තම ඒකාකාරි ජීවන රටාවෙන් මිදී මානසික සුවයක් අත්විඳීම සමඟ සුන්දර පරිසරයක් දැකබලා ගැනීමේ අටියෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියෙන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වරින් වර බහුලව විවිධ අනතුරුවලට ලක්ව, ඇතැම් විට ජීවිත පවා අහිමි වන පට්ටිපොළ සහ ඔහිය අතර අවදානම් බිංගෙවල් සම්බන්ධයෙන් දුම්රිය මඟීන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන මෙන් පට්ටිපොළ ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන උඩරට දුම්රියමගේ පට්ටිපොළ හැඳින්වේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1,898ක් පමණ උසකින් යුතුය. කොළඹ සිට පට්ටිපොළ දුම්රියපොළට කි.මී. 224ක පමණක් දුරක් තිබේ. පට්ටිපොළ සිට ඔහිය දුම්රිය ස්ථානයට කි.මී. 21ක් පමණ දුරක් තිබේ. පට්ටිපොළ හා ඔහිය අතර පවතින අලංකාර පරිසර දසුන් දැකබලා ගැනීමට දුම්රියෙන් ගමන් කරන සියලු මඟීහු උනන්දුවක් දක්වති. ඇතැම් දෙස් විදෙස් සංචාරකයෝ ජීවිත අවදානම අමතක කර දුම්රියේ දොරවල්වල එල්ලී පාපුවරුවල ගමන් කිරිමටද යොමු වෙති. මේ දුම්රිය ස්ථාන දෙක අතර පවතින අංක 18 සහ අංක 19 බිංගෙවල් දෙක අනතුරු දායක බිංගෙවල් ලෙස ජනතාව පවසති. මේ වන විට මේ බිංගෙවල්හි ගැටීම නිසා දෙස් විදෙස් සංචාරකයන් 6 දෙනකු මිය ගොස් ඇති බවත්, තවත් කිහිප දෙනකු තුවාල ලැබු බවත් ඔවුහු කියති.
පට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි කේ.ජී.ඩබ්.එම්. වීරකෝන් මහතා:
“කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා වැටී තිබෙන උඩරට දුම්රිය මාර්ගය පට්ටිපොළ ආශ්‍රිත කඳු හරහා ධාවනය කරන්නේ. දවසකට දුම්රිය ගමන් වාර කිහිපයක්ම පට්ටිපොළ හරහා යනවා. මේ දුම්රියෙන් ගමන් කිරීමේදී මේ පරිසරයේ සුන්දරත්වය දැකබලා ගන්න පුළුවන්. එනිසා උඩරට සංචාරයේ නියැළෙන විදෙස් සංචාරකයන් දුම්රියෙන් පැමිණීමට වඩාත් කැමැත්තක් දක්වනවා. දුම්රියෙන් ගමන් කරන අපේ රටේ ජනතාවත් අලංකාර පරිසරය බලන්න වඩාත් උනන්දුවක් දක්වනවා…
“කොටුවෙන් බදුල්ල බලා ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රිය පටිටිපොළට පැමිණෙන්නේ හිමිදිරි පාන්දරයි. කඳු අතරින් හිරුඑළිය පතිත වෙද්දී නිර්මාණය වන අලංකාර පරිසරය තවත් අලංකාර වෙන්නේ කඳු අතර පවතින මීදුමත් සමඟයි. මේ අලංකාරය දැකබලාගන්න ඇතැම් මඟීන් දුම්රියේ දොරවල්වල එල්ලී, ජනෙල්වලින් ඔළුව එළියට දාගෙන තමයි යන්නේ. ඒ අය මේ දුම්රිය මාර්ගයේ තියෙන අවදානම් ස්ථාන ගැන දන්නේ නැහැ. මේ පට්ටිපොළ දුම්රිය ස්ථානය අසල සිට කිලෝමීටර් එක හමාරක් පමණ ගියාම තියෙන 18 හා ඊට මඳ දුරක් ගියාම තියෙන 19 බිංගෙවල් දෙකේ තමයි අනතුරු සිදු වන්නේ. මේ 18 බිංගේ නැම්මක් එක්ක තියෙන්නේ. රේල් පාරත් නැම්මක් වගේ ගිහින් තමයි බිංගෙට ඇතුළු වෙන්නේ. 19 බිංගෙටත් ඒ වගේ තමයි. සංචාරකයන් මේ ගැන දන්නේ නැහැ. ඒ අය දොරේ එල්ලිලා යනවා. ඊට පස්සේ බිංගේ වදිනවා. මේ බිංගෙවල්වල ඇතුළේ ගැටී තියෙනවා. සංචාරකයන් ඒවගේත් වදිනවා. මේවා ගැන නොදැනුවත්කමත් මේ අනතුරුවලට හේතුවක්. ලස්සනට සැලසුම් කළ සංචාරය අන්තිමට කඳුළකින් තමයි අවසන් වෙන්නේ. ඒ නිසා අපි දුම්රිය දෙපාර්තමේන්තුවෙන්, ඒ වගේම සංචාරක අමාත්‍යාංශයෙන් හා වෙනත් මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ දුම්රියේ ගමන් කරන සංචාරකයන්ට මේ අවදානම් සහගත ස්ථාන ගැන යම් දැනුවත් කිරීමක් සිදු කිරීමට යම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.”
පට්ටිපොළ ප්‍රදේශවාසියකු වන එච්.ඒ. කමල්ඩීන් මහතා මෙසේ පැවසීය:
“මේ දුම්රියේ නිතර ගමන් කරන මගීන් මේ අවදානම ගැන දන්නා නිසා ඒ අය අනතුරුවලට ලක් වනවා අඩුයි. ඒත් සංචාරකයන් මේ දුම්රිය මාර්ගයේ අවදානම් ස්ථාන ගැන දන්නේ නැහැ. විශේෂයෙන්ම විදෙස් සංචාරකයන්. ඒ අය දොරේ එල්ලී ඡායාරූප ගන්නවා; එල්ලිලා යනවා; අන්තිමට දන්නේවත් නැතිව බිංගේ ගැටෙනවා. විදෙස් සංචාරකයන්ගේ සංචාර සංවිධායකයන් හෝ මේ ස්ථාන ගැන විදෙස් සංචාරකයන්ට යම් පෙර දැනුවත් කිරීමක් සිදු කරනවා නම්, මේ අනතුරු අවම කරගන්න පුළුවන්.
“දුම්රිය ස්ථානවල තිබෙන ශබ්ද විකාශ යන්ත්‍රවලින් දුම්රිය වාර, නවත්වන ස්ථාන, විකාශය කරනවා. එසේම මේ අනතුරුදායක තත්ත්වයත්, එනිසා ආරක්ෂිතව දුම්රියෙන් ගමන් කරන ලෙසත් දැනුවත් කරනවා නම් ඒක ඉතා ප්‍රයෝජනවත් කාර්යක් බවයි අපේ හැඟීම.”
මේ කරුණ කෙරෙහි වගකිව යුත්තන් සාවධාන වීම අත්‍යවශ්‍ය කරුණක් බව අපි අවධාරණය කර සිටිමු.

බිංගෙවල් තුළ පවතින ගැටි

අනතුරුදායක 18 සහ 19 බිං ගෙවල්