– වරල්ලේ මුදලාලිගේ සල්ලි – චෙක්පත් මල්ලම පැහැරගත් කොල්ලකරු දැලේ
– පාදයෙන් ගිලිහුණු සෙරෙප්පුවට ඉව ඇල්ලූ නිල සුනඛ ‘සෙනා’ සැකකරුගේ නිවෙසටම යයි
මාතර දිසාවේ කොස්මෝදර පොලිස් වසමේ වරල්ල කඩමණ්ඩියේ පවත්වාගෙන යන ප්‍රධාන පෙළේ සිල්ලර වෙළෙඳසලක හිමිකරු 66 හැවිරිදි මැදිවියේ පසුවන්නෙකි.
එදින සිදුවූ සමස්ත ගනුදෙනු ගණන් බලා මේස ලාච්චුවේ බහා තිබූ ලැබුණ චෙක්පත් සහ මුදල් තම අත්බෑගයේ අසුරා ගත්තේ වෙනදා මෙන් නිෙවසට ගෙන යාම සඳහාය. එය ඔහුගේ දින චර්යාවයි.
රාත්‍රී 7.30ට පමණ ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති නිවෙස අසලට පැමිණි ඔහු නිවෙෙසහි ඇති පඩි පෙළ දිගේ ඉහළට ගොස් පඩි පෙළ අවසානයේ තිබෙන යකඩ දොරටුව විවෘත කිරීමට සැරසෙනවාත් සමඟ රහසිගතව ඔහුට නොදැනෙන ලෙස පසුපසින් පැමිණි කිසිවෙකු කිහිල්ලේ රඳවාගෙන නිවෙසට ගොඩවූ ඔහුගේ අත්බෑගය උදුරාගෙන පඩිපෙළ දිගේ දුවගෙන පහළට විත් අඳුරේම දිව යන්නට විය. දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්වී සිටින මුදලාලි සමඟ තවත් කිහිප දෙනක්ම කොස්මෝදර පොලීසිය වෙත ගියෝය. කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ද සිල්වා මුණගැසුණ මුදලාලි තමන්ට සිදුවූ සන්තෑසිය පැවසුවේ ඔහුගේ සහායට පැමිණි අසල්වැසියෙකුගේද සහායෙනි. වෙළෙඳසල වසා නිවෙසට ගිය තමන්ගේ අත්බෑගයේ රුපියල් 18,000ක් සහ රුපියල් 14,000ක් වටිනා චෙක්පත් දෙකක් සහ මුදලින් රුපියල් 308,000ක් තිබූ බව මුදලාලි පැවසීය. කරුණු සියල්ල සාවධානව සහ විමසිල්ලෙන් සවන් දුන් ස්ථානාධිපතිවරයා වහාම අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.කේ. කරුණාරත්න කැඳවා විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙසට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
එතැන් පටන් උපපොලිස් පරීක්ෂක කරුණාරත්න අදාළ කොල්ලයේ විමර්ශන කටයුතු ආරම්භ කළේය. ඒ කොල්ලකරුවා කොටුකර ගැනීමේ අදිටනිනි. ඔහු සිය අංශයේ නිලධාරීන් කිහිප දෙනකු සමඟ වරල්ලේ පිහිටි මුදලාලිගේ නිවෙස අසලට ගොස් සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු කඩිනමින් ඇරඹීය.
අඩි පාරවල් එකින් එක පරීක්ෂාවට ලක් කළ පොලිස් නිලධරයන් පිරිස එදා පොද වැසි දවසක් බැවින් කොල්ලකරුවාගේ යැයි සැක කෙරෙන පා සටහන් එක් අතුරු පාරක් දිගේ බිමෙහි සටහන්ව තිබියදී හමුවිය. එදෙසට උකුසු ඇස් යොමු කළ නිලධාරීවරයා පා සටහන් ගැන විශේෂ අධ්‍යයනයක් කරමින් තවදුරටත් පා සටහන් සොයමින් ඉදිරියට ගමන් කළ පොලිස් නිලධරයන්ට කිසිවෙකුගේ පාදයෙන් ගිලිහී ගිය සෙරෙප්පුවක් හමුවිය. එම සෙරෙප්පුවෙන් යම් වැදගත් තොරතුරක් අනාවරණය කරගැනීමේ හැකියාව ඇති බව ඉවෙන් මෙන් වටහාගත් පොලිස් නිලධාරින් තවත් ඉදිරියට ගියේ තනි සෙරෙප්පුව වැටී තිබූ ස්ථානය ආරක්ෂිත ස්ථානයක් ලෙස නම් කරමින් කණ්ඩායමේ පොලිස් නිලධාරීන් දෙදෙනකු එම සෙරෙප්පුව ආරක්ෂා කිරීම සදහා එම ස්ථානයේ රඳවා තැබීමට කටයුතු කරමිනි. එම සෙරෙප්පුව දැඩි පරීක්ෂාවට ලක් කළ උපපොලිස් පරීක්ෂක කරුණාරත්න මෙම වර්ගයේ මෙවන් හැඩතල සහිත සෙරෙප්පු පාවිච්චි කරන්නේ කුමන පිරිසක්ද යන්න පිළිබඳව කල්පනා කළේය. සෙරෙප්පු, සපත්තු වර්ග පාවිච්චි කරන්නන් පිළිබඳව මනා අධ්‍යයනයක් ලබා ඇති නිලධාරියා මෙය අන් කිසිවෙකුගේ නොව මෝස්තර ශිල්පියෙකු වගේ අයෙකු මෙවන් සෙරෙප්පු යුගලක් පාවිච්චි කිරීමට ඇති හැකියාව තේරුම් ගත්තේය. ඔහු එම ස්ථානයට පැමිණ සිටි පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ ඉල්ලීමක් කරමින් කඩිනමින් තංගල්ල නිල සුනඛ අංශයේ ස්ථානාධිපතිවරයා අමතමින් නිල සුනඛයෙකු ගෙනඒමේ අවශ්‍යතාව පැහැදිලි කළේය. ඒ අනුව ස්ථානාධිපතිවරයා විසින් දුරකතන ඇමතුමක් දෙමින් නිල සුනඛයෙකු ගෙන්වා ගැනීමට කටයුතු කළේය. තංගල්ලේ නිල සුනඛ 1628 සෙනා රැගෙන නිල සුනඛ අංශයේ කොස්තාපල් 39821 ප්‍රියජනක වරල්ලට පැමිණියේය. නිල සුනඛ විමර්ශනය අනුව යමෙකුගෙන් ගිලිහී වැටී තිබූ තනි සෙරෙප්පුව උපයෝගී කරගෙන කරන ලද පරීක්ෂණයේදී එම සෙරෙප්පුව හිමිකරුගේ නිෙවස සොයා ගැනීමට හැකිවිය.
එම නිවෙස තිබුණේ කොල්ලය සිදුවූ ස්ථානයේ සිට කිලෝ මීටර් 03ක් පමණ දුරිනි. නිෙවස සොයා ගත් පොලිස් නිලධාරීන් එම නිවස වටලමින් එම නිවෙසේ සිටි නිවැසියන්ගෙන් සෙරෙප්පුවේ අයිතිකරු පිළිබඳව විමසා සිටියදී එම පුද්ගලයාගේ මව පැවසුවේ තම පුතු මාස 03කින් පමණ නිෙවසට ආවේ නැති බවයි. කොල්ලකරුවා එම පුද්ගලයා විය හැකි බවත් ඔහු නිෙවසින් පලාගොස් ඇති බවට සැක කළ හැකි බැවින් පොලිසිය ඊළඟ පියවරට සූදානම් විය.
මෙම පුද්ගලයාගේ වතගොත සොයා ගනිමින් 28 හැවිරිදි ඔහුගේ දුරකතන අංකය විමර්ශනයට භාජනය කෙරිණි. අදාළ දුරකතන සමාගම හරහා කුලුනු විශ්ලේෂණයක් ලබා ගැනීමට කටයුතු කළහ. එම වාර්තා අනුව අදාළ දින ඔහු අකුරැස්ස, ගාල්ල හරහා කෙළඹට ගමන් කර ඇති බව විමර්ශනය මඟින් සොයා ගැනීමට හැකි විය. තුන්මසකින් නිවෙසට නොපැමිණි බවට නිවැසියන් විසින් අසත්‍ය ප්‍රකාශ කර තිබූ බව පැහැදිලිවූ අතර මෙම පුද්ගලයා කොල්ලයට සම්බන්ධවූ පුද්ගලයා බවට සැක කිරීමට සාධාරණ හේතු ගොඩනැඟී ඇති බව පැහැදිලි විය. තවදුරටත් විමර්ශනය කළ විට මෙම තරුණයා හෝමාගම ප්‍රදේශයේ ‘ටැටූ‘ ශිල්පියකු බවට අනාවරණය කර ගැනිණි. සෙරෙප්පුවේ විමර්ශනය ටක්කෙටම නිවැරදි වන්නට බොහෝ කලක් ගත වූයේ නැත. සැකකරු කොටු කරගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ එතැන් සිටය.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමේ උපාය මාර්ග යෙදූ උප පොලිස් පරීක්ෂක කරුණාරත්න තවත් නිලධාරීන් පිරිසක් සමඟ හෝමාගම ප්‍රදේශයේ ස්ථානගත වී රැකවල්ලාගෙන සිටියේය. නඩු කටයුත්තක් සඳහා ගොස් යළි හෝමාගමට පැමිණෙමින් සිටි සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් එහිදී හැකි විය.
එලෙස අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ කොල්ලකන ලද මුදල් තිබූ අත්බෑගය සොයාගත් නිලධාරීන් එය පළමුවෙන්ම පොලිස් භාරයට ගෙන කොල්ලකන ලද මුදල් ගැන විමසන ලදුව එම මුදල් වියදම් කරමින් සපත්තු යුගලක්, අත් ඔරලෝසුවක්, ටැබ් යන්ත්‍රයක් සහ තවත් භාණ්ඩ රාශියක් මිලදී ගත් බව අනාවරණය වූයෙන් එම භාණ්ඩද පොලිස් භාරයට ගැනිණි.
සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව පෙබරවාරි 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
කොස්මෝදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ද සිල්වාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ.කේ. කරුණාරත්න, උපපොලිස් පරීක්ෂක ශාමන්ත වීරසිංහ, සැරයන් 69714 ජයතුංග, කොස්තාපල්වරුන් වන 99303 ලක්ෂාන්, 105228 කුමාරසිංහ, 99305 ප්‍රභාත් සහ කාන්තා පොලිස් කොස්තාපල් 10189 අරුණි තංගල්ල නිල සුනඛ අංශයේ කොස්තාපල් 39821 ප්‍රියජනක නිල සුනඛ 1628 සෙනා විමර්ශන කටයුතුවලට සහාය වූහ.