බොරදියේ මාළු බාන්නට බලා සිටින පිරිසක් සිටිති. ඔවුන්ගේ අපේක්ෂාව දිය බොර වීම හෝ බොර කිරීමය. පෑදි දියට ඔවුන් සතුටු නැත. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පුරා මේ තත්ත්වය දැකගත හැකි විය. දිය බොර කිරීම සඳහා ඔවුහු විවිධ උපක්‍රම භාවිත කළහ. දශක ගණනාවක් මේ පිරිස් යොදාගත් අවිය වූයේ ජාතිවාදය අවුළුවාලීමය. ජාතිවාදය දඩමීමා කරගනිමින් රට ගිනි තැබීමත්, එය උපයෝගි කරගනිමින් දේශපාලන බලය අල්ලාගැනීමත් ඉතිහාසය පුරා ඊනියා දේශප්‍රේමීන් අනුදත් උපාය මාර්ගය විය.
‘ඇඩ්‍රස් නැති වී ගිය’ ශ්‍රී ලංකාවේ විපක්ෂයද මේ දිනවල සිටින්නේ දිය බොර වන තුරුය. හදිසියේ ඉහළ ගිය අපරාධ රැල්ල විපක්ෂයේ සන්තුෂ්ටියට හේතු වූයේ ඒ නිසාය. තමන් පාලන බලයේ සිටියදී ජාතික ආරක්ෂාව තුට්ටුවට දමා ‘ගේම් ගැසූ’ විපක්ෂය හදිසියේම ජාතික ආරක්ෂාව ගැන කෙඳිරිගාන්න පටන්ගෙන තිබේ. ජාතික ආරක්ෂාව බින්දුවට වැටී, ශ්‍රී ලංකා දෙරණ ලෙයින් කඳුළින් නැහැවී විශාලා මහනුවරක් වූයේ වර්තමාන විපක්ෂ නායකතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස ජනපති තනතුර දැරූ අවධියේය.
එකල පැවති ජාතික ආරක්ෂාවේ තරම කෙසේද කියතොත්: මහවැලි, කැලණි, කළු, වලවේ ගංගාවල තරුණ දූදරුවන්ගේ මළකඳන් පා වී ගියේය; දොර දොර මළ කඳන් ගොඩ ගැසිණි. සෑම පළාතකම පාහේ සමූහ මිනී වළවල් නිර්මාණය විය; විවිධ නම්වලින් ගොඩනැඟූ රජයේ අතුරු හමුදා රාත්‍රී කාලයේ නිශාචරයන් සේ ගම්වල ඇවිද නිඳි පැදුරේ සිටි තරුණයන් ගෙන ගොස් මරාදැමූහ. උතුරේත් දකුණේත් මේ තත්ත්වයට රටවැසියෝ මුහුණ දුන්හ.
රටේ ජනතාවට මේවා අමතක නැත. අද සාන්තුවරයන් සේ විපක්ෂය ජාතික ආරක්ෂාව ගැන නාහෙන් අඬන්නේ මළ ගෙවල කුලියට අඬන ගැහැනුන් සිහිපත් කරමිනි. ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කළේ යුක්තිගරුක දේශයක්, පොහොසත් රටක් බිහි කරගැනීම උදෙසාය. ජාතික ආරක්ෂාව සහතික නැති බව ප්‍රකාශ කරමින් පපුවට ගසා ගන්නා මහත්වරුන් ඇමැතිකම් දැරූ සමයේ ජන ජීවිතයේ ආරක්ෂාව ඈලියාවට ගොස් තිබූ අයුරු ජනතාවට හොඳින් මතකය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සැසියක් පැවැත්වෙන ඕනෑම දිනක සම්ප්‍රදායක් හැටියට ස්ථාවර නියෝග 27/2 යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න ඇසීම සහ කථානායක සමග පැටලීම පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අයත් සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. කෙසේ වෙතත් එය ඔහුට ලැබෙන වරප්‍රසාදයක් බව කිව යුතුය.
මෙහිලා රටේ පුරවැසියන් නොදන්නා රහසක් තිබේ. විපක්ෂ නායකගේ බලාපොරොත්තුව මාධ්‍ය නාළිකාවලට සමගි ජන බලවේගය ‘හිට් වෙන’ නිව්ස් එකක් දීමය. කෙසේ වෙතත් දැනට සති දෙකක් තිස්සේ පැවැත්වෙන අයවැය විවාදයේ දවසේ පළමු පැය බාගය ඔහු ගන්නේ රටේ ජාතික ආරක්ෂාව කඩාවැටී ඇති බවට ආණ්ඩුවට චෝදනා කිරීමටය. ඔහුගේ අනුගාමිකයෝද ඊටත් එහා යමින්, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මැතිවරණ සමයේ රටේ ආරක්ෂාව සම්බන්ධව වේදිකාවේ කළ ප්‍රකාශ සහ හඬපට උපුටා දක්වමින් ආණ්ඩුව අසමත් කියා ඒත්තු ගන්වන්නට උත්සාහ ගනිති.
රටක ජාතික ආරක්ෂාව යනු කුමක්දැයි එසේ විවේචනය කරන විපක්ෂ නායකයාගෙන් සහ වෙනත් අයගෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර තිබිණි. මන්ද යත්: විපක්ෂ නායකයාගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ ඔහු ජාතික ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව පටලවාගෙන ඇති බවකි. ජාතික ආරක්ෂාව යනු ත්‍රස්තවාදය, සතුරු රාජ්‍යයන්හි හමුදාවල ඔත්තු බැලීම වැනි රටට සහ ජනතාවගේ ආරක්ෂාවට එල්ල වන තර්ජනයන්ට එරෙහිව ජාතිය විසින් යොදා ගන්නා ආරක්ෂාවය. සතුරු කණ්ඩායම්වල ප්‍රහාර වැනි තර්ජනවලින් රටක රහස් සහ එහි පුරවැසියන් ආරක්ෂා කිරීම ජාතික ආරක්ෂාව වේ.
එක්සත් ජාතීන්ගේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රවේශය අනුව මානව හිමිකම් සහ අන්තර්ජාතික නීතිය ආරක්ෂා කිරීමත්, රාජ්‍යයේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ එහි ජනතාවගේ යහපැවැත්ම බාහිර හා අභ්‍යන්තර තර්ජනවලින් ආරක්ෂා කිරීමත් ජාතික ආරක්ෂාව වේ.
මේ සියල්ල විමසා බැලීමේදී ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය රටේ ජාතික ආරක්ෂාවට කරන බලපෑම කුමක්ද යන්න අපැහැදිලිය. අවි ගත් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාවාරම්කාරයන් අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් හැටියට ඔහු ඝාතනය වූ බව සියල්ලෝම දනිති. ඝාතකයෝ, සැලැසුම්කරුවෝ සහ වෙනත් සැකකරුවෝද අත්අඩංගුවට ගන්නා ලද පිරිස අතර වෙති. අධිකරණ කටයුතුද ආරම්භ වී ඇත. මේවාත් මෙසේ නොවූවා නම් විපක්ෂ නායකයා කුමක් කියයිද?
කෙසේ වෙතත්, රටේ තැන තැන සිදු වන හුදෙකලා ඝාතන සියල්ල පෞද්ගලික ආරාවුල්, මත්කුඩු හෝ වෙනත් හේතු මත සිදු වන ඒවා වන අතර, ඒ සිදුවීම් කොතෙක් දුරට රටේ ජාතික ආරක්ෂාවට බලපෑම් කරනවාද කියා විපක්ෂ නායකයාගෙන්ම අසා දැනගත යුතුය. විපක්ෂ නායකයාට ජාතික ආරක්ෂාව පිළිබඳ පාඩමක් කියා දීමට හැකි කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ ආණඩු පක්ෂයේ සිටිති.
හදිසියේ ඉහළ ගිය අපරාධ රැල්ල පිටුපස කිසියම් සංවිධානාත්මක දේශපාලන අරමුණක් පැවතියේද යන්න පිළිබඳ ආරක්ෂක අංශ සැක පහළ කර තිබේ. දැනටමත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ආණ්ඩු පක්ෂයේ සංවිධායක, ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. අයවැය විවාදයේදී විපක්ෂය හැසුරුණු ආකාරය සලකා බලන විට එවැනි නිගමනයකට ඕනෑ තරම් සාධක තිබේ. මේ සියල්ල පිළිබඳ රහස් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න කෙටි කාලයක් තුළ හෙළිදරවු වනු ඇත.
අපරාධ වර්ග දෙකකි. එකක්: සංවිධානාත්මක අපරාධයි. අනෙක: පෞද්ගලික මට්ටමෙන් පුද්ගලයන්, පුද්ගලයන් අතර සිදු වන අපරාධයි.
පුද්ගලයන් පුද්ගලයන් අතර සිදු වන අපරාධ, අද මෙන් මාධ්‍ය විසින් උත්කර්ෂයට පත් නොකළ වකවානුවක්ද තිබිණ. අද සිදු වන්නේ රටේ තන්හි තන්හි සිදු වන අපරාධ, සිය දේශපාලන හෝ ව්‍යාපාරික වුවමනාවන් සඳහා ඒ ඒ මාධ්‍ය විසින් ආවේගාත්මක ලෙස සමාජයට මුදාහැරීමය.
සමහර මාධ්‍යවලට අවශ්‍ය වන්නේ සමාජය සෑම කල්හිම කිසියම් බියකින් වෙළා තබාගැනීමටය. ඒ නිසා අපරාධ පිළිබඳ පුවත් ඔවුහු ඉතා ඕනෑකමින් උත්කර්ෂයට නංවති. අවසානයේ ඒ බියජනක පුවත් එකී මාධ්‍ය හිමිකරුවන්ට මුදල් උපයා දෙන්නේය.
පුද්ගලයන් පුද්ගලයන් අතර ඇති වන අපරාධ වළක්වාගන්නට එක් එක් පුද්ගලයා පසුපස පොලිස් නිලධාරියකු බැගින් තැබිය නොහැකිය. මේ අපරාධ තුරන් කළ හැකි වන්නේ සමස්තයක් ලෙස ශිෂ්ට සම්පන්න, විනයගරුක සමාජයක් බිහි කිරීමෙනි; සමාජයේ සාරධර්ම හා යහපත් ගුණාංග වර්ධනය කිරීමෙනි. පාසල් හා ආගමික ස්ථාන තිබෙන්නේ ඒ කාර්යය ඉටු කිරීම පිණිසය.
එහෙත්, සංවිධානාත්මක අපරාධවල තත්ත්වය ඊට ඉඳුරාම වෙනස් ය. ඒවා පැවතීම සමාජයක පරිහානියේ ලකෂණයක් වනවා පමණක් නොව, සමාජය බිය වැද්දීමටද හේතු වෙයි. ඒවා පිළිබඳ අවදියෙන් සිටීම, විමර්ශනය කිරීම, වැටලීම, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම මඟින් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම රජයේ වගකීම වන්නේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අහවලාගේ ගෝලයා විසින් මේ ඝාතනය සිදු කර ඇතැයි පොලීසිය කියයි. වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 51ක් සහ ඒවාට සම්බන්ධ 1,600ක් පොලීසිය දැනටමත් හඳුනාගෙන ඇත.
මෙහිලා ඉතා පැහැදිලි අවුලක් තිබේ. මහජන මුදලින් නඩත්තු වන සංවිධානාත්මක පොලීසියක් පවතින රටක සංවිධානාත්මක අපරාධ කල්ලි පවතින්නේ කෙසේද යන්න ඒ අවුලයි.
ආරක්ෂක අංශ සඳහා මෙරට ජනතාවගේ බදු මුදලින් වැඩිම පංගුව වෙන් කරන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි බිහි වීම වැළැක්වීමටය. එහෙත්
රට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි පවතින බව පොලීසිය විසින්ම ප්‍රකාශයට පත් කිරීම එක්තරා අපබ්‍රංශයකි!
අපරාධ පැතිර යන්නේ විවිධාකාර පුද්ගලයන්ගේ සහ ආයතනවල දායකත්වය, අනුග්‍රහය හා ඕනෑඑපාකම් මතය. දේශපාලකයන්, වෙනත් බලවත් පුද්ගලයන්, පොලීසිය, අධිකරණ මතු නොව නීතිඥ වෘත්තිකයෝ පවා මෙවැනි අපරාධවලට විවිධාකාරයෙන් දායක වෙති. මේ කවර හේතුවක් මත සිදු වුණත්, එවැනි අපරාධ සමාජයේ පැතිර යෑම ගැන රජය වගකීමෙන් කටයුතු කළ යුතු වන්නේය.
අපරාධ රැල්ල මැඬ පැවැත්වීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. එය ඥානාන්විත තීරණයකි. එහෙත් පුද්ගලයන් නීතියේ රැහැනට කොටු කිරීමෙන් පමණක් අපරාධ මර්දනය කළ නොහැකිය. ඒ සඳහා අපරාධ සමඟ එකම දාමයක වෙළී සිටින සෙසු සාධක හා පුද්ගලයන්ද ඉන් ගැලවිය යුතුය. එය කළ හැක්කේද රජයට පමණි.