මෙරට සිනමා නර්තය වෙනුවෙන් ප්‍රථමවරට සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහගේ නවතම මුද්‍රා නාට්‍ය නිර්මාණය වන ‘The Noir Queen kuweni’ 2025 වසරේ ජනවාරි මස නෙලුම් පොකුණ රඟහලේදී වේදිකාගත කෙරිණි. කුවේණියගේ මනෝභාවය පදනම් කරගනිමින් පුරුෂාධිපත්‍ය රජයන සමාජයක පීඩාවට පත් ස්ත්‍රිය පිළිබඳව විවරණය කෙරෙන මේ භාව ප්‍රකාශනය නැවත ප්‍රේක්ෂක ජනතාව අතට පත් කිරීමට ශ්‍රී ලංකා සම්මේලන කාර්යංශය ඉදිරිපත්ව සිටී. ඒ අනුව ‘කුවේණී කළු රැජින’ මුද්‍රා නාට්‍යය එළෙඹෙන මැයි මාසයේදී චන්ද වික්‍රමසිංහ නර්තන සංසදය විසින් නෙලුම් පොකුණ රඟහලේදී රඟදැක්වීමට නියමිතය. මෙම ඓතිහාසික මුද්‍රා නාට්‍යය සම්බන්ධයෙන් ‘සිළුමිණ රඟහල’ සමඟ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ කළ සංලාපයකි, මේ.
‘මුද්‍රා නාට්‍ය’ රංග වින්‍යාසය ඔබ අර්ථ දක්වන්නේ කවරාකාරයටද?
‘මුද්‍රා නාට්‍ය’ යනුවෙන් මා අර්ථ දක්වන්නේ කිසියම් සංගීතයකට සාත්වික අභිනය සහ ආංගික අභිනය උපරිම ලෙස පාවිච්චි කරමින් කිසියම් කතා ප්‍රවෘත්තියක් රඟදැක්වීම. ඒ නර්තනය, රංගනය සහ පසුබිමෙන් ඇහෙන ගීතවලට අවශ්‍ය කරන භාව ප්‍රකාශනය ඒ තුළින් දෘෂ්‍යමාන විය යුතුයි. ලංකාවේ මුද්‍රා නාට්‍ය ඉතිහාසය බැලුවොත් ජ්‍යෙෂ්ඨ නර්තනාචාර්ය චිත්‍රසේනයන්ගේ ‘කරදිය’, ‘නල දමයන්ති’ ඒ වගේම නර්තනාචාර්ය රවිබන්දු විද්‍යාපතිගේ ‘රොමියෝ ජුලියට්’, ‘ඊඩිපස්’, ‘මැක්බර්ත්’,‘ඔතෙලෝ’, ‘වසන්තයේ බිලි පූජාව’… ආදී විවිධ මුද්‍රා නාට්‍ය මා අධ්‍යනය කර තිබෙනවා. මුද්‍රා නාට්‍යයේ කතා තේමාවට අනුකූලව නර්තනය මඟින් ආංගික හා සාත්වික අභිනයන් දැක්වීම මෙහි දැකිය හැකි විශේෂත්වය. මෙහි වචන භාවිතා වෙන්නේ නැහැ. තමන්ට ලැබෙන කතා ප්‍රවෘත්තියට අදාළව වාදනය කෙරෙන සංගීතය අනුව සාත්වික හා ආංගික අභිනය තුළින් අදහස් ප්‍රකාශනයක් වේදිකාව තුළ ඉදිරිපත් කෙරෙනව නම් එය මුද්‍රානාට්‍යක්.
ඉන්දියාවේ මුද්‍රා නාට්‍ය සම්ප්‍රදායයි, අපේ මුද්‍රා නාට්‍යයයි අතර වෙනසක් තියෙනවද?
ඉන්දියාවේ මූද්‍රා නාට්‍ය සම්ප්‍රදාය අනුව ඔවුන් ප්‍රධාන වශයෙන් විවිධ මුද්‍රා භාවිතා කෙරෙනවා. අපේ නර්තනයේ එවැනි මුද්‍රා නැහැ. නමුත් මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන උදවිය ඉන්දියාවට ගොස් ශාන්තිනිකේතනය තුළ නර්තනය හදාරා පැමිණි අය නිසා අප වුවත් ඇතැම් අවස්ථාවල එම මුද්‍රා භාවිතා කිරීමට පුරුදු වී සිටිනවා. ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාව වඩාත් ප්‍රචලිත කළ අයකු වන ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පී චිත්‍රසේන මහත්මයගේ ‘කරදිය’, ‘නල දමයන්ති’, ‘ශිව නර්තන(Dance of Shiva − 1985) වැනි මුද්‍රා නාට්‍ය තුළත් මගේ නිර්මාණ තුළත් මා දකින්නේ කලින් තිබූ මුද්‍රා නාට්‍යවලට වඩා විවිධ දේ එකතු වී ඇති ස්වභාවයකුයි.
මේ වෙනසට නූතන තාක්ෂණික දියුණුව බෙහෙවින්ම බලපා තිබෙනවා. නිර්මාණ ශිලිපීන් බොහොදෙනා තමන්ට අවශ්‍ය කතා ප්‍රවෘත්තිය ගොඩනැඟීමේදී භාව ප්‍රකාශනයන් වඩා හොඳින් තීව්‍ර කර පෙන්වීම සඳහා නව තාක්ෂණය භාවිත කරනවා. එවැනි මුද්‍රා නාට්‍යයක් ලෙස කුවේණි පෙන්වාදිය හැකියි.
ඔබේ නර්තනයේ ආරම්භය ගැන යමක් සඳහන් කළොත්?
මගේ ආරම්භය සනිටුහන් වන්නේ චිත්‍රසේන කලායතනයෙන්. අවුරුදු පහක දරුවකුව සිටියදියි මා ඊට එකතු වන්නේ. කාලයක් යද්දී මාව කුලසිරි බුදවත්ත ගුරුතුමා ගාවට යවන්න ඕන කියලා මගේ මවුපියන් තීරණය කරනවා. බුදවත්ත ගුරුතුමාගේ පළමු වෙස් බැඳපු ශිල්පියා ලෙස මම ඔහු සමඟ වැඩ කළා. මම වෘත්තීය නැටුම් ශිල්පියෙක් බවට පත් වෙන්නේ රවිබන්දු විද්‍යාපති ගුරුතුමාගේ සහ මහචාර්ය මුදියන්සේ දිසානායක ගුරුතුමා යටතේ සාම මුද්‍රා නාට්‍ය කණ්ඩායමේ කටයුතු කිරීමෙන් ලද පන්නරය නිසයි. මම වසර අටක් එහි වෘත්තීය නර්තන ශිලිපියකු ලෙස කටයුතු කළා. ඒ පිළිබඳ මනා පරිචයක් ලැබුවා.
අනතුරුව වසර හතරක කාලයක් ඉන්දියාවේ ශාන්ති නිකේතනයට ගොස් නර්තනය පිළිබඳ වැඩිදුර හැදෑරීම් කළා. ලංකාවේ නර්තන ශිල්පීන් අතර අප ගෞරවයෙන් මතක් කරන පණීභාරත, චිත්‍රසේන, මකුලොලුව,ප්‍රේම කුමාර එපිටවෙල, ලයනල් එදිරිසිංහ, බැසිලි මිහිරිපැන්න වැනි ශ්‍රේෂ්ඨ ගුරුවරුන් බිහි කළ නෘත්‍ය තක්සලාවක් තමයි ශාන්ති නිකේතනය. එහිදි මම කථකලී නර්තන සම්ප්‍රදාය ප්‍රගුණ කළා. කතකලී කියන එකේ සරල තේරුම “කතන්දර කෙළිනව” කියන එකයි. එකල පණීභාරත ගුරුතුමා, චිත්‍රසේන ගුරුතුමා ආදීන් මුද්‍රා නාට්‍ය ශෛලිය මඟින් මෙහේ කතා කියන්න පෙළඹුනේ ඒ ආභාෂයෙනුයි. මගේ වට පිටාව සක්ස් වෙන්නෙත් ඒ ආකාරයෙන්මයි.
පෙර නිර්මාණ කරපු ලෝකය නෙමෙයි අද තියෙන්නේ. ලෝකය වේගයෙන් තාක්ෂණිකව ඉදිරියට යමින් තිබෙනවා. මේ නව තාක්ෂණික පෙරළියෙන් සකල කලාවටම මිදිය නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. නර්තන ශිල්පියකු ලෙස ඔබ මේ නව තාක්ෂණය කොහොමද ඔබේ නිර්මාණ සඳහා වහල් කර ගන්නේ?
එකල පැවති ඇඳුම් ආයිත්තම් සංගීතය හා ආලෝකකරණය සහ වේදිකා සැරසිලි සියල්ල මේ නව තාක්ෂණය සමඟ බද්ධ කරමින් පෙරට වඩා තීව්‍රව අපට අවශ්‍ය දේ ඉදිරිපත් කළ හැකියි. අද හැන්ඩ් ෆොන් එකක් අතට ගත්තොත් ලෝකයේ මොනවද අලුතින් වෙන්නේ කියලා එක මොහොතකින් දැනගන්න පුළුවන්. මෙහෙම කල්පනා කරද්දි අපට මේ නව ප්‍රවනතා එක්ක වඩා පහසුවෙන් ඉදිරියට යන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය ‘කුවේණි’ මම මේ සඳහා තාක්ෂණය උපරිමයෙන් භාවිතා කර තිබෙනවා.
කුවේණි වගේ කතා ප්‍රවෘත්තියක් අරගෙන මුද්‍රා නාට්‍යයක් කරන්න ඕන කියන නිමිත්ත පහළ වුණේ කොහොමද?
මම ‘රාමායනය’ මුද්‍රා නාට්‍ය ලංකාවෙන් එළියට අරන් ගිය වෙලාවේ මට හිතුනා; මේ තියෙන සම්බන්ධතා එක්ක අපි ඇයි වාල්මිකීගේ ‘රාමායනය’ කර තියන් යන්නේ කියලා. අපේ දෙයක් ජාත්‍යන්තරයට අරගෙන යන්න ඕනෑ කියල එවෙලේ මට හිතුණා. කුවේණි ගැන කතාබහ ඇති වුණේ ඒ අනුවයි. කුවේණියගේ පුරාවෘත්තය අපි හැමෝම දන්නවා. මේක විවිධ විවිධ ආකාරයට අපේ රටේ නර්තන නිර්මාණ ශිල්පීන් වේදිකාවට ගෙනැවිත් තිබෙනවා. මගේ ආචාර්යවරුන් දෙපලක් වන රවිබන්දු සර් වගේම මුදියන්සේ දිසානායක සර් මීට පෙර ‘රාමායනය’ ජනතාව අතරට ගෙනැවිත් තිබෙනවා. ඒ නිසා කුවේණි නිර්මාණයක් විදියට එළිදක්වන්න ඕන කියන කාරණය හිතට වද දුන්නා.
තවත් ප්‍රධාන හේතුවක් වුණේ අපට නර්තන සම්ප්‍රදාය හිමිවෙන්න ඇය ගේ භූමිකාවට තිබෙන සම්බන්ධයයි. අපේ සාම්ප්‍රදායික නර්තන කලාව අපට හිමිවන්නෙත් කුවේණියට සිද්ධවුණ ඛේදවාචකයේ අතුරු ප්‍රතිඵලයක් විදියටයි.
නමුත් හැමෝම දන්න කුවේණියගේ කථාව වෙනුවට වෙනත් දෘෂ්ටි කෝණයකින් මෙය වේදිකාවට ගෙන්න ඕන කියලා මම කල්පනා කළා. මම මෙහි මුල් පිටපත ලිව්වේ 2018දී විතර. මෙහිදී මට කියන්න ඕන වුණේ කුවේණිය දරු දෙදෙනා එක්ක මාළිගාවෙන් එළියට ඇදල දැම්මට පස්සේ; නෑයින් ප්‍රතික්ෂේප කළාට පස්සේ; මානසික බිඳ වැටීමත් එක්ක ඇය තුළ ඇතිවන වේදනාව විසින් ප්‍රචණ්ඩකාරී මනෝභාවයකට ගොදුරුවන ආකාරයයි. එය කුවේණියට පමණක් ලඝු නොකර පුරුෂාධිපත්‍ය රජයන සමාජයක ස්ත්‍රී ඛේදවාචකයක් ලෙස ගෙන එන්න මම මෙහිදී උත්සාහ කළා.
මේ නිර්මාණය සඳහා ශිල්පීන් තෝර ගත්තේ කොහොමද?
කුවේණි චරිතය ගොඩනැංවීමේදී තීව්‍ර භාව ප්‍රකාශනයන් ඉදිරිපත් කරන්න අවශ්‍යයි. එහිදී නර්තනය වගේම රංගනය පිළිබඳ පළපුරුද්දක් ඇති කෙනෙක් වඩා උචිතයි කියන ස්ථාවරයේ මම හිටියා. අපි හැමදාම දැකපු කපු කටිණ කුවේණියට වඩා වෙනස් කියැවීමක් වෙනස් චිත්‍රයක් මේක තුළ තිබෙන්නේ. ඒ වගේම මෙය අප මෙතෙක් කල් දුටු සාම්ප්‍රදායික මුද්‍රා නාට්‍ය නිර්මාණකුත් නෙමෙයි. වෙනස්ම නිර්මාණයක්. ඊට ගැලපෙන ආකාරයට ශිලිපීන් තෝරා ගැනීම අවශ්‍යම කාරණයක්. කුවේණිය කියන්නේ හොඳ හයිය හත්තිය තියෙන ගැහැනියක්. මෙහිදී කෙටි කාලයකින් කුවේණියගෙන් නව රස වෑහෙන්න ඕනෑ. මේ වැඩේ පරිසමාප්තියට පත් කරන්න පුලුවන් කෙනෙක් බව නිරංජනී සමඟ කළ පෙරහුරුවෙන්ම මට අවබෝධ වුණා.ඇය කුවේණියගේ චරිතයට තෝරා ගත්තා. වෙනදා දකින විජය රජුට වඩා; වෙනදා දකින මලය රජුට වඩා වෙනස් කතාවක් වෙනස් ඇහැකින් කුවේණිය තුළින් පෙන්වන්නයි මට වුවමනා කළේ. පළමු වතාවට මම මේ සඳහා අර්ධ නාරී චරිතයක් පවා භාවිතා කරනවා.
පඬුවස්දෙව් රජු විදිහට මගේ ගුරුවරුන් වූ ආචාර්ය රවිබන්දු විද්‍යාපති ගුරුතුමාත්, මලය රජු ලෙස මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුතුමාත් සම්බන්ධ කර ගත්තා. මා කළ ආරාධනය ඉතාම නිහතමානීව ඔවුන් පිළිගත්තා. එය මා ලද භාග්‍යයක්. ඒ වගේම මගේ නර්තන දිවියෙහි යම්කිසි වෙනසක් ඇති කරපු රංජිත් ප්‍රියංග අයියාට කිත්සිරි රජුගේ චරිතයට ආරාධනා කළා. භද්දකච්චායනා කුමරියගේ චරිතයට මගේ දුව දෙවංගිටත් ආරාධනා කළා. ඒ අය ඉතා කැපවීමෙන් ඉදිරිපත් වුණා. සමහර චරිත අපි වේදිකාව තුළ රඟදක්වන්නේ නැහැ. ඒවා තාක්ෂණික ප්‍රයෝග ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නේ. ඒකත් ලේසි කාර්යයක් නෙමෙයි. අපි ඉදිරිපත් කරන දේ ඒ තුළින් මතුවෙන්න ඕන. මෙහි නර්තන ශිල්පීන් ශිල්පිනියන් සියයකට අධික පිරිසක් රඟපානවා. කාර්මික ශිල්පීන් රැසක් මේ සඳහා දායක වෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය පේෂල මනෝජ්ගේ, මෙහි ගී පද රචනා කළේ බණ්ඩාර ඇහැලියගොඩ සහ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර. එම ගීත ගායනා අමන්ද්‍යා උත්පලී, තනුර මධුගීත් සහ මහේෂා සඳමාලී.
මේ මුද්‍රා නාට්‍යයට ‘කුවේණි කළු රැජිණ’ වගේ නමක් නොදා ‘The Noir Queen kuweni’ වගේ වෙස්ටන් නමක් යෙදුවේ ඇයි.?
‘The Noir Queen kuweni’ කියලා නම යෙදුවේ ඒ නම ලෝකයට ගෙනියන්න හරි ලේසි නිසයි. ඒ කුවේණි කළු රැජින කියන නමෙත් යම්කිසි ගැඹුරක් තියෙනවා. මම ලංකාවෙන් එළියේ ලෝකයත් සමඟ වැඩකරද්දී විශාල ප්‍රසංග රැසකට සහභාගි වෙනවා. ඉන්දියාව ‘රාමායනය’ ලෝකයට අරගෙන යනවා වගේ, මම ‘කුවේණිය’ ලෝකයට අරගෙන යනවා.
සංලාපය – රසික කොටුදුරගේ
ඡායාරූපය – ශාන් රඹුක්වැල්ල