– අබිරහසක් වෙන්න ගිය මිනිස් ඝාතනයක් හෙළි කරගන්න පිටිගල පොලීසිය කළ පරීක්ෂණය
– සැක 2ක් අත්අඩංගුවට; ඝාතනය සඳහා යොදාගත් රීප්ප පටියකුත් සොයා ගනී
කොතරම් රහසිගතව සැලසුම් කළද කිසිම සාක්ෂියක් නොමැති වන්නට අපරාධයක් සිදු කළද අපරාධකරුවන්ට ඒ අපරාධයෙන් මිදී නිදහසේ ගත කළ හැක්කේ පොලිස් ඇස ඒ කෙරෙහි නිවැරදිව යොමුවන තෙක් පමණි. මේ කතාවද එවැන්නකි.
ඉකුත් 14 වැනිදා පාන්දර 2.25ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලැබුණ ඇමතුමකින් කියැවුණේ ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් පිටිගල පොලිස් වසමේ මැටිවිලිය ගල්හිරේ හන්දිය අසල පුද්ගලයෙක් වැටී සිටින බවය. පණිවුඩය ලද සැණින් සිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ලබාගත් උපදෙස් ඇතිව පිටිගල පොලිස් ස්ථානාධිපති අර්ජුන වික්‍රමසිංහත්, පිටිගල පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් ඇතුළු කණ්ඩායමක් වහාම එම ස්ථානය බලා පිටත් විය.
එහි ගිය පොලිස් කණ්ඩායමට දැකගන්නට ලැබුණේ හිසේ තුවාල සහිතව මුහුණේද ලේ තැවරුණු තැළීම් තුවාල සහිතව පුද්ගලයකු මියගොස් සිටින අයුරුය. ‘ගල්හිරේ’ හන්දියේ ප්‍රධන මාර්ගය ආසන්නයේ උඩුබැලි අතට වැටී සිටි ඔහුගේ දකුණු අත පැත්තේ කුඩා පොරොවක්ද වැටී තිබිණි.
මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වූයේ මියගොස් සිටින පුද්ගලයා පිටිගල මැටිවිලිය සුබහම පදිංචි ළමාහේවගේ චමින්ද කුමාර නමැති 33 හැවිරිදි අයකු බවයි. එම ස්ථානයේ වූ අත්පොරවද ඔහුගේ බවට සහෝදරයකු හඳුනා ගනු ලැබීය.
වතු සමාගම්වලට අයත් ඉඩම්වල පිහිටි කටුපොල් කැපීමත් ගව පාලනයත් චමින්දගේ රැකියාව විය. හතර දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා වූ ඔහු අවිවාහකයෙකි. චමින්දගේ සිරුර අසල අත් පොරොවක් වැටී තිබුණද එහි ලේ තැවරී තිබෙන බවක් පෙනෙන්නට තිබුණේ නැත.
පොලීසිය කළ දැනුම් දීම මත එම ස්ථානයට පැමිණි ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එන්.කේ.සී.ඩී. ආරියරත්න විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබීය.
එම පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ තියුණු හෝ මොට ආයුධයකින් හිසට එල්ල කරන ලද පහර දීමකින් සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බවය. මරණකරුගේ බෙල්ලේ හා තුනටියේද සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් චමින්දගේ මරණය සිදු වී ඇති බවය. තුනටියේ වූ තුවාල මොට ආයුධයෙන් පහරදීමෙන් හෝ වැටීමෙන් සිදු වූ ඒවා විය හැකි බව ද වෛද්‍යවරයාගේ නිගමනය විය.
ඒ හැර චමින්දගේ මරණය සම්බන්ධයෙන් කිසිම සාක්ෂියක් පොලීසියට ලැබුණේ නැත. පොලීසිය සිදු කළ විමර්ශනයේදී හෙළිදරව් වූයේ මළසිරුර තිබූ ස්ථානයට නුදුරින් අතුරු පාරක පිහිටි නිෙවසක 13 වන දින මළගෙදරක් පැවති බවය. එම මළගෙදර කට්ටියක් සූදුවේ නිරතව සිට ඇති අතර චමින්ද රාත්‍රී 11.30ට පමණත් මළගෙදරින් පාන් කා තේ බිවූ බව එහි සිටි කිහිප දෙනෙකු දැක තිබිණි.
‘ගල්හිරේ’ හන්දිය ආසන්නයේ පාලමක් වූ අතර එදින රාත්‍රියේ එම ස්ථානයේ පුද්ගලයන් දෙදෙනෙකු සිටිය බවට තොරතුරක් පොලීසියට ලැබුණද ඒ කවුරුන්ද යන්න අනාවරණය වූයේ නැත. මේ නිසා පොලීසිය තවදුරටත් කරන ලද පරීක්ෂණවලදී හෙළිවූයේ චමින්දට තරහකාරයන් කිහිප දෙනෙකුද එම ගමේ සිටි බවය. එහෙත් ඒ වන විට ද ඔවුන් ගමේ සිටියේ නැති බව පොලීසියට දැනගන්නට ලැබිණි. කෙසේ නමුත් පොලීසියට ඇතිවූ කිසියම් සැකයක් මත පිටිගල මැටිවිලිය හත්තක පාරේ නිෙවසක පදිංචිව සිටි අයෙක් පොලීසිය ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසියේ සැකය තහවුරු විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී චමින්දට පහරදීමට යොදාගත් බව කියන කිලෝවක් පමණ බර සෙන්ටිමීටර් 106ක් දිග නැදුන් වර්ගයේ රීප්ප පටියක් පොලීසිය සොයාගනු ලබන්නේ අපරාධය සිදුවූ තැනට මීටර් 40ක් පමණ දුරින් පිහිටි තේ ඉඩමක ඇළ ඉවුරක් අසල තිබියදීය.
එහි ලේ තැවරී තිබුණ අතර චමින්දගේ බවට සැකකළ හැකි කෙස් ගස් කිහිපයක්ද එම රීප්ප පටියේ තිබුණ අයුරු පොලීසියට නිරීක්ෂණය විය. සැකකරු එදින ඇඳ සිටි ඇඳුම් පරීක්ෂා කළ විට ඒවායේද ලේ තැවරී තිබුණේය.
ඉන් පසුව සැකකරු පොලීසියට ලබාදුන් තොරතුරු මත සැකකරුගේ පුතාගේ ජංගම දුරකතනය පරීක්ෂාකර බැලූ පොලීසියට දැකගත හැකි වූයේ සිද්ධිය වූ දින අලුයම එකට පමණ පුතා සිය පියා වූ සැකකරුට දුරකතනයෙන් කතා කර පියා සිටින්නේ කොහේදැයි විමසා ඇති බවය. ඒ අනුව මෙම සැකකරු මේ සිද්ධියට සම්බන්ධ බවට පොලීසිය තහවුරු කර ගත්තේය. මේ සිද්ධියට සම්බන්ධ බවට හෙළිවූ පිටිගල මැටිවිලිය ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිදරව් වූයේ එම සැකකරු අපරාධය සිදුවූ ස්ථානයට මීටර් පනහක් පමණ දුරින් පාලම අසල පිහිටි නිෙවසක කුලියට සිටින බවය. සිද්ධිය වූ දින ඔහු ඇඳ සිටි ඇඳුම් ද පරීක්ෂා කිරීමේදී ඒවායේද ලේ තැවරී තිබුණ බවද නිරීක්ෂණය විය. දෙවන සැකකරු සමඟ චමින්ද කිසියම් කතාබහක් ඇතිවූ බවද හෙළි විය.
පළමු සැකකරු සූදුවේ නිරතව සිටියදී අත තිබුණ මුදල් පරාජය වීමෙන් පසු දෙවන සැකකරු සිය නිවෙසට යවා රුපියල් පන්දහසක්ද ගෙන්වාගෙන නැවත සූදුවේ නිරත වී ඇති බවත් එසේ යන විට ඔහු සමඟ චමින්ද කිසියම් කතාබහක් ඇතිවූ බවත් පවසයි. පසුව පළමුවන සැකකරු එම ස්ථානයෙන් පිටව එද්දී චමින්ද පොරවත් අත තියාගෙන මළගෙදර ඉදිරිපිට පාරේ සිට ඇති අතර පළමුවන සැකකරු දුරකතනයෙන් දෙවන සැකකරුට ඒ බව පවසා ඇති බවත් පසුව පළමුවන සැකකරු අසල නිවෙසක ඉස්තෝප්පුවක වූ මේ රීප්ප පටිය රැගෙනවිත් දෙවන සැකකරුට දුරකතනයෙන් කතාකොට දැන් එන්නැයි පවසා ඇත.
ඒ පාන්දර 12.08ටය. එසේ දෙවන සැකකරු ප්‍රධාන පාර දෙසට එන විට චමින්ද පොරවත් රැගෙන දෙවන සැකකරු පසුපසින් පැමිණි බවත් එසේ පැමිණ දෙවන සැකකරුට පහරදීමට උත්සාහ කරද්දී පළමු සැකකරු අතවූ රීප්පයෙන් චමින්දට පහර දුන් බවත් ඔවුන් පොලීසියට පවසා ඇත.
මුලින් කිසිම දෙයක් අනාවරණය නොවූවද ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ. ලකී රන්දෙණියගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අජිත් ප්‍රසන්නගේ අධීක්ෂණයෙන් පිටිගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අර්ජුන වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන්, උප පොලිස් පරීක්ෂක තල්ගමුව, සැරයන්වරුන් වන (61262) මහේෂ්, (44714) ජයවීර, (60025) ජයලත්, කොස්තාපල් (78000) උදය කුමාර, කොස්තාපල් රියදුරු (80607) තුෂාර යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කළහ.

පොලිස් විමර්ශන සිදු කරමින්