සිංහල භාෂා අධ්‍යයනය විෂයයෙහි කුමාරතුංග මුනිදාසයන්ගේ (1887–1944) දායකත්වය බොහෝ දෙනා ‘ව්‍යාකරණ විවරණය’ සහ ‘ක්‍රියා විවරණය’ ග්‍රන්ථ ද්වයයට ලඝු කරති. එහෙයින් ම ඔවුන්ගේ සිංහල භාෂා විෂයක දායකත්වයෙහි බෙහෙවින් වැසී පවත්නා අංශයක් වන්නේ ‘තරු අකුරු වැළ’ යි. තරු අකුරු වැළ වනාහි සිංහල හෝඩියේ දක්නා ලද අඩුපාඩු අටළොසක් මඟහරවා ගැනීම සඳහා කුමාරතුංගයන් නිපැයූ අලුත් හෝඩියකි. එය මුලින් ම පළ වූයේ 1940 ජූලි 15 වැනි දා නිකුත් වූ ‘සුබස’ සඟරාවේ 1–4 කලප්හි ය. අනතුරු ව කුමාරතුංගයන්ගේ ‘The Helio’ සඟරාවේ ද 1941 අගෝස්තු 29 වැනි දා සිට 1941 දෙසැම්බර් 22 වැනි දා තෙක් ‘Phonetics for all’ නමින් තරු අකුරු වැළ හඳුන්වා දෙන ලිපි පෙළක් පළ විය.

1 වැනි රූපය තරු අකුරු වැළ ගොඩනඟන ‘කඳ ලකුණු’ සහ ‘අනු ලකුණු’
අක්ෂර රූපයක් දැකීමෙන් ම එහි උච්චාරණය දැන ගත හැකි වීම තරු අකුරුවල විශේෂත්වයයි. මෙසේ අක්ෂර රූප දැකීමෙන් ම ඒ ඒ අක්ෂරයේ උච්චාරණය හඳුනා ගත හැකි හෝඩි ශබ්ද ලක්ෂණ පාදක හෝඩි (featural alphabet) නම් වේ. ශබ්ද ලක්ෂණ පාදක හෝඩියක් යනු ජනක ප්‍රතියෝජක ශබ්දිම චිචාරයේ එන ශබ්ද ලක්ෂණ පද්ධතිය (feature system) අනුව යමින්, එක් ශබ්ද ලක්ෂණයක් නිරූපණය කිරීමට එක් ලිඛිත සංකේතයක් බැගින් යොදා ගන්නා හෝඩියකි. තරු අකුරු වැළේ විශේෂත්වය වන්නේ, කුමාරතුංගයන් ශබ්ද ලක්ෂණ පද්ධතිය පාදා ගෙන ඒ මත පදනම් ව තරු අකුරු වැළ නිමැවූයේ රුසියා ජාතික වාග්විද්‍යාඥ රෝමන් යේකොබ්සන් [Roman Jackobson (1886–1982)] සූරීන් ශබ්ද ලක්ෂණ පද්ධතිය පිළිබඳ සිද්ධාන්තය ලොවට ඉදිරිපත් කිරීමට පූර්වයෙන් වීමයි. ශබ්ද ලක්ෂණ පද්ධතිය පිළිබඳ රෝමන් යේකොබ්සන් සූරීන්ගේ සිද්ධාන්තය ඉදිරි පත් වූයේ 1951 දී පළ වූ ‘Preliminaries to Speech Analysis: The Distinctive Features and their Correlates’ නම් පොතෙහි ය. ඒ, කුමාරතුංගයන් තරු අකුරු වැළ ඉදිරි පත් කොට හරියට ම දසකයට පසු ය.
තරු අකුරු වැළෙහි විශේෂත්වය වටහා ගැනීම සඳහා පළමු ව ශබ්ද ලක්ෂණ පද්ධතිය යනු කුමක් දැයි දැන ගත යුතු වෙයි. මේ වනාහි ශබ්දයක් යනු අවම ඒකකයක් නො ව, විශේෂ ශබ්ද ලක්ෂණ සමූහයක එකතුවක් සේ සැලැකීමේ සිද්ධාන්තයයි. මෙසේ කී පමණින් මෙය පැහැදිලි නො වේ. නිදසුනක් ගෙන බලමු. ප් [p] යනුවෙන් අප දන්නා ව්‍යඤ්ජන ශබ්දය සෑදී ඇත්තේ ඕෂ්ඨජත්වය, අඝෝෂත්වය, ස්පර්ශත්වය යන ශබ්ද ලක්ෂණ තුනේ එකතුවෙනි. වෙනත් ලෙසකින් කියතොත්: දෙතොල් ගැටීම, ස්වර තන්තු නොහැඬවීම, උච්චාරණ ස්ථාන කරණ පූර්ණ ස්පර්ශනයකට ලක් කිරීම යන ශබ්ද ලක්ෂණ එක්වර ක්‍රියාත්මක වීමෙන් ප් [p] යන ශබ්දය උපදී. මෙයින් පෙනී යන්නේ ප් [p] යනු කේවල ඒකකයක් නො ව, ලක්ෂණ තුනක සංයෝගයක් බවයි. මින් එක් ලක්ෂණයක් හෝ වෙනස් වීමෙන්, උපදින ශබ්දය වෙනස් වේ. නිදසුනක් ලෙස: ප් [p] යන්නෙහි වන ඕෂ්ඨජත්වය, අඝෝෂත්වය, ස්පර්ශත්වය යන ලක්ෂණ තුනෙන් අඝෝෂත්වය වෙනුවට ඝෝෂත්වය ආදේශ කොට සෙස්ස නොවෙනස් ව තැබුව හොත් උපදින ශබ්දය බ් [b] බවට පත් වේ. ප් [p] සහ බ් [b] අතර ඇත්තේ හුදු එක් ශබ්ද ලක්ෂණයක වෙනස බව මින් පෙනේ.
ප් [p] – ඕෂ්ඨජ, අඝෝෂ, ස්පර්ශ ශබ්දය
බ් [b] – ඕෂ්ඨජ, ඝෝෂ, ස්පර්ශ ශබ්දය
දැන් අපි තරු අකුරු වැළේ ස්වභාවය විමසා බලමු. තරු අකුරු වැළේ ව්‍යඤ්ජන මෙහි ලා විශේෂ වෙයි. එහි ‘කඳ ලකුණු’ ද ‘අනුලකුණු’ ද යනුවෙන් දෙවර්ගයකි. කඳ ලකුණක් යනු මූලික සංකේතයෙකි. ක්, ච්, ට්, ත්, ප් යන එක් එක් වර්ගයෙහි උත්පත්ති ස්ථානයට අයත් මූලික ශබ්දයට ලකුණ බැගින් කඳ ලකුණු පහක් ද, ඒ එක් එක් කඳ ලකුණට නාසික්‍යත්වය, දීර්ඝත්වය, මහාප්‍රාණත්වය, ඝෝෂත්වය, ඌෂ්මත්වය යන ශබ්ද ලක්ෂණ නියෝජනය කරනු පිණිස එක් කිරීමට අනුලකුණු ද පහක් වෙයි. මේ කඳ ලකුණු හා අනුලකුණු නිසි පරිදි සංයෝග කිරීමෙන් එක් එක් වර්ගාක්ෂරය උපදවාගත හැකි වෙයි (1 වැනි රූපය බලන්න).
අනුලකුණු කිසිවකින් තොර ව යෙදුණු කඳ ලකුණක් හැම විට ම නියෝජනය කරන්නේ ඒ ඒ උත්පත්ති ස්ථානයෙන් උපදින මූලික ශබ්දය යි; එනම්: විශේෂ ලක්ෂණවලින් තොර, හුදු කරණ-ස්ථාන ක්‍රියාත්මක වීමෙන් පමණක් උපදින අඝෝෂ, අනාසික්‍ය, අල්පප්‍රාණ ශබ්දය යි.

2 වැනි රූපය කුමාරතුංග මුනිදාසගේ ‘තරු අකුරු වැළ’ (සුබස 1940 ජූලි 15 කලාපය)
කුමාරතුංගයන්ගේ මේ විස්මකුරු නිපැයුම වනාහි ලොව කවර බසක උච්චාරණය වුව ද අතිශය නිවැරදි ව දැක්විය හැකි ශබ්ද ශික්ෂා වර්ණමාලාවක් බවට දියුණු කළ හැකි නිර්මාණයකි. දැනට ලොව වාග්විද්‍යාඥයන් භාවිත කරන අන්තර්ජාතික ශබ්ද ශික්ෂා වර්ණමාලාව (International Phonetic Alphabet) 1888 දී හෙන්රි ස්වීට් [Henry Sweet (1845–1912)] නම් ඉංගිරිසි ජාතික වාග්විද්‍යාඥයකුගේ නිමැවුමක් මත පදනම් ව දියුණු කරනු ලැබූවකි. එහි ඇති ප්‍රධාන ඌනතාව නම් මුළු ලොවක භාෂාවල ශබ්ද නිරූපණය කිරීම සඳහා නිපැයුණක් වුව ද, එය සපුරා ම ඉංගිරිසි හෝඩිය මූලික කොට ගෙන තිබීමයි. එබැවින් අන්තර්ජාතික ශබ්ද ශික්ෂා වර්ණමාලාවේ අකුරක් දෙස බැලීමෙන් එහි උච්චාරණය දැන ගත හැකි අවස්ථා ඉතා අවම වේ. නිදසුනක් ලෙස: සියලු මහාප්‍රාණ ව්‍යඤ්ජන එහි දැක්වෙන්නේ අල්පප්‍රාණ ව්‍යඤ්ජනයෙහි දකුණු පස ඉහළින් කුඩා h අකුරක් යෙදීමෙනි. එහෙත් ඝෝෂත්වය වෙසෙසා දක්වන ලකුණක් එහි නො වේ. එබැවින් එහි කවරක් ඝෝෂ ද, කවරක් අඝෝෂ ද යනු අක්ෂර රූප කටපාඩම් කිරීමෙන් ම මතක තබා ගත යුතු වෙයි. තරු අකුරු වැළ එවැනි වෙහෙසක් නො දෙයි. කවර අක්ෂරයක වුව ද සියලු ශබ්ද ලක්ෂණ එහි ඇති අනුලකුණුවලින් ම දත හැකි වෙයි.
තරු අකුරු වැළෙහි ඇති ප්‍රධානතම ඌනතාව නම් දුර්වල ස්වර නිරූපණය යි (2 වැනි රූපය බලන්න). සියලු ස්වර අඝෝෂ බව ඇදැහූ කුමාරතුංගයන් එහි ස්වර දක්වා ඇත්තේ ඒ විශ්වාසය මත පදනම් ව ය. එමෙන් ම මහාප්‍රාණත්වය ද පවත්නේ ස්වරවල බව විශ්වාස කිරීමෙන් කුමාරතුංගයන් කරුණු පටලා ගෙන තිබේ. නාසික්‍යත්වය ස්වරයට අනන්‍ය වූවකැයි කුමාරතුංගයන් විශ්වාස කළ ද, ස්වර මෙන් ම ව්‍යඤ්ජන ද නාසික්‍යකරණයට ලක් විය හැකි බව කුමාරතුංගයන් ග්‍රහණය කොට ගෙන නැත. එබැවින් තරු අකුරු වැළ වැඩි දියුණු කිරීමේ කවර ප්‍රයත්නයක් වුව ද ආරම්භ විය යුත්තේ එහි ස්වර නිරූපණය නිරවද්‍ය කිරීමෙනි. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ ඩැනියෙල් ජෝන්ස් (Daniel Jones) ඈ ශබ්ද ශික්ෂා විශේෂඥයන් ඉදිරි පත් කළ ස්වර පිළිබඳ ශබ්ද ලක්ෂණ සමූහයයි. මේ ශබ්ද ලක්ෂණ වනාහි ප්‍රභාවලීලේඛ පරීක්ෂාවෙන් (spectrographic test) තහවුරු වූ භෞතික විද්‍යාත්මක සත්‍යතා බැවින් කුමාරතුංගයන්ගේ ස්වර නිරූපණ හණමිටිය ඉවත දැමීමට අපට මැළි විය යුතු නො වේ.
තරු අකුරු වැළ අන්තර්ජාතික ශබ්ද ශික්ෂා වර්ණමාලාවක් බවට පත් කිරීම සඳහා වැඩි දියුණු කළ යුතු අංශ කිහිපයක් ම ඇතත්, මේ පවත්නා හැටියට ම වහරට ගත්ත ද සිංහල, පාලි, සංස්කෘත, දෙමළ යන භාෂා කවරක් වුව ද නිවැරදි ව ලියා පෑමට එය සමත් ය.
කුමාරතුංගයන්ට තරු අකුරු වැළ නිමැවීමට නිමිත්ත වූයේ ඉංගිරිසි මහා ලේඛක ජෝර්ජ් බර්නාඩ් ෂෝ [George Bernard Shaw (1856–1950)] සූරීන් කළ යෝජනාවක් බව හේමසිරි කුමාරණතුංග සූරීහු සිය ‘සිංහල අකුර’ පොතෙහිදී කියති. අපි මේ ඔත්තුව ඔස්සේ ගියෙමු. ජෝර්ජ් බර්නාඩ් ෂෝ සූරීන්ගේ ඒ පිළිබඳ වැදගත් අදහස් පළ වූයේ 1941 ජනවාරියෙහි රිචඩ් ඇල්බට් විල්සන් (Richard Albert Wilson) සූරීන් ලියූ ‘The Miraculous Birth of Language’ නම් පොතට සැපැයූ දීර්ඝ ප්‍රස්තාවනාවෙහි ය. බර්නාඩ් ෂෝ සූරීහු එහි ලා මෙසේ කියති:
“මා අපගේ අක්ෂර නිර්මාණකරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ එක ම ශබ්දය අකුරු දෙකකින් නිරූපණය කිරීමෙන් ද, එක ම අකුරට චිහ්න ලක්ෂණ යොදා විවිධ ශබ්ද නිරූපණය කිරීමෙන් ද වැළකී, පහත දැක්වෙන අර්ථශූන්‍ය ශබ්දාවලිය නිසැක ව නිරූපණය කිරීමට සමත් අක්ෂර මාලාවක් නිමැවීමයි. හැම අකුරක් ම පැහැදිලි ව හඳුනා ගත හැකි පරිදි අන් අකුරුවලින් වෙනස් වීමත්, එක් ශබ්දයකට එක් අකුරක් පමණක් යෙදීමත් මෙහි ලා සැලකිය යුතු නීතිය යි.” [(1941: පි. 37-38) පරිවර්තනය අපගේ ය]
බර්නාඩ් ෂෝ සූරීහු 1950 දී සිය අවසන් කැමැති පත්‍රයෙන් අලුත් හෝඩියක් හැදීම තමන්ගේ අවසන් රිස්ස බව කියා, ඊට මුදල් ද වෙන් කළහ. එය ක්‍රියාත්මක වූයේ 1960 ගණන්වල දී ය. එබැවින්, කුමාරතුංගයන් මෙහෙයීම ලද්දේ බර්නාඩ් ෂෝ සූරීන් කළ යෝජනාවකින් නොවන බව පෙනේ.
ඒ කෙසේ වෙතත්, කුමාරතුංගයන් තරු අකුරු වැළ නිමැවීමේදී අනුගමනය කොට ඇත්තේ ද මේ චින්තනය ම බව, සිංහල හෝඩියෙහි පවත්නා දොස් 18ක් පෙන්වා දෙමින් ඔවුන් කරන විග්‍රහය දෙස බැලීමෙන් පෙනී යයි (1940: පි. 51-52). එමතු ද නො ව, ‘The Helio’ සඟරාවට ලියූ ‘Phonetics for all’ මැයෙන් යුත් ලිපියක, විද්‍යාත්මක වර්ණමාලාවක් ගොඩනැඟීමේදී අනුගමනය කළ යුතු මූලධර්ම 6ක් කුමාරතුංගයෝ පෙළ ගස්වති (1941: පි. 15). ඒවා මෙසේ සැකෙවින් සිංහලයට නඟා දක්වමු:
1. කිසිදු සංකේතයක් එක් ශබ්දයකට වඩා නිරූපණය නොකළ යුතු ය.
2. කිසිදු ශබ්දයක් එක් සංකේතයට වඩා වැඩි ගණනකින් නිරූපණය නොකළ යුතු ය.
3. යම් මූලික ශබ්දයක් වෙනස් කිරීමෙන් උපදනා හැම ශබ්දයක් ම ඒ මූලික ශබ්දය දක්වන ලකුණක් සමඟ අදාළ විශේෂ ලක්ෂණ දක්වන ලකුණු යෙදීමෙන් නිරූපණය කළ යුතු ය.
4. කිසිදු මූලික ශබ්දයක් තවත් මූලික ශබ්ද දෙකක් හෝ ඊට වැඩි ගණනක් දක්වන සංකේත සංයෝග කිරීමෙන් නිරූපණය නොකළ යුතු ය.
5. කිසිදු මූලික ශබ්ද නිරූපක සංකේතයක් වෙනත් මූලික ශබ්ද දෙකක හෝ කිහිපයක සංයෝගයක් නිරූපණය කිරීමට යොදා නොගත යුතු ය.
6. ලොව කවර දෙසක වුව ද මිනිස් මුවකින් නැඟිය හැකි සියලු සරල භාෂා ශබ්ද නිරූපණය කිරීමට සංකේත මාලාව ප්‍රමාණවත් විය යුතු ය.
මේ මූලධර්ම 6 විමසා බැලීමේදී පෙනී යන්නේ බර්නාඩ් ෂෝ සූරීන්ගේ චින්තනයට වඩා කුමාරතුංගයන් බොහෝ ඉදිරියට ගොස් ඇති බවයි. හේමසිරි කුමාරණතුංගයන් පවසන පරිදි මෙහි ලා කුමාරතුංගයන්ට බල පා ඇත්තේ බර්නාඩ් ෂෝ සූරීන්ගේ චින්තනය යැයි අපට සිතිය නොහැක්කේ, බර්නාඩ් ෂෝ සූරීන්ගේ යෝජනා ඉදිරිපත් වීමට අවම වශයෙන් වසරකට පෙර කුමාරතුංගයන් තරු අකුරු නිමවා තිබීම නිසායි. මින් පෙනෙන්නේ එක ම කලෙක වුසූ මහ වියතුන් එක් බඳු ආකාරයකින් කල්පනා කොට ඇති බවයි. එමෙන් ම, මෙහි ලා තව ද කිව යුත්තේ බර්නාඩ් ෂෝ සූරීන්ගේ යෝජනාව අනුයමින් 1960 දී ‘ෂෝවීය හෝඩිය’ (Shavian Alphabet) නමින් අකුරු 48ක් ඇති හෝඩියක් නිර්මාණය කරනු ලැබූ නමුදු එය ශබ්ද ලක්ෂණ පාදක හෝඩියක් නො ව, හුදු ශබ්ද හෝඩියක් බවයි. එබැවින් කුමාරතුංගයන්ගේ තරු අකුරු වැළ ‘ෂෝවීය හෝඩිය’ පරයා ගව් ගණනක් ඉදිරියෙන් සිටී.
තරු අකුරු වැළ විස්මකුරු නිමැවුමක් බව අප කියන්නේ කුමරතුඟු බැතියෙන් අඳ වීමෙන් නො වේ. එක් අතකින්, තරු අකුරු වැළ ශබ්ද ලක්ෂණ පද්ධතිය පාදක කොට ගෙන ඇත්තේ රෝමන් යේකොබ්සන් සූරීන් ශබ්ද ලක්ෂණ පිළිබඳ සිද්ධාන්ත ඉදිරිපත් කිරීමට දසකයකට ඉහත දී ය. අනෙක් අතට, කුමාරතුංගයන් එය නිමවන්නේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ සූරීන් ලොවට ම ගැළපෙන නව අකුරු වැළක් ඉල්ලා සිටීමට අවුරුද්දකට පෙර ය. එසේ ම එය, ඒ වන විට නිර්මාණය කොට තුබුණු අන්තර්ජාතික ශබ්ද ශික්ෂා හෝඩියට වඩා කිහිප ගුණයක් ම ශබ්ද-සංකේත අනුරූපතාව (sound-symbol correspondence) අතින් ඉදිරියෙන් සිටී.
මේ හැම කරුණකින් ම පෙනී යන්නේ, තරු අකුරු වැළ පමණක් නො ව, එහි නිර්මාතෘ ද විස්මයාවහ බව යි. භාෂාඥයකු හැටියට කුමාරතුංග මුනිදාසයන්ට ලොව අන් කවර මහා භාෂාඥයකුට වුව ද දෙවැනි නොවන විශ්වීය චින්තනයක් පැවති බව පෙනේ. ඔවුන්ගේ කියුම් කැරුම් ලොවට හරිහැටි නිරාවරණය වූයේ නම් ඔවුන්ට විශ්වකීර්තිය ගෙන ඒමට මේ තරු අකුරු වැළ පමණක් වුව ද සෑහේ.
ක. ක. ගනුෂ්ක රන්දුල
නිව් යෝර්ක්හි රොචස්ටර් විශ්වවිද්‍යාලයයේ
වාග් විද්‍යා අධ්‍යයන අංශයේ සිට…