ජීවයේ යම් අසිරිමත් මොහොතක මෙලොව එළි දකින ජන්මියාට දිවි ඇති තුරා ඒරාෂ්ටක, නීච, ග්‍රහ දසා, පීඩාකාරී රෝගාබාධ සහ නොයෙකුත් දුක් ගැහැට ගෙවා දමන්නට සිදුවීම අනිවාර්යයි. ඔබගේ උපන් වේලාව අනුව සහජ දක්ෂතා ඇති ජ්‍යොතිෂවේදියා යම් ප්‍රමාණයක් ඔබ ඔසවා තබන්නට පිළියම් නියම කරනු ලබයි.
සෑම ආගමකම නියමය වන්නේ යහපතේ නිරත වුවොත් ජීවිතය සාර්ථක කරගත හැකි බවයි. බෞද්ධයාට මුදුන්මල්කඩ වන උතුම් බුදුරජාණන් වහන්සේට ජීවමාන බුද්ධෝපස්ථාන පින් දහම් සිදු කිරීමයි. උතුම්ම අෂ්ටඵල බෝධි වන්දනාව ද ඒ අතර බලවත් එකකි.
උතුම් අෂ්ටඵල බෝධීන් වහන්සේට ගෞරවයෙන් භක්තියෙන් කරන ගෞරවනීය පුද පූජා නිසා අනේක විධ කරදර කම්කටොලු පහව යනු ඇත. මේ බෝධීන් වහන්සේට පුද පූජා තබන කිසිවෙකුට හදි හූනියම්, ගුරුකම්, විනාශකාරී භූත බලපෑම් ඇති නොවේ.
මෙරට ඇති උත්තම වන්දනීය අෂ්ටඵල බෝධීන් වහන්සේ අතර අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය, කැලණිය රජමහා විහාර භූමියේ උතුම් බෝධීන් වහන්සේ, කළුතර බෝධීන් වහන්සේ, අලුත්ගම කන්දේ විහාරයේ අති උතුම් බෝධීන් වහන්සේ, කතරගම මහ දෙවොල පිටුපස අති උතුම් බෝධීන් වහන්සේ, බෙල්ලන්විල රජ මහා විහාර භූමියේ ඇති බෝධීන් වහන්සේ සහ උතුම් දළඳා වහන්සේ වැඩ සිටින භූමියේ පිහිටි වැල් බෝධීන් වහන්සේ හාස්කම් දනවන ඉතාම ගෞරවනීය උතුම් අෂ්ටඵල බෝධීන්ය.
මේ උතුම් බෝධීන් වහන්සේලා වෙනුවෙන් පවත්වන අග්‍රගණයේ බලවත්ම පූජා විධි ඇත. ඒ අතරින් කිරිපිඬු පූජාව, පුලින පූජාව, වැටකේ මල් පූජාව ප්‍රබල තැනක් ගනී.
විශේෂයෙන් විදේශගත අයටත් විදේශගත වීමට බලාපොරොත්තු වන අයටත්, රාහු මහ දශා අන්තර් දශා ගත කරන අයටත් රාහු ග්‍රහ සහ කේන්ද්‍රය තුළ බලයකින් තොරව සිටින අයටත් හුදෙක්ම ආශීර්වාද පිණිස උතුම් වැටකේ මල් පූජාව සිදු කරනු ලැබේ. මේ කුමන පූජාවක් සූදානම් කළත් බලවත් පුර පස දිනක් යොදා ගැනීමෙන් පූජාවේ අතිප්‍රබල බලය, ශක්තිය ඔබට ලැබෙනු ඇත. පුර පස දිනෙක අලුයම් කාලයේ උතුම් කිරිපිඬු පූජාව තැබිය යුතුයි. කිරිපිඬු සකස් කර ගත යුතු ආකාරය මෙසේය: ඉතා පවිත්‍රව මුහුණ ආවරණය කර කැකුළු සහල් හොඳින් සෝදා අවශ්‍ය පමණට තැඹිලි වතුරින් ළිප තබන්න. බතේ වතුර සිඳීගෙන එන විට ඊට කජු මද, රටඉඳි, ලියාගත් කිතුල් හකුරු, එනසාල්, කරාබු නැටි සහ කුරුඳු පොතු එක් කරන්න. හොඳින් මිශ්‍ර කර ඊට උකු පොල් කිරී අවශ්‍ය පමණ එක් කරන්න. විනාඩි 10 ක් පමණ මඳ ගින්නේ තබා පිසගන්න. එසේ පිසගත් කිරිපිඬු පාත්‍ර 7 කට දමා බුලත් කොළ අතුරා ඒ මත ඉතා භක්තියෙන් පූජාව සකස් කර ගන්න.
‘පුලින පූජාව’ යනු දහස් ගණන් දෙවිවරු වන්දනා මාන කරන අෂ්ටඵල බෝධීන් වහන්සේ වටා ඇති අපිරිසිදු දෑ ඉවත් කොට ගංගාවකින් ගත් සුදුවැලි කහ වතුරින් සෝදා පවිත්‍ර කොට හැකි නම් රිදී කුඩු ටිකක් මිශ්‍ර කර ඒ බලවත් පුණ්‍ය භූමියට එක් කිරීමයි.
එක් වැලි කැටයක් ගානේ ඔබට එය ආශීර්වාදයක් වනු ඇත. මේ අතුරින් බෝධී මූලය ආසන්නයටම යා හැකි බෝධීන් වහන්සේලා ළඟට ගොස් ඉසින්න. එය මේ සසරේ ඔබ සිඳුකර ගන්නා බලවත්ම පුලින පූජාවයි. උතුම් වැටකේ මල් පූජාවද අෂ්ටඵල බෝධීන් වන්දනාමාන කරන තවත් එක් උතුම් ගෞරවනීය පූජාවකි. නැවුම් වැටකේ මල් පුබුදුවා වතුර පිරි කෙන්ඩියකට දමා පූජාවට එක් කළ යුතුයි.
පුර පස දිනෙක අලුයම දින 03 පමණ නිර්මාංසව පේවී උතුම් අෂ්ටඵල බෝධියකට පා නඟන්න. සුවඳ දුම් සඳහා දෙසඳුන්, අගිල්, දේවදාර, සුවඳ කොට්ටන්, වදකහ, නාමල් රේණු, සැවැන්දරා එක පමණට ගෙන කුඩු කර ගන්න. නෙළුම් මල්, පිච්ච මල් වට්ටි 07 ක් පමණ පූජාවට ගන්න. සුදු කහ කොඩිවැල්, තමාට ඇති අපලය දුරු කිරීමට අවශ්‍ය පාට වර්ග ජ්‍යොතිෂවේදියාගෙන් අසා දැන ගන්න. අබ තෙල්, තැඹිලි තෙල්, පොල් තෙල්, එළඟිතෙල් සමව ගෙන මිශ්‍ර කර පහන් සඳහා යොදා ගන්න. ඔබට අවශ්‍ය කාරණය කියා කහ වතුරින්, දෙහිවලින් සේදු පඬුරු සූදානම් කර ගන්න. රෝගාබාධ ඇති අය දෙසඳුන්, බිං කොහොඹ, බෙලි කොළ, ගල් නහර, කටු කරෝසන, සිද්ධි ගුරු, සතකුප්ප, සිරි වාඩිය, රසකිඳ, නෙල්ලි, ඉඟුරු, සමදරා මුල්, සපුමල්, සිරිසේක්කු, කපුවල්ලිය, පුෂ්කර සිංහල බෙහෙත් කඩයකින් ගෙන බෙහෙත් වට්ටිය සාදා ගන්න. තවද චතුමධුර සඳහා ගිතෙල්, මී පැණි, උක් හකුරු, තල් සුකිරි යොදා තනා ගන්න.
“ජයෝ මුනින්දස්ස” ගාථාව කියමින් හත් වරක් පෙරූ වතුරට සුවඳ කුඩු දමා ඉතා ගෞරවයෙන් අෂ්ට ඵල බෝධීන් වහන්සේ නහවන්න. බෝධීන් වහන්සේ ළඟ පන්සිල් ගෙන වැඳ පිදීමෙන් පසු 03 වරක් රතන සූත්‍රය කියන්න. සියලු පූජා බුලත් මත තබන්න.
“යංකිංචි චිත්තං ඉධවා හුරංවා
සග්ගෝ සුවායං රතනං පනීතං
නනෝ සමං අත්ති තථා ගතේන
ඉදංපි බුද්ධේ රතනං පනිතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු
මේ ගාථාව 108 වාරයක් ඉතාම භක්තිමත්ව කියා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ට පින් දෙන්න. ඔබගේ කාරණය කියා පඬුරු ගැට ගසන්න. මේ බලගතුම අෂ්ටඵල පූජාවේ අනුහස් වරු 03 යාමට මත්තෙන් ඔබට ලැබෙනු ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී දේශමාන්‍ය, දේශකීර්ති ගීතාංගනී ගුණසේකර