Home » ‘ස්ටාෆ්’ උමතුවෙන් බැටකන අසරණ රෝගීන්ට පිළිසරණක් නැද්ද?

‘ස්ටාෆ්’ උමතුවෙන් බැටකන අසරණ රෝගීන්ට පිළිසරණක් නැද්ද?

by Mahesh Lakehouse
March 1, 2025 12:30 am 0 comment

කොළඹ මහරෝහලේ ස්නායු රෝගි වෛද්‍ය සායනය පවත්වන කාමර අංක 15 ප්‍රතිකාර ලබාගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන රෝගීන්ට දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුවී ඇත.

පෙ.ව. 8.00ට ආරම්භ කරන එම වෛද්‍ය සායනය සඳහා අලුයම පැමිණ පෝලිමේ සිට අංක ලබාගැනීම සිදු කරයි. ඉන් අනතුරුව කාමර අංක – 15 වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් විය යුතු අතර, එලෙස ඇතුළත් වීමේදී, නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් පැය ගණන් නිකරුණේ රස්තියාදු වීමට රෝගීන්ට සිදුව ඇත.

පෝලිමේ සිටින රෝගීන්ගෙන් පස්දෙනෙකුට (5) වරක් කාර්ය මණ්ඩල (STAFF) අංක ඇතුළත් කිරීම සාමාන්‍ය පිළිවෙත වුවද, මෙම කාමර අංක – 15 සේවයේ නියුතු රෝහල් සේවිකාවන්ගේ අභිමතය පරිදි තමන්ට කැමති, කැමති පරිදි ස්ටාෆ් යැයි කියා ගන්නා පුද්ගලයින් සායන කාමරයට යොමු කිරීම සුලබ සිද්ධියකි.

පෝලිමේ සිට අංක ලබාගත් ඇතැම් රෝගීන් ද පසුව ‘ස්ටාෆ්’ යැයි පවසමින් එම රෝහල් සේවිකාවන්ගේ සරණින් පෝලිමෙන් පිට පැන සායන කාමරයට ඇතුළුවේ. සෑම සායන දිනකම සිදුවන මෙම අසාධාරණකම් නොයිවසන රෝගීන් එම සේවිකාවට වාචික විරෝධයන් පවා දක්වනු දැකිය හැකිය. ඒ විට “ඕන එකකුට ගිහින් කම්ප්ලේන් කරනවා” යැයි රෝගීන්ට බැණ වැදී තර්ජනය කිරීමට එම සේවිකාව පසුබට නොවේ. ඔවුන් මෙවැනි තත්ත්වයකට පෙළඹී සිටීම ඇත්තටම කනගාටුදායකය.

ඉකුත් 21-02-2025 දින අංක 25 ලබාගත් කාන්තාවක් මෙම සේවිකාවගේ සරණින් පොලිමේ සිට අංක එක (1) ලබාගත් රෝගියාටත් ප්‍රථමව වෛද්‍ය තුමියන් හමුවීමට අවස්ථාව සැලසිනි. අංක (35) ලබා ගත් රෝගියකු පොලිමේ සිට ප්‍රථම පස් දෙනාටත් ප්‍රථමව මෙම රෝහල් සේවිකාවගේ සරණින් වෛද්‍ය තුමියත් හමුවට පත් කෙරිණි.

මේ අසාධාරණය සිදු නොකරන ලෙස පොලිමේ සිටි රෝගීන් එම රෝහලේ සේවිකාවට පැවසීය. දොස්තර නෝනා කෙනෙකුගේ අම්මා එක්කෙනෙක්. අනිත් එක්කෙනා දුර බැහැර කෙනෙක් ඒකයි මම එයාටත් ‘ස්ටාප්’ අංකයක් අරන් දුන්නේ. ඔයාට ඕන කෙනෙකුට කම්ප්ලේන් කරන්න. මට ඕන එක මම කරන්නේ. බඩුයි නඩුයි දෙකම හාමුදුරුවන්ගේ යැයි කියමන සනාථ කරන පිළිතුරක් එම සේවිකාව ප්‍රකාශ කළේ එසේය.

කාර්යමණ්ඩල අංක නිකුත් කිරීම සහ එසේ අංක නොමැති කිසිදු රැකියාවක් නොකරන අයද ‘ස්ටාෆ්’ ලේබලය යටතේ මෙම වෛද්‍ය සායනයට ඇතුළු කිරීම දිගින් දිගටම මෙම සේවිකාව සිදු කරන්නේ කාගේ බලතල තම අතට ගෙනදැයි මෙහිදී ප්‍රශ්න කළ යුතුමය.

සායන තුළ ‘ස්ටාෆ්’ වු අය නැවත සායන දින ලබාගැනීම සඳහා සාමාන්‍ය රෝගී පොලීමේ සිට සායන දින ලබාගන්නා අයුරු දැකීමද සුලබ සිද්ධියකි. සායන දින සටහන් කරන හෙද නිලධාරිනියන් සේවා හැදුනුම්පත් ඉල්ලා සිටිම නිසා පොලිම් පැන එය සිදු කර ගත නොහැකිය.

දිවයිනේ කීර්තිමත් ස්නායු ශල්‍ය වෛද්‍යවරයකුගේ වෛද්‍ය සායනයක මෙවැනි රෝහල් සේවිකාවක් සේවයට යොදවා අසරණ රෝගීන් දුෂ්කරතාවයන්ට පත් කිරීම එම වෛද්‍යවරයාට ද කරන නිගරුවකි. මෙවැනි කනගාටුදායක සිද්ධීන් මෙම රෝහලේ වෙනත් සෙසු සායනවල සිදු නොවේ. එම සේවක සේවිකාවන් නිසි ලෙස කටයුතු කිරීමද ඇගයිය යුතුය.

කාමර අංක 15ට අරක්ගත් මෙම සේවිකාවගේ ක්‍රියා කලාපය පිළිබඳව රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ අංශ වහා අවධානය යොමු කළ යුතුය.

‘ස්ටාෆ්’ උමතුවෙන් අසරණ රෝගීන්හට සිදුවන මේ අසාධාරණය වහා නවතා පිළිගත් ක්‍රමවේදයක් යටතේ සමාන්‍ය රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩල රෝගීන්ට ද සායනයට ඇතුළත්වීමේ ක්‍රමවේදය සකස්කර දීමට බලධාරීන් දැන්වත් කටයුතු කළ යුතුව ඇත.

එස්. එස්. රණවීර – පිළියන්දල


ලයිසන්වලටත් අධ්‍යාපන සුදුසුකම් බැලුවොත් නරකද?

රජයේ සෑම තනතුරකට පත්වීම සඳහා අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වෙයි. රජයේ ඉහළම තනතුරක් සඳහා පමණක් නොව කාර්යාල සහායක හෝ කම්කරු තනතුර සඳහා බඳවා ගැනීමට ද අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ. එහෙත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට යෑමේදී ඒ සඳහා අද වනතුරු අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවීම බලවත්ම අඩුපාඩුවකි.

එමනිසා රියැදුරු තනතුර ලබා ගැනීම සඳහා අනිකුත් වෘත්තියන් මෙන්ම ඒ සඳහා අධ්‍යාපන සුදුසුකම අනිවාර්ය කිරීමට දැන්වත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අවධානය වහා යොමු විය යුතුය. අධ්‍යාපන සුදුසුකමක් නැති අය රියැදුරු බලපත්‍රයක් ලබාගත් විට ඔවුනට විනයානුකූල රියදුරු වෘත්තියේ යෙදිය හැකි දැයි විමසීමට කාලය එළැඹ ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලීසියේ හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරින්ගේ අවධානය වහා යොමුවිය යුතුමය.

වසන්ත ද සිල්වා – වැලිගම


පිළිකාවේ භයානකකම ජනතාවට කියා දෙන්න

පිළිකා රෝගය පිළිබඳව ඔබගේ සමීපතමයකුට පැවසුවොත් අද එය උණ හෙම්බිරිසාව තරමට සාමාන්‍ය කරණය වී ඇත. මන්ද ඒ තරමට සුලභය. එහෙත් උණ, හෙම්බිරිසාව සනීප කළ හැකි වුවත් පිළිකාව මාරාන්තික රෝගයකි. එයින් පෙළෙන්නා ජීවත් වන්නේ මෙලොව අපායකය.

මිනිසුන්ගේ අපරීක්ෂාකාරී හැසිරීම් රටාව මෙන්ම ආහාර පාන සෞඛ්‍ය පිළිවෙත් නිසිලෙස භාවිත නොකළොත් මෙම රෝගය වැලඳිය හැක. බුලත්, මත්පැන්, දුම් පානය, හා ආහාරවල විෂම චක්‍රයේ ප්‍රතිඵල ලෙස පිළිවෙළින් මුඛ පිළිකා, අක්මා පිළිකා, පෙණහලු පිළිකා හා බඩවැල්වල පිළිකා හට ගනී.

මෙය මෙම මාරාන්තික රෝගයේ එක පැතිකඩක් වන අතර අනෙක් පැතිකඩ ලෙස ආහාර පිසිමේදී ගන්නා ස්වාභාවිකත්වයෙන් ඉවත් වු කුළුබඩු හා මැටි නොවන වෙනත් භාජනවල (A1ඇලුමීනියම් භාජනයක ව්‍යංජනයක් පිසින විට එයට බිලිං, සියඹලා වැනි ඇඹුල් මිශ්‍ර කළ විට ඇලුමිනියම් සමඟ ඇඹුල් ප්‍රතික්‍රියා කර පිළිකාකාරක බැර ලෝහ සාදයි) පිස අප කොතරම් ගුණ පොලොස්, කොස්, මඤ්ඤොක්කා සෑදුවද අවසානයේ අප ආහාරයට ගන්නේ විෂ සහිත ආහාරයකි.

අප බැරෑරුම් ලෙස නොසලකන මෙවැනි සුළු අතපසුවීමකින් මාරාන්තික රෝගයකට ගොදුරු විය හැකිය.

අද අපේක්ෂා රෝහලේ දෛනික නඩත්තුව රු. කෝටියකි. (මෙයට ජනතාවගේ බදු මුදල් ද සමන්විතය) කුඩා ඖෂධ මාත්‍රාවේ අවම මිල රුපියල් 12, 000කි. අද ලෝකයේ මෙන්ම ලංකාවේද බහුලව වැඩිවී ඇති පිළිකා රෝගී තත්ත්වය වන්නේ පියයුරු පිළිකායි. ශ්‍රී ලංකාවේත් මේ තත්ත්වය මෙලෙස තිබියදීත් දෙවැනි තැනට මුඛ පිළිකා පැමිණ ඇත.

මේ නිසා මෙම හැම පැති කඩක්ම ආවරණය වන පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට අදාළ වගකිවයුතු නිලධාරීන් ක්‍රියා කරන්නේ නම් එය ශ්‍රී ලාංකික ජනතාවට කරන මහඟු සේවයකි.

කේ. රාසයියා – නාවල


සමුපකාර සංගම් ප්‍රතිසංවිධානය කරමු

ලංකාවේ පුරවැසියන් කාලයක් රටේ පැවැති තත්වයට විසඳුමක් ලෙස පසුගිය මහමැතිවරණයේදී තුනෙන් දෙකේ බලයක් ඇතිව මාලිමා රජය බලයට පත් කර ගැනුණි. සත්‍ය වශයෙන්ම මෙය දුගී දුප්පත් ජනතාවගේ රජයකි.

මේ රජය යටතේ ප්‍රාදේශීය වශයෙන් හෝ ජනතාවගේ එකමුතුකමට, සමගියට, සමාදානයට සමුපකාරය හැර අන් පිළිසරණක් නැත. විශේෂයෙන් පාරිභෝගික ජනතාව අත්‍යාවශ්‍ය ආහාර හා භාණ්ඩ මිලදී ගැනීමේ සක්‍රීය ක්‍රියා මාර්ගයක් නොමැතිව දැන් මැසිවිලි නැඟීමට පෙලඹී සිටිති.

මේ නිසා පසුගිය ආණ්ඩු කාලයේ අක්‍රිය වූ සමුපකාර සංගම් සක්‍රීයව පවත්වාගෙන යාමට වැඩපිළිවෙළක් සකස් කළහොත් එය රජයට ද ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. ඒ සඳහා පළාත් මට්ටමින්, පළාන් ආයතන මට්ටමින්, ප්‍රාදේශීයවත් සියළුම සමුපකාර සංගම් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇත.

කන්ද උඩරට – මහනුවර, කඳුකර පහළ කරංවිට, ගම්පොළ යටිනුවර ගඟ පළාත, පොල්ගහමුල ගඟ ඉහළ කෝරළය – කඳුකර ඉහළ දළුපිටිය, කඩුගන්නාව මේ ආදී ඉතාමත් සාර්ථක සමුපකාර සංගම් පැවතුණත් දැන් ඒවා බොහෝමයක් අක්‍රීයව පවතී. මේවා යථා තත්ත්වයට පත් කළහොත් එය මාලිමා රජයේ ඉදිරිගමනට ඉමහත් ආශිර්වාදයක් වනවාට කිසිදු සැකයක් නැත.

ග්‍රාමීය මට්ටමින් පැවති සමුපකාර සංගම් ගණනාවක්ම මේ වන විට වසා දමා ඇති අතර ඇතැම් ඒවා අක්‍රිය මට්ටමින් පවත්වාගෙන යයි. මේවාද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ මඟින් ‘ක්ලීන්’ විය යුතුයි.

ජනතාවට නැතුවම බැරි සමුපකාර සංගම් නැවත ප්‍රතිසංවිධානයකර ස්ථාපිත කිරීමට ජනපති, අගමැතිනිය ප්‍රමුඛ රජයේ වගකීමය.

රත්නායක – හිඳගල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division