Home » ඉන්දියාවේ සිට මෙරටට ආ පාතාලයයි බිරියයි රහස් හෙළි කරයිද?

ඉන්දියාවේ සිට මෙරටට ආ පාතාලයයි බිරියයි රහස් හෙළි කරයිද?

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
කටුනායක ටී. කේ. ජී. කපිල

– මීට කලින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05කුත් මෙරටට ගෙනත්

මෙරට ඇතුළත සිදුකරන ලද වෙඩි තැබීම්, ගිනි අවි ළඟ තබා ගැනීම් සහ මත්ද්‍රව්‍ය චෝදනාවලට මෙරට පොලීසියට සහ අධිකරණයට අත්‍යවශ්‍යව සිටි සැකකරුවකු, ඔහුගේ බිරිය සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගියදාය.

මොහු කොළඹ – 15, ජම්පටා වීදියේ පදිංචි 30 හැවිරිදි පුෂ්පරාජ් විග්නේෂ්වරන් නමැති අයෙකි. ඔහු සමඟ 25 හැවිරිදි බිරිය ද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මේ පුද්ගලයා මීට ටික කලකට පෙර ඔහුට එරෙහිව පොලීසිය සහ අධිකරණය විසින් සිදු කෙරෙන විමර්ශන කටයුතුවලින් මඟ හැරීම සඳහා බෝට්ටු මඟින් ඉන්දියාවේ චෙන්නායි වෙත පලා ගොස් තිබුණි.

මොහු ටෙලි නාට්‍යවල රඟපෑම් සිදු කරන විකට නළුවෙකුගේ පුතෙකු විසින් ඩුබායි සිට මෙහෙයවනු ලබන මෙරට පාතාලය සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීම් ජාලයේ දේශීය මෙහෙයුම්කරු වශයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හඳුනාගෙන තිබේ.

මොහු සහ ඔහුගේ බිරිය ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ යානකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

මීට මාස කීපයකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් තිබූ කිලෝ ග්‍රෑම් 05ක් පමණ බරැති අයිස් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා මොහු ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

ඒ අනුව මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මූලස්ථානය වෙත භාර දීමට අවසර ලබා දී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division