– ක්‍රීඩාවට දක්ෂ දරුවාට සුදුසු නිවෙසේ වයඹ දිසාවේ කාමරයි
– විශ්ව ශක්තිය නිෙවසට කේන්ද්‍ර වන්නේ ඊශාන දිශාවෙන්
ඔබට ඇති වටිනාම ‘සම්පත’ ඔබේ ආදරණිය දූ දරුවන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔබේ එකම බලාපොරොත්තුව ද එම දරුවන් ගුණවත් සහ නැණවත් දරුවන් බවට පත් කිරීමයි. ඔබ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී සියල්ල කරන්නේ ඒ වෙනුවෙනි.
දරුවන්ගේ හැකියා දක්ෂතා දියුණු වනු බලා මවුපියන් තරම් සතුටු වන වෙනත් අයෙකු මෙලොව නැත. එහෙත් දරුවන් වෙනුවෙන් ඔබ ඒ සියල්ල කළත්, ඇතැම් දරුවන් ඔබේ අරමුණුවලට පටහැණිව ක්‍රියා කරන ආකාරයක් දක්නට ලැබෙයි. වර්තමාන සමාජය තුළ ඒ සඳහා බලපාන හේතු රාශියක් තිබෙන අතර ඔබේ නිවෙස වාස්තු විද්‍යානුකූලව දරුවන්ට යෝග්‍ය ආකාරයට පිහිටා නොතිබීම ද ඒ සඳහා බලපාන ප්‍රධානම හේතුවක් විය හැකිය. වාස්තු විද්‍යානුකූල නිවසක් යනු විශ්ව ශක්තිය මනාව තුලනය වූ ස්ථානයකි. අධ්‍යාපනය ලබන දරුවකුගේ දිනෙන් දින සිදු වන මොළයේ වර්ධනයට ද මෙම ‘විශ්ව ශක්තිය’ නිසි පරිදි ලැබිය යුතු වේ. එම නිසා සමහර දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වීමටත්, සමහර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුර්වල වීමටත් නිවෙසේ වාස්තු විද්‍යාත්මක පිහිටීම හේතු විය හැකිය. දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය මෙම ‘විශ්ව ශක්තිය’ නිසි පරිදි නොලැබීම ප්‍රධාන හේතුවක් විය හැකිය. එබැවින් ඔබගේ දරුවාට විශ්ව ශක්තිය නිසි පරිදි උරාගැනීමට හැකි වන ලෙස ඊට සුදුසු ස්ථානය දරුවාට නිවෙස තුළ වෙන් කර දිය යුතුමය.
ඒ අනුව දරුවන් සඳහා නිවෙසේ ඉතාම සුදුසු වන්නේ නිරිත දිශාවේ සහ වයඹ දිශාවේ පවතින කාමර වේ. විශ්ව ශක්තිය නිවෙසට කාන්දු වන්නේ ඊසාන දිසාවෙනි. එම දිශාව දෙවියන්ගේ සහ දරුවන්ගේ දිශාව යනුවෙන් ද හඳුන්වනු ලැබේ. නිවෙස දරුවන්ට වඩාත් සුබවාදී ස්ථානයක් බවට පත් කිරීමට නම් අනිවාර්යයෙන්ම නිෙවසේ ඊසාන දිශාව මැනවින් ආරක්ෂා වී පැවතිය යුතුය. දරුවා තුළ පවතින සාහිත්‍ය, කලා හැකියාවන් වර්ධනය කිරීමට ද ඊසාන දිශාව බෙහෙවින් ඉවහල් වෙයි. දරුවා ක්‍රීඩාවට දක්ෂ නම් එම දරුවාට වඩාත් සුදුසු වන්නේ වයඹ දිශාවේ කාමරයයි. මෙම කාමර දෙකට අමතරව උතුරු, දකුණු සහ නැඟෙනහිර දිසාවල කාමරද දූ දරුවන් සඳහා සුදුසු වන අතර නිරිත සහ ගිනිකොන දිසාවල ඇති කාමර දරුවන්ට කිසිසේත් සුදුසු නොවේ.
එහෙත් අප සැමවිට පවසන පරිදි නිවෙසක ප්‍රධාන නිදන කාමරය නිරිත දිසාවේ ඉදි කළ යුතු අතර එසේ යෙදී ඇති අවස්ථාවක මවුපියන් සමඟ කුඩා දරුවන් නිරිත දිශාවේ කාමරයේ සිටීම අයහපත් නොවේ. එසේ නොවී දරුවන්ට පමණක් නිරිත දිසාවේ කාමරය වෙන් කර දීමෙන් එම දරුවන්ගේ ළමා ගති ඉක්මවා ඔවුන් තුළ වැඩිහිටි ලක්ෂණ කල් ඇතිවම ඉස්මතු විය හැකිය.
නිරිත දිශාවේ කාමරය තුළ දරුවන් වාසය කිරීම නිසා එම දරුවන් අකීකරු වීම, අධ්‍යාපනය දුර්වල වීම, ඒ කෙරෙහි උනන්දුව අඩු වීම, රෝග පීඩාවට ලක්වීම ආදිය ඇති වේ. එමෙන්ම ඔබේ නිවෙස මහල් නිවසක් නම් කවර දිශාවක වුවද මුළුතැන්ගෙයට ඉහළින් හෝ පහළින් දරුවන්ගේ කාමරය සකස් කර දීම සුදුසු නොවේ. එය ප්රබලව ලෙස දරුවාගේ මානසික ක්‍රියාකාරිත්වයට අයහපත් ලෙස බලපායි.
යම් හෙයකින් ඔබේ නිවෙසේ බ්‍රහ්ම පාදය කාමරයක් තුළට යෙදී ඇත්නම්, එම කාමරය පිරිමි ළමුන් සඳහා ඉතාමත් යහපත්ය. දරුවාගේ කාමරයේ ආලේප කරනු ලබන වර්ණද දරුවාගේ මානසික ඒකාග්‍රතාවය සඳහා බෙහෙවින් බලපායි.
එම කාමරය සඳහා කළු වැනි තද වර්ණ මෙන්ම වර්ණ කිහිපයක් භාවිතාකිරීම ද සුදුසු නොවේ. විශේෂයෙන් සුදු හෝ ඉතා ළා වර්ණ එකක් හෝ දෙකක් භාවිතා කළ යුතුය. එම වර්ණයට සමාන වර්ණවලින් දොර රෙදි සහ තිර රෙදි යෙදිය යුතු අතර ඒවා ඝනකම අඩු විය යුතුය. පොත් මේසය ස්ථානගත කළ යුත්තේ උතුර, නැඟෙනහිර හෝ ඊශාන දිශාව බලා පාඩම් කිරීමට හැකි වන පරිදිය. එම දිශාවලට මුහුණලා පාඩම් කිරීමෙන් දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය වේ.
දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුව හිමි වේ. දරුවාගේ නිදන ඇඳ යෙදීමේදී උතුරු දිශාවට හිස නොදමන ලෙස සයනය සකස් කළ යුතුය. නිදන ඇඳ බාල්කයට කැපී යන ලෙස ද නොතැබිය යුතුය. කැඩපත් සහිත අල්මාරි හෝ කණ්ණාඩි මේස ද දූ දරුවන්ගේ කාමර තුළ නොතැබිය යුතුය.
ජ්‍යොතීර්වේදී වාස්තු විද්‍යා විශාරද දැරණියගල කපිල ඉන්ද්‍රික