Home » ඔටුනු පලන් චෞරයෝ

ඔටුනු පලන් චෞරයෝ

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

ටුනු පලන් චෞරයන් යන යෙදුම ප්‍රථමයෙන් භාවිත කරනු ලැබුවේ ප්‍රංශයේ තෝමස් ප්ලෙමින් විසිනි. ඔහු එය යෙදුවේ දූෂිත, අත්තනෝමතික පාලකයන් හැඳින්වීම සඳහා ය. ප්ලෙමින් ඒ යෙදුම භාවිත කළ වකවානුවේ ලෝක සිතියම කිලිටි කළ චෞරයන් ලෙස ප්‍රකටව සිටියේ පිලිපීනයේ මාකෝස්, සිම්බාබ්වේහි රොබට් මුගාබේ, ඉන්දුනීසියාවේ සුහර්තෝ, චිලියේ පිනෝචේ ආදීහු ය.

පිලිපීනයේ මාකෝස් මහජනයාට අයත් අමෙරිකානු ඩොලර් කෝටියක ධනය සොරකම් කර තිබිණි. පසුගිය වකවානුවල මෙරට පාලන බලය හෙබවූ පාලකයන් ශ්‍රී ලංකාවේ මහජන වත්කම් සොරාකා රැස් කළ ධනය 20 වැනි සියවසේ අග ලොව කිසිදු රාජ්‍යයක චෞර පාලකයකු සොරකම් කළ වත්කම්වලට දෙවැනි නො වේ. අපේ රටේ පාලකයන්ගේ ජාතික ධනය සාක්කුවට දා ගැනීමේ පුරුද්ද අද ඊයේ පමණක් සිදු වූ දෙයක් නො වේ.

ඔවුහු මහවැලි යෝජනා ක්‍රමයෙන් පටන් ගත් ගැරිල්ල උමාඔය යෝජනා ක්‍රමය දක්වා එදා මෙදා තුර ක්‍රියාත්මක කළ සෑම ව්‍යාපෘතියක්, සංවර්ධන යෝජනා ක්‍රමයක් හරහා ම කිසිදු පැකිළීමකින් තොරව කරගෙන ගියෝ ය. එජාප ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයන් තමන්ගේ නිසරු පොල් ඉඩම් රජයට දී, ඒ වෙනුවට හිලවුවට රජයට අයත් සරුසාර ඉඩම් තම නමට ලියා ගත් බව රට ම දනී. වර්තමානයේ මහජන දේපොළ සොරාකන්නන් සීනි බදු වංචා, සුදුලූනු බදු වංචා, පොල්තෙල් බදු වංචා… ආදි වශයෙන් භාණ්ඩාගාරයට යා යුතු මුදල් තම විදේශ බැංකු ගිණුම්වල රුවා ගත් අවස්ථා හෙළි විය.

ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝක අපවාදයට ලක් වූයේ අපේ රටේ පාලකයන් මහා භාණ්ඩාගාරය සුද්ද කළ නිසාය. කලකට ඉහත පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වූයේ ඔවුන් කෝටි ගණනින් සොරකම් කළ, ශ්‍රී ලංකාවේ මහජනතාවට අයත් මුදල්වල ගණන් ඉලක්කම් ය. රටේ සංවර්ධනය ගැන කිසිදු තැකීමක් නොකළ මේ කණ්ඩායම් සංවර්ධනය යොදා ගත්තේ දූෂණය සඳහා විවෘත වූ මාර්ගයක් වශයෙනි.

‘යන යකා කොරහත් බිඳගෙන යනවා’ කියා කතාවක් තිබේ. හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද, මෛත්‍රී, ගෝඨා, රනිල් ඔවුන්ගේ පාලන කාලය තුළ රට සවාරි සඳහා පමණක් වැය කර තිබෙන මුදල රුපියල් මිලියන 4,615ක් බව අගමැතිනි හරිනි අමරසූරිය අයවැය විවාදයේදී හෙළි කළා ය. මේ අතර, සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේ හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන තමා පාවිච්චි කළ වාහන 9ක් සඳහා ඉන්ධන වෙනුවෙන් ලක්ෂ 334ක් වැය කර ඇති බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද කිසිදු ප්‍රතිඵලයක් නැති කොමිෂන් සභා 14ක් සඳහා රුපියල් ලක්ෂ 5,301ක් වැය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා අයවැය විවාදයේදී පැවසීය. එපමණක් නොව, අනුරාධපුර ප්‍රදේශයේ කුප්‍රකට ඥානක්කාගේ දේවාලය හදන්නටත් ලක්ෂ 280ක් වැය කර තිබේ.

රටේ ජනගහනයෙන් 87%කට වැඩි බහුතරයක් දිළිඳුභාවයේ ගිලී සිටියදී, පාලන බලය මෙතෙක් අල්ලාගෙන සිටි කණ්ඩායම් ජාතික සම්පත් යොදවා තිබෙන්නේ ඔවුන් ගත කළ බ්‍රිතාන්‍ය රජ පවුලට ද නොදෙවැනි සුඛෝපභෝගි ජීවිත නඩත්තු කිරීම සඳහා ය.

මෙවැනි නායකයන් හඳුන්වන්නට ‘ඔටුනු පලන් චෞරයන්’ යන්න හැර වෙනත් වචන නැත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division