ඉස්තාන්බුල් නුවර කැපීපෙනෙන කාලගුණ ඍතු වශයෙන් සිසිර, වසන්ත, හේමන්ත හා සරත් සමයන් සෑම අවුරුද්දකම එකිනෙකින් වෙන්කොට හඳුනා ගන්නට පුළුවන් වුවද, හිම පතනය සිදු වන්නේ එහෙම පිළිවෙළකට නොවේ. මා මේ ගෙවමින් සිටින්නේ සිසිරයේ අවසන් දවස් ටිකයි. අවුරුදු තුනකට පසු උදා වූ හිම පතනය සිදු වූයේ ගිය සතියේය.
දෙසැම්බර්, ජනවාරි හා පෙබරවාරි ඉස්තාන්බුල් සිසිර සමයයි; මාර්තු, අප්‍රේල් හා මැයි වසන්ත සමයයි; තරමක් කඨෝර ගිම්හානය ජූනි, ජූලි හා අගෝස්තු මාසවල එළඹෙදද්දී; සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් සරත් සමයට වෙන් වේ. මේ කලාපයේ සරත් සමය හඳුන්වන්නේ ‘ෆෝල්’ යනුවෙනි. ඔක්තෝබර් මාසයේ ඇදහැලෙන වැසි සමඟ නටු අග කහපාටට ඉදි තිබුණු ශාක පත්‍ර සුළඟට කරකැවෙමින් විත් පොළොවේ පතිත වන නිසා ඒ නම ලැබී තිබේ. ගස්වැල් සිසිරයට සූදානම් කෙරෙන්නේ ඒ විදිහටය. වසන්ත සමය ටියුලිප් හා නෙක නෙක මල් පිපී ඇති රම්‍ය වූ සිරියාවක් ගෙනෙයි. මේ ඍතු හතරේ ඊටම ගැළපෙන අලුත් ඇඳුම් පැලඳුම් විලාසිතා එළියට බහින අතර, මෙරටට එන ඕනෑම කෙනකු ඒකමතිකව පිළිගන්නා කරුණක් වන්නේ ලොව මොන රටටවත් නොදෙවැනි කාන්තා හා ළමා ඇඳුම් විලාසිතා මෙහිදී දකින්නට ලැබෙන බවයි. කාලගුණ අනාවැකිය කියවා ඒ අනුව දවසේ ඇඳුම් කට්ටලය තෝරාගන්නා පුරුද්ද මෙපුර බොහෝ වැසියන්ට තිබේ.
පසුගිය පෙබරවාරි දහනවය බදාදා උදෑසන අවදි වනවිට ඉන් පෙර සති කිහිපයක් තිස්සේ ‘චුරු චුරු’ ගගා අදහැලුණ වැස්ස හා දවල්වෙනකම් අකුළා නොගන්නා කළුවර පහව ගොස් හාත්පස පැහැදිලි වී තිබුණෙන් මම වෙනදා තරම් ඝනකම් නැති කබායක් ඇඳගෙන වැඩට යන්න පිටත් වුණෙමි. අඩුම තරමේ හිස්වැසුමවත් දමා ගන්නයි ම-බිරිය මතක් කළද, එය නොතකා මම පාරට බැස්සෙමි. සෙන්ටිග්‍රේඩ් අංශක දෙකක ශීතල දරාගෙන රියට ගොඩ වුවත් මට ඇඳුමේ නුසුදුසු බව තේරුණේ කාර්යාලයට ගොඩ වූ සැණින්ය. අපේ සගයෝ සියලු දෙනා වෙනදා නැති තරම් දැඩි උණුසුම් ලොම් කබා, වැහිකබා හා හිස්වැසුම් පැලඳගෙන පැමිණෙමින් සිටිද්දී මට මහා අමුත්තක් දැනිණි.
“ඇයි, අද හිම වැටෙනවනේ… දැනගෙන හිටියෙ නැද්ද?” මිතුරෙක් ඇසුවේය.
හීටරවලින් සහ දුම් දමන තේ හා කෝපි බඳුන්වලින් උණුසුම්ව තිබුණු කන්තෝරුව තුළ අමුතු බලාපොරොත්තුවක් හා උද්යෝගයන් තිබුණේය. උදේ දහය පමණ වන විට එකා දෙන්නා වීදුරු කවුළු අසලට එකතු වන්නට වූහ. අපේ ගමේ වත්තේ තිබුණු විශාල කොට්ට පුළුන් ගහේ පිපිරුණු ගෙඩිවලින් පුලුන් බෝල කැරකි කැරකී සුළං පහරේ පාවෙන්නාක් මෙන් සුදු සිහින් හිම බෝල හාත්පස ඇදහැලෙන්නට විය.
පසුගිය සතියේ ඇදහැලුණු අයිස්කැට වරුසාව මෙන් නොව, නිවී සැනසිල්ලේ පාවි පාවී කඩාහැලෙන හිම බිඳිති වරුසාව දකින නිවර්තන කලාපීය වැසියකු වන මට මෙය මුළුමනින්ම අලුත් අත්දැකීමක් වුණත්, මෙරට වැසියන්ටත් මෙය අරුමැති විශේෂයක් වන්නේ මන්දැයි මම ඇසුවෙමි.
“අපිටත් හිම වැස්ස නිතරම එන එකක් නෙවෙයි. මේ ආවේ 2022 ජනවාරියෙන් පස්සේ. අවුරුදු තුනකින් ආව හිම වැස්ස. ඒක නිසා අපට හිම වැස්ස යුරෝපයේ අනිත් රටවලට තරම් හැම අවුරුද්දෙම පුරුද්දට ලැබෙන දෙයක් නෙවෙයි.”
දවල් දොළහ පමණ වෙද්දී ඇදහැලුණු හිම පුළුන් බෝල අපේ කාර්යාලය අවට බෝලේවාර්ඩයේ හා ඈත පෙනෙන බෙල්ග්‍රේඩ් වනපෙතේ ගස් අතුවල කපු පුලුන් මෙන් තැන්පත් වී තිබුණු අතර, විවෘත කොරිඩෝ හා තණබිම් සුදු ඇතිරිල්ලෙන් වැසි යමින් තිබිණි. රතුපැහැ ඔලියන්ඩර් මල්වල පෙති මත සුදෝ සුදු අයිසින් තවරන්නාක් මෙන් හිම කැටිති එක්රැස් වෙමින් අමුතුම චමත්කාරයක් මැවුණේය.
කෑම පැයේදී එළිමහනට බට තරුණ තරුණියන් හිස දැවටෙන සුදු හිම කැටිති ඉවසමින් හාත්පස විසිරෙමින් ඇදහැලෙන හිම වැස්සේ හිටගෙන සෙල්ෆි ෆොටෝ ගනිමින් ඔබ මොබ දුවමින් ප්‍රීති වද්දී, ඒ බලා සිටි සෙස්සෝ ද සොම්නස් වූහ. හවස වැඩ ඇරී ගෙදර යද්දී මඟ දෙපස හා අතුරු මාර්ග සියල්ල සුදු පැහැ තැවරුමකින් වැසී තිබිණි. එදා රැය පහන් කළාට පසු, පසුදා උදෑසන ඉර එළිය හා ඍණ එකක උෂ්ණත්වයක් මැද, කවුළුවෙන් එපිට පෙනෙන වායුගෝලය අරක්ගෙන පොපියන හිම කැටිති දෙස බලා සිටීම ප්‍රියජනක විය. අවට සියලු නිවාස පියසි හා කාර් පාර්ක් හා නවතා ඇති වාහන සියල්ල සුදු හිමෙන් වැසි ගොස් තිබිණි. සුද්ද පවිත්‍රව තිබුණේ මහා මාර්ගය පමණකි.
පාසල්වලට නිවාඩු දී තිබුණු අතර, බොහෝ කන්තොරුවල වැඩ කෙරුණේ ගෙදර ඉඳන්ය. ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ හා ආසියානු කලාපයේ සබිහා ගොක්චන් ගුවන්තොටුපොළ වෙත එන යන ගුවන් යානා සීමා කර තිබිණි. 22 වැනිදා වන විට බොස්පරස් මුහුදු තීරය තද මීදුමෙන් අවහිර වී තිබුණු නිසා නාවික ගමනාගමනය තාවකාලිකව නතර කර තිබිණි.
මා දුටුවේ අපේ නිවාස ආසන්න කලාපයේ හිම පතනයේ අසිරිය පමණකි. ම-මිතුරු එරන්ද මහගමගේ ඉස්තාන්බුල් නුවර බොහෝ තැන්වල ඇවිද ගත් පින්තුර මා වෙත එව්වේය. මේ සමඟ පළ වන සේයාරූ එලෙස ඔහු විසින් ගනු ලැබූ ඒවාය.
සයිබිරියාවේ බයිකල් විල හා අවට කලාපය, ඊට කිලෝමීටර් හාරදහසක් පමණ දුරින් පිහිටි ඉස්තාන්බුල් නගරයේ දේශගුණයට බලපාන බව මා දැනගත්තේ මේ අක්‍රමවත් හිම වරුසාව ගැන කතා කරද්දීය. ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ කාලගුණයට බෙංගාල බොක්කේ අවපීඩන කලාපය බලපාන්නේ යම් සේද, සයිබීරියානු අධිපීඩන කලාපයේ කාලගුණ වෙනස්කම් කළු මුහුද අවට කලාපයේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරයි. ඇරත් කළු මුහුද, බොස්පරස් මුහුදු තීරය, මාමුරා මුහුද, ඒජියන් මුහුද හා මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව පිහිටි රටක් නිසා මෙරට කාලගුණය අමුතුම තාලයේ අතරමැදි එකකි.
ජනවාරි සිට ජූනි දක්වා හිමෙන් වැසි තිබෙන බයිකල් විලත්, අධික සිසිරයට ලක් වන සයිබීරියානු කලාපයේ අධි පීඩනයත් දරාගන්නට බැරි වූ වායු ධාරා රුසියානු, කසකස්තාන ස්ටෙප්ස් තණ බිමත් ඉන් පසුව කළු මුහුදත් හරහා මධ්‍යධරණී අවපීඩන කලාපය කරා හැල්මේ හමා යන්නේ මේ සිසිර සමයේය. ඒ ගමනේදී බොස්පරස් සමුද්‍ර තීරය ශීත සුළං ප්‍රවාහයට ගමන් පහසුව සලසන උමඟක් සේ ක්‍රියාකරයි. ගොඩබිමට වඩා කාලයක් උෂ්ණත්වයක් මුහුදේදී හා ජලශවලදී රඳවා ගනී. ඒ නිසා මුහුද ගොඩබිමට සාපේක්ෂව වඩා සුවපහසු ගමන් මඟක් සයිබිරියානු ශීත සුළං ප්‍රවාහයට ලබා දෙයි. මෙන්න මේ ගමනේ අක්‍රමවත් හැසිරීම අනුව ඉස්තාන්බුල් නුවරට කෙටි හෝ දිග ශීත ඍතු ලැබීම හෝ හිම පතනය සිදු වීම තීරණය වෙයි.
වාසනාවකට මෙන් මෙවර නම් ඉස්තාන්බුල් ශීත හිම වැසි කාලය සතියකට වඩා කෙටි විය. එහෙත් මින් පෙර වරින්වර දීර්ඝ හිම පතන නිසා ඉස්තාන්බුල් නුවර පීඩාවට පත් වුණු අවස්ථා ගැන ඉතිහාස වාර්තාවල සඳහන් වේ.
බැලින්නම් ඉස්තාන්බුල් නුවර යනු ආර්ථික, ඓතිහාසික හා සංස්කෘතික මංසන්ධියක් පමණක් නොව, ජගත් කාලගුණය ගැන හදාරන්නට අගනා මධ්‍යස්ථානයක් ද වෙයි.
සේයා රූ – එරන්ද මහගමගේ