Home » ඔන්ලයින් ගේම්වලින් ලෝකයම රැවටූ චීනුන් උසාවියේදී කියපු කතාව

ඔන්ලයින් ගේම්වලින් ලෝකයම රැවටූ චීනුන් උසාවියේදී කියපු කතාව

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
කේ. විජේසිරි නිශ්ශංක කරල්ලියද්ද සමූහ

– කුණ්ඩසාලේ හෝටලයක නැවතී පරිගණක අපරාධ‍ සිදු කළැයි චෝදනා
– මෙරටට‍ ආවේ සංචාරක වීසාවලින්
– අත්අඩංගුවට ගත් චීන ජාතික පිරිමින් 108ක් සහ කාන්තාවෝ 22ක් තෙල්දෙණිය උසාවියට

පසුගිය වසරේ සැප්තැම්බර් මස විසිහත් වන දින චීන ජාතික තරුණයන් එකසිය අටදෙනෙකු සහ චීන ජාතික තරුණියන් විසිදෙදෙනකු මහනුවර කුණ්ඩසාලේ සුපිරි හෝටලයකට පැමිණ එය බද්දට ගෙන එහි රුඳී සිටියෝය. එම කණ්ඩායම මෙරට රැඳී සිටිමින් ‘විශේෂ ව්‍යාපෘතියක’ නිරත වන බැවින් ඔවුන් මුළු හෝටලයම එම කාර්ය සඳහා යොදවාගෙන තිබුණි.

මෙම චීන ජාතිකයන් තම රටේ සිගරැට් පැකට්,‍ බීම වර්ග, චොකලට් ආදිය ද මෙරටට රැගෙනවිත් තිබුණි. මෙයින් වැඩිදෙනෙක් සිගරැට් බීමට පුරුදුව සිටින අයයි. ඉතා සූක්ෂ­්මව සිය කටයුතු කරමින් සිටි මෙම කණ්ඩායම ගැන විශේෂ විමර්ශනයක් මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ආරම්භ කෙරිණි. එහිදී සංචාරක වීසා මත පැමිණ සිටි මෙම චීන්නූ ගැන පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර එම පිරිස පසුගියදා අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම චීන ජාතික තරුණයන් එකසිය අටදෙනා සහ චීන ජාතික කාන්තාවන් විසි දෙදෙනා තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදීම නීතිඥ සංඛ අමරජිත් ඇතුළු නීතිඥ මණ්ඩලය මේ අය සම්බන්ධයෙන් ඇප ඉල්ලිම් කළද ඒවා ප්‍රතික්ෂේප කරමින් දින තිස් අටකට පසුව පසුගියදා දැඩි ඇප කොන්දේසි මත ඔවුන්ට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප නියම කරන ලදි.

මෙරටදී සිදුකරන ලද පරිගණක අපරාධ චෝදනා සම්බන්ධයෙන් දින තිස්අටක් එලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිට දැඩි ඇප කොන්දෙසි මත එළියට පැමිණි චීන ජාතික සැකකරුවන් එකසිය විසිඅටදෙනාට පනවා තිබුණ දැඩි ඇප කොන්දේසිවලින් සෑම මසකම අවසන් ඉරු දින මහනුවර අපරාධ විමර්ශන අංශයේ පෙනී සිටිය යුතු බව සඳහන් ඇප කොන්දෙසිය ලිහිල් කිරිමටත් ඔවුන් සතු අධිකරණ භාරයේ තිබෙන ජංගම දුරකතන යළි ලබාදීමටත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට තෙල්දෙණිය අධිකරණයේ පෙනී සිටීමටත් තෙල්දෙණිය මහෙ­්ස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන පසුගියදා නියෝග කළාය.

මෙරටදි සිදුකරන ලද පරිගණක අපරාධ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් සැකපිට මහනුවර කුණ්ඩසාලේ සුපිරි තරු හෝටලයකදී අත්අඩංගුවට ගෙන දින තිස්අටක් එක දිගට රක්ෂිත බන්ධනාගාරගත කර සිට දැඩි ඇප කොන්දේසි මත ඇප ලැබූ චීන ජාතික පිරිමි සැකකරුවන් එකසිය අට දෙනා සහ චීන ජාතික කාන්තා සැකකාරියන් විසි දෙදෙනා ඇතුළු සැකකරුවන් පිරිස පොද්ගලික බස්රථ දෙකකින් පසුගියදා තෙල්දෙණිය අධිකරණයට පැමිණ තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන ඉදිරියේ පෙනී සිටියහ.

එක් සැකකරුවෙකුට රුපියල් හැත්තෑ පන්දහසක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ විස්සක පෞද්ගලික ශරීර ඇප දෙකක් මත ඇප නියම කරමින් සෑම මසකම අවසන් ඉරු දින සියලුම සැකකරුවන් නවයත් දොළහත් අතර කාලයේදී මහනුවර පරිගණක අපරාධ අංශයේ පෙනී සිටීමටත්, රටින් පිටවීම තහනම් කරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් තරයේ අවවාද කරමින් පසුගිය මස විසි වන දින තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන ඔවුන්ට ඇප නියම කර තිබුණි.

මහනුවර කුණ්ඩසාලේ සුපිරි තරු හෝටලයකදී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විශේෂ විමර්ශන ඒකකය සහ මහනුවර මූලස්ථාන පොලීසිය සහ තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් එකසිය තිස්දෙනා පසුගිය නොවැම්බර් මස දෙළොස් වන දින එම සුපිරි හෝටලයේදී පරිගණක යන්ත්‍ර, ජංගම දුරකතන, දේශිය සිම්පත් ඇතුළු පරිගණක උපකරණ රැසක් සමඟ මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් වූ මෙම සැකකරුවන් එකසිය තිස්දෙනා සම්බන්ධව සහ එම උපකරණ සම්බන්ධව තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව මහනුවර පරිගණක අපරාධ අංශයේ පොලිස් කොස්තාපල් ඉසාර මදුරංග අධිකරණයට දිර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කරමින් වැඩිදුර වර්තාවක් ඉදිරිපත් කෙළේය.

එම සැකකරුවන්ගෙන් ප්‍රකාශ සහ ඇඟිලි සලකුණු වාර්තා ලබාගෙන ඇති බවත් දැනට විවිධ ආයතන මඟින් නිකුත් කළ සිම් කාඩ්පත් සහ ජංගම දුරකතන හාරසිය හතළිස් හතරක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එවායින් කොටසක් රජයේ රස පරික්ෂකවරයා වෙත යවා ඇති බවත් අධිකරණයට කරුණු සැල කරමින් වැඩිදුර වාර්තාව ඉදිරිපත් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division