිනීත් අැගේ දරු පැටියාත් සමඟම වැළලී ගොසිනි.
රසුල දිල්හාර ගමගේ