එදා සෙනසුරාදාවකි. තාත්තා පුරුදු පරිදි වතු වැඩවලය. නුංගමුගොඩ හන්දියේ උස අංකල් අපේ ගෙදර ආවේ ඒ වෙලාවේය. නිවෙස පිටුපසට දිව ගොස් මම ඒ පණිවිඩය තාත්තාට කීවෙමි.
“කවුද ආවෙ?”
මුල් හැඳින්වීම හැරුණු විට වෙනත් යමක් කියන්නට මා දැන සිටියේ නැත.
තාත්තා සාලයෙන් මතු වුණේම ප්‍රබෝධජනක පිළිගැනීමක් සහිතවය. ඒ දෙන්නා මොන මොනවාදෝ කතා කළෝය; අනතුරුව නිවෙසට වම් පසින් වූ බුලත් පාත්තිය ළඟට ගියහ.
“මෙතන හරියටම ගැළපෙනවා සැමුවෙල් අයියා. ආයෙත් බලන්න දෙයක් නෑ. ගේට්ටුව ළඟ ඉඳලා මෙහෙම ඇවිදගෙන එනවා, ඊට පස්සේ මෙතන වැඩේ කරනවා, එච්චරයි.”
ආච්චිගේ බුලත් පාත්තිය ළඟ මේ අය කරන්න යන්නේ කුමක්දැයි මට මහත් කුකුසකි. බුලත් පාත්තිය රැක බලා ගැනීමේ ප්‍රධාන කාර්යභාරය ඒ වන විට පැවරී තිබුණේ මටය. ස්වයංපෝෂිත ආර්ථිකයක් පිළිබඳ පූර්ණ විශ්වාසය තබා සිටි ඇය බුලත් කෑවේ ඇයගේ පාත්තියෙන්ම පමණි. ඇයගේ සුහදතාව දිනාගත් අයට පමණක් ඉන් බුලත් කොළ දෙක තුනක් කඩාගත හැකිය.
බුලත් පාත්තිය ළඟ කරන්න යන්නේ කුමක්දැයි තාත්තා අප සියලු දෙනාටම පැහැදිලි කර දුන්නේය. එතැන කෙරෙන්නේ චිත්‍රපටයක කොටසක් රූගත කිරීමය. තාත්තාට ලැබෙන්නේ වෙද මහත්තයකුගේ චරිතයයි. ඒ අනුව තාත්තා මන්තර මතුරමින්, හිස කුඩිච්චියක් දැමිය යුතුය.
මෙය නම් මහා අසිරිමත් සිදුවීමකි! පාසල් මිතුරන්ට කලින් කියාගන්න බැරි වීම දුකකි. මම වැටෙන් පැන බාප්පලාගේ ගෙදර ගොස්, මගේ ඥාති සහෝදරයකු වන ලලිත්ට මේ බව කීවෙමි.
ඒ වන විට මම හයේ පන්තියේය; ලලිත් හිටියේ පහේය. අපේ පවුල්වල ළමයින් අතර සියලු යහපත් සහ නොසණ්ඩාල ක්‍රියාවලදී පෙරමුණේම හිටියේ අප දෙදෙනාය. මේ වැඩේදීත් උපරිම ලෙස අපේ දායකත්වය දීමට අපි සූදානම් වුණෙමු.
බුලත් පාත්තිය ඉදිරියේ බයිස්කෝප් කෑල්ලක් රඟ දැක්වීම අපේ ආච්චිටත් මහත් ආනන්දයකි. මේ ආරංචිය ලැබුණු මොහොතේ සිට ඇයගේ දත් නැති කට සුන්දර සිනාවකින් සැරසිලාය. එදා හවස සිටම ලලිත් සහ මම බුලත් පාත්තිය සහ ඒ අවට පිරිසුදු කළෙමු; කිහිප වතාවක්ම බුලත් පාත්තියට වතුර දැම්මෙමු.
පසුදා උදේ අපේ නිවහනට මහ පිරිසක් පැමිණියහ. ඇතැම්හු විශාල ඊයම් පාට පුවරු තැන තැන සවි කළහ. ඔවුන්ට අවශ්‍ය කරන වර්ගයේ මේස පටු සොයා දෙන්නට ලලිත් සහ මම සෑහෙන්නට වෙහෙසුණෙමු. විදුලි එළි දල්වන්නෝද, මුහුණුවල පුයර උලන්නෝද රාජකාරි ඇරඹූහ. අපේ තාත්තාට රැවුළක් අලවනු ලැබිණි. තාත්තාගේ විනෝද සමයේ සාමාජිකයකු වූ ධර්ම ශ්‍රී මුණසිංහ මහතා වෙද මහතාගේ සහායකයාය.
තවත් හීන්දෑරි ලඳක් අපේ සාලයේ සිටියේ ඇඳුම් මාරු කරමිනි. අපේ අසල්වැසියකු වූ සිල්වා අංකල් හිටිඅඩියේ විශාල කැමරාවක් එහෙට මෙහෙට මානන්න පටන් ගත්තේය.
“අම්මට සිරි! අපේ සිල්ව අංකල් කැමරාව.” ලලිත් මවිතය පළ කළේය.
“කවුද මේ ඇවිල්ලා ඉන්න නිළිය?” අප සිල්වා අංකල්ගෙන් ඇසුවේ රහසිනි.
“ආ… එයාව අඳුරන්නේ නැද්ද? ඒ තමයි ස්වර්ණා මල්ලවාරච්චි.”
අප ඇසූ පුදුම කරවන පුවත එයයි.
මම වහාම මුළුතැන් ගෙයට දිව ගියෙමි.
“අම්මේ… අර ඇවිල්ල තියෙන්නෙ ස්වර්ණා මල්ලවාරච්චි.”
“මං දන්නවා.”
ඇයගේ මුහුණේ ද වෙනදා නැති සතුටකි.
අම්මා තවත් කරුණු පැහැදිලි කළාය. පෙර දිනයේ චිත්‍රපටය ගැන කතා කරන්නට අපේ ගෙදරට ඇවිත් තිබුණේ සතිස්චන්ද්‍ර එදිරිසිංහය. ඔහු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාය. කැමරාව මෙහෙයවන අපේ මිත්‍ර සිල්වා අංකල්, සම්මානනීය සිනමා කැමරාකරුවකු වන ඩබ්ලිව්.ඒ.බී ද සිල්වාය. මේ අය ගැන කිසි දෙයක් නොදැන සිටීම ගැන ලලිත් සහ මම කනගාටු වුණෙමු.
විනාඩි දෙක තුනක චිත්‍රපට කෑල්ලක් රූගත කෙරෙනු නරඹන්න මහ පිරිසක් පැමිණ සිටියහ. ඒ අය අපේ වත්තේ තැන තැන පොදිගැහිලාය. ඇතැම්හු චිත්‍රපටයේ තාක්ෂණ ශිල්පීන්ට ස්වේච්ඡාවෙන් උදවු කරති. සිනමාව ඒ තරමටම අපේ ගමේ මිනිසුන්ගේ හදවත තුළට කිඳාබැස තිබිණි.
ස්වර්ණාට තිබුණේ ඇයගේ සැමියාගේ බාල සහෝදරයා වෙදගෙදරට රැගෙන ඒමය. ඇය එන්නේ අපේ ගේට්ටුවේ ළඟ සිට බුලත් පාත්තිය වෙතය. ඇය අපේ තාත්තා සමඟ රෝගියා පිළිබඳ වචන කිහිපයක් කතා කරයි. පැත්තක සිට කවුදෝ ඒ වචන මතක් කර දෙයි. තාත්තා බෙහෙත් ඖෂධ රැගෙන එන ලෙස මුණසිංහ අංකල්ට අණ කරයි. ඔහු හිසකුඩිච්චිය රැගෙන එයි. ඒ සඳහා ගත් මුකුණුවැන්න මිටිය කොටනු ලැබුවේ අපේ වංගෙඩියේය.
මේ චිත්‍රපටයේ විනාඩි දෙකක දර්ශන කෑල්ලක් වෙනුවෙන් අපේ ශ්‍රම දායකත්වය ගැන බොහෝ කල් යන තුරු ලලිත් සහ මම පුරසාරම් දෙඩුවෙමු.
“අඩෝ! ස්වර්ණා මල්ලවාරච්චි ඇඳුම් මාරු කරනවත් මම බලන් ඉඳලා තියෙනවා.”
ලලිත් මිතුරු සමාගම්වලදී බොහෝ විට කීවේය. එහෙත් ඒ වන විට තමා වයස අවුරුදු නවයක පමණ පොඩි එකෙක් බව ඔහු කියන්නේ නැත. එහෙම දෙයක් කියන්න මට පිනක් තිබුණේ නැත.
ජනකාන්ත නිළියක තමාගේ බුලත් පාත්තිය වෙත ඇවිදගෙන එන ආකාරය අපේ ආච්චි ජනේලයෙන් බලා සිටියේ මහත් ආඩම්බරයෙනි. මේ බයිස්කෝප් එක බලන්න යන්න ඕනෑයැයි ඇය කිහිපවරක්ම කීවා මට මතකය.
එහෙත් ‘මාතර ආච්චි’ හෝල්වල පෙන්නන්න පටන් ගන්නා විට අපේ ආච්චි දෙව්ලොව වැඩලාය.