Home » චීනුන්ට කසිප්පු විකිණූ ඉංජිනේරු චීනා

චීනුන්ට කසිප්පු විකිණූ ඉංජිනේරු චීනා

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
මුල්ලේරියාව - සිරිසේන ගමගේ

– කොළඹ වැඩබිම්වල සිටින චීන්නුන්ට සැෂේ පැකට් ලෙස කසිප්පු විකුණලා

වැල්ලම්පිටිය පොලීසියේ දුෂණ මර්දන ඒකකයට ලැබුණ තොරතුරකට අනුව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල වීරසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින් වැල්ලම්පිටිය, බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක් වටලනු ලබන්නේ පසුගියදාය. ඒ ඉතා සුවිශේෂී මෙහෙයුමක් සඳහාය.  

එහි ඉහළ මාලයට ඇතුළු වූ නිලධාරීන් එම නි‍ෙවස පරික්ෂාවට ලක් කළහ. එහි පදිංචිව සිටියේ චීන ජාතික පුද්ගලයෙකි. නිවසේ කාමරයක් සෝදිසි කිරීමේදී එහි නීති විරෝධි මත්පැන් (කසිප්පු) බැරල් කිහිපයක්ම සොයා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකිවිය.

ඒ සමඟම ගෝඩා මිලිලීටර තුන්ලක්ෂඅට දාහක් ද, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ දුම්වැටි 100ක්ද, මත්පැන් පෙරීම සඳහා යොදාගෙන ඇති උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගැනිණි. මෙම උපකරණ ඉතා සූක්ෂම අයුරින් කාමරයක් තුළ සඟවා තබාගෙන සිට ඇති බවද හෙළි විය.

නිවසේ සිටි 55 හැවිරිදි චීන ජාතිකයා අත්අඩංගුවට ගත් පොලීසියට ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම මහා පරිමාණ කසිප්පු ජාවාරම සහ ඒවා අලෙවි කරන ආකාරය ද අනාවරණය කර ගැනීමට හැකි විය.

ෂියන්ගෝ නමැති මෙම චීන ජාතිකයා මෙරටට පැමිණ ඇත්තේ මිට වසර අටකට පමණ ඉහතදීය.

නෙළුම් කුලුන ඉදිකරන අවදියේදී එහි ඉංජිනේරුවරයෙකු ලෙස ඔහු සේවය කර ඇති අතර පසුව ඉන් ඉවත්ව නිවෙස්වල කුලියට වාසය කරමින් සිටින අතර වරාය නගරයේ වැඩ බිම්වලට එළවළු ,මස්, මාළු වැනි ආහාර වර්ග සැපයීමේ කොන්ත්‍රාත්තු ද ඔහු සිදු කර තිබේ.

එම වකවානුවේ සිටම කුලී නිවෙස්වල සිට කසිප්පු පෙරීමේ ව්‍යාපාරය ජයටම කරගෙන ගොස් තිබේ. ඔහු විසින් නිෂ්පාදනය කරන කසිප්පු ‘සැෂේ පැකට්’ ආකාරයෙන් අලෙවිකර ඇත්තේ ද කොළඹ නගරය ආශ්‍රිත වැඩ බිම්වල සේවය කරන චීන ජාතිකයන්ට පමණක් වීම ද විශේෂත්වයකි.

විවිධ නිවෙස්වල කුලී පදනම මත වාසය කර සිට ඔහු වැල්ලම්පිටියේ නි‍ෙවස කුලියට ගෙන ඇත්තේ මීට මාසයකට පමණ පෙරය. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුත මුදා හරිනු ලැබීය.

දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමිල වීරසේකර, සැරයන් ප්‍රියන්ත (35165), කොස්තාපල්වරුන් වන සංජීව (81465), සංකල්ප (92448), මධුසංඛ (28106), වේරගල (101625), කාන්තා පොලිස් නිලධාරිනි (කීර්තිරත්න), අබේසේකර (92606) යන නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පිරිසක් දමෙම වැටලීමට සහභාගි වූහ.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ නිවෙස

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ නිවෙස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division