දෙස් විදෙස් කාෙගත් නෙත් සිත් ආකර්ෂණය කළ, ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝර්ටනතැන්න මුලින්ම හඳුන්වා ඇත්තේ ‘මහඑළිය’ නමිනි. එමෙන්ම මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම අතින්ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයක්ද වෙයි. මුහුදු මට්ටමේ සිට මීටර 1,200-2,300ක් පමණ උසින් මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මෙය ලංකාවේ පිහිටි උසම තැනිතලා භුමියද වෙයි.
නුවරඑළිය හා බදුල්ල යන දිස්ත්‍රික්ක දෙකටම මායිම්ව පිහිටා ඇති මේ වනෝද්‍යානය වෙතට පිවිසීම සඳහා මාර්ග 3ක් පිහිටා තිබෙන අතර ඉන් ප්‍රධානතම මාර්ගය වනුයේ නුවරඑළිය, අඹේවෙල සහ පට්ටිපොළ හරහා (කි.මී. 32) පිවිසෙන මාර්ගයයි. සාමාන්‍යයෙන් සංචාරකයන් වැඩි ප්‍රමාණයක් හෝර්ටන්තැන්නට පිවිසීමට භාවිත කරන්නේ මේ ගමන් මාර්ගයයි. එසේම හපුතලේ වැලිමඩ, බොරලන්ද, ඔහිය හරහා (කි.මී. 38) වැටී ඇති ගමන් මාර්ගය ඔස්සේද නුවරඑළිය, හග්ගල, රේන්දපොළ, අඹේවෙල, පට්ටිපොළ (කි.මී. 38) හරහා වැටී ඇති ගමන් මාර්ගය ඔස්සේද හෝර්ටන්තැන්නට ළඟා විය හැකි වේ.
මධ්‍යම කඳුකරයට මසකට වඩා වැඩි කලක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ සුන්දර හෝර්ටන්තැන්නේ හෙක්ටයාර ගණනක තෘණ වියළී ගොස් ඇති අයුරු මේ වන විට දක්නට ලැබෙන දසුනකි. මේ වසරේ පමණක් දක්නට ලැබුණු සිදුවීමක් නොවුන මුත් මෙය සෑම වසරක් පාසාම ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය පමණ වන තෙක් කාලවකවානුවේදී දක්නට ලැබෙන දෙයක් බව ලංකාවේ කොටි පිළිබඳ පර්යේෂක හා ග්‍රන්ථ කර්තෘ සංඛ වන්නිආරච්චිද සඳහන් කළේය.
මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය මෙන්ම ජනවාරි මස පවතින අධික සීතල නිසා ඇති වන තුහින තත්ත්වයන් හේතුවෙනුත් තෘණ වර්ග වියළී යෑම සිදු වේ. එය හෝර්ටන්තැන්නේ පවතින ස්වාභාවික ක්‍රියාවලියක් වුවත් වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන් මේ දිනවල විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බවද වනජීවී දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එයට හේතුව නම් මෙරට තුළ ඇති වූ කැලෑ ගිනි ගැනීම්වලට ප්‍රධාන හේතුවක් ලෙස මිනිසුන් විසින් සිදු කරනු ලබන අපරික්‍ෂාකාරි ක්‍රියාකාරකම්ද දැක්විය හැකිය. ඒවා අතර දුම්වැටි භාවිතා කර ඉවතට විසි කරන දුම්වැටි කොට ප්‍රධාන වශයෙන් පෙන්වාදිය හැකි වේ. එමෙන්ම, වගා කටයුතු සඳහා හේන් ගිනිතැබීම් කටයුතු නිසා එමඟින් ඇති වන ගින්න පාලනය කරගැනීමට නොහැකිව ආසන්නව පිහිටි තෘණ බිම්වලට හෝ කැලෑවලට ගින්න පැතිර ගිය අවස්ථාද බහුල ලෙස වාර්තා වේ. ඉඩම් අත්පත් කරගැනීමේ අරමුණින්ද කැලෑ ගිනිතැබීම් සිදු කිරීමට මිනිසා බහුල වශයෙන් පෙලඹී තිබේ.
වර්තමානය වනවිට මෙරට තුළ ප්‍රචලිත වෙමින් පවතින කඳු තරණය කිරීම් සඳහාද බොහෝ විට මධ්‍යම කඳුකරය ආශ්‍රිත ප්‍රදේශ යොදාගනු ලබයි. එහිදී ඉදි කරනු ලබන රාත්‍රී කඳවුරුවලදී, වනාන්තර ආශ්‍රිත එළිමහන් ස්ථානවල දල්වනු ලබන ගිනිමැලද මේ කැලෑ ගිනිගැනීම් ඇතිවීමට හේතුවක් වී තිබේ. තවද, වන සතුන් දඩයම් කිරීමට එම ප්‍රදේශ දඩයම්කරුවෝ ගිනි තැබීම් සිදු කරමින් ඒ හරහා සතුන් කැලෑ ප්‍රදේශවලින් ඉවතට ගෙන දඩයම් කිරීමට කටයුතු කරති. මෙලෙස වන භූමි ආශ්‍රිතව සිදු වන කැලෑ ගිනිතැබීම් හේතුවෙන් ජල මූලාශ්‍රය සිඳීයෑමේ විශාල අවදානමක්ද පවතී.
ශ්‍රී ලංකාව තුළ වර්තමානය වන විට වනාන්තර ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන මේ කැලෑ ගිනිගැනීම් මෙරට වන විනාශයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස දැක්විය හැකිය. මෙලෙස කැලෑ ගිනි ගැනීමක් ඇති වූ විට අක්කර ගණනක වෘක්ෂලතාදියද විනාශ වේ. දශකයක පමණ කාලයක සිට මෙරට තුළ සෑම වසරකම පාහේ විවිධ වනාන්තර ප්‍රදේශවල කැලෑ ගිනි ගැනීමක් දක්නට ලැබෙන අතර, එය පසේ සාරවත් බව, ජෛව විවිධත්වය හා පරිසර පද්ධති යනාදියට හානි සිදු වීමට මෙන්ම ඇතැම් වනාන්තරවල ගුණාත්මකභාවය පහත වැටීමටද හේතු වී ඇත.
ශාක මඟින් මිනිසා ආශ්වාස කරන වාතයද පිරිසුදු කරනු ලබයි. මේ ක්‍රියාවලිය සිදු වන්නේ ශාක පත්‍ර මඟින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ඔක්සිජන් මුදාහැරීමෙනි. මෙලෙස කැලෑ ගිනි ගැනීම් හේතුවෙන් ශාක ප්‍රජාව විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස හරිතාගාර වායුව වැඩි වනවා මෙන්ම දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වයද ඉහළ යනු ලබයි. මීට අමතරව මේ කැලෑ ගිනි ගැනීම් හේතුවෙන් විශාල ප්‍රදේශයක් වසා පවතින අධික දුමාරය වායු දූෂණයටද හේතුවක් වේ.
වර්ෂ 1920දී ඉංග්‍රීසි ජාතික කර්නල් ඇල්බට් වොට්සන් සහ කපිතාන් විලියම් පිෂර් දෙදෙනා විසින් මුලින්ම හෝර්ටන්තැන්න සොයාගෙන ඇති නමුත් හෝටන්තැන්න යන නාමය ලැබී ඇත්තේ ශ්‍රීමත් හෝර්ටන් ආණ්ඩුකාරවරයාගේ සංචාරයෙන් පසුව බව ඉතිහාසයේ කියවේ. වනෝද්‍යානයේ විශාලත්වය හෙක්ටයාර 3,160කි. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ක් පමණ වන අතර, වාර්ෂික වර්ෂාපතනය මි.මී. 2,540ක් පමණ වේ. 1969 දෙසැම්බර් 5 වැනිදා මේ වනාන්තරය ස්වාභාවික රක්ෂිතයක් ලෙස නම් කරනු ලැබූ අතර, සමනොල කන්දට මායිම්ව පිහිටා ඇති මේ උද්‍යානයේ ඇති ස්ථානගත අගය හේතුවෙන් 1988 මාර්තු 16 දා එය ජාතික උද්‍යානයක් බවට පත් කරන ලදි. එමෙන්ම 2010 ජූලි මස මෙය ලෝක උරුම ලැයිස්තුවටද ඇතුළත් කරනු ලැබීය.
1992 වසරේදී සිදු කරන ලද පර්යේෂණවලට අනුව, මෙහි ශාක විශේෂ වර්ග 101ක් පමණ තිබෙන බව හඳුනාගෙන ඇති අතර, ඉන් 49ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඒවා වීම විශේෂත්වයකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර, තවෙකෙක් එය දඹ (Syzygium ravolutum) යැයිද හඳුන්වති. හෝර්ටන්තැන්නේ ශාක ඝනත්වය (හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව) 2.861කි. එමෙන්ම මෙහි පක්ෂීන් විශේෂ 98ක්ද, ක්ෂීරපායින් විශේෂ 14ක්, උභය ජීවීන් විශේෂ 16-20ක් පමණ, සමනොල විශේෂ 40ක් පමණද දැනට හඳුනාගෙන ඇත. එමෙන්ම, හෝර්ටන්තැන්න වෙත සංචාරකයන් ආකර්ෂණය කරගන්නා තවත් එක් විශේෂතම හේතුවක් වන්නේද එහි ඔබමොබ සැරිසරන ගෝන රංචුවයි.
හෝර්ටන් තැන්නට පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් බොහෝ විට මිය යන්නේ ‘තසොක්’ නමැති තෘණ වර්ගයයි. එහෙත් වනෝද්‍යානය අභ්‍යන්තරයේ සතුන්ට සෑහෙන පමණ ආහාර තිබෙන බවද සංඛ වන්නිආරච්චි ‘සිළුමිණ’ අප කළ විමසුමකදී වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම අභ්‍යන්තරයේ පිහිටා තිබෙන පොකුණු, ඇළ මාර්ගවල තිබෙන ජලය එහි වෙසෙන සතුන්ට ප්‍රමාණවත් ලෙස පවතී. විශේෂයෙන්ම වනෝද්‍යානය නැරඹීමට ගමන් කරන පිරිස් දුම්වැටිවලින් තෘණ භූමි සඳහා සිදු විය හැකි හානිය පිළිබඳව දැනුම්වත්ව යෑම වැදගත් වෙයි. එවැනි සිදුවීමක් ඇති වුව හොත් පාලනය කළ නොහැකි තත්ත්වයක් කරා ව්‍යාප්ත වේ. එමෙන්ම වනෝද්‍යානය තුළ දුම්වැටි පානය කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් එවැනි අවස්ථාවක් ක්ෂණිකව පාලනය කිරීමටද නොහැකිය.
වන ආඥා පනත යටතේ වැඩිම දඬුවම් නියෝග වී ඇත්තේ කැලෑ ගිනි තැබීමට එරෙහිවය. මෙහිදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම කැලෑ ගිනි තැබීම් වළක්වාගැනීම සඳහා මහජනතාව දැනුම්වත් කිරීමද අතිශය වැදගත්ය. එමෙන්ම වනාන්තර ආශ්‍රිතව දුමක් හෝ ගින්නක් දුටුව හොත් ඒ සම්බන්ධයෙන් පොලීසිය, ග්‍රාම නිලධාරීන් හා අඳාළ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම මහජනතාව වන අපගේ වගකීමකි. මේ වන විට කැලෑ ගිනිගැනීම් පාලනය උදෙසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව ඒකකයක්ද පිහිටුවා ඇත. ඒ අනුව මහජනතාව ලෙස මේ දිනවල පවත්නා උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් අවට පරිසරය පිළිබඳ සෑම විටම විමසිල්ලෙන් සිටීම අතිශය වැදගත්ය.

වැසිකාලයේ හෝර්ටන් තැන්න දිස් වන අයුරු
ඡායාරූප : ගාමිණී බණ්ඩාර
ඉලංගන්තිලක – මස්කෙළිය සමූහ