Home » ගැස්ට්‍රයිටීස් ද? හාට්ඇටෑක් ද? හරියටම දැනගන්නෙ කොහොමද?

ගැස්ට්‍රයිටීස් ද? හාට්ඇටෑක් ද? හරියටම දැනගන්නෙ කොහොමද?

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment
සුරේකා ඉලංකෝන්

ණිෂ්ක අවුරුදු 32ක් වයසැති අවිවාහක තරුණයෙකි. ඔහු පෞද්ගලික ආයතනයක විධායක නිලධරයකු ලෙස රැකියාව කළ අතර, නැවතී සිටියේ බෝඩිමකය. දින දෙක තුනක සිට ඔහු තරමක අපහසුතාවකින් පසු වන බව ඔහුගේ බෝඩිමේ මිතුරා නිරීක්ෂණය කළේය.මිතුරා ඒ පිළිබඳ විමසූ විට කණිෂ්ක පැවසුවේ තමාට ගැස්ට්‍රයිටීස් රෝගය උත්සන්න වී ඇති බවයි. ඔහු නිතරම ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා තම හිතු මනාපයට ෆාමසිවලින් ඖෂධ ගන්නා බව මිතුරාද දැන සිටියේය.

එහෙත් මෙය නම් ගැස්ට්‍රයිටීස් නොවන බව මිතුරාට වැටහිණි. ප්‍රතිකාර ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ඔහු ගෙන යෑමට උත්සාහ කළද කණිෂ්ක එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. ෆාමසියකින් ඖෂධ කිහිපයක් ගෙනැවිත් දෙන ලෙස කණිෂ්ක මිතුරාගෙන් ඉල්ලා සිටි අතර, ඔහු එම ඖෂධවල නම් වට්ස්ඇප් පණිවිඩයක් ලෙස මිතුරාට යොමු කළේය. එදින ඉරිදාවක් වූ බැවින් කණිෂ්ක මිතුරා ගෙනැවිත් දුන් ඖෂධ භාවිත කර බෝඩිමට වී විවේකිව සිටියේය. එදින රාත්‍රියේ මිතුරා බෝඩිමට පැමිණෙන විට කණිෂ්ක කාමරයේ බිම වැටී නිදා සිටි අතර, ඔහු රාත්‍රී ආහාරයද ගෙන තිබුණේ නැත. මිතුරා කණිෂ්ක අවදි කරවීමට උත්සාහ කළද ඔහු පැවසුවේ තමාට එලෙස සිටීමට ඉඩ දෙන ලෙසයි. මිතුරා එය පිළිගෙන සිය කුටියට වැදුණි. මිතුරා පසුදින උදෑසන අවදි වන විට කණිෂ්ක රාජකාරිය සඳහා පිටත්ව ගොස් සිටියේය.

පැමිණීම සටහන් කරන ඇඟිලි සලකුණු යන්ත්‍රය තිබෙන්නේ දෙවැනි මහලේ බැවින් කණිෂ්ක පුරුදු පරිදි ඒ වෙත යෑමට විදුලි සෝපානය කරා ගියේය. එහෙත් එදින විදුලි සෝපානය ක්‍රියා විරහිත වී තිබූ බැවින් ඔහු ඉහළ මාලයට යෑමට පියගැටපෙළ භාවිත කළේය. පඩි 10-12ක් පමණ ඉහළට නඟින විට පපුවේ වේදනාවක් ඇති වුවද ඔහු එය නොසලකා තවදුරටත් ඉහළට ගමන් කළේය. ඒ වන විට ඔහුට තරමක් පිටුපසින් පඩිපෙළ නඟිමින් සිටි භාග්‍යා කණිෂ්ක කකුල් අද්දමින් හති දමමින් පඩි නඟිනු දුටුවාය. වහා ඔහු වෙත ළඟා වූ ඇය ඔහු අසනීපයකින්දැයි විමසුවාය.

“නැහැ නංගි, පොඩි හතියක් ආවා. ඒක ඇරිලා යයි…”

එහෙත් දහඩියෙන් තෙත්ව හති දමමින් සිටින කණිෂ්ක පසු වන්නේ එතරම් හොඳ තත්ත්වයක නොවන බව වට ගත් භාග්‍යා ඔහු වත්තම් කරගෙන ඉතිරි පඩි කිහිපය නැග්ගාය. පඩි නැඟ අවසන් වනවාත් සමඟම කණිෂ්ක ක්ලාන්ත වී ඇදවැටිණි. භාග්‍යා වහා උදවු ඉල්ලා කෑගැසුවාය. ආයතනික හිතවතුන් විසින් කණිෂ්ක වහාම ළඟම පිහිටි ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යනු ලැබීය. ඊසීජී පරීක්‍ෂණයෙන් පසු ඔහුට දරුණු හෘදයාබාධයක් වැලඳී ඇති බව නිගමනය කෙරිණි. ගිලන් රථයකින් වහා ඔහු මහ රෝහල වෙත මාරු කර යැවුණද ඒ යන අතරමඟදී මෙලොව හැර ගියේය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ දරුණු හෘදයාබාධයක් වැලඳී ඔහුගේ හෘදයේ විශාල පැල්මක් ඇති වී ඇති බවයි. එය හෘදයේ වම් කෝෂිකාවේ ඇති වූ පැල්මකි. දරුණු හෘදයාබාධයක් වැලඳුණු විට මෙලෙස හෘදය බිත්තිය තුනී ස්‌ථානයකින් පැළී යා හැකි ය. එවිට හෘදය වටා ඇති පරිහෘදය අවකාශයට රුධිරය එකතු වී, හෘදය අකර්මණ්‍ය වේ. එය වෛද්‍ය විද්‍යාවේදී Cardiac Tamponade ලෙස හඳුන්වනු ලබන මාරාන්තික තත්ත්වයකි.

තරුණයාගේ පියා පැවසුවේ ඔහුගේ පවුලේ කිහිප දෙනකුම අඩු වයසින් මියගිය බවත්, කණිෂ්ක කොලෙස්ටරෝල් සඳහා ඖෂධ ගත් බවත්ය. ගැස්ට්‍රයිටීස් යැයි සිතා ස්වයං ප්‍රතිකාර නොකර, නිසි වේලාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූයේ නම් මේ අකල් මරණය වළක්වාගත හැකිව තිබිණි.

දැන් අපි ගැස්ට්‍රයිටීස් හා හෘදයාබාධයක් වෙන් කර හඳුනාගන්නා අයුරු විමසා බලමු.

ගැස්ට්‍රයිටීස් හා හෘදයාබාධයක වෙනස

හෘදයාබාධයක් ඇති වන්නේ හදවතට රුධිර ප්‍රවාහය දැඩි ලෙස අඩු වූ විට හෝ අවහිර වූ විටය. අවහිර වීම සාමාන්‍යයෙන් සිදු වන්නේ හෘදයේ බිත්තියට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය, කොලෙස්ටරෝල් සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු වීම හේතුවෙනි. මෙම මේද හා කොලෙස්ටරෝල් අඩංගු තැන්පතු ඵලක (Plaques) නම් වන අතර, ඒ ඵලක ගොඩනැඟීමේ ක්‍රියාවලිය ධමනි සිහින් වීම (Atherosclerosis) ලෙස හැඳින්වේ. සමහර විට ඵලක කැඩී ගොස් රුධිර ප්‍රවාහය අවහිර කරන කැටියක් (Thrombus) සෑදිය හැකිය. රුධිර ප්‍රවාහයේ ඌනතාව නිසා හෘදයපේශිවල කොටසක් හානි වීමට හෝ විනාශ වීමට වුව ඉඩ ඇත.

ගැස්ට්‍රයිටීස් යනු ආමාශයේ ඇති වන ප්‍රදාහිත තත්ත්වයකි (Inflammation). එහිදී ආමාශයේ ශ්ලේෂ්මල පටලය පියවි ඇසට නොපෙනෙන වෙනස්කම් එනම් (Microscopic Changes) පියවි ඇසට දැකිය හැකි සියුම් රත් පැහැ ගැනීමක් (Erythema), සීරීම් වැනි තුවාල (Erosions) හෝ ගැඹුරු තුවාල (Ulcers) ලෙස ආකාර කිහිපයකින් දැකිය හැකිය. ගැස්ට්‍රයිටීස් රෝගයේ ප්‍රධාන ආකාර දෙකක් වන අතර, ඒ, කෙටිකාලීන ගැස්ට්‍රයිටීස් (acute gastritis, මේ තත්ත්වය සාමාන්‍යයෙන් දින 2-10 වැනි කාලයක් පවතී) සහ දිගුකාලීන ගැස්ට්‍රයිටීස් (chronic gastritis, මෙය දිගු කාලයක් සෙමෙන් සෙමෙන් මතු වන තත්ත්වයක් වන අතර, එය සති කිහිපයක සිට වසර ගණනක් දක්වා වුව පැවතිය හැකිය).

රෝග ලක්ෂණ

හෘදයාබාධයක රෝග ලක්ෂණ රෝගියාගෙන් රෝගියාට වෙනස් වන අතර, සමහර අයට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. පිරිසකට දරුණු රෝග ලක්ෂණ ඇති අතර, සමහර අය කෙරෙන් රෝග ලක්ෂණ ප්‍රකට වන්නේ නැත.

හෘදයාබාධයක ප්‍රධානතම රෝග ලක්ෂණය නම්, පපුවේ වේදනාවයි. එය පපුව සිර කරන පීඩනයක් බඳු වේදනාවක් හෝ පපුවේ තද බවක් බඳු වේදනාවක් නැත හොත් පපුව මිරිකීමක් හෝ වැනි හැඟීමක් විය හැකිය. එය වම් උරහිසට, වම් අතට, පිට පිටුපසට, බෙල්ලට, හකු, දත් හෝ සමහර විට ඉහළ උදරයට පැතිරෙන වේදනාවක් හෝ අසහනයක් විය හැකිය. ඊට අමතරව අධිකව දහඩිය දැමීම, තෙහෙට්ටුව, බඩ බුරුල් වී යෑම, හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය හා හුස්ම හිර වීම වැනි රෝග ලක්ෂණද ඒ සමඟ ඇති විය හැකිය.

සමහර හෘදයාබාධ හදිසියේ ඇති වේ. එහෙත් බොහෝ දෙනකුට පැය, දින හෝ සති කිහිපයකට පෙර සිට අනතුරු ඇඟවීමේ සංඥා සහ රෝග ලක්ෂණ ඇති වේ. පපුවේ වේදනාව හෝ පීඩනය එනම් ඇන්ජිනා (Angina) තත්ත්වය දිගටම පවතී නම් හා එය විවේක ගත් විටද පහව නොයයි නම් එය පූර්ව අනතුරු ඇඟවීමේ ලකුණක් විය හැකිය. හෘදය බිත්තියට රුධිර ප්‍රවාහය තාවකාලිකව අඩු වීම නිසා ඇන්ජිනා ඇති වේ.

එහෙත් ගැස්ට්‍රයි‍ටීස් ආශ්‍රිත රෝග ලක්ෂණ හෘද්‍ යාබාධයක ලක්ෂණවලට වඩා තරමක් වෙනස්ය. එනම්, උදරයෙහි ඉහළ ප්‍රදේශය ආශ්‍රිතව ඇති වන දැවිල්ල හෝ කැක්කුම, ඔක්කාරය හෝ වමනය යෑම, බඩ පුරවාදැමීම හෝ බඩෙහි අපහසුතාවක් දැනීම, උගුරෙහි දැවිල්ලක් ඇති වීම, කෑම අරුචිය, හිසරදය සහ නිතර නිතර ඉක්කාවන් ඇති වීම දැක්විය හැකිය. ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඉතා බරපතළ මට්ටමකට පැමිණි විට වමනය සමඟ ලේ පිට වීම, මල සමඟ ලේ පිට වීම, ශරීරයේ ලේ අඩුකම, නීරක්තිය දැක්විය හැකිය.

හෘදයාබාධයක් ඇති වීමට බලපාන සාධක

හෘදයාබාධයක් ඇති වීම කෙරෙහි බලපාන විවිධ අවදානම් සාධක අතර, වයස අවුරුදු 45 සහ ඊට වැඩි පිරිමින්ට සහ වයස අවුරුදු 55 සහ ඊට වැඩි කාන්තාවන් වේ. දුම්පානය සහ දිගුකාලීන දුමාරයට නිරාවරණය වීම අධි රුධිරපීඩනය. කාලයාගේ ඇවෑමෙන්, අධිරුධිර පීඩනය හෘදයට තුඩු දෙන ධමනිවලට හානි කළ හැකිය. අධික කොලෙස්ටරෝල් හෝ ට්‍රයිග්ලිසරයිඩ. අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන (LDL) කොලෙස්ටරෝල් (“නරක” කොලෙස්ටරෝල්) ඉහළ මට්ටමක පැවතීම ධමනි පටු වීමට බොහෝ දුරට ඉඩ ඇත. ට්‍රයිග්ලිසරයිඩ ලෙස හඳුන්වන රුධිර මේද ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතීමද හෘදයාබාධ අවදානම වැඩි කරයි. ඉහළ ඝනත්ව ලිපොප්‍රෝටීන (HDL) කොලෙස්ටරෝල් මට්ටම – “හොඳ” කොලෙස්ටරෝල් – සම්මත පරාසයක පවතී නම් හෘදයාබාධ අවදානම අඩු විය හැකිය.

හෘදයාබාධ පිළිබඳ පවුල් ඉතිහාසය එනම්, ළඟම ලේ ඥාතියකුට හෘදයාබාධයක් වැලඳී ඇති පුදගලයකුට හෘදයාබාදයක් ඉහළ අවදානමක් පවතින අතර, ප්‍රමාණවත් ව්‍යායාම නොමැති වීම. සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක් ගැනීම. (සීනි, සත්ත්ව මේදය, පෙර සැකසූ ආහාර, ට්‍රාන්ස් මේදය සහ ලුණු අධික ආහාර වේලක් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරයි.) ආතතිය (අධික කෝපය, විවේකය මඳකම) නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය. (කොකේන් සහ මෙතැම්ෆෙටමින්), හෘදයාබාධ අවදානම වැඩි කරයි. එමෙන්ම ගර්භිණී සමයේදී අධි රුධිර පීඩනය ඇති වීම. (එය ජීවිත කාලය පුරාම හෘදයරෝග ඇති වීමේ අවදානම වැඩි කරයි), ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගී තත්ත්වයන් (රූමැටොයිඩ් ආතරයිටිස් හෝ ලූපස් වැනි රෝගි තත්ත්වයක් ඇති වීම හෘදයාබාධ ඇති වීමේ අවදානම වැඩි කරයි.

ගැස්ට්‍රයිටීස් සඳහා බලපාන විවිධ හේතු

හෙලිකොබැක්ටර් පයිලොරි (H.Pylori) නම් බැක්ටීරියාව නිසා ග්‍රහණියේ හා ආමාශයේ ඇති වන ආසාදිත තත්ත්වය (මෙය අපිරිසුදු ආහාර හා පානීය ජලයෙන් ඇති විය හැකිය), මද්‍යසාර පානය, දුම් පානය (මෙයින් කෙළින්ම ශ්ලේෂ්මල පටලයට හානිදායක වන අතර, රුධිර වාහිනීවල අවහිරතා නිසා බිත්තියට වහනය වන රුධිරය අඩු වීම), ඖෂධ නිසා ඇති වන තුවාල (විශේෂයෙන්ම වේදනා නාශක ඖෂධ වර්ග), අධික ලෙස මේදය, මිරිස්, තුනපහ හා ආහාර කල් තබාගැනීමට යොදා ගන්නා නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, වර්ණකාරක හා රසකාරක නිසා ශ්ලේෂ්මල පටලයට හානි වීම, මානසික ආතතිය, ගැස්ට්‍රික් හෝමෝනය අධික ලෙස ස්‍රාවය කරන ගැස්ට්‍රින් නම් ගැටිති නිසා අධික ලෙස හයිඩ්‍රොක්ලොරික් අම්ලය ස්‍රාවය වී ඇති වන තුවාල, ශල්‍යකර්මයකට මුහුණ දීම, අනතුරකට ලක් වීම, පිලිස්සීමක් හෝ දැඩි ආසාදන තත්ත්වයක් නිසා ඇති වන ආතතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වන රෝග තත්ත්ව, ඇතැම් අසාත්මිකතා, ඇතැම් දිලීර හා වයිරස් ආසාදන, අමාශය ආශ්‍රිතව සිදු වන අනතුරු හෝ ශල්‍යකර්ම, නිසි කාල පරතරයකින් ආහාරවේල් නොගැනීම වැනි වැරදි ජීවන රටා

හෘදයාබාධයක් වළක්වා ගත හැකි ක්‍රම

සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම, දුම් පාන‌‌යෙන් වැළකීම, සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැනීම, ප්‍රශස්ත දේහ බරක් පවත්වා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, ආතතිය පාලනය, නිසි කලට වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු වීම සුදුසුය. අධි ලිපිඩතාව, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වැනි සෞඛ්‍ය තත්ත්ව හෘදයාබාධ ඇති වීමේ අවදානම වැඩි කරන බැවින් වෛද්‍ය උපදෙස් මත එම රෝග තත්ත්ව මනාව පාලනය කළ යුතුය.

වෛද්‍ය චින්තන විරාජ් ලිය­නගේදිස්ත්‍රික් මහ රෝහල, ගම්පහ

වෛද්‍ය චින්තන විරාජ් ලිය­නගේ
දිස්ත්‍රික් මහ රෝහල, ගම්පහ

ගැස්ට්‍රයිටීස් වළක්වා ගත හැකි ක්‍රම

ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය විටින් විට දවස පුරා පානය කිරීම, ආහාර ජීර්ණයට පහසු වන සේ ආහාර හොඳින් සපා කෑම, නියමිත වේලාවට ආහාර ගැනීම මෙන්ම නිරාහාරව සිටීමෙන් වැළකීම, ආහාරවල මිරිස්, තුනපහ වැනි දේ මඳ ප්‍රමාණයට ගැනීම හා ඇඹුල් වැඩි ආහාර භාවිතය අඩු කිරීම, අධික මේද ආහාර, පිලිස්සූ ආහාර හා අධික පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකීම හා වැඩිපුර තන්තු සහිත ආහාර ගැනීම, දුම් පානය, මද්‍ය‍සාර හා බුලත්විට කෑමෙන් වැළකීම, මානසික ආතතිය අඩු කරගැනීමට කළ හැකි දේ අනුගමනය කිරීම (සංගීතය, භාවනා, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්, ප්‍රමාණවත් නින්දක් ගැනීම, විවේකය සහ සතුටින් සිටීම), නිතර පිරිසුදු ආහාරපාන ගැනීම, වර්ණකාරක, රසකාරක හා කල් තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර වර්ග බහුලව ගැනීමෙන් වැළකීම, ශරීරයේ උසට ගැළපෙන නිසි බර පවත්වා ගැනීම මෙන්ම ව්‍යායාමවල නිරත වීම.

ගැස්ට්‍රයිටීස් හා හෘදයාබාධයක් අතර පැහැදිලි වෙනස්කම් රැසක් පවතී. එහෙත් යම් රෝග ලක්ෂණයක් ඇති වූ පසු තමා විසින්ම රෝග විනිශ්චය කර ස්වයං ප්‍රතිකාර සිදු නොකර, සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ සහාය පැතීමෙන් අකල් මරණයක් වළක්වා ගත හැකිය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division