Home » කුලියට ගන්නා වාහන අඩු මිලට විකිණූ ජාවාරමා අල්ලන්න පොලීසිය එළූ දැල

කුලියට ගන්නා වාහන අඩු මිලට විකිණූ ජාවාරමා අල්ලන්න පොලීසිය එළූ දැල

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
අමිල මලවිසූරිය

– රථවාහන 48ක් හොරට විකුණලා
– කුලියට ගන්න වාහන අඩු මිලට විකුණා රුපියල් කෝටි සියයක් පමණ සොයාගෙන
– උපායදූතයාගේ බහට රැවටුණු ජාවාරමා අල්ලන්නේ ගල්වරුසාව වාහන අංගණයේදී
– අඩු මිලට විකිණූ රථවාහන 48ක් පොලීසිය භාරයට

විවිධ මාදිලියේ සොරකම් සිදු කරන සොර සතුරෝ මේ ජන සමාජයේ සිටිති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මත්ලෝලීන් වෙලාවක් – අවෙලාවක් නොමැතිව නිවෙස්වලට හෝ ව්‍යාපාර ස්ථානවලට පැන වටිනා කියන සියලු දේ රැගෙන පලා යන්නේ ඇතැම් අවස්ථාවල නිවෙස්වල සිටින වැඩිහිටියන්ගේ ජීවිතවලට ද හානි කරමිනි.

සමාජයට ‘හොඳ මුහුණු‘ පෙන්වමින් මහා පරිමාණයෙන් සොරකම්, කොල්ලකෑම් සිදු කරන පුද්ගලයන්, කල්ලි කණ්ඩායම් ද සමාජයේ සිටී. එම සොරුන් අතර ‘ඔන්ලයින්‘ ඔස්සේ ව්‍යාපාර කරමින් තෑගි බෝග පිරිනමන බව හා මුදල් ත්‍යාග ලබා දෙන බව කියමින් ජනතාව නොමඟ යවමින් බැංකු ගිණුම්වලින් මුදල් ඇද ගැනීමට සූක්ෂ්ම ක්‍රම භාවිත කරන සොරුන් ද මේ වන විට එමටය.

මේ අතර මෙවැනි සොරුන් අතර වාහන සොරා ගන්නා නැතිනම් වාහන කුලියට ගෙන ඒවායේ අංක වර්ණ වෙනස් කර විකුණන කල්ලි කණ්ඩායම් ද බහුලය. මේ කතාව ද එවැනි වාහන වංචාවකි. එය වාර්තා වුණේ අතුරුගිරිය පොලීසියේ නිලධරයන් සිදු කරන ලද විමර්ශනයකදීය.

මෙහි ‘සොර දෙටුවා‘ ද එවැනි වාහන කුලියට ගෙන කුලී පදනම මත සපයා දෙන ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් වාහන කුලියට ගෙන එම වාහන හොර රහසේ වෙනත් අයට විකුණමින් වසර දෙකක පමණ කාලයක් තිස්සේ ‘ගේමක්‘ දුන් තැනැත්තෙකි.

සුඛෝපභෝගී වාහන 48ක් කුලියට ගෙන අනතුරුව එම වාහන නියම මිලට වඩා තරමක් අඩු මිලකට විකුණා රුපියල් කෝටි 100ක පමණ වංචාවක් සිදු කළ මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ ඉකුත් පෙබරවාරි 17 වැනිදාය. ඒ, අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.

අතුරුගිරිය ‘ගල්වරුසාව‘ ප්‍රදේශයේ නිවසකට යාබදව හොර රහසේ වාහන අංගණයක් ලෙස පවත්වාගෙන යමින් කුලියට ලබාගන්නා සුඛෝපභෝගී වාහන බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් සොයාගන්නා රටේ නානාවිධ පෙදෙස්වල පුද්ගලයන්ට විකුණා රුපියල් කෝටි සීයයකට අධික වංචාවක් සිදු කළ ජාතික හැඳුනුම්පතෙහි 50 හැවිරිදි සංජීව උපුල් නමින් ද රියැදුරු බලපත්‍රයේ 56 හැවිරිදි රංජිත් මුණසිංහ නමින් පෙනී සිටි මෙකී පුද්ගලයා සිදු කළ වංචාවේ සුලමුල අනාවරණය කර ගත් ආකාරය අතුරුගිරිය පොලිස් පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.

ඉකුත් දිනෙක වාහන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අතුරුගිරිය පොලිස් වසමේ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුගිරිය පොලීසියට පැමිණියේය. රුපියල් ලක්ෂ 10කට වැඩි වංචාවක් නිසා එම පුද්ගලයන් දෙදෙනා අතුරුගිරිය පොලිස් නිලධාරීන් විසින් යොමු කළේ රුපියල් ලක්ෂ 10කට වැඩි මූල්‍යමය වටිනාකමින් යුත් වංචාවන් ගැන විමර්ශනය සිදු කරන හෝමාගම පිහිටි විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතයි.

ඒ අනුව එම පුද්ගලයෝ දෙදෙනා ඉකුත් 14 දා හෝමාගම පිහිටි එම ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ. එම පැමිණිල්ලේ සඳහන් වුණේ එම දෙදෙනා ‘රෙන්ට අ කාර්‘ ආයතනයකට කුලියට දුන් වාහන දෙක එම කුලී ආයතනය පවත්වාගෙන යන පුද්ගලයා විසින් කිසිවකුට විකුණා ඇති බවට වූ තොරතුරක් ගැන විමර්ශනයක් සිදු කරන ලෙසටයි.

එලෙස හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලද එම පැමිණිල්ල පිළිබඳව එම ඒකකය විමර්ශනය සිදු කරද්දී පැමිණිල්ල යොමු කළ දිනට ආසන්න දිනක පැමිණිල්ල සිදු කළ දෙදෙනාගේ පොලිස් වසම වන අතුරුගිරිය පොලීසියේ සැරයන් (75072) අරවින්දට එම පැමිණිල්ලෙන් හෙළි කළ අදාළ වාහන වංචාව සිදු කරන පුද්ගලයා පිළිබඳව පුද්ගලයන් දෙදෙනෙකුගෙන් තොරතුරක් ලැබිණි.

“සාජන් මහත්තයා… ඔය වාහන වංචාව කරන කෙනා ඉන්න තැන අපි දන්නවා… ඒ මිනිහා කොම්පැනියක ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඉඳගෙන ඔය වැඩේ කරන්නේ… පොර ඉන්නේ අතුරුගිරියේ ගල්වරුසාව පාරේ…“ යැයි කී එම පුද්ගලයන් දෙදෙනා එකී වංචාව සිදු කරන පුද්ගලයා පිළිබඳව තව තවත් බොහෝ තොරතුරු සැරයන් අරවින්දට ලබා දුන්නේය.

අනතුරුව සැරයන් අරවින්දට ලද එම තොරතුර පිළිබඳව අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු දැනුම්වත් කිරීමෙන් පසු එම වාහන වංචා සිදු කරන පුද්ගලයා කොටුකර ගැනීමට සැලැස්මක් සකස් කෙරිණි. ඒ පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මතය.

ඒ වන විට තොරතුරුකරුවන්ගෙන් ලද එම තොරතුරු ඔස්සේ අදාළ පුද්ගලයා සිදු කරන වාහන වංචාව ගැන පොලිස් නිලධාරින්ට හොඳ හැටි අවබෝධයක් ලැබී තිබිණි. ඒ අනුව ඔහු සිදු කරන්නේ වාහන කුලී පදනම මත ලබාදීමට යැයි කියමින් පුද්ගලයන් සහ ආයතනවලින් වාහන ලබාගෙන එම වාහන නියම වටිනාකමට වඩා අඩු මිලකට බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් සොයාගන්නා පුද්ගලයන්ට විකුණා දැමීම බවට තොරතුරු පොලීසිය විසින් සොයාගෙන තිබුණි. එලෙස ඔහු සිදු කරන වංචාව තහවුරු වීමත් සමඟ දෙදෙනෙකු උපාය දූතයන් සේ වෙස්ගෙන එම පුද්ගලයාගෙන් වාහනයක් මිලට ගැනීමට සේ ඔහු හමුවීමට යාමට සූදානම් විය. ඊට පෙර එම පුද්ගලයාගේ දුරකතන අංකය සොයා එම උපායදූත වෙස්ගත් දෙදෙනාගෙන් කෙනෙකු සිය අවශ්‍යතාව වන වාහනයක් අඩු මිලට මිල දී ගැනීමේ අවශ්‍යතාව කියමින් ඔහු සමඟ කතාබහක් ඇතිකර ගනිමින් යම් සුහදතාවක් ගොඩනඟා ගන්නා ලදි. එම උපායදූතයන් සැරයන් අරවින්ද දැනුම්වත් කර තිබුණේ එම පුද්ගලයා සමඟ යම් සුහදතාවක් ඇතිකර ගන්නා තෙක් කිසිම පුද්ගලයකු හට ඔහු එලෙස වාහන විකිණීම සිදු නොකරන බවයි. එම නිසා එවැනි ගනුදෙනුවක් සිදු කිරීමට නම් ඔහු දන්නා හඳුනන බ්‍රෝකර්වරයකුගේ නම්-ගම් ද අවශ්‍ය බවය.

එලෙස දුරකතන සංවාද කීපයකින් පසු එම පුද්ගලයා පසුගිය පෙබරවාරි 17 දා උපාය දූතයාගේ දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වමින්, ‘ආ… එහෙනම් වාහනයක් අරන් යන්න එන්නකෝ…‘ යැයි කීවේ කිසිම චකිතයකින් තොරවය.

ඊට ප්‍රතිචාර දක්වමින් උපායදූතයන් දෙදෙනා වාහනයක් මිලදී ගැනීමට යාමට සැරැසෙද්දී සැරයන් අරවින්ද ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද ඒ ආසන්නයට ගොස් රැකවල්ලා සිටියේ උපායදූතයන්ගෙන් කෙනෙකුගෙන් දුරකතන ඇමතුමක් ලද සැණින් ගොස් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි.

ඒ අනුව උපායදූතයන් දෙදෙනා අතුරුගිරිය ගල්වරුසාව මාර්ගයේ අදාළ පුද්ගලයා සිටි නිවෙසට ගියේය. එය ඔහු කුලී පදනම මත වාහන ලබා දෙන පෞද්ගලික ව්‍යාපාර ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් තිබිණි. උපායදූත වෙස් ගත් දෙදෙනා සමඟ කුලුපග වූ එම පුද්ගලයා අනතුරුව සැරැසුණේ එම නිවස පිහිටි ඉඩමට යාබදව පිහිටි ඔහු හොර වංචාවට යොදාගන්නා වාහන ගාල්කර තිබෙන අංගණයට යාමටයි. එය වටේටම තාප්ප යොදා රෝලර් ගේට්ටු යොදා තිබූ වාහන 10ක් 15ක් ගාල් කළ හැකි ඉඩමකි.

උපායදූතයන් දෙදෙනා රැගෙන එම වාහන අංගණයට යෑමට සැරැසුණු එම පුද්ගලයා රෝලර් ගේට්ටුව විවෘතකොට වාහන අංගණයට ඇතුළු විය. ඊට ඇතුළු වූ උපාය දූතයන් දෙදෙනා එහි තිබූ වාහන කීපය පරීක්ෂා කර බලා එක් වාහනයක් මිලට ගැනීමට මිල ගණන් කතාබහ කරගත්තේය. ඒ අතර උපායදූතයාගෙන් කෙනෙකු නැවත එම වාහන අංගණයෙන් පිටතට පැමිණෙන්නට සැරැසුණේ පැමිණි වාහනයේ තිබෙන චෙක්පොත ඇතුළු අත්‍යවශ්‍ය ලියකියවිලි කීපයක් රැගෙන ඒමට යැයි කියමිනි.

එලෙස වාහන අංගණයෙන් එළියට පැමිණි එම උපායදූතයා අවට රැකවල්ලා සිටි සැරයන් අරවින්ද ඇතුළු පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් දෙමින් දැනුම්වත් කළේ ක්ෂණයෙන් එම ස්ථානයට පැමිණෙන ලෙස කියමිනි.

එසැණින් පොලිස් නිලධාරීන් කණ්ඩායම එම වාහන අංගණයට කඩා පැන එලෙස නීති විරෝධී ලෙස වෙනත් අයගේ වාහන ඒවායේ ලියාපදිංචි සහතික ද නොමැතිව විකුණන සැකකරු අත්අඩංගුවට ගත්තේ ක්ෂණිකවය.

එම පුද්ගලයා කඳානේ අයෙකි. මුල් කාලයේ පංචිකාවත්තේ පිහිටි මෙරට ප්‍රසිද්ධ සමාගමක මෝටර් රථ කළමනාකරුවකු ලෙස රැකියාව කර ඇති ඔහු වර්තමානයේ නම් කීපයකින්ම පෙනී සිටිමින් සමාගම් අධ්‍යක්ෂවරයකු යැයි ජාතික හැඳුනුම්පතේ සඳහන් විවාහක එක්දරු පියෙකි.

ඔහුගේ ජාතික හැඳුනුම්පතේ නාමය 50 හැවිරිදි හේවා දේවගේ සංජීව උපුල් විජේරත්නය. ලිපිනය කැන්දහේන, දැඩිගමුවය. ඔහු භාවිත කළ රියැදුරු බලපත්‍රයේ නාමය 56 හැවිරිදි රංජිත් මුණසිංහය. ලිපිනය ශ්‍රී ඥානවිමල මාවත, අතුරුගිරියයි.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයා එම ස්ථානයේ රැඳි සිට ඇත්තේ රුපියල් 150,000ක කුලී පදනම මතය. ඔහු වසර එකහමාරක දෙකක පමණ කලෙක සිට එම ස්ථානයේ රැඳි සිටිමින් මෙකී වාහන වංචාව කර තිබුණේය.

ඔහු එම වංචාව සිදු කර තිබුණේ පුද්ගලයන්ගෙන් හෝ ව්‍යාපාර ආයතනවලින් නැතිනම් වෙනත් වාහන කුලියට දෙන ආයතනවලින් ‘රෙන්ට කාර්‘ ලෙස වාහන ලබාගෙන ඒවා කුලී ගමන් යාමට යොදවා ආදායම් ඉපැයීම නොව ඔහුට හිතවත් බ්‍රෝකර්වරුන් කීපදෙනෙක් මාර්ගයෙන් ගැනුම්කරුවන් සොයා එම වාහන වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු මිලට විකුණා දැමීමයි. සාමාන්‍යයෙන් ඔහු රුපියල් ලක්ෂ පනහේ සිට රුපියල් කෝටි දෙක, තුන දක්වා වර්තමාන වෙළෙඳපොළ වටිනාකමින් යුත් අධි සුඛෝපභෝගී වාහන විකුණා තිබුණේ නියම වටිනාකමින් ලක්ෂ හතළිහ, පනහ වැනි මුදලක් අඩු කරමිනි. එලෙස අධි සුඛෝපභෝගී වාහන විකුණා ඇත්තේ වාහනයේ ලියාපදිංචි සහතිකය ද නොමැතිව ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික පමණක් ලබා දෙමිනි. බෙන්ස්, ටොයොටා, හයිලක්ස්, නිසාන්, පැජරෝ, ඩබල් කැබ් ආදී මෙකී නොකී සුඛෝපභෝගී වාහන රැසක්ම ඔහු පසුගිය කාලය තුළ එලෙස විකුණා තිබිණි.

අත්අඩංගුවට ගත් එම සැකකරු සමඟ වාහන අංගණයේ තිබූ වාහන කීපය ද අතුරුගිරි පොලීසියට රැගෙනවිත් සැකකරු හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයට භාර දීමෙන් පසු එම ඒකකයට ලැබී තිබූ පැමිණිලි අනුව විමර්ශන සිදු කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරු මීට පෙර ද සිදු කර ඇති මෙවැනි වංචාවන් නිසා අධිකරණවලින් වරෙන්තු 10ක් නිකුත් කර තිබේ.

එලෙස වාහන වංචා කළ එම සැකකරු අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමඟ ඔහුගෙන් වාහනවල වෙළෙඳපොළ වටිනාකමට වඩා අඩු මිලට වාහනවල ලියාපදිංචි සහතික ද නොමැතිව සුඛෝපභෝගී වාහන මිලට ගත් අතුරුගිරිය, කඩුවෙල, නිට්ටඹුව, රත්නපුර ආදි රටේ නානාවිධ පෙදෙස්වල පදිංචි බොහෝදෙනෙක් එම වාහන රැගෙන අතුරුගිරිය පොලීසියට පැමිණියේය.

ඒ අනුව රුපියල් කෝටි 100කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී වාහන 48ක් පසුගිය දින කීපය තුළ අතුරුගිරිය පොලිස් ස්ථානයට ගෙනැවිත් භාරදී තිබුණේ ඒවා අඩු මිලට ගත් පුද්ගලයන් විසිනි. එම වාහන මිලට ගත් සියලුම පුද්ගලයන් පාහේ ධනවතුන්ය. ඒ සියලු පුද්ගලයන් නම් කීපයකින් පෙනී සිටි එම පුද්ගලයාගේ වංචාවට හසුව ලියාපදිංචි සහතික නොමැතිව එම වාහන මිලට ගෙන තිබෙන්නේ රුපියල් ලක්ෂ ගණනින් වියදම් කරමිනි. ඊට අමතරව එලෙස වාහන ගත් පුද්ගලයන් තම සහෝදරයන්, ඥාති හිතෛෂින්ට ඔහුගෙන් වාහන මිලට ගෙන දී තිබුණේ තව තවත් ‘මෝඩකම‘ ප්‍රදර්ශනය කරමිනි.

එම සැකකරු එලෙස බත්තරමුල්ල මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ ආයතනයකින් වාහන 40ක් කුලී පදනම මත කුලියට ලබාදීමට යැයි ලබාගෙන මෙලෙස වංචාකාරි ලෙස විකුණා ඇති බවද හෙළිවී ඇත.

එම ව්‍යාපාරිකයන් සිය වාහන ගැන කිසිම සොයා බැලීමක් කර නොමැත්තේ ඔහු එම වාහනවල කුලී මුදල් නිසි ලෙස ගෙවා තිබීම නිසාය. වාහන මිලට ගත් පුද්ගලයන් එම වාහනවල ලියාපදිංචි සහතික ඉල්ලමින් නැවත පැමිණි පසු මෙකී සැකකරු එම පුද්ගලයන්ව රුපියල් තිස්-හතළිස් දහස වටිනා විස්කි පානයට දී ඔවුන් ‘දමනය‘ කරමින් එම පුද්ගලයන්ට තවත් වාහනයක්, දෙකක් අඩු මිලට විකුණමින් තව තවත් මිලියන ගණනින් වංචාවට හසුකර ගෙන තිබුණේ ඔහුගේ කපටිකමට එම පුද්ගලයන්ගේ ‘මෝඩකම‘ තව තවත් ප්‍රදර්ශනය කරමිනි. ඒ අනුව මෙකී පුද්ගලයාගෙන් ඇතැමුන් වාහන පහ, හය මිලට ගෙන ඇති බව වාර්තා වේ.

මෙකී සැකකරු මෙලෙස කුලී පදනම මත ලබාගත් වාහන සියයකට වැඩි ප්‍රමාණයක් විකුණා ඇති බව අතුරුගිරිය පොලීසියේ විමර්ශන සිදු කරන නිලධරයෝ සැක කරති. එම නිසා මෙකී පුද්ගලයාගේ වංචාවට හසුව නිසි පරිදි ලියකියවිලි නොමැතිව නිසි ක්‍රමවේදයකින් තොරව වෙනත් පුද්ගලයකුගේ හිමිකාරිත්වයෙන් යුත් වාහනයක් අඩු මිලට, මිලට ගත් අයවලුන් සිටී නම් වහා එම වාහන අතුරුගිරිය පොලීසියට රැගෙනවිත් භාර දෙන ලෙස ඉල්ලා සිටී.

මෙකී පුද්ගලයා සිදු කර තිබෙන වංචාවේ මූල්‍යමය වටිනාකම රුපියල් කෝටි 100කට අධික හෙයින් මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

තමනට අයත් කිසියම් වාහනයක් කුලී පදනම මත වෙනත් ආයතනයකට හෝ පුද්ගලයකුට ලබාදුන් පසු එම වාහනය පිළිබඳව දැඩි අවධානයෙන් පසු වෙමින් එම වාහනය ගැන සොයා බැලීමක් සිදු කරන ලෙස පොලීසිය ජනතාව දැනුවත් කරයි.

කොළඹ දකුණ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ගයාන් හසන්ත මාරපන සහ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණියගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අජිත් ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් අතුරුගිරිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමලාල්, උපපොලිස් පරීක්ෂක ශ්‍රීලාල්, සැරයන්වරුන් වන (75072) අරවින්ද, (36709) සුකුමාරන්, (40793) තෙන්නකෝන්, කොස්තාපල්වරුන් වන (83941) හර්ෂ, (84898) හර්ෂ, (92425) සමරසිංහ සහ (99433) ගුණරත්න යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division